
ඔස්ට්‍රේලියාව - එංගලන්තය - නවසීලන්තය සහ බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම් එංගලන්තයේ පැවැත්වෙන එකළොස්වැනි කාන්තා ක්‍රිකට් ලෝක කුසලානයට සුදුසුකම් ලබා තිබියදී, ඉතිරි කණ්ඩායම් හතර තෝරා ගැනීමේ ක්‍රිකට් තරගාවලිය 07 දා ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පී. සරා ඕවල් පිටියේ පැවැත්වෙන තරගයෙන් ආරම්භ වේ.
මෙම සුදුසුකම් ලැබීමේ තරගාවලියට ඒ කාණ්ඩයෙන් ඉන්දියාව, අයර්ලන්තය, තායිලන්තය, සිම්බාබ්වේ සහ සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම තරගවදින අතර බී කාණ්ඩයෙන් බංග්ලාදේශය, පාකිස්තානය, පැපුවා නිව්ගිනියා, ස්කොට්ලන්තය සහ දකුණු අප්‍රිකාව තරගවදියි. මෙම සුදුසුකම් ලබා ගැනීමේ මූලික වටයේ තරග 13 දා පැවැත්වෙන පාකිස්තානය - ස්කොට්ලන්තය - ශ්‍රී ලංකාව - තායිලන්තය, දකුණු අප්‍රිකාව - පැපුවා නිව්ගිනියා සහ ඉන්දියාව - සිම්බාබ්වේ අතර පැවැත්වෙන තරග හතරෙන් නිමාවට පත්වේ. අනතුරුව 15 දා සුපර් සික්ස් වටයේ තරග ආරම්භ වන අතර, එහි ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගන්නා කණ්ඩායම් හතර අතරේ අවසන් පූර්ව තරග සහ අවසන් මහා තරගය පැවැත්වේ. අවසන් මහා තරගය 21 දා පී. සරා ඕවල් පිටියේ පැවැත්වේ.
මෙම තරගාවලිය සඳහා ජගත් ක්‍රිකට් කවුන්සලය විනිසුරුවරියන් සිව් දෙනකුද නම් කර තිබීම විශේෂයත්වයකි. මීට අමතරව විනිසුරුවරුන් පස් දෙනකුද ඇතුලුව නව දෙනකුගේ සේවය මේ තරගාවලිය යොදා ගෙන තිබේ. විනිසුරුවරියන් මෙම තරගාවලියට යොදා ගැනීම තුළින් කාන්තා ක්‍රිකට් ක්‍රීඩාව තවදුරටත් ඉහළට ගෙන ඒමේ වැඩපිළිවෙළ-කට අතගසා ඇතැයි අයි. සි. සී. ය වැඩිදුරටත් සඳහන් කරන්නේ.
1973 දී එංගලන්තයේදී ආරම්භ වූ කාන්තා ක්‍රිකට් ලෝක කුසලාන ඔස්ට්‍රේලියාව හයවතාවක්, එංගලන්තය තෙවතාවක් සහ නවසීලන්තය එක් වතාවක් දිනාගෙන තිබේ. 2013 දී පැවැති අවසන් ලෝක කුසලාන තරගාවලිය ඔස්ට්‍රේලියාව ජය ගත් අතර, අවසන් තරගයේදී ඔවුන් අතින් බටහිර ඉන්දීය කොදෙව්වන් පරාජය විය.
එකළොස්වැනි ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය ජුනි 26 දා එංගලන්තයේදී ආරම්භ වන අවසන් පූර්ව තරග ජූලි 18 දා සහ 20 දා පැවැත්වෙන අතර අවසන් මහා තරගය 23 දා ලෝඩ්ස් පිටියේ පැවැත්වේ.
කාන්තා ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම්වල ඔස්ට්‍රේලියාව, එංගලන්තය, නවසීලන්තය පළමු දෙවැනි තෙවැනි ස්ථානවල පසුවන අතර දැනට ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබා තිබෙන බටහිර ඉන්දීය කොදෙව්වන් පස්වැනි ස්ථානයට ඇද දමමින්, සුදුසුකම් ලැබීමේ තරගාවලියට එක්ව සිටින ඉන්දියාව සිවුවැනි ස්ථානයේ පසුවීම විශේෂත්වයකි. දකුණු අප්‍රිකාව හයවැනි ස්ථානයත්, පාකිස්තානය හත්වැනි ස්ථානයත් ශ්‍රී ලංකාව අටවැනි ස්ථානයේ පසුවෙයි. නවවැනි සහ දහවැනි ස්ථානවල බංගලාදේශයත් අයර්ලන්ත කණ්ඩායම් පසුවෙයි.










