ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් ශූරතාවලිය - 2017 වියපත් බව මැඩගත් සෙරිනාට සහ රොජර්ට | සිළුමිණ

ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් ශූරතාවලිය - 2017 වියපත් බව මැඩගත් සෙරිනාට සහ රොජර්ට

අමෙරිකාවේ සෙරිනා විලියම්ස් සහ ස්විස්ටර්ලන්තයේ රොජර් ෆෙඩරර් බොහෝ ක්‍රීඩා විචාරකයන් සහ ක්‍රීඩා ලෝලින්ට අනුව ලොව බිහිවූ විශිෂ්ටතම ටෙනිස් ක්‍රීඩා තරු යුගලයයි. ඒ බව යළිත් වතාවක් තහවුරු කරමින් මෙම වසරේ ප්‍රථම ග්‍රෑන්ඩ් ස්ලෑම් ටෙනිස් ශූරතාවලිය වන ඔස්ට්‍රේලියානු විවෘත ශූරතාවලියේ කාන්තා සහ පිරිමි කේවල (තනි) ශූරතා හිමිකර ගැනීමට ඔවුන් සමත් වූහ.

එම ජයග්‍රහණ හේතුවෙන් සෙරිනා වාර්තාවක් පිහිටුවමින් තව වාර්තාවකට ආසන්න වූවාය. ෆෙඩරර් තමන් සතු වාර්තාව තවදුරටත් ඉදිරියට ගෙන ගියේය. ටෙනිස් වැඩිම ග්‍රෑන්ඩ් ස්ලෑම් කේවල ශූරතා ගණනක් හිමි කර ගත් ක්‍රීඩකයා වන්නේ ෆෙඩරර්ය. මෙවර ජයත් සමඟ ඔහු හිමිකර ගෙන සිටින ග්‍රෑන්ඩ් ස්ලෑම් කේවල ශූරතා ගණන 18 ක් වේ.

වැඩිම ග්‍රෑන්ඩ් ස්ලෑම් කේවල ශූරතා ගණනක් හිමිකර ගත් ක්‍රීඩිකාව වනුයේ ඔස්ට්‍රේලියාවේ මාග්‍රට් ස්මිත් කෝට්ය. ඒ ශූරතා 24 කි. 1960 - 77 අතර කාලයේ දී ඇය එම ශූරතා හිමිකර ගැනීමට සමත් වූවාය. මෙවර ඔස්ට්‍රේලියානු ජයත් සමඟ සෙරිනා දෙවැනි වන්නේ මාග්‍රට් හට පමණකි. සෙරිනා ඒ අනුව හිමිකර ගෙන තිබෙන ග්‍රෑන්ඩ් ස්ලෑම් කේවල ශූරතා ගණන 23 කි.

කෙසේ වෙතත් මෙවර ජයත් සමඟම සෙරිනා වාර්තාවක් පිහිටුවූවාය. එනම් වෘත්තීයමය යුගයේ වැඩිම ග්‍රෑන්ඩ් ස්ලෑම් කේවල ශූරතා ගණනක් හිමිකර ගත් ක්‍රීඩිකාව බවට පත් වීමයි. මීට පෙර එම වාර්තාවේ සම හිමිකාරිණියන් ලෙසට සිටියේ සෙරිනා සහ ජර්මනියේ ස්ටෙෆි ග්‍රාෆ්ය. ඒ ශූරතා 22 බැගින් හිමිකර ගනිමිනි. ග්‍රාෆ් 1982 - 99 අතර කාලයේදී බටහිර ජර්මනිය සහ ජර්මනිය නියෝජනය කරමින් එම ශූරතා හිමිකර ගෙන තිබුණි. ටෙනිස් ක්‍රීඩාව වෘත්තීයමය ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට විවෘත වූයේ 1968 වසරේ සිටය.

සුපිරිතම ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 
ටෙනිස් ක්‍රීඩාවේ වැඩිම ග්‍රෑන්ඩ් ස්ලෑම් කේවල ශූරතා හිමිකර ගත් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ මෙසේය.

කාන්තා

01. මාග්‍රට් ස්මිත් කෝට් – ඔස්ට්‍රේලියාව - (1960 - 77) කේවල ශූරතා 24

02. සෙරිනා විලියම්ස් - අමෙරිකාව - (1995 - 2017) 23

03. ස්ටෙෆි ග්‍රාෆ් - ජර්මනිය - (1982 - 1999) 22

04. හෙලන් විල්ස් මූඩි - අමෙරිකාව - (1922 - 38) 19

0‍5. ක්‍රිස් එවර්ට් - අමෙරිකාව - (1972 - 89) 18

මාර්ටිනා නව්රතිලෝවා - චෙකොස්ලොවේකියාව/අමෙරිකාව - (1975 - 2006) 18

පිරිමි
01. රොජර් ෆෙඩරර් - ස්විස්ටර්ලන්තය - (1998 - 2017) 18

02. පීට් සම්ප්‍රාස් - අමෙරිකාව - (1988 - 2003) 14

රෆායල් නඩාල් - ස්පාඤ්ඤය - (2001 - 17) 14

04. රෝයි එමර්සන් - ඔස්ටේ‍්‍රලියාව - (1961 - 67) 12

නොවැක් ජොකොවිච් - සර්බියාව - (2003 - 17) 12

105 වැනි තරගාවලිය

වාර්ෂිකව පැවැත්වෙන ප්‍රධානතම ග්‍රෑන්ඩ් ස්ලෑම් ටෙනිස් ශූරතාවලි ගණන සතරකි. ඒ ඔස්ට්‍රේලියානු විවෘත, ප්‍රංශ විවෘත, විම්බල්ඩන් (එංගලන්තය) සහ අමෙරිකානු විවෘතයන්ය. මේ අතරින් ප්‍රථමයෙන්ම පැවැත්වෙන්නේ ඔස්ට්‍රේලියානු විවෘත ශූරතාවලියයි.

මෙවර පැවැත්වූයේ 105 වැනි ඔස්ට්‍රේලියානු විවෘත ශූරතාවලියයි. ඒ ජනවාරි මස 16 සිට 29 දක්වාය. වික්ටෝරියා ප්‍රාන්තයේ මෙල්බර්න් නුවර මෙල්බර්න් උද්‍යානයේ පිහිටි පිටිවලදී මෙම තරග පැවැත්විය. ඒ අතරින් කේවල අවසන් තරග පැවැත්වූයේ රොඩ් ලේවර් පිටියේදීය. රොඩ් ලේවර් යනු විශිෂ්ටතම ඔස්ට්‍රේලියානු ටෙනිස් ශූරයෙකි. මෙවරත් පිරිමි කේවල අවසන් තරගයේ දී ප්‍රධාන අමුත්තා ලෙස ඔහු සහභාගි විය.

සුපුරුදු පරිදි මෙවර ශූරතාවලියටත් කාන්තා සහ පිරිමි කේවල, යුගල, මිශ්‍ර යුගල, බාලක සහ බාලිකා, රෝද පුටු සහ හිටපු සුපිරි ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහාත් තරග පැවැත්වීය. තරගාවලියට සහභාගි වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ඔවුන්ගේ ශ්‍රේණිගත කිරීම්වලට ප්‍රසාද ලකුණු හිමිවිය. ඒ වගේම මුදල් ත්‍යාගත් පිරිනැමීය. ඒ අනුව කාන්තා සහ පිරිමි කේවල ශූරතාවලට ප්‍රසාද ලකුණු 2000 බැගින් හිමිවිය. පිරිමි අනුශූරයාට ලකුණු 1200 කි. අනුශූරියට ලකුණු 1300 කි. මෙවර පිරිනමන ලද මුළු ත්‍යාග මුදල ඔස්ට්‍රේලියානු ඩොලර් 50,000,000 කි. මෙවර කාන්තා සහ පිරිමි කේවල ශූරතාවන්ට හිමි වූ මුදල ඔස්ට්‍රේලියානු ඩොලර් 3,700,000 බැගිනි. අනුශූරතාවන්ට ඔස්ට්‍රේලියානු ඩොලර් 1,900,000 බැගිනි.

මෙවර ශූරතාවලියේ විශේෂිත සිදුවීම් රාශියක් තිබුණි. ඒ අතරින් ප්‍රධානම වූයේ විවෘත (වෘත්තීයමය) යුගයේ කාන්තා සහ පිරිමි කේවල අවසන් තරගවලට සුදුසුකම් ලැබූ සතර දෙනාම වයස අවුරුදු 30 ඉක්මවූවන් වීමය.

කාන්තා කේවල

වසර ගණනාවකට පසුව විලියම්ස් සොහොයුරියන් අතර ග්‍රෑන්ඩ් ස්ලෑම් කේවල අවසන් තරගයක් පැවැත්වීය. එහිදී 35 හැවිරිදි නංගි වූ සෙරිනාට තරග වට 2 - 0 ක ජයකි. ලකුණු 6 - 4, 6 - 4 කි. ඒ අනුව ඔස්ට්‍රේලියානු විවෘත කේවල ශූරතාව දිනූ වයස්ගතම ක්‍රීඩිකාව ලෙසට තමන් සතු වාර්තාව ඇය තවත් අලුත් කළාය.සෙරිනා හිමිකර ගත් හත්වැනි ඔස්ට්‍රේලියානු විවෘත කේවල ශූරතාවත් මෙය විය. ඒ 2003, 05, 07, 09, 10, 15 සහ 17 වසරවලදීය. 36 හැවිරිදි වීනස් මීට පෙර 2003 දීත් මෙහි කේවල අනුශූරියයි. එදාත් ඇය පරාජය වූයේ සෙරිනාටමය.

මෙවර ජයග්‍රහණයත් සමඟම සෙරිනා යළිත් වතාවක් ලොව අංක 01 ක්‍රීඩිකාව බවට පත්වූවාය. විලියම්ස් සොහොයුරියන් ග්‍රෑන්ඩ් ස්ලෑම් කේවල අවසන් තරගයකදි හමුවූයේ නව වැනි වතාවටයි. එහිදී වැඩි ජයග්‍රහණගණන සෙරිනාටයි.

"වීනස් නිසා තමයි අද මම මෙතැන සිටින්නේ. වීනස් නොසිටියා නම් මමත් නැහැ. මෙය වීනස්ට සුබපතන්න මම අවස්ථාවක් කර ගන්නවා. ඇය පුදුමාකාරයි." ජයග්‍රහණයෙන් අනතුරුව සෙරිනා පැවසුවාය. වීනස් ද සිය නැගණියට සුබ පැතීමට අමතක නොකළාය. "මේ මගේ පුංචි සොහොයුරියයි. ඔබේ ජයග්‍රහණය සෑම විටම මගේ ජයත් වුණා. සෙරිනා 23 වැනි ශූරතාවට මගේ සුබ පැතුම්."

පිරිමි කේවල

බොහෝ දෙනා පුදුමයට පත් කරමින් අවසන් තරගයට සුදුසුකම් ලබා ගෙන සිටින්නේ ෆෙඩරර් සමඟ ස්පාඤ්ඤයේ රෆායල් නඩාල්ය. ඔවුන් දෙදෙනාම හිටපු ලොව අංක 01 ක්‍රීඩකයෝය. නමුත් ආබාධ නිසා ගෙවී ගිය වසරේ වැඩි කාලයක් ඔවුන් ක්‍රීඩා කළේ නැත.

35 හැවිරිදි ෆෙඩරර් තරග වට 3 - 2 ක ජයක් 30 හැවිරිදි නඩාල් හමුවේ ලැබීය. ඒ ලකුණු 6 - 4, 3 - 6, 6 - 1, 3 - 6, 6 - 3 ක් වශයෙනි.

"මීට මාස කිහිපයකට පෙර නඩාල්ගේ ටෙනිස් ඇකඩමියක් විවෘත කරන අවස්ථාවකට මමත් සහභාගි වූවා. ඒ වන විට අපි දෙදෙනාම ආබාධවලට ලක්වෙලා සිටියේ. 

එහිදී යළිත් වතාවක් අපි ග්‍රෑන්ඩ් ස්ලෑම් අවසන් තරගයකදී හමුවේවි කියල කිසිවිටකත් සිතුවේ නැහැ." ෆෙඩරර් තම ජයෙන් පසුව පැවසීය.

ෆෙඩරර් ඔස්ට්‍රේලියානු විවෘත ශූරතාවලියන්හිදී සහභාගි වූ 100 වන තරගයත් මෙවර අවසන් තරගය වීම විශේෂත්වයකි. ෆෙඩරර් සහ නඩාල් ග්‍රෑන්ඩ් ස්ලෑම් කේවල අවසන් තරගයකදී හමු වූයේ නවවන වතාවටයි. එහිදී ෆෙඩරර්ට ජයග්‍රහණ තුනකි. නඩාල්ට ජයග්‍රහණ හයකි.

නඩාල් මීට පෙර 2009 වසරේදී මෙම ශූරතාව හිමිකර ගත්තේය. ෆෙඩරර්ගේ පස්වැනි ඔස්ට්‍රේලියානු විවෘත කේවල ශූරතාව මෙය වේ. ඊට 2004, 06, 07, 10 සහ 17 අයත්ය. ඔහු මීට පෙර අවසන් වරට ග්‍රෑන්ඩ් ස්ලෑම් කේවල ශූරතාවක් හිමිකර ගත්තේ 2012 වසරේදීය. ඒ විම්බල්ඩන් ශූරතාවයයි. මෙවර ජයග්‍රහණයත් සමඟම ඔහු නව වාර්තාවක් පිහිටුවිය. එනම් ග්‍රෑන්ඩ් ස්ලෑම් කේවල ශූරතාවලියන් තුනක් පස් වතාව බැගින් ජයගත් ප්‍රථම ක්‍රීඩකයා වීමයි. ඊට ඔස්ට්‍රේලියානු විවෘත 05, විම්බල්ඩන් 07 සහ අමෙරිකානු විවෘත ශූරතා 05 කි.

 

 

Comments