ඒ අතින් අපි වෙනස් ජාතියක් | සිළුමිණ

ඒ අතින් අපි වෙනස් ජාතියක්

රග්බි පුහුණුව ප්‍රතික්ෂේප කළ දෙමටගොඩ වේළුවන විද්‍යාලයේ ඉගෙනුම ලබන සිසුවකුට එම විද්‍යාලයේ ක්‍රීඩා උපදේශක විකුම් ධර්මසිරි වික්‍රමආරච්චි ඇතුළු සිසුන් හතර දෙනකු කළ කෲර පහරදීමක් ගැන ප්‍රවෘත්ති බලනකොට ටොමයි - ජෙරියයි දැකලා, ඩබලට හොඳටෝම කේන්ති ගිහින්.

බලපන් ජෙරි දක්ෂ බැඩ්මින්ටන් ක්‍රීඩකයකුටනේ මේ නරුමයෝ එකතු වෙලා ගහලා තියෙන්නේ. ඔය වගේ නරුමයන්ට විරුද්ධව පොලිසි ගිහින් වැඩක් නෑ. ගමේ මිනිස්සු එකතු වෙලා ඔය වගේ තිරිසන් වැඩ කරන නරුමයන්ව ගස් බැඳලා ගහන්න ඕනා. නැත්නම් මුන්ව හදන්න බෑ. මේ එළියට ආපු එක සිද්ධියක් නේ. එළියට එන්නේ නැති මේවගේ සිද්ධි තව කොච්චර අපේ රටේ ඉස්කෝලවල සිද්ධවෙනවා ඇද්ද?

ඒක තමයි මචං ඒ ළමයා මොකක් හරි ක්‍රීඩාවක් කරන ළමයෙක්නේ. අනික ඉතින් ක්‍රීඩා නොකලා කියළා එහෙම ළමයකුට ගහන්න කවුද අයිතිය දීලා තියෙන්නේ. අපි බලාගෙන ඉමු මේ ළමයට නීතිය පැත්තෙන් සහ අධ්‍යාපන අමාත්‍යංශය පැත්තෙන් මොනවගේ සාධාරණයක් ඉෂ්ඨ වෙයිද කියලා.

ටොමාට මතකද මීට මාසයකට විතර කලිනුත් කෑගල්ල පැත්තේ බාලිකා ඉස්කෝලෙක ක්‍රිකට් පුහුණුකරුවෙක් ක්‍රිකට් පුහුණුවට කොළඹ යන්න ඕනා කියලා ළමයෙක් එක්කන් ඇවිත් අපයෝජනයට ලක් කරලා තිබ්බා.

ඒක ඇත්ත මචං, දැන් බලපන් ඔය සිද්ධියත් එළියට ආපු නිසා හොඳයි. නැත්නම් තව ළමයින් කීදෙනෙක් ඔය නරුමයා අතින් අපයෝජනයට ලක්වෙන්න තිබුණාද? අනික ඉතින් ඊට කලින් තව කී දෙනෙක් මේ නරුමයාට ගොදුරු වෙන්න ඇද්ද කියලා කවුද ඉතින් දන්නේ.

ක්‍රීඩා උපදේශකවරු - පුහුණුකරුවෝ ඔක්කෝම එක වගේ නෙවෙයි බන් හොඳ අය ඕන තරම් ඉන්න තැන්වල තමයි මචං මේ වගේ නරුමයෝ ටික දෙනෙකුත් ඉන්නේ.

ඒක තමයි ටොමෝ මේ වගේ නරුමයෝ නම් අපේ රටේ ක්‍රීඩාවේ පැළ තවාන හදන තැන් ඉන්නේ, රටේ ක්‍රීඩාවට තිස්තුන්කෝටියක් දෙවි දේවතාවුන්ගේම පිහිට තමයි.

අනික මචං අම්මලා - තාත්තලාටත් වගකීමක් තියෙනවා. තමන් ඇහැක් වගේ බලා හදා ගන්න දරුවන් විශේෂයෙන් ක්‍රීඩා කරනවා නම් පුහුණුකරුවා මොන වගේ කෙනෙක්ද කියලා හොයලා බලන්න.

ඒ විතරක් නෙවෙයි ජෙරි ඉස්කෝලවල විදුහල්පතිවරුන්ටත් ලොකු වගකීමක් තියෙනවා. නැත්නම් මේවගේ නරුමයන්ව තියා ගන්න එකටත් වන්දි ගෙවන්න වෙන්නේ ඒ අයටත් එක්කමනේ.

මේ වගේ දේවල් මාධ්‍යවලින් වහන්න දෙන්න හොඳ නෑ. අලගිය මුලගිය තැන් හොයලා මේ නරුමයන්ව එළි කරන්න ඕනා. නැත්නම් ගස්බැඳලා ගහන්න ඕනා.

ඉතාලියේ වෙරෝනා නුවර ආසන්නයේ සිදුවූ බස්රථ අනතුරකින් තම දරුවන් දෙදෙනා ජීවිතයක්ෂයට පත්ව තිබියදී, අනෙක් දරුවන් බේරා ගැනීමට කටයුතු කළ ගුරුවරයකු ගැන විදේශ මාධ්‍ය දැඩි කතාබහට ලක්වූ සිද්ධියක් වාර්තා වූවේද මේ අතරය.

ඒ අතින් අපි වෙනස්ම ජාතියක් කියන්නේ ඒකටනේ.

මේ ඩබලගේ කතාව අහගෙන ඉන්නකොට මට හිතුණා.

Comments