
ප්‍රශාන්ත ඇල්පිටිය
අනුන් කළ වරදකට දඬුවම් විඳීමට සිදු වු බොහෝ පිරිසක් සිටිති. දැන් මේ අතරට මලල ක්‍රීඩා ඉතිහාසයේ කෙටි දුර ධාවන සුපිරිතම ශුරයා වන ජැමෙයිකාවේ යුසේන් බෝල්ට් ද එක් වී සිටියි.
2008 බෙයිජිං ඔලිම්පික් ක්‍රීඩා උළෙලේදී පිරිමි මීටර් 100 ය 4 සහාය දිවීම තරගය එවිට නව ලෝක වාර්තාවක් පිහිටුවමින් ජය ගත්තේ ජැමෙයිකාවයි. එම කණ්ඩායමේ සාමාජිකයෙකු වු නෙස්ටා කාටර් තහනම් උත්තේජක ගෙන ඇති බව ඔප්පුවීම නිසා එම ජයග්‍රහණය පසුගියදා අවලංගු කරන ලදි. ඒ අනුව බෝල්ට්ට රන් පදක්කමක් අහිමි විය.
බෝල්ට් 2008 බෙයිජිං, 2012 ලන්ඩන් සහ 2016 රියෝ ඔලිම්පික් උළෙලහිදී මීටර් 100, 200 සහ 100 ය 4 තරග සඳහා රන් පදක්කම් ත්‍රිත්වය බැගින් හිමිකර ගත්තේය. ඒ අනුව ඔහුට හිමිවූ රන් පදක්කම් ප්‍රමාණය නවයකි. දැන් එය අටක් දක්වා අඩු වී තිබේ.
පසුගිය කාලයේදී අන්තර්ජාතික ඔලිම්පික් කමිටුව විසින් තෝරා ගත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 454 දෙනෙකුගේ ඔලිම්පික් උළෙලහිදී ලබා දුන් මුත්‍රා සාම්පල නැවත පරීක්ෂා කරන ලදි. එහිදී ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක්ම තහනම් උත්තේජක ලබාගෙන ඇති බව හෙළි විය. ඊට දැන් කාටර්ද එක් වී සිටියි.
“මට නෙස්ටා සමඟ කිසිම ගැටළුවක් නැහැ. මගේ පදක්කමක් නැවත භාර දීමට සිදුවීම අමාරු දෙයක්. මම මේ පිළිබඳ කිසිම කෙනකුට කිසිම දෙයකට අවමන් කරන්නේ නැහැ. නෙස්ටා සහ මම තවමත් මිතුරන්. අපි උසස් පාසලේ සිට එකටම ජාත්‍යන්තරය දක්වා පැමිණියා.” බෝල්ට් මේ සිදුවීම ගැන එසේ අදහස් දැක්වීය.
මේ අතර ජැමෙයිකානු ඔලිම්පික් සංගමය මෙම තීරණයට එරෙහිව අභියාචනයක් කිරීමට බොහෝ දුරට ඉඩ ඇතැයි වාර්තා වේ. එමෙන්ම කාටර්ගේ නීතිඥයා අදහස් දක්වමින් පුද්ගලිකවම කාටර් විසින් ද අභියාචනයක් ඉදිරිපත් කරන බවයි. සමහර විට මේ සඳහා බෝල්ට් මුදලින් ආධාර කිරීමටත් බලාපොරොත්තු වන බව තවදුරටත් වාර්තා විය.
31 හැවිරිදි කාටර් 2011, 13 සහ 15 වසරවලදී ලෝක ශූරතා රන් පදක්කම් හිමිකරගත් ජැමෙයිකානු සහාය කණ්ඩායම්වලත් සාමාජිකයෙකි.
ජැමෙයිකානුවන්ගේ 2008 ඔලිම්පික් ජයග්‍රහණය අවලංගු වීම නිසා එහි ප්‍රතිඵලයත් වෙනස් විය. ඒ අනුව පිරිමි මිටර් 100 ය 4 සහාය තරගයේ රන් පදක්කම ට්‍රිනිඩෑඩ් සහ ටොබෑගෝ දූපත්වලටයි. රිදී පදක්කම ජපානයටයි. ලෝකඩ පදක්කම බ්‍රසීලයටයි.