NGK තරගාවලිය ඉලක්ක කරගත් - අෂාන් සිල්වා | සිළුමිණ

NGK තරගාවලිය ඉලක්ක කරගත් - අෂාන් සිල්වා

 NGK මෝටර් රථ ශූරතාවලිය තම ක්‍රීඩා දිවියේ සුවිශේෂී ඉලක්කයක් බව ලාංකේය මෝටර් රථ ධාවන පථයේ ප්‍රවීණයකු වන අෂාන් සිල්වා පවසයි.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායිහි පැවැති අන්තර් ජාතික මෝටර් රථ ධාවන තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් තරග කළ අෂාන් පැවැති තරගවලදී අනතුරු කිහිපයකට මුහුණදීමට තම කණ්ඩායමට සිදුවූ බැවින් යම් පසුබෑමකට ලක්වුවද එකී බාධක මැඬගෙන ඉදිරි තරගාවලි සාර්ථක කර ගන්නා බවද පවසයි.
පැය විසිහතරක රේස් එකේ, සුදුසුකම් ලැබීමේ තරගාවලියේ අපි ඉදිරියෙන් හිටියා. පැය 11 ක් අපි ප්‍රථම ස්ථානය හිමිකර ගත්තත්, ජපානයේ ධාවකයා තරගය අතරතුර අනතුරකට ලක්වුණා. ඒකෙන් තමයි අපි පසුබෑමකට ලක්වුණේ.
මෙම තරගාවලිය සඳහා මෝටර් රථ 98 ක් ඉදිරිපත් වී ඇති අතර ලොව සුපිරිම ධාවකයන් 400 කට අධික පිරිසක් තරගකර තිබේ.
මගේ ටීම් එකට ජපානයේ මෝටර් රථ ධාවකයන් තුන් දෙනෙක් සහ ජර්මන් ධාවකයෙක් ඇතුළත් වුණා. කිලෝ මීටර් 5.39 ක ධාවන පථයකින් සමන්විත තරගාවලිය පැය 24 සම්පූර්ණ වන විට කිලෝ මිටර් හයසියයක් විතර වෙනවා. අනතුරු සිදුවුණාම අපි ඉන්න ස්ථාන එහාට මෙහාට වෙනවා.
සමස්ත තරගයම අලුත්ම අත්දැකීමක් බව පවසන අෂාන්,
මේ පැය 24 තරගයේ මුළු කාලයම ධාවනය කිරීමෙන් පස්සේ තමයි ජයග්‍රාහකයා තෝරා ගත්තේ. මේ තරගයේ පළමුවැනි වටය, දෙවැනිවටය දිනුවා කියලා වැඩක් නෑ. මේ පැය විසි හතර පුරාම අපි මොන තරම් කැපවීමකින් තරගය එක්ක ඉන්නවද කියන එක තමයි වැදගත්.
විදේශ මෝටර් රථ ධාවන පථ ඉතාමත් නවීන ආකාරයෙන් තරග සඳහා සකසා ඇති බවද අෂාන් පවසයි.
මේ තරග සංවිධානය පවා ඉහළම මට්ටමින් තියෙනවා. ධාවන පථ පවා සුපිරිම තත්වයේ ඒවා. හොඳම විදේශ තරගකරුවන් තමයි මේ තරගාවලියට එක් වෙන්නේ.
පසුගිය සැප්තැම්බර් මාසයේ ආරම්භ වූ මෙම තරගාවලිය අදියර කිහිපයක් යටතේ පැවැත්වෙන අතර අප්‍රේල් මාසයේ සමස්ත තරගාවලිය නිමාවට පත්වේ.
මේ සමස්ත තරගාවලියේ ජයග්‍රාහකයන්ට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සහ මැද පෙරදිග රටවල පැවැත්වෙන තවත් තරගාවලි රැසකට එක්වීමට හැකියාව ලැබෙන බව අෂාන් වැඩිදුරටත් පවසයි.

 

Comments