
කාන්තා ටෙනිස් සංගමයට (ඩබ්. ටී. ඒ.) අදාළව 2017 වසරේ පැවැති ප්‍රථම තරගාවලිය වූයේ බ්‍රිස්බේන් ජාත්‍යන්තර තරගාවලියයි. එය ජනවාරි මස පළමුවැනිදා සිට අට දක්වා පැවැත්වූයේ ඔස්ට්‍රේලියාවේ බ්‍රිස්බේන් නුවරදීය. නව වැනි වරටත් පවත්වන ලද මෙවර තරගාවලියේ කේවල (තනි) ශූරතාව හිමිකර ගත්තේ චෙක් ජනරජයේ කැරොලිනා ප්ලිස්කෝවා විසිනි. 24 හැවිරිදි කැරොලිනා අවසන් තරගයේදී ප්‍රංශයේ ඇලිස් කෝර්නේ පරාජය කළාය.
ඉහත ජයග්‍රහණය නිසා කැරොලිනාට හිමිවූ ත්‍යාග මුදල අමෙරිකානු ඩොලර් 191,418 කි. මෙය ඇය හිමිකරගත් හත් වැනි ඩබ්. ටී. ඒ. කේවල ශූරතාවයයි. මීට අමතරව ඩබ්. ටී. ඒ. කේවල අනුශූරතා 10 කුත් ඇයට හිමිය. වත්මන් ශ්‍රේණිගත කිරීමට අනුව ඇය ලොව අංක 05 ක්‍රීඩිකාවයි.
කැරොලිනා ප්ලිස්කෝවා 1992 වසරේ මාර්තු මස 21 වැනිදා උපත ලැබුවේ චෙකොස්ලොවේකියාවේ ලොව්නි නුවරය. ඇගේ මවුපියන් වූයේ රාඩෙක් ප්ලිසෙක් සහ මාර්ටිනා ප්ලිස්කෝවාය. ඇයට නිවුන් සොහොයුරියක් සිටින්නීය. ඒ ක්‍රිස්ටිනාය. ඇයත් ටෙනිස් ක්‍රීඩිකාවකි. ක්‍රිස්ටිනා විනාඩි දෙකකින් වැඩිමහල්ය. මෙම සොහොයුරියන්ගේ පෙනුම එක සමානය.
ඔවුන්ව වෙන්කර හඳුනාගැනීමට හේතු දෙකක් තිබේ. ඒ ක්‍රීඩා කරන ආකාරය සහ උස අනුවය. කැරොලිනා දකුණත් ක්‍රීඩිකාවකි. ක්‍රිස්ටිනා වමතිනි. කැරොලිනා අඩි 6 අඟල් 1 ක් උසැතිය. ක්‍රිස්ටිනාගේ උස අඩි 6 කි. ක්‍රිස්ටිනා

දැනට එක් ඩබ්. ටී. ඒ. කේවල ශූරතාවක් හිමිකර ගෙන තිබේ. එමෙන්ම වත්මන් ශ්‍රේණිගත කිරීම්වලට අනුව ඇය ලොව අංක 58 ක්‍රීඩිකාවයි.
කැරොලිනා සහ ක්‍රිස්ටිනා සොහොයුරියන් යුගල තරගවලට සහභාගි වෙති. ඔවුන් 2010 වසරේ විම්බල්ඩන් බාලිකා යුගල ශුරියන්ය. 2013 වසරේදී ඔවුන් නව වාර්තාවක් පිහිටුවූහ. ඒ ඩබ්. ටී. ඒ. යුගල ශූරියන් වූ ප්‍රථම නිවුන් සොහොයුරියන් වෙමිනි.
කැරොලිනා ප්ලිස්කෝවා පොලිනීසියානු විලාසයට අනුව පච්ච ද්විත්වයකින් සිය ගත සරසාගෙන තිබේ. මින් එකක් ඇගේ වම් කලවයේය. අනෙක ඇගේ වම් අතේ පිටතය. මේ ආකාරයටම ඇගේ මවුපියන් සහ සොහොයුරිය
ත් පච්ච විලාසිතාවන්ට යොමු වී තිබීම විශේෂත්වයකි.
කැරොලිනා ටෙනිස් ක්‍රීඩාවට යොමු වුයේ වයස අවුරුදු හතරේ සිටය. ඇය නියෝජනය කරන්නේ ස්පාර්ටා ප්රාග් ටෙනිස් සමාජයයි. ඇය මාළු බෑමටත් කැමැත්තක් දක්වන්නීය. සංගීතයට සවන් දීමත් චිත්‍රපටි නැරැඹීමත් ඇගේ විනෝදාංශ වේ. ඇගේ ප්‍රියතම චිත්‍රපටි වනුයේ රොකී සහ පබ්ලික් එනමීස්ය.
2010 ඔස්ට්‍රේලියානු විවෘත බාලකා කේවල ශූරිය වූයේත් කැරොලිනාය. ඩබ්. ටී. ඒ. ශූරතාවලට අමතරව අන්තර්ජාතික ටෙනිස් සම්මේලන ශූරතා දහයකුත් ඇයට හිමිය.
කෙසේ වෙතත් තවමත් ප්‍රධානතම ග්‍රෑන්ඩ් ස්ලෑම් කේවල ශූරතාවක් හිමිකර ගැනීමට ඇයට හැකි වූයේ නැත. නමුත් ඊට අවැසි හැකියාව තමන් සතු බව ඇය ඔප්පු කර අවසන්ය. ඒ 2016 වසරේ අමෙරිකානු විවෘත කේවල අනුශූරිය
වීමෙනි.
එහිදී ඇය සුපිරි විලියම්ස් සොහොයුරියන්ව පරාජය කළාය. ඒ අනුව වීනස් සිවුවැනි වටයේදීත් සෙරිනා අවසන් පූර්ව වටයේදීත්ය. ග්‍රෑන්ඩ් ස්ලෑම් කේවල එකම තරගාවලියකදී විලියම්ස් සොහොයුරියන්ව පරාජය කළ සිවුවැනි ක්‍රීඩිකාව බවටත් ඒ අනුව කැරොලිනා පත්වූවාය.
කැරොලිනාට පෙර මෙම දුලභ දස්කම කරනු ලැබුවේ ස්විස්ටර්ලන්තයේ මාටිනා හිංගිස් (2001 ඔස්ට්‍රේලියානු විවෘත), බෙල්ජියමේ ජස්ටින් එනාන් (2007 අමෙරිකානු විවෘත) සහ එරටේම කිම් ක්ලයිස්ටර්ස් (2009 අමෙරිකානු විවෘත) විසිනි.
 
 









