පුහුණුවන්නට පිටියක් නැතත් ජනපති පාපන්දු කිරුළ අල් හුසෙයිනිට | සිළුමිණ

පුහුණුවන්නට පිටියක් නැතත් ජනපති පාපන්දු කිරුළ අල් හුසෙයිනිට

ජාතික පාපන්දු කණ්ඩායමට තරුණ ජවය තේමා පාඨය කරගත් ආරාධිත පාසල් ජනාධිපති කුසලාන පාපන්දු තරගාවලිය අඛණ්ඩව සිවුවැනි වරටත් ජය ගැනීමට හමීඩ් අල් හුසෙයිනි විද්‍යාලය සමත්විය. අවසන් මහා තරගය තුරඟ තරග පිටියේ පැවැති අතර ප්‍රධාන ආරාධිතයා වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් ජය සංකේත ප්‍රදානය සිදුවිය.

හමීඩ් අල් හුසෙයිනි විද්‍යාලයේ 80 වැනි කණ්ඩායම දහවැනිවරටත් මෙම තරගාවලිය සංවිධානය කළ අතර, තරගාවලිය සඳහා පාසල් විස්සක් නියෝජනය කරමින් කණ්ඩායම් ඉදිරිපත් විය.
අවසන් මහා තරගය සඳහා අඛණ්ඩව සිවුවැනි වරටත් හමීඩ් අල් හුසෙයිනි කණ්ඩායම සුදුසුකම් ලබා ගනිද්දී, මීගමුව මාරිස්ස්ටෙල්ලා කණ්ඩායම හාපුරා කියා මෙවර අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගත්තේය. තියුණු මුහුණුවරක් ගත් අවසන් මහා තරගයේ නියමිත කාලයේ දෙපිලටම ගෝල් ලබා ගැනීමට නොහැකි වූ අතර නිදහස් පහරින් තරගයේ ප්‍රතිඵල තීරණය විය. එහිදී 5 - 4 ක් ලෙස නිදහස් පහර සාර්ථක කරගැනීමත් සමඟම අඛණ්ඩව සිවුවැනි වරටත් ජනාධිපති ආරාධිත පාසල් පාපන්දු ශූරයන් වීමට හමීඩ් අල් හුසෙයිනි විද්‍යාලය සමත් විය.
පසුගිය තෙවතාවේදී පිළිවෙළින් ලුම්බිණි විද්‍යාලය, කොටහේන ශාන්ත බෙනඩික්ට් විද්‍යාලය සහ කළුතර මහා විද්‍යාලය අවසන් මහා තරගවලට සුදුසුකම් ලබා ගත්හ. මෙවර තරගාවලියේ නැඟී එන කණ්ඩායම ලෙස පුත්තලම සහිරා විද්‍යාලය තරගාවලියට එක් වූ අතර එහිදී සුවිශේෂී දක්ෂතා දැක්වූ ඔවුන් අවසන් පූර්ව තරගය සඳහා සුදුසුකම් ලබා ගැනීම විශේෂ සිද්ධියක් විය. අවසන් පූර්ව තරගයේදී සහිරා විද්‍යාලය පරාජයට පත්වූයේ අඛණ්ඩව සිවුවැනි වරටත් ශූරයන් වූ හමීඩ් අල් හුසෙයිනි විද්‍යාලය වෙතින්ය.
මෙවර පළමුවතාවට අවසන් මහා තරගයට එක්වූ මීගමුව මාරිස්ස්ටෙල්ලා විද්‍යාලය අවසන් පූර්ව තරගයේදී කඳාන ද මැසිනද් විද්‍යාලය පරාජය කරමින් අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගත්තේය.
හමිඩ් අල් හුසෙයිනි විද්‍යාලයේ මොහොමඩ් රිෂාන් දක්ෂතම ක්‍රීඩකයා සම්මානය දිනාගත් අතර, ඔවුන් මීට පෙර දෙවතාවක් අනුශූරතාවන් සහ එක් වතාවක් තෙවැනි ස්ථානය දිනා ගෙන තිබේ.

අපේ ඉස්කෝලේ ප්‍රධාන ක්‍රීඩාව පාපන්දු වුණට, ග්‍රවුන්ඩ් එකක්වත් නැතුව තමයි මේ හැම ජයග්‍රහණයක් එක්ක ඉදිරියට යන්නේ. මේ අපි සැලැස්මක් ඇතුව යන ගමනක ප්‍රතිඵල බවයි, හමීඩ් අල් හුසෙයිනි විද්‍යාලයේ පාපන්දු පුහුණුකරු මොහොමඩ් ඉම්රාන් ප්‍රකාශ කරන්නේ.
ගිය අවුරුද්දේ වයස අවුරුදු 19 න් සහ 17 න් සමස්ත ලංකා පාසල් ශූරයන් සහ අනුශූරයන් වුණේ අපේ ඉස්කෝලේ.
මේ වයස් කාණ්ඩ දෙකේ එකතුවෙන් අපි ශ්‍රී ලංකා පාසල් පාපන්දු සංගමය සංවිධානය කළ තරගාවලියන් ජය ගන්න පුළුවන් වුණා. ඊට අමතරව ගෙවී ගිය අවුරුද්දේ කොළඹ දිස්ත්‍රික්ක වයස අවුරුදු 15 - 17 - 19 න් පහළ ශූරයන් වුණා.
මේ අතර පසුගියදා මලයාසියාවේ සංචාරයකට තම විද්‍යාලයේ ක්‍රීඩකයන් දෙදෙනකුද එක්වූ බව ඉම්රාන් පවසයි.
මෙකී තරගාවලියට එක්වන විට විශාල බලාපොරොත්තුවක් තමන්ට මෙන්ම කණ්ඩායමට ද තිබූ බව ඉම්රාන් පවසයි.
මේ 1982 ට පස්සේ ජනාධිපති කුසලානය නමින් පාසල් පාපන්දු තරගාවලියක් පැවැත්වූ පළමුවැනි වතාව. ජනාධිපතිවරයෙක් මේ වගේ පාපන්දු තරගාවලියකට එක් වූ පළමුවැනි වතාවත් මේක. මේ තරගාවලියේ ජයග්‍රාහකයන්ට විශාල කුසලනයක් පිරිනමනවා. මේ හැම දෙයක්ම ඔලුවේ තියාගෙන තමයි අපි මේ තරගාවලියට එකතුවුණේ.
කණ්ඩායම් හැඟීමෙන් ක්‍රීඩා කිරීම තම ජයග්‍රහණයට ප්‍රධාන හේතුව බවද හෙතෙම පවසයි.
අපි මේ තරගාවලියේ හැම තරගයක්ම හොඳට කරලා තමයි ඉදිරියට ආවේ. මේ තරගාවලියේ පළමු වැනි තරගය ශාන්ත බෙනඩික්ට් තරගය 2 - 1 ක් විදියට දිනුවේ. ඒක තියුණුම තරගය වුණා. නාලන්දා තරගයත් ඒ වගේමයි. සමස්තයක් විදියට අපි හොඳට ක්‍රීඩා කළ නිසා ජය ගන්න පුළුවන් වුණා. අපිට ආදි ශිෂ්‍යයෝ තමයි සපත්තු දෙකේ ඉඳලාම හැම දෙයකින් උදව් උපකාර කරන්නේ යැයි මොහොමඩ් ඉම්රාන් වැඩිදුරටත් පැවැසීය.

 

Comments