
ශ්‍රී ලංකා කණ්ඩායම දකුණු අප්‍රිකාවේ ක්‍රිකට් තරගාවලියට එක්වූයේ අධි තක්සේරුවකින් බව නොරහසකි. ඒ ඔස්ට්‍රේලියානු ටෙස්ට් තරගාවලිය 3 - 0 කින් සහ සිම්බාබ්වේ ටෙස්ට් තරගාවලිය 2 - 0 ක් ලෙස ජය ගැනීමෙන් අනතුරුවය.
ක්‍රිකට් ක්‍රීඩාවේ ඉහළට යාමට නම්, ජයග්‍රහණ ලබා ගැනීමට නම්, ක්‍රිකට් ක්‍රීඩාවේ අංශ තුනෙන්ම ඉහළ දක්ෂතා දැක්විය යුතුය. අද ලොව පුරා පවතින තරගකාරී ක්‍රිකට් ක්‍රීඩාව තුළ සුරතල්වීමට අවස්ථාවක් නැත. ක්‍රීඩාව වෘත්තීය මට්ටමින් උපරිම තැනක තිබෙන අතර, එහිදී කිසිවකුට කිසිම විටක නිදහසට කරුණු කීමට ද නොහැකිය.
දකුණු අප්‍රිකානු ටෙස්ට් තරගාවලිය 3 - 0 ක් ලෙස පරාජය වුවද, සියල්ල එතැනින් අහවර නොවන බව සිහි තබා ගෙන නැඟී සිටීමට වෙරදැරිය යුතුය. එමෙන්ම කිසිම ක්‍රීඩකයකුට කණ්ඩායමේ ස්ථිර ස්ථාන වෙන් කළයුතුද නොවේ. පරාජය වීමට බිය නම් කිසි දිනක ජයග්‍රහණයක් අත්පත් කරගත හැකි නොවේ. ශ්‍රී ලංකා ක්‍රිකට් මෙතැනින් නතර නොවන බවද සිත්හි තබා ගෙන කටයුතු කළ යුතුය.
අප මේ සියලු දේ කරන්නේ 2019 ක්‍රිකට් ලෝක කුසලානය ඉලක්ක කරගත් වැඩපිළිවෙළක් ඉදිරියේ තබා ගෙන නම් මෙතරම් ඉක්මනින් කලබල විය යුතු නොවේ. නායකත්වය සෑම විටෙකම කටු ඔටුන්නක් බව සැබෑය. මැතිව්ස්ට එය තවදුරටත් දැරීමට අපහසු නම් එය ගලවා පැත්තකින් තැබීමට බලධාරින් ඉක්මන් නොවිය යුතුය. මන්දයත් විකල්පයක් නැති නිසාය. මැතිව්ස් පවා නායකයකු ලෙස මෙතරම් පීඩනයකට ලක්වූයේ පිටියේ තරග කළ ඉතිරි දහදෙනාගේ සේවය නිසි පරිදි නොලැබීම නිසාය.
ශ්‍රී ලංකා කණ්ඩායම සිම්බාබ්වේ තරගාවලියට පෙර ජය ගත් ඔස්ට්‍රේලියානු තරගාවලියේ ඉනිම් හයේදි බිඳ වැටුණු ඔස්ට්‍රේලියානු කඩුලු 60 න් 43 ක්ම හිමිකර ගත්තේ රංගන හේරත් සහ ඩිල්රුවන් පෙරේරායි. මෙහිදී අමතක කළ යුතු නොවන ප්‍රධානම සාධක වන්නේ ශ්‍රී ලංකාවේ බිඳ වැටුණු කඩුලු 50 න් 24 ක්ම මිචෙල් ස්ටාර්ක් හිමිකර ගැනීමයි.
මේ සාධක මතකයේ තබාගෙන දකුණු අපි‍්‍රකානු සංචාරයට එක්වූයේ නම් අඩුමතරමේ පරාජයේ අමිහිර මීට වඩා අවම කරගැනීමට ඉඩ තිබුණි.










