
තායි බොක්සිං තායිලන්තයේ ජාතික ක්‍රීඩාව මෙන්ම එරටේ සංස්කෘතික ආත්මාරක්ෂක සටන් කලාවද වේ. එය මීට සියවස් කිහිපයකට පෙර බිහි විය. එහි ඇති විශේෂත්වය අදාළ තරගකරුවන් සම්පූර්ණ සිරුරම අවියක් ලෙසට යොදා ගැනීමයි.
මෙම තායි බොක්සිං ක්‍රීඩාව දැන් ශ්‍රී ලංකාව තුළද පැතිර යමින් පවතියි. එහි ජනප්‍රියතාවය මෙරටේදී තව තවත් වැඩිවීමට නිසැකවම ඉවහල් වන ඉතා සුවිශේෂී ජයග්‍රහණයක් අත්කර ගැනීමට පසුගියදා ශ්‍රී ලංකාවේ ක්‍රීඩකයෙක් සමත් වූයේය. ඒ 29 හැවිරිදි කුමුදු ප්‍රසන්නය.
හොරණ ප්‍රදේශයෙන් ක්‍රීඩාවට යොමු වු ප්‍රසන්න වෘත්තීයමය තායි බොක්සිං ක්‍රීඩකයෙකි. ප්‍රසන්න පසුගියදා තායිලන්තයේ බැංකොක් නුවරදී පැවැති එම්. එක්ස්. තායි බොක්සිං එක්ස්ට්‍රීම් තරගාවලියේ දී මෙම සුවිශේෂී ජයග්‍රහණය අත්කර ගැනීමට සමත් විය. එම තරගාවලියට රටවල් අටක් නියෝජනය කරමින් තරගකරුවන් සහභාගි වූහ.
"ශ්‍රී ලංකාව නියෝජනය කරමින් උසස්ම මට්ටමින් ජාත්‍යන්තර තායි බොක්සිං තරගාවලියකට සහභාගි වෙමින් අපේ රටට කීර්තියක් ගෙන ඒමට හැකිවීම ගැන මම ආඩම්බර වෙනවා. ඒ වගේම එම ක්‍රීඩාවේ මහගෙදරදී මෙම ජයග්‍රහණය ලබා ගැනීමට හැකිවීම විශේෂත්වයක්.

මේ අසීරු ගමනේදී මට නිසි මග පෙන්වූ මගේ ගුරුවරුන්ටත් ස්තූතිවන්ත වෙනවා. මම ඉදිරියේදී තව තවත් ලොව පුරා පැවැත්වෙන ජාත්‍යන්තර තරගාවලියන්ට අනිවාර්යෙන්ම සහභාගි වෙනවා. ඒ වගේම අනෙක් ශ්‍රී ලංකා තරගකරුවන්ටත් මෙවැනි ජාත්‍යන්තර තරගාවලියන්ට සහභාගි වන ලෙසට දිරිමත් කරන්න මම කැමතියි." සිය සුවිශේෂී ජයග්‍රහණයෙන් අනතුරුව ප්‍රසන්න පැවසීය.
එම තායිලන්ත තරගාවලියට පෙර ප්‍රසන්න තරග (සටන්) 10 කදී ජයග්‍රහණ නවයක්ම හිමිකර ගෙන තිබුණි. එහිදී ඔහු පරාජය ලබා තිබුණේ තරගයක් පමණි. ඉහත ජයග්‍රහණයට පෙර ප්‍රසන්න 2016 වසරේදී තායිලන්තයේම පැවැති තවත් තරගාවලියකදී කිලෝ ග්‍රෑම් 61 බර පංතියේ තායි බොක්සිං ශූරතාව හිමිකර ගැනීමට සමත් වී තිබුණි.
එම්. එක්ස්. තායි බොක්සිං එක්ස්ට්‍රීම් තරගාවලියට අයත් මුළු තරග (සටන්) ගණන 07 කි. ඊට වෘත්තීයමය තරගකරුවන් 14 ක් සම්බන්ධය. එමෙන්ම එම තරගාවලිය රූපවාහිනි චැනලයකින් ජාත්‍යන්තරව සජීවීව විකාශය කරනු ලැබීය.
එම තරගාවලියට සභාගිවීම සඳහා ප්‍රසන්නට අවශ්‍ය පහසුකම් සපයා දී තිබෙන්නේ ශ්‍රී ලංකාවේ තායි බොක්සිං සංගමය විසිනි. එම සංගමයේ ජාත්‍යන්තර සම්බන්ධීකාරක සහ අධ්‍යක්ෂ මිරාන් නිලංග සහ ප්‍රධාන උපදේශක අසෝක ජයරත්න ඉදිරියේදී මෙම තායි බොක්සිං ක්‍රීඩාව තවදුරටත් මෙරටේ ජනප්‍රිය කිරීමට බලාපොරොත්තු වෙති.










