වොලිබෝලයෙන් ප්‍රසාදය දිනාගත් දිනේෂා ප්‍රසාදිනී | සිළුමිණ

වොලිබෝලයෙන් ප්‍රසාදය දිනාගත් දිනේෂා ප්‍රසාදිනී

හයවැනිවරටත් කොස්වාඩිය විජය කණ්ඩායම ජනාධිපති රන් කුසලාන වොලිබෝල් තරගාවලියේ දිනේෂා ප්‍රසාදිනිනීගේ නායකත්වය යටතේ රනින් බැබළෙන විට, ඈ දක්ෂතම ක්‍රීඩිකාව ද වූවාය.

රනින් බැබලීම

පහුගිය පස්වතාවේදීම රන් කුසලානය දිනුව අපට මේපාරත් රන් කුසලානය දිනා ගැනීමේ ලොකු වුවමනාවක් තිබුණා. ඒ වෙනුවෙන් අපි ටීම් එකක් විදියට උපරිමයෙන් ම ක්‍රීඩා කළා. ටීම් එකෙනුත් ඒ සඳහා උපරිම සහයෝගය ලැබුණා.

ශුරියන් තේරීමේ වටයේදී අපි මාස් කැෂුවලයින් අතින් පරාජය වුණත් අවසන් තරගයේදී අපි කණ්ඩායමක් විදියට ක්‍රීඩා කරලා ඉලක්කයට ගියා.

නායිකාව විදියට විජය ක්‍රීඩා සමාජය වෙනුවෙන් උපරිම දේ කළා කියලා සතුටු වෙන්න පුළුවන්.

විජය කටුපොත

මගේ ගම කොස්වාඩිය නෙවෙයි විජයකටුපොතයි. කොස්වාඩියේ පදිංචිය. අපේ ගමේ වොලිබෝල් ටීම් එකක් නෑ. මේ තරගාවලිය ග්‍රාමසේවා මට්ටමින් පටන් අරගෙන ජාතික තලයෙන් ඉවර වෙන්නේ.

ගෙවල් විජයකටුපොත වුණාට ග්‍රාමසේවා මට්ටමින් ම කොස්වාඩියේ පදිංචිය. කොස්වාඩිය විජය ක්‍රීඩා සමාජයෙන් මේ තරගාවලියට ඉදිරිපත් වුණා.

ඔබ

සරල විදියට ජීවත්වන කෙනෙක්. 1987 නොවැම්බර් 11 දා උපන් දිනය. මම සාමාන්‍ය විදියට පොළොවේ පයගහලා ජීවත්වෙන චාම් දිවිපෙවෙතක් ගෙවන කෙනෙක්.

පවුලේ

අම්මයි - අක්කයි - අයියයි.

තාත්තා

1998 දී තාත්තා අසනීපයකින් හදිසියේ නැතිවුණා. එතකොට මට අවුරුදු එකොළහක් විතර ඇති. අම්මා තමයි එතැන ඉඳලා අපේ ජීවිත උස් මහත් කළේ. අම්මා අවුරුදු ගණනාවක් විදේශගතවෙලා රැකියාවක් කළා.

හැදුණේ- වැඩුණේ

අත්තම්මා ළඟ. පවුලේ කිසිම කෙනෙක් ක්‍රීඩාවට සම්බන්ධ නෑ. ඒ වගේම ක්‍රීඩාව සම්බන්ධයෙන් කිසිම දෙයක් නොදන්න පවුලක්. අදටත් ඔවුන්ට වොලිබෝල් ක්‍රීඩාව ගැන මහා දැනුමක් නෑ. ඊඍ එකේ පෙන්නුවොත් බලනවා. සතුටු වෙනවා. හැබැයි එතැනින් එහාට මේ ගැන විශේෂ දැනුමක් නෑ.

පවුලේ අය

මම වගේම තමයි සරල විදියට ජීවත්වෙනවා. කාටවත් කරදරයක් නැතුව තමන්ගේ දේවල් කරගෙන ඉන්නවා.

කැමැති දේ

නිදහසේ ඉන්න. කාගේ එක්කවත් වැඩි කතාබහට කැමතිත් නෑ. සිංදුවක් අහගෙන ඉන්න තමයි වැඩියෙන්ම කැමති.

අකැමැති

මගේ නිදහසට බාධා කරන අයට කැමති නෑ.

ඉස්කෝලේ

ඉස්සෙල්ලාම ගියේ විජයකටුපොත මහා විද්‍යාලයට. ඊට පස්සේ ක්‍රීඩා ශිෂ්‍යත්වයක් හම්බවෙලා මාදම්පේ සේනානායක විද්‍යාලයට ආවා. එතැනින් තමයි මගේ වොලිබෝල් ජීවිතය පටන් ගත්තේ.

අද මම වොලිබෝල් ක්‍රීඩවෙන් මෙතැන ඉන්නේ චාල්ස් තිලකරත්න සර්ගේ මඟ පෙන්වීම නිසයි.

මාදම්පෙ ගමන

2000 දී තමයි මට ක්‍රීඩා ශිෂ්‍යත්වය හම්බවුණේ. 2004 ජාතික කනිෂ්ට වොලිබෝල් කණ්ඩායමට එකතු වුණා. ඒ අවුරුද්දේ ම ජාතික කණ්ඩායමටත් එකතු වෙන්න පුළුවන් වුණා. අදටත් ජාතික කණ්ඩායම නියෝජනය කරනවා. නායකත්වය පවා දරනවා.

වොලිබෝලය අහඹුවක්

විජයකටුපොත විද්‍යාලයේ ඉගෙන ගන්න කාලයෙන් මට ක්‍රීඩාව ගැන අවබෝධයක් තිබුණේ නෑ. මාලිකා ගුරු මෑණියන්ගේ මඟ පෙන්වීම යටතේ උස පැනීම, දුර දිවීම් වගේ ඉසව් කිහිපයකට සම්බන්ධ වෙලා හිටියා. ඒකේ ප්‍රතිඵලයක් විදියට තමයි ක්‍රීඩා ශිෂ්‍යත්වය හම්බ වුණේ.

මාදම්පේ ඇවිල්ලත් උස පැනීමේ ඉසව්ව තමයි තෝර ගත්තේ. මගේ උස පැනීමේ දක්ෂතාව දැකලායි චාලි සර් මට වොලිබෝල් ගහන්න කතා කළේ. මම සර් ළඟට යනකොට හරියට පන්දුවක් පිරිනැමීමවත් දැනගෙන හිටියේ නෑ.

දක්ෂතම ක්‍රීඩිකාව

මෙවරත් මම ජනාධිපති රන් කුසලාන වොලිබෝල් තරගාවලියේ දක්ෂතම ක්‍රීඩිකාව වුණා. ඊට කලින් දක්ෂතම ක්‍රීඩිකාව, දක්ෂතම ප්‍රහාරිකාව විදියට සම්මාන දිනා ගෙන තියෙනවා.

මලල ක්‍රීඩා අතහැරීම

උස පැනීම - දිවීම්වගේ තරගවලට ගියාට දැනුමක් තේරුමක් ඇතුව කළ දේවල් නෙවෙයි. මේ හැම දෙයක්ම කළේ ආසාවට මිසක් මහා ප්ලෑන් තියාගෙන නෙවෙයි. ඒ නිසා ඒවා මඟ හැරුණා කියලා දුකක් කනගාටුවක් නෑ. වොලිබෝල් ක්‍රීඩාවෙන් ආපු දුර ගැන සතුටුයි.

ක්‍රීඩා නොකළා නම්

අධ්‍යාපනය පැත්තෙන් ඉදිරියට ගිහින් ක්‍රීඩා ගුරුවරියක් වෙන්න තිබුණා.

පරමාදර්ශි චරිතය

අම්මා. අම්මගේ ධෛර්ය, කැපවීම, කිසිම දෙයක් ඉදිරියේ නැමෙන්නේ නැති ගතිය. මේ ගුණාංගම තමයි මටත් පිහිටලා තියෙන්නේ කියලා හිතනවා.

වීරයෙක්

මගේ ක්‍රීඩා ජීවිතය පැත්තෙන් ගත්තොත් මාව මට වීරයෙක් වගේ දැනුණු අවස්ථා තිබෙනවා. 2013 ජනාධිපති රන් කුසලාන වොලිබෝල් තරගාවලියේ මාස පහක් විතර කකුලේ ආබාධයක් නිසා ප්‍රැක්ටිස්වත් කරන්න බැරුව ඉඳලා අවසන් තරගයට ක්‍රීඩා කළේ. ඒ තරගයේ දක්ෂතම ක්‍රීඩිකාව වෙන්න පුළුවන් වුණා.

ගුවන් හමුදාව

මුලින් වැඩ කළේ දුම්රිය දෙපාර්තමේන්තුවේ. ඇමැතිවරුන් මාරුවෙනවත් එක්කම දුම්රිය දෙපාර්තමේන්තු වොලිබෝල් කණ්ඩායම විසිරෙනවා.

ඒ එක්කම වගේ ගුවන් හමුදාවේ කොස්තා සර් කතා කරන්නේ. දුම්රිය දෙපාර්තමේන්තුවේ රැකියාව නැති වුණාට පස්සේ ගුවන් හමුදාවට සම්බන්ධ වුණා. ගුවන් හමුදාවේ පහළම නිලයේ ඉඳලා ඉහළ නිලය දක්වා සියලු දෙනාගෙන් උපරිම සහාය ලැබෙනවා.

යහළු යෙහෙළියෝ

පරණ යහළු යෙහෙළියෝ නිතරම කියන දෙයක් තමයි අපි එදා හිටපු තැනත් අද ඉන්න තැනත් ගැන හුඟක් සතුටු වෙනවා කියලා. ආඩම්බර වෙනවා කියලා. ඒ අය කියන්නෙත් මගේ උත්සහය උනන්දුව සහ කැපවීම නිසා අද මේ තරම් දුර ඇවිත් ඉන්නවා කියලයි.

අමතක නොවන

ඉස්කෝලේ යන කාලේ චාලි සර්ගෙන් හොඳට ගුටිකාපු සිද්ධියක්. වෙසක් පොහොයකට ප්‍රැක්ටිස් කරන්නේ නැතුව ගෙදර ගිහින් කට්ටියම පෝලිමට තියලා හොඳට ගැහුවා.

අනාගතය

වොලිබෝල් ක්‍රීඩාවෙන් ඉහළම දක්ෂතා දක්වමින් රටට කීර්තියක් අත්කරදීම තමයි ලොකුම බලාපොරොත්තුව. ඒ වගේම ලස්සන ජීවිතයක් ගත කරන්නත් බලාපොරොත්තුවක් තියෙනවා.

ලස්සන ජීවිතය

ලස්සන පවුල් ජීවිතයක් ගත කරන්න ආසයි. අම්මත් එක්ක ලස්සන ගෙදරක ජීවත් වෙන්න ආසයි. තවම ජීවිතය ගැන මහා සැලසුම් නෑ.

එක බලාපොරොත්තුවයි තිබුණේ. අපි ජීවත් වුණේ කටුමැටි ගහපු පැළක. අද මගේ බලාපොරොත්තුව ඉෂ්ට වෙලා. මම කටුමැටි පැළෙන් එළියට ඇවිත් ලස්සන ගෙදරක ජීවත් වෙනවා.

Comments