ගෙදර තිබුණු නූල්පො­ටක දෙය­ක්වත් අපට ඉතිරි වුණේ නැහැ | සිළුමිණ

ගෙදර තිබුණු නූල්පො­ටක දෙය­ක්වත් අපට ඉතිරි වුණේ නැහැ

 

ජීවිතයට පන්නරය ලැබෙන්නේ අත්දැකීම් තුළිනි. යහපත් සහ අයහපත් මෙන්ම ඇතැම් විට බොහෝ අඳුරු අවාසනාවන්ත සිදුවීම් පවා හදවතට එක්කරන්නේ පෙර නොවූ විරූ දැඩි ආත්ම ශක්තියකි. ඉකුත් මැයි 9 වැනිදා කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී , කෘෂිකර්ම හිටපු රාජ්‍ය ඇමැති ශාන්ත බණ්ඩාර ද මුහුණ පෑවේ එවැනි සිදුවීමකටය.

 

සාමකාමී ජනතා උද්ඝෝෂණයට මුවාවී ප්‍රචණ්ඩත්වය සිය ආයුධය කරගත් කිසියම් පිරිසක් විසින් ඉකුත් මැයි 9 වැනිදා පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාරට අයත් පෞද්ගලික නිවෙස සහ කාර්යාලය ගිනිතබා විනාශ කළහ. එය ඔහුට පමණක් සිදුවූ ඛේදවාචකයක් නොවේ. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ නියෝජනය කළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඇතුළු දේශපාලඥයන් හැත්තෑවකට අධික සංඛ්‍යාවකගේ දේපළවලට ප්‍රචණ්ඩකාරීහු විශාල වශයෙන් හානි සිදුකළහ. ඒ සිදුවීම හේතුවෙන් ඇතැම් දේශපාලඥයෝ සිය දේශපාලන ජීවිතයෙන් සමුගැනීමට පවා තීරණය කළහ. එහෙත් පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර ගේ කතාව ඊට වෙනස් ස්වරූපයක් ගනු ලැබුවේ මැයි 09 වැනිදා මුහුණ දීමට සිදුවූ සිදුවීමත් සමඟය.

“දේශපාලනික වශයෙන් මා තුළ කලකිරීමක් ඇතිවීමට හේතු වුණේ මැයි 9 වැනිදා සිදුවීම නෙවෙයි. ඊට පෙර ඇතිවූ තත්ත්වයක්. එවකට පැවති ආණ්ඩුවට සහයෝගය දැක්වීමට මම ගත් තීරණය ගැන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇතැම් දේශපාලඥයන් මට ප්‍රසිද්ධියේ චෝදනා කළා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවෙන් ඉවත් වී ස්වාධීන වීමට තීරණය කළ අවස්ථාවේ මගේ අදහස වුණේ ආර්ථික අර්බුදයක් තියෙන අවස්ථාවක ආණ්ඩුව දුර්වල කිරීම හොඳ නැහැ, අපි රජයේ කටයුතුවලට සහයෝගය දිය යුතු බවයි. නමුත් බොහෝදෙනා මගේ අදහසට විරුද්ධව විවිධ අසත්‍ය ප්‍රචාර ගෙනගියා. මම කෘෂිකර්ම රාජ්‍ය ඇම­ැතිකම ගත්තේ මුදල් අරගෙන කිව්වා. ඒ අසත්‍ය චෝදනා හේතුවෙන් මම දැඩි කලකිරීමටත් කම්පාවටත් පත්වුණා. ඒ කලකිරීම නිසාම මේ 9 වැනි පාර්ලිමේන්තුවේ ධූර කාලය අවසන් වීමෙන් පසුව මම දේශපාලනයෙන් සමුගන්නයි තීරණය කරලා තිබුණේ. නමුත් මැයි 9 වැනිදා මගේ නිවෙසට සහ කාර්යාලයට ගිනි තැබීමේ සිද්ධියෙන් පස්සේ මම ඒ තීරණය වෙනස් කරගත්තා. ”

පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාරගේ එවදන් පසක් කරන්නේ ඇතැම් විට අඳුරු වලාකුළක පවා රීදි රේඛා දිස්වන බවය. ඊට හේතුව ශාන්ත බණ්ඩාර යනු විවිධ ක්ෂේත්‍රවලින් දස්කම් දැක්වූ වෘත්තිකයකු පමණක් නොව දඹදෙනිය ආසනයට විශාල සේවයක් ඉටු කළ මහජන නියෝජිතයකු වන නිසාය.

“ 2004 දඹදෙනිය ආසනයේ මම සංවිධායක වෙද්දි ඒ ආසනයේ විදුලිබලය තිබුණේ සියයට 60කටත් අඩුවෙන්. විදුලිය සියයට සීයක්ම ලබාදී අවසන් කළා. ඒ ආසනයේ මුලින් එක කාපට් පාරක්වත් තිබුණේ නැහැ. අද බස් ධාවනය වන ප්‍රධාන පාරවල් සියල්ලම කාපට් කරලා තියෙනවා. නිකම්ම නිකම් කඩපිලක් වගේ තිබුණු නාරම්මල නගරය අංගසම්පූර්ණ නගරයක් බවට පත්කළා. ආදාහනාගාරයක් හැදුවා. විශාල ප්‍රදේශයක් ආවරණය කළ අලව්ව ප්‍රාදේශීය සභාව අලව්ව සහ නාරම්මල නමින් ප්‍රාදේශීය සභා දෙකක් බවට පත්කළේ ජනතාවට පහසු සහ කාර්යක්ෂම සේවයක් සැලසීමේ අරමුණින්. ඒ වගේම අලව්ව ප්‍රාදේශීය සභාවට අයිති ඉතාම දුෂ්කර ගම්මාන තිබුණා. කඳු සහිත ඒ ගම්වලට වාහනයක යන්න බෑ. මම මුල් කාලේ ඒ ගම්වලට ගියේ වාහනේ මඟ දාලා මගේ මෝටර් බයිසිකලයෙන්. ඒ පාරවල් සේරම වාහන ගමන් කරන්න පුළුවන් මට්ටමට හැදුවා. ඒ වගේම අලව්වට තිබුණු විශාලම ගැටලුවක් වූ පානීය ජල ප්‍රශ්නය විසඳන්න මම රුපියල් මිලියන 22,000ක පානීය ජල ව්‍යාපෘතියක් ආරම්භ කළා. මේ වෙද්දි ඒ ව්‍යාපෘතිය ක්‍රියාත්මක වෙමින් තිබෙනවා. අලව්ව නගරයේත් සංවර්ධන කටයුතු ආරම්භ කළා. ඒක විතරයි මට කරන්න ඉතිරි වෙලා තිබුණේ.

මැතිවරණ ජයග්‍රහණ කළාට පස්සේ පිරිස එක්ක පෙළපාලි යන එක සාමාන්‍ය දෙයක්. මමත් තරුණයෝ හත්අට දාහක් එක්ක ඒ වගේ පෙළපාලි ගිහින් තියෙනවා. නමුත් ඒ පෙළපාලිවල යන තරුණයන් ඇතුළු පිරිසට මම දෙන එකම අවවාදය කිසිම පොදු දේපළකට ගලක්වත් ගහන්න බැහැ, කිසිම පුද්ගලයකුට පහරදීමක් කරන්න බැහැ කියන එකයි. අපේ පක්ෂයේ අයට වඩා මම විරුද්ධ පක්ෂයේ අයව ආරක්ෂා කළා. ඒ වගේම දේශපාලන පක්ෂ හේද මත කිසිම නිලධාරියෙක් මාරුකරලා නැහැ. කිසිම නීතිවිරෝධී වැඩකට මම සම්බන්ධ වෙලත් නැහැ, මගේ අනුග්‍රාහයෙන් එවැනි දේවල් කරන්න කිසිවකුට සහයෝගය දීලත් නැහැ. එවැනි මහත්මා දේශපාලනයක් දඹදෙනිය ආසනයට හඳුන්වා දීලා වැදගත් විදිහට දේශපාලනයේ නිරත වෙලත් මගේ ගේ ගිනි තිබ්බාම මම විශාල මානසික පීඩාවකට පත්වුණා. නමුත් මම ඒ අභියෝගය භාරගෙන නැවතත් දේශපාලනයට එන්න තීරණය කළා.”

මැයි 9 වැනිදා සිදුවීම පිළිබඳ ඔහු මතකය ආවර්ජනය කළේ මෙලෙසිනි.

“මැයි 9 වැනිදා උදේ මට දඹදෙනිය ආසනයේ දේශපාලනයේ නිරත තරුණයකුගේ විවාහ උත්සවයේ සාක්ෂියට අත්සන් කරන්න ආරාධනාවක් ලැබී තිබුණු නිසා එදා උදේ මම අරලියගහ මන්දිරයට ආවේ නැහැ. නමුත් ඒ වෙද්දි මම කෘෂිකර්ම රාජ්‍ය ඇමැති විදිහට කටයුතු කරමින් සිටි නිසා එදාම දහවල් දෙකට සහ තුනට කෘෂිකර්ම අමාත්‍යාංශයේ පැවැත්වීමට නියමිතව තිබූ රැස්වීම් දෙකකට සහභාගි වීම සඳහා කොළඹ එන්න පිටත් වුණා. ඒ එද්දි මට දැනගන්න ලැබුණා අරලියගහ මන්දිරයෙත් ගාලුමුවදොරත් කලබලකාරී සිදුවීම් සිදුවෙමින් තිබෙන බව. මම මගේ නිල නිවෙසට ගියාට පස්සේ ප්‍රවෘත්තිවලින් දැක්කා රටේ කලබලකාරී තත්ත්වයක් ඇතිවෙමින් තිබෙන බව. ඒ නිසා අමාත්‍යාංශයට ගිහින් කුරුණෑගල ගෙදර යන්නයි මම හිතාගෙන හිටියේ. නමුත් රටේ තත්ත්වය සංකීර්ණ වෙමින් තිබෙන බව වාර්තා වු නිසාම පැවැත්වීමට නියමිතව තිබූ රැස්වීම් දෙකත් අවලංගු කරලා මම නිල නිවෙසේම නැවතුණා. මගේ බිරියත් දරුවනුත් ඒ අවස්ථාවෙත් නිල නිවෙසයි හිටියේ. ඊට හේතුව මම ආණ්ඩුවට සහයෝග දැක්වීම සම්බන්ධයෙන් ඊට පෙර අවස්ථා දෙකකදීම අපේ නිවෙස අසලට ඇවිත් පිරිසක් විරෝධතා දක්වා තිබීමයි. ඒ නිසා මම බිරිය සහ දරුවන් කොළඹ නිල නිවෙසට එක්කගෙන ඇවිත් හිටියේ. එහෙම නැත්නම් සාමාන්‍යයෙන් ඒ ගෙදර ජීවත් වුණේ මමත් මගේ බිරියත් ඇයගේ මවත් සහ දරුවන් සිවුදෙනා.”

මැයි 9 වැනිදා පස්වරුව වන විට ප්‍රචණ්ඩත්වය රට පුරා පැතිර යමින් තිබිණ. ඒ අනුව කොළඹ නිල නිවෙසේ රැඳී සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාරට පස්වරු 3ට පමණ ආරංචියක් ලැබෙන්නේ අලව්ව නගරයේ ඒකරාශි වූ කිසියම් පිරිසක් මහආරච්චිමුල්ල සිය නිවෙස පිහිටි ප්‍රදේශයට පැමිණෙමින් සිටින බවයි.

“මම උසස් පොලිස් නිලධාරීන්ට සහ අලව්ව පොලිස් ස්ථානාධිපතිතුමාට දුරකථනයෙන් කතාකරලා කිව්වා මෙහෙම දෙයක් ගැන ආරංචියක් තියෙනවා, ගෙදරට පහර දීමේ ඉඩක් තියෙනවා, ඒ නිසා ආරක්ෂාව යොදවන්න කියලා අවස්ථා කිහිපයකදීම ඉල්ලීමක් කළා. නමුත් මගේ නිවෙස අසලට එක්රැස් වූ පිරිස වැටවල් කඩාගෙන වත්තට ඇතුළු වෙලා තිබුණා. පොලිසියෙන් ප්‍රමාණවත් ආරක්ෂාවක් නොලැබුණු නිසා පිරිස පහසුවෙන් වත්තට ඇතුළු වෙලා ගෙදර දොර ජනෙල්වලට පහර දීලා, දොරවල් කඩාගෙන නිවෙසට ඇතුළු වෙලා තියෙනවා. ” ‘‘මගේ පොඩි දුවගේ කරාබු දෙකේ ඉඳලා රත්තරන් බඩු,ටීවී, පරිගණක, ලැප්ටොප්, ඔරලෝසු, වතුර මෝටර් ඇතුළු ගෙන යෑ හැකි සියලු දේවල් රැගෙන ගොස් තිබුණා. නිවෙස යාබදව තිබුණු කාර්යාලයටත් පහර දීලා එහි තිබුණු භාණ්ඩත් අරගෙන ඊටපස්සේ තමයි නිවසෙටයි කාර්යාලයටයි ගිනි තියලා තිබුණේ. වත්තේ වගාකරලා තිබුණු සියලුම දේවල් කඩුවලින් කපලා තිබුණා. නිවෙස ඉදිරියේ වත්තේ හිටවලා තිබුණු කෙසෙල් පඳුරු 200ක් පමණ ඒ අතර තිබුණා. මල්පෝච්චි පොළොවේ ගහලා, අඩි 10, 12 උසට වැවිලා තිබුණු පොඩි පොල්ගස්වලටත් පෙට්රල් ඉහලා ඒවාටත් ගිනි තියලා. ඒ වගේම මගේ නිවෙසේ තිබුණා ජනාධිපති කාර්යාලයේ රාජකාරි කටයුතු සඳහා අනුයුක්ත කර තිබූ ජිප් රථයක්. ඒකටත් ගිනි තියලා විනාශ කරලා තිබුණා. නිවෙසට සහ කාර්යාලයට සිදුකර ඇති විනාශය ගැන පොලිසියට සහ මානව හිමිකම් කොමිසමට පැමිණිලි කළා. පොලිසිය විසින් පොදු දේපළ පනත යටතේ නඩු පවරා තිබෙනවා.

මැයි 9 වැනිදා සිදුවීමෙන් පසු ඇතැම් පුද්ගලයන් සමාජගත කිරීමට උත්සාහ කළ පොදු අදහසක් වූයේ පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරුන් 225 දෙනාම රටට අනවශ්‍ය පුද්ගලයන් බවයි. එහෙත් රටට ඉතා වැඩදායී උගත්, බුද්ධිමත් වැඩදායී වෘත්තිකයන් රැසක් ඒ අතර වේ. පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර ද එවැනි වෘත්තිකයෙකි. සාමාන්‍ය ගොවි පවුලකට අයත් මවුපිය යුවළකට දාව දරුවන් පස්දෙනකුගෙන් යුතු පවුලේ බාල දරුවා ලෙස උපන් ශාන්ත බණ්ඩාර පාසල් කිහිපයකින් අධ්‍යාපනය ලබාඇති අතර ඔහු උසස් පෙළ හදාරා ඇත්තේ කුලියාපිටිය නක්කාවත්ත මධ්‍ය මහා විද්‍යාලයෙනි. පාසල් කාලයේදී අංශ කිහිපයක කැපී පෙනෙන දක්ෂතා දැක්වූ දක්ෂ ක්‍රීඩකයකු වූ ශාන්ත බණ්ඩාර නක්කාවත්ත මධ්‍ය මහා විද්‍යාලයේ ප්‍රධාන ශිෂ්‍ය නායකයා සහ ක්‍රීඩා නායකයා පමණක් නොව විද්‍යාලයීය ශිෂ්‍ය භට කණ්ඩායම භාර සැරයන්වරයා ලෙස ද කටයුතු කළේය.

වයස අවුරුදු 13 සිට විද්‍යාලයීය දක්ෂතම ක්‍රීඩකයාට හිමි ශූරතාව දිනාගත් ඔහු 1992 දී පාසල් ජාතික වර්ණ දිනාගත්තා පමණක් නොව ඒ වසරේදී සාක් රටවල් අතර පැවති කරාතේ ශූරතාවලියේදී ලෝකඩ පදක්කමක් දිනාගත්තේය. උස පැනීම ඉසව්වෙන් සමස්ත ලංකා දෙවැනි ස්ථානය ද දිනාගත් ඔහු දිගින් දිගටම වොලිබෝල් ක්‍රීඩාවේ ජාතික සංචිතය නියෝජනය කරමින් කණිෂ්ඨ තරගාවලි රැසක ජයග්‍රහණ හිමිකර ගත්තේය. ක්‍රීඩාව පිළිබඳ දැක්වූ දක්ෂතා හේතුවෙන් අන්තර්ජාතික වොලිබොල් පුහුණුකරු අදියර මාලා 1 සහ 2 ද සමත් වන ඔහු වොලිබෝල් පුහුණුකරුවකු ලෙස ද කටයුතු කළේය.

‘‘මම මුලින්ම වෘත්තිය ජීවිතය ආරම්භ කළේ විද්‍යාව සහ ගණිත විෂයයන් පිළිබඳ උපකාරක පන්ති ගුරුවරයෙක් විදිහටයි. පසුව දඹදෙනිය මධ්‍ය මහා විද්‍යාලයේ ගුරුවරයෙක් විදිහටත් කටයුතු කළා. ඊට අමතරව කරාතේ ගුරුවරයෙක් විදිහටත් විශාල සිසුන් පිරිසක් පුහුණුකර ඔවුන් ජාත්‍යන්තර මට්ටම දක්වා ගෙන ගියා. විශේෂයෙන් දඹදෙණිය මධ්‍ය මහා විද්‍යාලයේ වොලිබෝල් පුහුණුකරු විදිහට ජාතික මට්ටමේ ශූරතා ගණනාවක් දිනාගැනීමට දරුවන් පුහුණු කළා. ජාතික කණිෂ්ඨ ශූරතාව දිනපු කණ්ඩායම් පුහුණු කළා. මගේ පවුලට කිසිම දේශපාලන පසුබිමක් නැහැ. මගේ අප්පච්චි සමාජසේවා කටයුතු කළාට දේශපාලනය කළේ නැහැ. නමුත් පොදු සමිති සමාගම්වල නායකත්වය අරගෙන වැඩ කළා.”

පියාගෙන් ලද ඒ සමාජශීලී බවත් පාසලින් මෙන්ම ක්‍රීඩා සහ යෞවන සමාජවලින් ලැබූ නායකත්ව කුසලතා ශාන්ත බණ්ඩාර දේශපාලනයට අවතීර්ණ වන්නට පහසුවක් වන්නට ඇත.

1996දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තරුණ සංවිධානයේ සභාපති හැටියට පත්වූ ශාන්ත බණ්ඩාර, පිළිවෙළින් ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු, පළාත් සභා මන්ත්‍රීවරයකු ,පළාත් ඇමැතිවරයකු ලෙස සිය දේශපාලන ජීවිතය තුළ ඉදිරියට ආවේය. ඔහු පළමුවරට පාර්ලිමේන්තු මන්ත්‍රී අසුනක් දිනාගත්තේ 2010 පාර්ලිමේන්තු මැතිවරණයට තරග කොට මනාප 86,880ක් ලබාගනිමිනි. එවැනි අත්දැකීම්වලින් පොහොසත් පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර මැයි 9 වැනිදා සිය නිවෙස ගිනි තැබීමට සම්බන්ධ වූවන් පිළිබඳ දරන්නේ මෙවැනි අදහසකි.

“මේ ක්‍රියාවට සම්බන්ධ දෙපාර්ශ්වයක් ඉන්නවා. මම එදා සිටම අපේ ප්‍රදේශයේ නීති විරෝධී මත්පැන් සහ මත්ද්‍රව්‍ය ජාවාරමේ සහ ඒවා භාවිත කරන පුද්ගලයන්ට විරුද්ධව කටයුතු කළා. ඒ නිසා ඒවාට සම්බන්ධ පුද්ගලයන් මා සමඟ දැඩි කෝපයෙන් පසුවූ බව රහසක් නෙවෙයි. ඔවුන් තමයි මුලින්ම මේ සිද්ධිය පටන් ගත්තේ. ඒ වගේම මැතිවරණවලදී මගේ ජයග්‍රහණය වැළැක්වීමට කටයුතු කළ ප්‍රධාන පක්ෂ දෙකක සාමාජිකයන් මේ සිදුවීම පිටුපස සිටිනවා. බොහෝ අය හිතුවේ මැයි 9 වැනිදා මේ ප්‍රචණ්ඩකාරී සිදුවීම් කළේ ආණ්ඩුව ගැන ක්ෂණික කෝපයෙන් කියලා. ඒත් මොන හේතුවක් මත වුණත් තවත් කෙනෙක්ගේ නිවෙසක් ගිනි තියන්න තරම් විනාශකාරී හැඟීම්වලින් හැසිරෙනවා නම් ඒ තුළ තිබෙන්නේ වෛරී සහගත සිතිවිල්ලක් පමණයි. නිවෙස ගිනිතැබීමෙන් මගෙත් බිරියගේත් දරුවන්ගේත් වටිනා ලියකියවිලි ඇතුළු සියලුම දේවල් විනාශ වුණා.

දේශීය සහ ජාත්‍යන්තර ක්‍රීඩා තරගවලින් මම ලැබූ පදක්කම්, සහතික, කුසලාන ඒ සියල්ලම මට සදහටම අහිමි වුණා. අපට ගෙදර තිබුණු නූල්පොටක දෙයක්වත් ඉතිරි වුණේ නැහැ. ඒ පීඩනය දුන් අයට අධිකරණයෙන් දඬුවම් නොලැබුණත් ස්වාභාව ධර්මයෙන් සහ හෘද සාක්ෂියෙන් නිසි දඬුවම් ලැබෙනවාමයි. කිසිම කෙනකුට කරදරයක් නොකර දේශපාලනය කරපු මට මෙවැනි දෙයක් කිරීම සම්බන්ධයෙන් දැඩි කලකිරීමක් තිබෙනවා. මට ඉන්නේ පුතාලා තුන්දෙනයි එක දියණියයි. මගේ ලොකු පුතා නීතිවේදී උපාධියේ අවසාන විභාගයට සූදානම් වෙමින් සිටි දිනවලදියි නිවෙස ගිනි තැබීම සිදුවුණේ.

එය ඔහුට විශාල මානසික පීඩාවක් වුණත් ඔහු ඉහළින් උපාධිය සමත් වුණා. නමුත් මේ විනාශකාරී ක්‍රියාවලට සම්බන්ධ වූ තරුණ කණ්ඩායම්වලින් මම ඉල්ලා සිටින්නේ මින් ඉදිරියටවත් මෙවැනි හානිකර ක්‍රියාවලට සම්බන්ධ වෙන්න එපා කියලයි. දේශපාලන පක්ෂ නායකයන් විදිහට අපි තරුණ පරපුරට දිය යුත්තේ ඉදිරියට යෑමට නිසි මඟපෙන්වීම සහ ආත්ම ශක්තියයි. නමුත් ඒ වෙනුවට වෛරී දේශපාලනය ජනතා හිත්වලට ඇතුළු කිරීමෙන් අතීතයේ රටේ ඇතිවූ භීෂණය සහ අඳුරු යුගය යළි ඇතිකිරීමට දැරූ උත්සාහයක් ලෙසයි මම මේ සිදුවීම දකින්නේ.”

ජනතාව අපමණ අසීරුතා මැද ජීවත්වද්දී දේශපාලඥයන් සුරසැප විඳින බවට ජනතාව තුළ වෛරයක් ඇතිකිරීමට ඇතැම් පුද්ගලයන් ගෙන යන ප්‍රචාර සම්බන්ධයෙන් ද පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර මෙසේ කීවේය.

“දේශපාලඥයන්ට විශාල මන්දිර තිබෙන බවට චෝදනා කරනවා. දේශපාලඥකු හමුවීමට රාජ්‍ය නායකයන් පවා පැමිණෙනනවා. ඒ වගේම මහජනතාව විශාල වශයෙන් පැමිණෙනවා. ඒ සඳහා පහසුකම් සැලසිය හැකි අයුරින් නිවෙසක් ඉදිකර ගත යුතු වෙනවා. මගේ නිවෙස මවුපියන්ගෙන් ලැබුණු එකක්. එය අලුත්වැඩියා කර නවීකරණය කර තිබුණා. ඒ වගේම මට ස්ථාන කිහිපයක නිවෙස් කිහිපයක් තිබෙන බවට ඇතැමුන් අසත්‍ය ප්‍රචාර ගෙනයනවා. නමුත් මට ලංකාවේ කිසිම තැනක හෝටලයක්, නිවෙසක් තියා අඩුමතරමින් තේ කඩයක්වත් නැති බව කිව යුතුයි”

 

Comments