
ඇතිවී තිබෙන ආර්ථික අර්බුදය හමුවේ රට පුරා විරෝධතා ඇතිවන්නට පටන්ගත්තේ දේශපාලනික මැදිහත්වීම්වලින් තොරවය. කල දුටු කල වළ ඉහගන්නට මානබලන පිරිස් මෙන්ම දේශපාලන පක්ෂ ද ඒ සඳහා එක්ව සිටියේය.
මෙම විරෝධතා අතර ඉකුත් අප්‍රේල් මස 19 වැනිදා ඉන්ධන මිල ඉහළ දැමීමට එරෙහිව ක්‍රියාත්මක වූ විරෝධතා සුවිශේෂී මුහුණුවරක් ගත්තේ එතෙක් පැවති සාමකාමී විරෝධතා වෙනුවට ප්රචණ්ඩත්වය මුල්වූ විරෝධතා ක්‍රියාත්මක වීමත් සමඟය. එහි ප්‍රතිඵලයක් වූයේ මිනිස් ජීවිතයක් ද අහිමි වීමය.
එදින දහවල ඉන්ධන මිල ඉහළ යෑමට විරුද්ධව මාතර දිස්ත්‍රික්කයේ ස්ථාන රැසකදී විරෝධතා පැවති අතර, නගර මධ්‍යයට එක්වූ බස් රථ හිමිකරුවන්, රියදුරන්, කොන්දොස්තරවරුන්, ත්‍රිරෝද රථ හිමියන් ඇතුළු පිරිසක් ආරම්භ කළ විරෝධතාව මධ්‍යහනය වන විට ප්‍රබල විරෝධතාවක් බවට පත්ව තිබුණි. ඒ මහානාම පාලම මත බස්, ට්‍රිපර් හා ලොරි රථ යොදා මාතර කොළඹ ප්‍රධාන මාර්ගයේ සියලු මංතීරු අවහිර කිරීමත් සමඟය. මාතර මූලස්ථාන පොලිස් පරීක්ෂක රොෂාන් හෙට්ටිආරච්චි ඇතුළු පොලිස් කණ්ඩායම් කීපයක් එහි රැඳී සිටියද විරෝධතාව සඳහා පොලීසියෙන් බාධා සිදු වූයේ නැත. අරගලකරුවන් විසින් පාසල් දරුවන් රැගෙන යෑම සඳහා පමණක් පැය දෙකක කාලයක් මාර්ගයේ ඉඩක් ලබාදී තිබුණි. එම කාලසීමාව තුළ ඇද හැලුණු අධික වර්ෂාපතනය නිසා ඒ අවස්ථාවේ යෑමට නොහැකිවූ පාසල් දරුවන් ප්‍රවාහනය කරන වාහන සඳහා ද ඉඩක් වෙන්කර දීමට ද විරෝධතාකරුවෝ කාරුණික වූහ.
මෙම විරෝධතාව අතර බහින්බස්වීම්, ගුටිබැට හුවමාරු කර ගැනීම් ද සිදුවනු දක්නට ලැබුණු අතර එවන් හැසිරීම් පෙන්වූ අය බීමත්ව සිටින බවක් පෙනෙන්නට තිබුණි. මෙලෙස දහවල ගෙවෙමින් අඳුර ගලා එමින් තිබියදී විරෝධතාවයේ මුහුණුවර තරමක් වෙනස් මඟක් ගත්තේය. පාලම හරස් කර තිබූ ලංගම බස් රථ මුදවා ගැනීමට මාතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිශාන්ත සොයිසාගේ උපදෙස් මත පොලීසිය යම් වැඩපිළිවෙළක් සකස් කරමින් සිටියේය. කඳුළු ගෑස් හා කැරලි මර්දන පොලිස් කණ්ඩායම් ද සැලසුම් සහගතව සූදානම් වෙමින් සිටියදී පොලීසිය විසින් පළමුව සිදු කළේ අරගලකරුවන්ට සාමකාමීව බස් රථ මුදාහරින ලෙස ඉල්ලා සිටීමය. අරගලකරුවන් ඊට අවනත නොවද්දී මාතර මූලස්ථාන පොලීසියට අයත් ත්‍රිරෝද රථයක ශබ්දවාහිනි යන්ත්‍රයක් සවි කරගෙන පැමිණි පොලිස් නිලධාරින් කිහිප දෙනකු අරගලකරුවන් වෙත නිවේදනයක් කියවමින් සිටියේය. එහි ප්‍රධානත්වය ගෙන සිටියේ පොලිස් පරීක්ෂක තිලක් ය. පොලීසියේ මෙම දැනුම්දීම අරගලකරුවන් අතර සිටි කිහිපදෙනකුට නොරිස්සූ අතර, ඔවුන් ත්‍රිරෝද රථය වෙත කඩාවැදී කලහකාරී ලෙස හැසිරෙන්නට වූහ. ඔවුන් ශබ්දවාහිනී යන්ත්‍රයට සම්බන්ධ කර තිබූ වයර් කඩාදැමීමත් සමඟ පොලීසිය හා අරගලකරුවන් අතර වාග් සංග්‍රාමයක් ඇතිවූ අතර, කෝපයට පත් අරගලකරුවන් ත්‍රිරෝද රථයට පහරදී අලාභ හානි සිදු කළහ.
අරගලයේ පුද්ගල හැසිරීම් එසේ ප්රචණ්ඩත්වයක් බවට පත්වද්දී මධ්‍යම රාත්‍රිය ද උදාවෙමින් තිබිණ. අරගලකරුවන් බස් රථවලට හානි කිරීමට උත්සාහ දැරීමත් සමඟ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිශාන්ත ද සොයිසා ගේ උපදෙස් පරිදි පොලීසිය විසින් කඳුළු ගෑස් ප්‍රහාර එල්ලකරද්දී අරගලකරුවෝ පොලීසිය වෙත ගල්මුල් ප්‍රහාර එල්ලකරමින් පසුබසින්නට වූහ. ඒ සමඟම පොලීසිය මහානාම පාලම මත මාර්ගය අවහිර කර තිබූ බස් රථ ඇතුළු රථවාහන වහා ඉන් ඉවත් කර මාර්ගය විවෘත කිරීමට කටයුතු කළේය.
ඒ අතර සැඟව සිට ගල්මුල් ප්‍රහාර එල්ල කරන පිරිස් සොයා පොලිස් මෙහෙයුම් දියත් කරමින් යම් පිරිසක් අත්අඩංගුවට ගනිද්දී මහජන දේපොළවලට අලාභ හානි සිදු කළ ඇතැම් පිරිස් පලා ගියහ. පසුදිනට හිරු උදාවද්දී මහජන දේපොළවලට අලාභහානි සිදු කළ පිරිස් පිළිබඳ බුද්ධි අංශ තොරුතරු හා මහජන තොරුතරු ද ලැබෙමින් තිබූ අතර, පොලීසියේ ත්‍රිරෝද රථයට පහරදීම පිළිබඳ සොයාබැලීමේ වගකීම පැවරුණේ පොලිස් පරීක්ෂක වේරගොඩ ප්රමුඛ පොලිස් කණ්ඩායමකටය.
ඔවුන්ට ලැබුණු තොරතුරක් ඔස්සේ සිදු කළ මෙහෙයුමකින් සැකකරුවන් පිරිසක් අත්අඩංගුවට ගෙන අධිකරණ නියෝග මත හඳුනා ගැනීමේ පරීක්ෂණයකට ලක්කළ අතර, පොලිස් ත්‍රිරෝද රථයට පහරදීමේ සිදුවීමට අදාළ සිද්ධියේ ප්‍රධාන සාක්ෂිකරු වූ පොලිස් පරීක්ෂක තිලක්ගේ මතකයෙන් බේරී යෑමට සැකකරුවන්ට නොහැකි විය. ප්‍රධාන සැකකරු වූ මාතර ජනරජ මාවත, රස්සන්දෙනියේ පදිංචි තිස්දෙහැවිරිදි සැකකරු හඳුනා ගැනීමේ පෙරෙට්ටුවේදී සාක්ෂිකරුවෝ විසින් හඳුනා ගත්හ.
මෙම සිදුවීමට අදාළ නඩුව මාතර මූලස්ථාන පොලීසියේ අපරාධ විමර්ශන අංශයේ පොලිස් පරීක්ෂක අනිල් කුමාර හා පොලිස් කොස්තාපල් 82430 කුමාර ගේ මෙහෙයවීම යටතේ නඩු අංක 70128 යටතේ පසුගිය 06 වැනි දින මාතර මහෙස්ත්‍රාත් අධිකරණයේදී විභාගයට ගැනුණේ මාතර ප්‍රධාන මහෙස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර හමුවේය. එහිදී ප්‍රධාන සැකකරුට චෝදනා හතරක් ගොනුකර තිබූ අතර, ඔහු චෝදනා හතරටම වරද පිළි ගත්තේය.
අයුතු ජන රාශියක සාමාජිකයකු වීමේ චෝදනාවට රුපියල් 1,500 ක දඩයක් හා මාස 06 ක බරපතළ වැඩසහිත සිර දඬුවමක් ද අයුතු අවහිරතා සිදු කිරීමේ චෝදනාවට අවුරුද්දක සිර දඬුවමක් හා රුපියල් 1,500 ක දඩයක් ද පොලිස් නිලධාරීන්ට සාපරාධී බලහත්කාරය පෑමේ චෝදනාවට රුපියල් 1,500 ක දඩයක් හා වසරක සිර දඬුවමක් ද පොලිස් ත්‍රිරෝද රථයට පහර දී අනර්ථය සිදු කිරීමේ චෝදනාවට වසරක සිර දඬුවමක් හා රුපියල් 1,500 ක දඩයක් ද ලෙස දඩ හා වසර තුනහමාරක සිර දඩුවම් නියම කළේය. එයට අමතරව පොලිසියේ ත්‍රිරෝද රථයට සිදු කළ අලාභය වෙනුවෙන් රුපියල් පනස් දහසක මුදලක් මාතර ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ පොලිස් දෙපාර්තමේන්තු ගිණුමට බැර කරන ලෙසට ද නියෝග කෙරිණි.
එලෙස සිර දඬුවම් හා දඩ නියම වූයේ මාතර මැද්දවත්තේ පදිංචි එදිරිරත්න දුරගේ නෙරංජන ලක්ෂාන්(32) නැමැති තරුණයකුටය. පොලිස් වාර්තා අනුව සඳහන් වූයේ ඔහු විවාහක දෙදරු පියකු බවත් මීට පෙර ද ඔහුට වෙළෙඳසැලකට පහරදී අලාභ හානි සිදුකිරීමේ චෝදනාවක් ඇති බයි.
තීන්දුව ප්‍රකාශයට පත්කරමින් මාතර ප්‍රධාන මහෙස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර පැවසුවේ නීතිය යනු රටේ පැවැත්මට තිබෙනා ප්‍රධාන අංගයක් බවත් රටේ ප්‍රශ්නයක් ඇතිවූ විට එය විසඳාගැනීමේ පිළිගත් ක්‍රමවේද ඇතත් මහජන දේපොළවලට පහරදී අලාභහානි සිදුකර පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කොට නීතිය අතට ගෙන ප්‍රශ්න විසඳිය නොහැකි බවයි. මාතර ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී නිශාන්ත ද සොයිසා මහතාගේ උපදෙස් මත මාතර මූලස්ථාන පොලිස් පරීක්ෂක රොෂාන් හෙට්ටිආරච්චි, අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති නුවන් විජේතුංග හා පොලිස් පරීක්ෂක අනිල් කුමාර යන මහත්වරු ඇතුළු කණ්ඩායමක් සිදුවීම පිළිබඳ පරීක්ෂණ පැවැත්වූහ.