‘හරිත දැයක්’ වගා සංග්‍රාමයෙන් රටට සරු හෙටක් | Page 4 | සිළුමිණ

‘හරිත දැයක්’ වගා සංග්‍රාමයෙන් රටට සරු හෙටක්

වාරි­මාර්ග ඇමැති චමල් රාජ­ප­ක්ෂ­යන් ‘හරිත දැයක්‘ වැඩ­ස­ට­හනේ සමා­ර­ම්භක අව­ස්ථා­වට එක් වෙමින් අඹ පැළයක් රෝපණය කළ අවස්ථාව.

සෞඛ්‍ය සම්පන්න නිරෝගී පරපුරක් බිහි කිරීම මෙහි ප්‍රධාන අරමුණක්
- වාරිමාර්ග ඇමැති චමල් රාජපක්ෂ

•සෑම පවුලකටම එළවළු පැළ 40 ක් බීජ පැකට් 7 ක් 
•දෙමුහුන් පොල් පැළ, සුළු අපනයන බෝග පැළ, පලතුරු පැළත් ලබා දෙනවා 
•එතෙර යන මුදල් මෙතෙර ඉතිරි කර රටේ ගෙවතු ලක්ෂ 22ක් අස්වද්දනවා

මෙරට ඇති ගෙවතු ලක්ෂ 44 න් හරියට අස්වැන්නක් ලබාගන්නේ ගෙවතු ලක්ෂ 4 කින් පමණක් බව ගොවිජන සේවා හා කෘෂිකර්ම දෙපාර්තමේන්තු විසින් කළ අධ්‍යයන අනුව හෙළිවී තිබේ. නමුත් අපට සරු පොළවක් ඇත. මේ සරු පොළොවෙන් උපරිම ප්‍ර‍ෙයා්ජනයක් ගැනීමට මෙතෙක් කල් දීප ව්‍යාප්ත වැඩසටහනක් ක්‍රියාත්මක නොවීය.

වර්තමානයේදී අපේ රටේ වැවිය හැකි ආහාර ලොකු මුදලක් දී පිටරටින් ගෙන්වීම සිදු කරයි. නමුත් අපේ රටේ වැවිය හැකි ආහාර අපේ රටේ වවා විදේශ විනිමය සුරැකීම අද කාලීන අවශ්‍යතාවයකි. ඒ සඳහා ප්‍රමුඛත්වය දෙමින් පසෙන් උපරිම ප්‍රයෝජන ලබා ගැනීම පිණිස ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාව තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්ය සාධක බළකාය මඟින් ‘හරිත දැයක්‘ ගෙවතු වගා වැඩසටහන දැන් ආරම්භ කර තිබේ.

අපේ රටේ දීප ව්‍යාප්තව පවතින ගෙවතු ලක්ෂ 22 ක් සංවර්ධනය කෙරෙන සෑම ග්‍රාම නිලධාරි වසමකම පවුල් 155 කට සෙත සැලසෙන හරිත දැයක් ගෙවතු වගා වැඩසටහන පසුගිය 22 වැනිදා ආරම්භ විය. රටේ මුඩු ඉඩම් ලෙස පවතින සෑම බිම් අඟලක්ම අස්වැද්දීම මෙම වැඩසටහන යටතේ සිදුකෙරේ.ඉඩම් අමාත්‍යාංශය, කෘෂිකර්ම අමාත්‍යාංශය, වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය හා සමෘද්ධි රාජ්‍ය අමාත්‍යාංශය මෙහි ප්‍රධාන මෙහෙයුම්කරුවෝ වෙති. ඊට අමතරව රාජ්‍ය පරිපාලන, සෞඛ්‍ය, වාරිමාර්ග යන අමාත්‍යාංශ ද මේ සඳහා උදවු කරයි. විශේෂයෙන් සෑම ග්‍රාම නිලධාරි වසමකම රාජකාරි කරන ග්‍රාම නිලධාරි, සංවර්ධන නිලධාරි, සමෘද්ධි නිලධාරි, කෘෂිකර්ම පර්යේෂණ සහකාර නිලධාරි යන රාජ්‍ය නිලධාරීහූ ද ග්‍රාමීය මට්ටමින් මෙම වැඩසටහනට සම්බන්ධ වෙති.

මේ සඳහා ප්‍රතිලාභීන් තෝරා ගැනීම දැනටමත් අවසන් කර ඇති අතර සියලු ප්‍රතිලාභීන්ට විශේෂ ප්‍රභේදවල සරු අස්වැන්නක් දෙන පැළ හා බීජ ලබාදීම මේ දිනවල සිදු කෙරේ.

මේ පිළිබඳ කරුණු දක්වන කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ අජිත් පුෂ්පකුමාර පවසන්නේ මේ වසරේදී පමණක් ගෙවතු ලක්ෂ 22 ක් මේ යටතේ අස්වද්දන බවයි. “තෝරාගත් ප්‍රතිලාභීන්ට අවශ්‍ය පැළ ලබාදීමට සමෘද්ධිලාභීන් විසින් තවාන් සකස් කළා. එම තවාන්වලින් ලබාගත් වම්බටු, මාළු මිරිස්, තක්කාලි, අමු මිරිස් පැළ 10 බැගින්, සෑම පවුලකටම පැළ 40 ක් ලබාදීම දැන් සිදුවෙමින් පවතිනවා. ඉන්පසු ඔවුන්ට කුඩා ඉඩකින් වැඩි අස්වැන්නක් ලබාගැනීමේ කෘෂි තාක්ෂණය හඳුන්වාදී පොහොර හා පලිබෝධ නාශක ආදිය කාබනික ක්‍රමවලට ලබාදීම සිදු කරනවා. සෑම ප්‍රතිලාභියෙක් ම තම ගෙවත්තේ කාබනික පොහොර සකස් කරගත යුතු අතර ඊට අවශ්‍ය උපදෙස් කෘෂි නිලධාරීන් විසින් ලබාදෙනවා. සිදු කරන වගාවන් පිළිබඳ ඉහත රාජ්‍ය නිලධාරීන්ට අමතරව ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල ක්ෂේත්‍ර නිලධාරීන් විසින් ද අධීක්ෂණය කරනු ලබනවා.“ යැයි අජිත් පුෂ්පකුමාර පවසයි.

මෙම ප්‍රතිලාභීන්ට බීජ වර්ග 7 ක් ඇතුළත් බීජ පැකට් 7 ක් ද ලබාදීමට කටයුතු කෙරේ. ඒ සමඟම මෙම පවුල්වලට බද්ධ පලතුරු පැළ 2, කතුරු මුරුංගා පැළයක්, බද්ධ පොල් පැළ දෙකක් ලබාදීමට යෝජිත බව ගොවිජන සේවා සංවර්ධන කොමසාරිස් සුමිත් චන්දන පවසයි. සුළු අපනයන බෝග, වැල් අල ආදියද දේශගුණික කලාප අනුව ලබාදීමට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව තවත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරයි.

අපේ රටේ මුඩු බිම් හා නිසරු ගොවි බිම් අස්වද්දන මේ නව වැඩපිළිවෙළ අපේ රටේ සරු පසින් නිසි ප්‍රයෝජන ලබාගන්නා කාලීන වැඩසටහනක් බව ගොවි සංවිධාන නායකයන්ගේත් අදහසයි. කෙසේ වුවත් ඔවුන් වැඩිපුර පවසන්නේ ගොවි සංවිධාන නායකයන්ගේ අධීක්ෂණය යටතේ මේ අස්වැද්දීම සිදු කරන්නේ නම් ඊට වඩා ප්‍රතිඵල ලැබෙනු ඇති බවයි.

හරිත දැයක් වැඩසටහන ගැන විශේෂ ප්‍රකාශයක් කළ වාරිමාර්ග අමාත්‍ය චමල් රාජපක්ෂයන් පවසන්නේ ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාව තුරන් කිරීම * සඳහා වන ජනාධිපති කාර්ය සාධන බළකාය මෙහෙයවීමෙන් මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට අදහස් කළේ රටේ දැන් පවතින ආර්ථික හා මූල්‍ය ප්‍රශ්නවලට අපේ රට තුළින්ම යම් විසඳුමක් ලබාගැනීමේ අරමුණින් බවයි.“හරිත දැයක් වගා සංග්‍රාමය සමාරම්භක උත්සවය පසුගියදා දීප ව්‍යාප්ත මට්ටමින් සිදු වුණා. ආර්ථික අභියෝග හමුවේ දේශීය ආහාර නිෂ්පාදනය පුළුල් කිරීමත් සෑම ගෙවත්තක් ම ගෘහස්ත මට්ටමින් පුංචි ගොවිපළක් බවට පත් කිරීමත් ඒ ඒ පවුල්වලට අවශ්‍ය එළවළු හා පලතුරු තම ගෙවත්තේම වගා කිරීමත් මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණු අතර වෙනවා. මේ යටතේ සෑම ග්‍රාම නිලධාරි වසමකම පවුල් 155 ක් තෝරාගෙන ඒ අයට ගෙවතු වගාවට අවශ්‍ය සියලු පහසුකම් හා උපදෙස් රජය විසින් ලබාදීම මෙහිදී සිදු කරනවා.““මේ වැඩසටහන යටතේ ඉදිරියේදී අපේ රටේ සෑම මුඩු බිමක්ම හා දැනට වගා නොකරන බිමක් ම වගාවට යොදා ගන්න අප අපේක්ෂා කරනවා. එක් ගෙවත්තක් සකස් කරගැනීම සඳහා පවුලකට රු. 2000 ක් මුදලින් ලබාදෙනවා.

ඊට අමතරව පැළ, බීජ හා කෘෂි උපදෙස් ලබාදෙනවා. නගර බදවත් ගෘහස්තවත් හරිත දැයක් වගා සංග්‍රාමය ක්‍රියාත්මක කිරීමට සියලු සැලසුම් සකස් කර අවසන්. විශේෂයෙන් රජයට අයිති අත හැර දමා තිබෙන දුම්රිය දෙපාර්තමේන්තුවට, අධ්‍යාපන දෙපාර්තමේන්තුවට, රාජ්‍ය ආයතනවලට අයිති ඉඩම් වගා කිරීමටත් මේ යටතේ අපේක්ෂා කෙරෙනවා. මෙහි තවත් ප්‍රධාන අරමුණක් වන්නේ අපේ රටේ ජනතාවට වස විසෙන් තොර ආහාර ලබාදී සෞඛ්‍ය සම්පන්න නිරෝගී පරපුරක් බිහි කිරීමයි.“ යැයි චමල් රාජපක්ෂ අමාත්‍යවරයා පවසයි.

මෙම ගෙවතු මගින් ලැබෙන අතිරේක අස්වැන්න වැඩි මිලට අලෙවි කර ගැනීමටත් වෙළෙඳ පොළ අවස්ථා ලබාදීමටත් කටයුතු කෙරේ. ඊට අමතරව ගමේම වැඩිපුර නිෂ්පාදන එකතු කොට සති පොළවල් පැවැත්වීමටත් යෝජිතයි. විශේෂයෙන් මේ යටතේ තරුණ පරපුරට හා දරු පරපුරට කෘෂිකර්මයට නැඹුරුවීමේ අවස්ථාව උදා කරදීමටත් ඔවුන්ගේ ජීවිතවලට වස විස නැති වගාව පිළිබඳව නැඹුරුවක් ඇති කිරීමටත් මෙම වැඩසටහන ඉවහල් වන බව ආර්ථික පුනරුජීවනය හා දරිද්‍රතාව තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්ය සාධන බළකාය පවසයි.

යල කන්නය ආරම්භ වන විට මෙම හරිත දැයක් වැඩසටහන සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කිරීමට කෘෂිකර්ම, ගොවිජන සේවා වැවිලි හා වාරිමාර්ග දෙපාර්තමේන්තුව ඒකාබද්ධව වැඩසටහනක් ක්‍රියාත්මක කරයි. විශේෂයෙන් අඩු ආදායම් ලාභී සමෘද්ධි ලාභී පවුල් මෙම වැඩසටහනට සම්බන්ධ කරගෙන ඇති අතර එමඟින් ඔවුන්ගේ ජීවන මට්ටම හා ආර්ථික මට්ටම වැඩි දියුණු කර වස විස නැති පෝෂ්‍යදායි ආහාර නිපදවා ඔවුන්ගේ පෝෂණ මට්ටම ද වැඩි දියුණු කිරීමට රජය අපේක්ෂා කරයි. ලෝකයේ සමහර රටවල් ආර්ථික ප්‍රශ්න හමුවේ කෘෂිකාර්මික සංවර්ධනය මඟින් ඊට විසඳුම් ලබාදී ඇත. ඒ අනුව යමින් රටපුරා හරිත දැයක් වගා සංග්‍රාමය ක්‍රියාත්මක කර මෙරට කෘෂි ඵලදායිත්වය හා කෘෂි නිෂ්පාදනය වැඩි කර රටේ ගැටලුවලට විසඳුම් ලබාදීම මෙහි තවත් අරමුණකි. ඒ අනුව මෙම අවස්ථාවේ අප කළ යුත්තේ එතෙර යන මුදල් මෙතෙර ඉතුරු කරන හා වස විස නැති ආහාර ලබාදෙන මෙම වැඩපිළිවෙළට අත හිත දීමයි. විශේෂයෙන් රාජ්‍ය නිලධාරීන් තරුණ තරුණියන් පාසල් සිසු දරුවන් මීට අතහිත දීම මඟින් රටට සරු හෙටක් උදාකිරීමට හැකිවනු ඇතැයි අපේ අපේක්ෂාවයි.

Comments