පාණදුරේ හෝටලයක වැසිකිළි වළෙන් මතු වූ රූමතියගේ මළ සිරුර | Page 2 | සිළුමිණ

පාණදුරේ හෝටලයක වැසිකිළි වළෙන් මතු වූ රූමතියගේ මළ සිරුර

මරණයට පත් තුෂාරි දිල්හානි

- හඳුනා නොගත් මරණය පිළිබඳ මාධ්‍ය ප්‍රචාරයෙන් බොහෝ තොරතුරු හෙළි වේ
- හෝටල් කාමරයේදී ‘ටික්ටොක්’ වීඩියෝවකුත් නිකුත් කරලා 

ගෙවුණු මාසයක පමණ කාලයේදී තැන තැන සිදුවූ මිනිස් ඝාතන 25කට අධික බව පොලිස් දත්ත වාර්තාවලින් පෙන්නුම් කෙරේ. ගෙවී ගිය සතියේත් අබිරහස් ලෙස මරණයට පත් කාන්තාවකගේ මළසිරුරක් හමු වූයේ පාණදුර, පින්වත්ත, හෝටලයක වැසිකිළි වළක් තුළ සඟවා තිබියදීයි.

එම හෝටලය, පාණදුර, පින්වත්ත, කීල්ස් නිවාස සංකීර්ණ මාර්ගය අවසානයේ මුහුදු තීරය හා දුම්රිය මාර්ගයට ආසන්නව පිහිටා තිබිණි. ‘ඔෂන් විලා‘ නමැති කුඩා ප්‍රමාණයේ හෝටලයක් වන එහි කාමර පහසුකම් සහිතව අවන්හලකින්ද සමන්විතය. එම හෝටලයෙහි වැසිකිළි වළක තිබී කාන්තාවකගේ මළසිරුරක් හමු වූයේ ලැගුම්හලෙහි හිමිකරු විසින් පින්වත්ත පොලිසිය දැනුවත් කිරීමත් සමඟිනි.

ඉකුත් 28 වැනිදා ඔෂන් විලා හෝටල් හිමිකරු එම හෝටලයට පැමිණියේ සේවක පිරිසකගෙන් ලැබුණු කිසියම් හෝඩුවාවකටයි. හෝටල් හිමිකරු හෝටලයට පැමිණෙද්දී එහි කළමනාකරු සහ සේවකයන් දෙදෙනෙකු 28 වැනිදා අලුයම් කාලයේම හෝටලයෙන් පලා ගොස් සිටියේය. ඔවුන් තිදෙනා එලෙස පලා ගොස් තිබුණේ කිසිවකුටත් නොදන්වමිනි. ඒ අතරේ හෝටලය අවටින් දුගඳක්ද හමා එන බවක් හෝටල් හිමිකරුට ඒත්තු ගියේය. හෝටලය අවටින් හමන දුගඳ පිළිබඳව උනන්දු වූ හෝටල් හිමිකරු ඒ පිළිබඳ පරීක්ෂාවේදී හෝටලයේ වැසිකිළි වළෙන් එම දුගඳ හමන බව ඒත්තු ගියේය. එසේම හෝටල් හිමිකරුට ඒ මොහොතේ දක්නට ලැබුණේ වැසිකිළි වළෙහි කොන්ක්‍රිට් පියන පෑදීම සඳහා පස් තට්ටුවක්ද ඉවත්කර එම ස්ථානයේ පස් ප්‍රමාණයක්ද තිබෙන ආකාරයයි.

අනතුරුව එම ස්ථානය වැඩිදුරටත් පරීක්ෂාවේදී වැසිකිළි වළ තුළ මළසිරුරක් තිබෙන ආකාරයක් හෝටල් හිමිකරු දුටුවේය. එම මළසිරුර පිළිබඳව හෝටල් හිමිකරු විසින් අදාළ පොලිස් බලප්‍රදේශය වන පින්වත්ත පොලිසිය දැනුවත් කෙරිණි. ඒ පසුගිය මාර්තු 29 වැනිදායි. පොලිසියට ලද පැමිණිල්ලත් සමඟ පින්වත්ත පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සුරංග රණවීරගේ මෙහෙයවීමෙන් පොලිස් කණ්ඩායමක් ගොස් එම ස්ථානය පරීක්ෂාවේදී එම වැසිකිළි වළ තුළ මළසිරුරක් දක්නට විය. එය කාන්තා මළසිරුරක් බවටද පොලිසිය හඳුනාගත්තේය. පින්වත්ත පොලිස් ස්ථානාධිපතිවරයා විසින් එම කාන්තා මළසිරුර පිළිබඳව පාණදුර කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සමන්ත වෙදගේ ඇතුළු ප්‍රදේශය බාර උසස් පොලිස් නිලධාරින් දැනුවත් කිරීමත් සමඟ උසස් පොලිස් නිලධාරින්ගේ උපදෙස් මත මළසිරුර පිළිබඳ පුළුල් විමර්ශනයක් ඇරැඹිණි. එසේම එම මළසිරුර පිළිබඳව පාණදුර මහේස්ත්‍රාත් අධිකරණය ද දැනුවත් කිරීමට පින්වත්ත පොලිසිය කටයුතු කළේය.

29 වැනිදා සවස් යාමයේ පාණදුර අතිරේක මහේස්ත්‍රාත් ලහිරු එන්. සිල්වා ස්ථානීය පරීක්ෂාවක් සිදුකොට වැසිකිළි වළෙහි කොන්ක්‍රිට් පියන විවරකොට සිරුර පිටතට ගෙන පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා සිරුර පාණදුර රෝහලේ මෘත ශරීරාගාරය වෙත යැවීමට නියෝග කෙරිණි. මළසිරුරට අමතරව එම වැසිකිළි වළෙහි තිබී මරණයට පත් කාන්තාවගේ යැයි සැක කළ අත් ඔරලෝසුවක්, ජංගම දුරකථන ආරෝපණයක්, උල් පිහියක්, කාන්තා පාවහන් යුගලයක්, උපත් පාලන කොපුවක්, තුවායක්, පාපිස්සක් සහ රෙදි කැබලි කිහිපයක්ද සොයා ගැනීමට පොලිසියට හැකි විණි. එසේම මරණයට පත් එම කාන්තාවගේ යැයි සැක කෙරෙන අත්බෑගයක්ද හෝටලයට ආසන්න මුහුදු වෙරළේදී පුළුස්සා දමා තිබියදී පොලිසිය හඳුනාගත්තේය. එහෙත් මරණයට පත්ව සිටි කාන්තාව කවුරුන්ද යන්න හඳුනා ගැනීමට හෝටලයෙන් කිසිදු සාක්ෂියක් සොයා ගැනීමට පොලිසියට නොහැකි විණි. හෝටලයට දී තිබූ දත්ත වාර්තාවල සඳහන්ව තිබුණේ ඇය 26 හැවිරිදි කාන්තාවක බවත් කොළඹ ප්‍රදේශයෙන් තවත් පුද්ගලයකු සමඟ 25 වැනිදා හෝටලයට පැමිණි බවයි. දිල්හානි නතරව සිට ඇත්තේ එම හෝටලයේ 605 වැනි කාමරයේයි.

ඒ අතරේ පොලිසිය විසින් සිදුකළ මෙහෙයුමකින් 29 වැනි දිනම හෝටලයෙන් පලාගොස් සිටි කළමනාකරු සහ සේවකයන් දෙදෙනාගෙන්, සේවකයන් දෙදෙනා අත්අඩංගුවට ගැනීමට සමත් වූයේය. ඔවුන් දෙදෙනා 45 හැවිරිදි බොරලැස්ගමුවේ කසුන් සහ 40 හැවිරිදි පිළියන්දල මධුවන්ත යන අයයි. කසුන් හෝටලයේ වේටර්වර‍ෙයකි. මධුවන්ත බාමන් කෙනෙකි.

එම සැකකරුවන්ගෙන් අයකු පොලිසියට පැවැසුවේ, එම කාන්තාව හෝටලයේ 605 වැනි කාමරයේ විදුලි පංකාවේ එල්ලී ගෙළ වැළලාගෙන සිටි බවත් පසුව හෝටල් කළමනාකරු විසින් එම මළසිරුර වැසිකිළි වළට දැමු බවයි.

අබිරහස් ලෙස මරණයට පත්ව සිටි හඳුනා නොගත් එම කාන්තා මළසිරුර හමුවීමේ පුවත 29 වැනිදා රාත්‍රියේ විද්යුත් නාළිකාවන්හි ප්‍රචාරය වීමත් සමඟ ඇය පිළිබඳ බොහෝ තොරතුරු හෙළි වන්නට වූයේ ඇයගේ අනන්‍යතාවද තහවුරු වෙමිනි.

ඒ අතරේ මරණයට පත් එම කාන්තාව ඔෂන් විලා හෝටලයේ කාමරයක සිටියදී ගීතයකට අනුව මුව විවර කරමින් සිදුකළ ‘ටික්ටොක්‘ වීඩියෝවක් ඇයගේ මිතුර මිතුරියන් අතරේ සැරිසරා තිබිණි. එම වීඩියෝව දුටු අයෙක්ද පොලිසියට බොහෝ තොරතුරු හෙළි කෙරිණි. ඒ අතරේ මරණයට පත් කාන්තාවගේ දෙමාපියන් සහ සැමියාද පැමිණ එම මළසිරුර හඳුනාගත්තේය.

ඒ අනුව හෝටලය තුළ මරණයට පත්ව සිටියේ 29 හැවිරිදි හත්වලකළුවගේ තුෂාරි දිල්හානි නමැත්තියක් බව පොලිසිය හඳුනාගත්තේය. ඇය දෙදරු මවකි. ගණේමුල්ලේ, බොල්ලත ස්ථිර පදිංචිකරුවකු වන දිල්හානි මීට මාස තුනකට පමණ පෙරදී තාවකාලිකව කොට්ටාවේ වාසය කර තිබුණාය. ඇය සිය විවාහක සැමියා සමඟ වූ පවුල් ජීවිතයේ ආරවුල් නිසා සැමියාගෙන් වෙන්ව ජීවත් වූවාය. ඇය දෙමාපියන් ඇතුළු පවුලේ සාමාජිකයන් සමඟ වසර එකහමාරක පමණ කාලයක සිට එතරම් ඇයිහොඳයියක් පවත්වා නැත. මත්ද්‍රව්‍ය පානයටත් ඇබ්බැහිව සිට ඇති දිල්හානි 25 වැනිදා ඔෂන් විලා හෝටලයට පැමිණ මරණයට පත්වීමට මොහොතකට පෙරත් මාස කිහිපයකට පමණ පසු සැමියා සමඟ දුරකථනය ඔස්සේ සම්බන්ධ වී ආරවුලක පැටලී තිබුණාය. ඒ සැමියාට වෙනත් සබඳතාවක් ඇති බවට චෝදනා කරමිනි. දිල්හානි පසුගිය කාලයේ කටුනායක ප්‍රදේශයේ නවාතැන් ගෙන සිට ඇත. කටුනායක නේවාසිකාගාරයක නතරව සිටි ඇය ඔෂන් විලා හෝටලයට පැමිණීමට පෙර කඩවත සපුගස්කන්ද ප්‍රදේශයේ සමාජ ශාලාවක එක් දිනක රැකියාවක්ද කර තිබූ බවත් හෙළි වී තිබුණේ එම සමාජ ශාලා හිමිකරුගෙන් පොලිසිය සිදුකළ ප්‍රශ්න කිරීම්වලදියි. සපුගස්කන්දේ සමාජ ශාලාවේ සේවයේ යෙදී සිටියදී ඔෂන් විලා කළමනාකරු හඳුනාගෙන ඇති දිල්හානි අනතුරුව කළමනාකරු සහ තවත් පුද්ගලයකු සමඟ 25 වැනිදා ඔෂන් විලා හෝටලයට පැමිණ ඇති බවත් හෙළි වේ. 

වැඩිදුර විමර්ශනවලින් හෙළිවන්නේ ඇය 23 වැනිදා අලුයම හෝටලයට ආ බවයි. පසුගිය සිකුරාදා වන විටත් කළමනාකරු ඇතුළු දෙදෙනා අත්අඩංගුවට ගෙන නොතිබිණි. ඔෂන් විලා හෝටලයට පැමිණි දිල්හානි එහි කාමර අංක 605 හි නතර වී කළමනාකරු විසින් ඇයව අනාචාරයේ යොදවමින් ලිංගිකව විකුණමින් ‘වෙළෙඳාමක්‘ කර ඇද්ද යන්න ගැන පොලිසිය විමර්ශනය කෙරේ. ඒ අතරේ දිල්හානි සමඟ හෝටල් සේවකයන්ද අනියම් හැසිරීමක නිරත වූයේ ද යන්න ගැනත් පොලිසිය විමර්ශන සිදු කරමින් සිටී.

දිල්හානිගේ මරණයේ බොහෝ තොරතුරු මෙන්ම ඇයගේ මරණය කවරාකාරයෙන් සිදු වූයේද යන්න හෝටල් කළමනාකරු ඇතුළු අත්අඩංගුවට ගැනීමට සිටින සෙසු සැකකරුවන් කොටු කරගැනීමත් සමඟ මෙකී ශෝචනීය සිදුවීමේ බොහෝ තොරතුරු අනාවරණය කරගැනීමට හැකි වෙතැයි ප්‍රදේශය බාර උසස් පොලිස් නිලධාරියෙක් අපට කීවේය. ඇයගේ මළසිරුර පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය පාණදුර රෝහලේදී ඉකුත් 1 වැනිදා දින සිදු කිරීමට නියමිතව තිබිණි. මේ පිළිබඳ විමර්ශන බස්නාහිර පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් සහ කළුතර දිසා බාර නියෝජ්‍ය පොලිස්පති සරත් කුමාරගේ උපදෙස් මත පාණදුර කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සමන්ත වෙදගේගේ අධීක්ෂණයෙන් සහකාර පොලිස් අධිකාරිවරුන් වන නිශාන්ත සේනාරත්න, නිරෝෂ් ධර්මසේන යන අයගේ මෙහෙයවීමෙන් පින්වත්ත පොලීසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එස්. රණවීර ප්‍රමුඛ එහි අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති එච්. එම්. ඩී. හේරත් ඇතුළු උපපොලිස් පරීක්ෂක පෙරේරා, සැරයන් ජයසිංහ, කොස්තාපල්වරුන් වන 68398 කුමාර, 95643 සුසන්ත යන නිලධාරීහු සිදු කරති.

Comments