ජවිපෙ විප්ලවීය ඉතිහාසයේ අරගලයට පණ පෙවූ මිනිසෙක් | Page 4 | සිළුමිණ

ජවිපෙ විප්ලවීය ඉතිහාසයේ අරගලයට පණ පෙවූ මිනිසෙක්

පියසේන රාමනායකගේ අවසන් කටයුතු සිදු කරන අවස්ථාවේදී විප්ලවීය ආචාරය පුද කළ වාම ක්‍රියාකාරිකයන්

සර 57ක ජනතා විමුක්ති පෙරමු‍ණේ (ජවිපෙ) ගමන් මඟ වැටී තිබුණේ මල් අැතිරූ මාවත්වල නොවේ. ඒ දුෂ්කර, අභියෝග, ද්‍රෝහිකම්, කල්ලි සහ කණ්ඩායම් වාදයන්, අර්බුද සහ කුමන්ත්‍රණ, අවලාද නැඟීම්, පාවාදීම්, මර්දනයන් සහ ඝාතනයන් මැද ආ එම ගමන අතිශයින් දුෂ්කර බව අවිවාදිතය. එම ගමන් මාර්ගයේදී සාධනීය මෙන් නිශේධනීය ලක්ෂණ ද විය. හරි දේ මෙන්ම බොහෝ අඩුලුහුඬුකම් ද විය. ජයග්‍රහණ මෙන්ම පරාජයන් ද විය.

වසර 1971 අප්‍රේල් 5 කැරැල්ලේදී මෙන් ජවිපෙ 2වැනි කැරලි සමය වූ 1986 - 1990දීද දිවි පිදූ අරගලකරුවන් දහස් ගණනකි. ඒ කැරලි දෙකේ අරගල විසින් වීරයන් ද බිහි කළ අතර සටන්වැදී දිවි පිදූ ඇතැම් දෙනා විශ්වාස කළ නොහැකි සටන්කාමීත්වයක්, නිර්භීත බවක් සහ වීරත්වයක් විදහා පෑය. ඒ සඳහා ඔවුනට උපකාරි වූයේ එම කැරලිකරුවන්ගේ අධ්‍යාත්මය තුළ තිබූ අචල විශ්වාසය වේ. එසේම 1971 අප්‍රේල් කැරැල්ලේ අරගල සම්ප්‍රදාය යළි ජීවමාන කිරීමේ වගකීම සිය උරමත තබාගෙන කටයුතු කළ නියමුවකු වූ හම්බන්තොට පියසේන රාමනායක ඉකුත් මාර්තු 15 වැනිදා ජීවන ම‍ෙඟන් සමුගත්තේය. ඔහුගේ අවසන් කටයුතු මාර්තු 17 වැනිදා සිදු කෙරිණි.

රාමනායකගේ අවසන් කටයුතු ජවිපෙ සහ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ක්‍රියාකාරිකයින් සාමූහිකව මැදිහත් වෙමින් සිදුකරනු දක්නට ලැබිණි. ජීවිතය අවසානය තෙක් සමාජවාදී අරමුණු දරා සිටි රාමනායක වෙත සිය විප්ලවීය ආචාරය පුද කරන්නට ද ඔවුහු කටයුතු කළහ. අතීතයේ එක් පරිච්ඡේදයක අරගලයන්ට පණ පෙවූ මිනිසකු වෙනුවෙන් ඔවුහු මතකාවර්ජනය සිදු කළහ. මිය යන විට දෙදරු පියකු වූ රාමනායකගේ බිරිය වූයේ දයාය. ඇය ද ජවිපෙ ශිෂ්‍ය අංශයේ කලක් පූර්ණකාලීනයකු විය.

ගෝනදෙනිය පදිංචිකරුවකු වූ පියසේන රාමනායක වෘත්තියෙන් ගොවියෙකි. වසර 1971 අප්‍රේල් කැරැල්ලට සම්බන්ධ විය. 1981 ජුනි 4 වැනිදා සංවර්ධන සභා ඡන්දයට ජවිපෙ වෙනුවෙන් ස්වාධීන කණ්ඩායමක් වශයෙන් තරුව ලකුණ යටතේ තරග කළ හම්බන්තොට දිස්ත්‍රික්කයේ සංවර්ධන සභා මන්ත්‍රීවරයෙක් විය. රාමනායකගේ නායකත්වයෙන් තරග කළ හම්බන්තොට ජවිපෙ කණ්ඩායමට නීතිඥ විජේදාස ලියනාරච්චි ද විය. 

එම 1981දී පැවැති දිස්ත්‍රික් සංවර්ධන සභා මැතිවරණයට දිස්ත්‍රික් 8කට ජවිපෙ තරග කළ අතර ජවිපෙ ඉතිහාසයේ ප්‍රථම වරට ජනතා නියෝජිතයන් 13 දෙනෙක් සංවර්ධන සභා මන්ත්‍රීවරුන් වශයෙන් පත්විය. එම දිස්ත්‍රික්ක 8 ජවිපෙට ලැබුණු ඡන්ද සංඛ්‍යාව 327,149කි. එහිදී තරග කළ මාතලේ සහ කළුතර දිස්ත්‍රික්කවලින් එකදු ආසනයක්වත් නොලැබිණි. සංවර්ධන සභා මන්ත්‍රීවරුන් 13 දෙනාට ලැබුණු මාසික දීමනාව ජවිපෙ පක්ෂ අරමුදලට බැර විණි.

එම සංවර්ධන සභා මන්ත්‍රීවරුන් කිහිපදෙනකු ඉවත් කිරීම, ඉවත්වීම සහ ජවිපෙ තහනමින් පසු රැස්වීම් සහභාගි නොවීම නිසා ඔවුන්ගේ ධුරයන් අහෝසි වූ අතර කණ්ඩායමේ සෙසු අය ඒ වෙනුවට මැතිවරණ කොමසාරිස් විසින් ඡන්ද ලබා ගත් අනුපිළිවෙළ අනුව පත්කරන ලදි. එසේ පසුව පුරප්පාඩුවලට පත්වූ අය අතර පියසෝම මල්ලිකාරච්චි, ජී.ඩබ්ලිව්. ගාමිණී ජයලත්, බුද්ධදාස විතානාච්චි සහ ක්වින්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු පිරිසක් ද විය.

එජාප රජය මඟින් ජවිපෙ 1983 ජූලි තහනම් කළ විට හම්බන්තොට දිසා ලේකම් වූයේ ඔහුය. ජවිපෙ තහනමත් සමඟම ජවිපෙ නායක රෝහණ විජේවීර සමඟ තංගල්ල හරහා හම්බෙගමුව වනාන්තරයට පසුබැස ගිය විට විජේවීර සමඟ සිටි කණ්ඩායමේ රාමනායක ද සාමාජිකයෙකි. එදිරිසිංහ ලෙස ද ඔහු හැඳින්විණි. ජවිපෙ 2 වැනි කැරැල්ල අරගල සමයේදී ජවිපෙ නායක මණ්ඩල සාමාජිකයකු ලෙස ද හෙතෙම කටයුතු කළේය.

ජවිපෙ 2 වැනි කැරැල්ලේදී බදුල්ල දිස්ත්‍රික්කයේ නායකයකු වශයෙන් සිටියදී 1988දී ඔහු ආරක්ෂක අංශ මඟින් අත්අඩංගුවට ගත් අතර එහිදී සිදුවූ පහරදීම්වලදී පාදයක් බිඳී ගියේය. පසුව කොළඹ මැගසින් බන්ධනාගාරයට මාරුකර යවන ලදී. මැගසින් බන්ධනාගාරයට 1988 දෙසැම්බර් 13 පස්වරු හතට ජවිපෙ එල්ල කළ ප්‍රහාරයකින් එහි සිටි ජවිපෙ සැකකරුවන් 221 දෙනකු මුදා ගැනීමට ජවිපෙ සමත් විය. පලා ගිය එම පිරිසට පියසේන රාමනායක ද අයත් විය. පාදයක ආබාධය හේතුවෙන් ඔහු ගෙන ගියේ ඔසොවාගෙනය.

එසේ මැගසින් බන්ධනාගාරයෙන් රාමනායක සමඟ පලා ගිය 221 දෙනා අතර කෑගල්ලේ කුමාර ගුණරත්නම්, අවිස්සාවේල්ලේ නීතිඥ සමන් වික්‍රමබන්දු, ගාමිණී ජයලත්, බී. විතානාරච්චි, කෑගල්ල දිස්ත්‍රික් ලේකම් ගුණවර්ධන, රත්නපුර දිස්ත්‍රික් ලේකම් ආනන්ද අබේවර්ධන, වැලිවේරිය සුනිල් කස්තුරිආරච්චි, නුවර - බදුල්ල - කෑගල්ල - මාතලේ - අම්පාර සහ අනුරාධපුර දිස්ත්‍රික්යන්හි ප්‍රබල ජවිපෙ ක්‍රියාකාරිකයන් රැසක් විය.

බන්ධනාගාරයට පහර දීමේ එම ප්‍රහාරයට වගකීම භාර ගත්තේ ජවිපෙ රංජිත් පරාක්‍රම බළකාය මඟිනි. රංජිත් පරාක්‍රම යනු පොල්ගහවෙල උපන් කොළඹදී සැක කටයුතු රිය අනතුරකින් 1988දී මිය ගිය අයෙකි. පළාගිය ජවිපෙ පිරිසන් 90% පමණ යළි පූර්ණකාලීනව ජවිපෙට එක්විය. වැලිසර යූස්ටස් දිලිප් චන්ද්‍ර ප්‍රනාන්දු හෙවත් සුදත් හෙවත් පසුව පතී නමින් කොළඹ දිස්ත්‍රික්කයේ සන්නද්ධ නායකයා වූ අතර ප්‍රේමකුමාර ගුණරත්නම් පසුව ගැමුණු නමින් ත්‍රිකුණාමලයේ දිස්ත්‍රික්කයේ සන්නද්ධ නායකයා විය.

හම්බන්තොට දිස්ත්‍රික්කය නිජබිම කරගත් පිරිස ජවිපෙ 2 වැනි කැරැල්ලේදී ඉහළ ක්‍රියාකාරිත්වයක් ගනු ලැබීය. හම්බන්තොට උපන් ඔහු ජවිපෙ වෙනුවෙන් රට පුරා පූර්ණකාලීනයන් වෙමින් තමනට පක්ෂය පැවරූ වගකීම් ඉටුකළහ. ගුණපාල සතරසිංහ ඇතුළු ජවිපෙ ක්‍රියාකාරිකයන් 24 දෙනකු 1984 නොවැම්බර් 8 ත්‍රස්තවාදී මර්දන පනත යටතේ හුංගමදී අත්අඩංගුවට ගැනීමෙන් පසු එයට එරෙහිව පැනනැඟුණු යටිබිම්ගත විරෝධයන්හි රාමනායක ප්‍රමුඛයකු විය. අවසානයේ මාස 15 කට පසු කිසිදු චෝදනාවක් නොමැතිව එම 24 දෙනා ඔහු නිදහස් කිරීමට රජයට සිදුවිය.

ජවිපෙ ක්‍රියාකාරකම් සඳහා අරමුදල් රැස් කිරීමට ගුරු වැටුප් මංකොල්ලයකදී 1985 මාර්තු මස අම්බලන්තොට පොලිසිය මඟින් අම්බලන්තොට නෝනගම වැලිපැටන්වලදී අත්අඩංගුවට ගත් මාතර තල්පාවිල විදානකංකානම්ගේ ධර්මසේන හෙවත් තල්පාවිල ධර්මේ පහරදීමෙන් මිය ගිය පසු ඔහු වෙනුවෙන් ද රාමනායක පෙනී සිටියේය. ලියුම්කරු රාමනායක කිහිපවරක් හමුවී ඇති අතර ඔහු බොහෝ දේ පැවසුවේ සීරුමාරුවෙනි. එය ද අගය කළ යුත්තකි.

ජවිපෙ 1994 යළි ක්‍රියාකාරී විවෘත දේශපාලනයට පැමිණි පසු හම්බන්තොට දිස්ත්‍රික්කයේ පළාත් සභා මන්ත්‍රීවරයකු වූ රාමනායක අනතුරුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ද විය. අවසාන කාලයේදී ජවිපෙ සමඟ මතවාදීව වෙන්ව සිටි පියසේන රාමනායක පෙරටුගාමී සමාජවාදී පක්ෂයට අනුගතවූ බව නොරහසකි.

විප්ලවවාදී දේශපාලනයේ වර්තමාන අලුත් පරම්පරාවේ බොහෝ දෙනා පැරැන්නන්ගේ අදහස් උකහා ගැනීමට උනන්දුවක් දක්වන්නේ නැතිතරම්ය. පැරැන්නන් කරදරයක් සේ සිතන අතර සිදුකරනුයේ ඔවුන් වැඩ සඳහා පරිහරණය කිරීමක් පමණි. ඇතැම් වාම නායකයන්ගේ අදහස වනුයේ පැරැන්නෝ වැඩ කිරීමේදී විවිධ දේ විමසීමෙන් “ඇණයක්“ වන බැවින් නවකයන් බඳවා ගැනීමෙන් වැඩ කිරීම වේගවත් වන බවකි. රාමනායකට ද එවැනි වටපිටාවක් නිර්මාණය වී තිබුණේ නම් එය පුදුමයට කරුණක් නොවේ.

එහෙත් ඉතිහාසයක් එසේ අවසන් වන්නේ නැත. එය අතීතයට අත්දැකීම් එකතු කරමින් නොනවතී ඉදිරියට ගමන් කරයි. ඒ නිසාම ඉතිහාසය ලියා අවසන් කිරීමට ද නොහැකිය. ජවිපෙ ඉතිහාසය සම්බන්ධයෙන් ද සත්‍ය එය වේ.


Comments