ක්ෂය රෝගය ගැන නොදන්නා කතාවක් | Page 4 | සිළුමිණ

ක්ෂය රෝගය ගැන නොදන්නා කතාවක්

ලෝකයේ මිනිස්සු ලක්ෂ පහළොවක් වාර්ෂිකව ක්ෂය රෝගයෙන් මිය යති. දළ වශයෙන් ලංකාවේ දී සෑම පැය 17කටම වරක් පුද්ගලයෙක් ක්ෂය රෝගයෙන් මිය යමින් ඇත.

වැඩියෙන්ම ක්ෂය රෝගීන් වාර්තා වන්නේ කොළඹ දිස්ත්‍රික්කයේ ය. කොළඹ දිස්ත්‍රික්කයේත් කොළඹ මහ නගර සභා සීමාව තුළය. රටේ සමස්ත රොගීන් සංඛ්‍යාවෙන් හතරෙන් එකක් වාර්තා වන්නේ කොළඹ දිස්ත්‍රික්කයෙනි. රටේ සමස්ත ක්ෂය රෝගීන්ගෙන් සියයට විසි පහක් වාර්තා වන්නේත් ක්ෂය රෝග මරණවලින් සියයට විස්සක් වාර්තා වන්නේත් කොළඹ දිස්ත්‍රික්කය තුළය. රටේම සමස්ත ක්ෂය රෝගීන්ගෙන් සියයට 40ක් බස්නාහිර පළාත තුළ ජීවත් වන්නන්ය.

කොළඹින් පසු වැඩිම රෝගී වාර්තාව හැමදා තිබුණේ ගම්පහටය. ඉන්පසුව කළුතර හෝ නුවරය. මේ දත්ත යම් සමාජ සංකේතයක් ද රෝගය හා බැඳී ඇති ඇති අයුරු පෙන්වා දෙන්නේය. 

සියවස් ගණනක් ගෙවී ගියත් රෝගය මෙන්ම රෝගය පිළිබඳ සමාජ ආකල්පයත් වෙනස් වී නැතිවීමට එම සමාජ සාධකත් හේතු වූවා විය හැකිය. බුදුන්ගේ කාලයේ පාප රෝගයක් සේ හැඳින්වූ කාසය ක්ෂය රෝගය ලෙස නිට්ටාවට සුව කළ හැකි ප්‍රතිකර්ම සහිතව වුවද ඒ රෝගය දෙස අදත් බලන්නේ පාප රෝගයක් ලෙසය.

එවන් පසුබිමක වර්ෂ 2035 වනවිට ලංකාවෙන් ක්ෂය රෝගය තුරන් කිරීමේ ඉලක්කගත වැඩපිළිවෙළක් සමඟ සෞඛ්‍ය අමාත්‍යාංශය ක්ෂයරෝග මර්දන හා ළය රෝග පිළිබඳ ජාතික වැඩසටහන දියත් කර ඇත්තේය.

එංගලන්තය මුල් කරගෙන මුලින්ම වර්ෂ 1898 දී ආරම්භ වන ක්ෂය රෝග මර්දන සංවිධානාත්ම සමාජ වෛද්‍ය වැඩපිළිවෙළ ලංකාවේ ආරම්භ කරෙන්නේ වර්ෂ 1945 දීය. මේ කාලය තුළ අඛණ්ඩව මෙම රෝග මර්දනය සඳහා පැවති ආණ්ඩු කටයුතු කළේය.

එහෙත් මේ වනවිටත් දළ වශයෙන් රට තුළ රෝගීන් 8000ක් 9000ක් වාර්තා වෙමින් තිබේ. වාර්තා නොවන රෝගීන් 4000ක් පමණවත් රෝගය පතුරුවමින් සමාජයේ වෙතැයි අනුමාන කෙරේ. සෑම වසරකම පුද්ගලයින් 500 – 600ක් ක්ෂය රෝගයෙන් මිය යමින් සිටිති. මේ තත්ත්වය තුළ අපේ රටේ ක්ෂය රෝග මර්දන ඉලක්කයේ යථාර්ථය පිළිබඳ දැන ගැනීමට මුලින්ම සම්බන්ධ කරගන්නේ සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල්, ක්ෂයරෝග මර්ධන ජාතික වැඩසටහනේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත්ය.

ක්ෂයරෝග රෝගීන් 8000 -9000ක් හැම අවුරුද්දෙම හමුවෙනවා. එක විෂබීජයකින් හැදෙන රෝග ගත්තාම දෙවැනියට වැඩියෙන්ම රෝගීන් වාර්තා වෙන්නේ ක්ෂය රෝගයෙන්.“ සෑම වසරකම අවම වශයෙන් පන්සීයක් මිය යනවා ක්ෂය රෝගයෙන්. මේ වනවිට පැතිරෙන කොවිඩ් වසංගතය අත්හැරියම එක් බෝවන රෝගයකින් අවුරුද්දකට වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා වෙන්නේ ක්ෂය රෝගයෙන්. ඒ නිසා ලංකාවෙ බරපතළම ප්‍රශ්නයක් ඇති කරන රෝගයක් තමයි ක්ෂය රෝගය. ඒක අවිවාදිතයි. තෙවනුව මේ රෝගය දීර්ඝකාලීන ප්‍රතිකාර නියම වුණු රෝගයක්. ඒ නිසාම රෝගය වෙනුවෙන් සෞඛ්‍ය ක්ෂේත්‍රයට දරන්න වෙන පිරිවැය ඉතාම වැඩියි. ඉතාම මිල අධික ඖෂධ ලබා දෙන්නෙ. හය මාසයෙන් මාස දෙකක් රෝහල්ගත වෙන්න ඕන. ප්‍රතිකාර නිසි පිරිදි වෙනව ද යන්න සෘජුවම ක්ෂේත්‍ර නිලධාරීන් අධීක්ෂණය කරනවා. වැරදුණොත් ආයෙ මුල ඉඳලා ප්‍රතිකාර කරන්න ඕන නිසා නිවාරණ කටයුතුවලටත් ඉතාම වැඩි බරක් වැටිලා තිබෙනවා.

මෙය දීර්ඝ කාලීන රෝගයක් නිසා සමාජ ආර්ථික පරිසරයට ඇතිකරන බලපෑම වැඩියි. එවන් රෝගයක් තුරන් කිරීම වෙනුවෙන් ඉතාම විධිමත් වැඩපිළිවෙළක් රට තුළ දියත් විය යුතුයි.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ දත්ත ප්‍රකාරව අපේ රටේ වර්තා නොවන රෝගීන් හාර දහසක් පන්දහසක් පමණ පිරිසක් වාර්ෂිකව ඉන්නවා. මේ රෝගීන් හැකි පමණ හොයාගෙන ප්‍රතිකාර කිරීමෙන් මේ රෝගය යම් ආකාරයකින් පාලනය කරන්න සැලසුමක අපි ඉන්නෙ. ඉලක්කය වාර්තාවන රෝගීන් ගණන ජනගහණයෙන් ලක්ෂයකට දස දෙනෙක් දක්වා අඩු කර ගැනීම. ලෝක සෞඛ්‍ය සංවිධානයේ තක්සේරුව අනුව දැනට රෝගීන් ලක්ෂයකට හැට දෙනෙක් ඉන්නවා. අපට සිද්ධවෙනවා මේක 10 දෙනෙකුට පමණ අඩු කරගන්න. ඒ සඳහා ඉලක්ක කරගෙන තමයි ජනතාව දැනුම්වත් කිරීමේ වැඩසටහනක් දිගින් දිගටම කරගෙන යන්නේ.“

ක්ෂය රෝග මර්දන හා ළය රෝග පිළිබඳ ජාතික වැඩසටහනේ ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය ඔනාලි රාජපක්ෂ මේ රෝගය වැලඳීමේ ස්වරූපය තවත් අපට පැහැදිලි කරන්නීය.

වර්ෂ 2010 ක්ෂය රෝගින් අවුරුද්දට දස දහසකට ආසන්න ප්‍රමාණයක් වාර්තා වී තිබෙනවා. ඉන් පස්සෙ සාමාන්‍යයෙන් අඩු වීමක් වාර්තා වුණා. කොවිඩ් පටන් ගත් 2020 දි අපට වාර්තා වුණේ ක්ෂය රෝගීන් 7258යි. 2021 දී 6771 යි. මේ අඩුව කොවිඩ් නිසා වූ බවට උපකල්පනයකටත් යන්න පුළුවන්.

ඒත් ලෝක සෞඛ්‍ය සංවිධානය අප සම්බන්ධව දක්වන නිර්නායක අනුව ලක්ෂයකට හැට හතරක් ක්ෂය රෝගීන් ඉන්න ඕන. අවුරුද්දකට 14000ක් ඉන්න ඕන. එහෙත් වාර්තා වෙන්නෙ සියයට 50කට අඩු අගයක්. ඒ කියන්නෙ අපට සොයාගත නොහැකි සැඟවුණු රෝගීන් ප්‍රමාණයක් ඉන්නවා. ඔවුන් එක් අයෙක් සෑම වසරකම තවත් 10ක් 15ක් ආසාදිත කරනවා. එකම දේ මේ රෝගය කොවිඩ් වගේ ඉක්මනට පැතිරී නොයාමයි.

ක්ෂය රෝගය ඕනෑම කෙනෙකුට වැලඳෙන්න පුළුවන්. නමුත් වැලඳීම සඳහා ඇති අවදානම සමාන නෑ. අප හඳුනාගෙන ඉන්නවා රෝගය වැලඳිය හැකි අධි අවදානම් කණ්ඩායම්.

රෝගය බෝ වෙන්නේ කෙළ බිඳිතිවලින්. නාසයෙන් ගලන ශ්ලේෂ්මල දියරවලින්. වාතාශ්‍රය අඩු වැඩි දෙනෙක් එකට ඉන්න තැන්වල ක්ෂයරෝග අවදානම වැඩියි. උදාහරණ තමයි බන්ධනාගාර, තදබදය වැඩි වාතාශ්‍රය අඩු නාගරික පැල්පත් නිවාස.

කොළඹ මහ නගර සභා සීමාව තුළ තමයි දැනට ලංකාවෙ වැඩිම ක්ෂය රෝගීන් වාර්තා වෙන්නෙ. මත්ද්‍රව්‍ය, ඇල්කොහොල්, දුම් පානය අධි අවදානම් සාධක. බොහෝ විට කොළඹ නගර සභා සීමාව තුළ සමාජ ජීවිතයෙදී මේ අවස්ථා සියල්ලම සම්පූර්ණ වෙනවා. එහි ප්‍රතිඵල ක්ෂය රෝගීන් ලෙස වාර්ෂිකව අපට ලැබෙනවා.“

රටේ බහුතරයක් කොවිඩ් අවදානමට ලක් වූ මිනිස්සුය. කොවිඩ් රෝගයෙන් බැට කෑ මිනිස්සුය. මේ අයට ක්ෂය රෝගය කෙබඳු බලපෑමක් ඇති කරයි ද? අපි විමසුවෙමු.

“ කොවිඩ් සහ ක්ෂය රෝගය අතර සම්බන්ධයක් පරීක්ෂණවලින් ඔප්පු වෙලා නෑ. නමුත් මේ රෝග දෙකම පෙණහලුවලට කෙළින්ම බලපානවා. ඒ නිසා එක් රෝගයක් වැළඳුණු පුද්ගලයකුට අනෙක් රෝගය වැලඳුණොත් ගැටලු සහගත තත්ත්ව ඇති වෙන්න වැඩි අවදානමක් තිබෙනවා. නමුත් ක්ෂය රෝගයෙන් වැළකීම සඳහා කොව්ඩ් නිසා සමාජයට ලැබුණු දෙයක් ඇති බව සිහිකළ යුතුයි. මාස්ක් දැමීම, දෑත් සේදීම, අනවශ්‍ය ලෙස ජන රාශිය අඩුවීම ක්ෂය රෝග පාලනයටත් ඉතාම වැදගත්.“

ලෝකයේ සෞඛ්‍ය සංවිධානයේ දත්ත අනුව සාමාන්‍යයෙන් ලෝක ජනගහනයෙන් සියයට විසි තුනක් ක්ෂය රෝගය ආසාදනය කරන මයික්‍රො බැක්ටීයම් බැසිලස් බැක්ටීරියාව ආසාදනය වෙලා ඉන්නෙ. නමුත් හැමෝටම රෝගය හැදෙන්නෙ නෑ. රෝගය වැලඳෙන්නේ ආසාදිතයන්ගෙන් සියයට දහයකට. ප්‍රතිශක්තිය අඩු අයට ජීවිතයෙ ඕන කාලයක දී රෝගය හැදෙන්න පුළුවන්.

ක්ෂය රෝග මර්දන සහ ළය රෝග පිළිබඳ ජාතික වැඩසටහනේ, සෞඛ්‍ය අධ්‍යාපන සහ ප්‍රවර්ධන අංශය වෛද්‍ය නිලධාරී, අමාලි සේනානායකය. ඇය අපට කියන්නී මේ අපරාධ මරණ ගැනය. “නිට්ටාවට සුව කළ හැකි මෙවන් රෝගයකින් වසරකට රෝගීන් පන්සීයක් හයසීයක් මැරෙනවා කියන්නෙ අපරාධයක්. අවශ්‍යවන්නේ ඉක්මනින් ප්‍රතිකාරවලට යොමු වීමයි. රෝගයක් වැලඳීමට සමාජ තරාතිරම බලපාන්නෙ නෑ. සියලුම පරීක්ෂණ නොමිලයේ සිදුවෙනවා. සෑම දිස්ත්‍රික්කයකටම එක බැගින් දිස්ත්‍රික් ළය චිකිත්සාගාර පිහිටලා තිබෙනවා. සති දෙකකට වඩා වැඩි කාලයක් තිබෙන කැස්ස, මඳ උණ ගතිය, ශරීරය කෙට්ටු වීම, ආහාර අරුචිය, කැස්ස සමඟ මඳ වශයෙන් ලේ පිටවීම, රාත්‍රියට මඳ වශයෙන් දහදිය දැමීම තමයි ක්ෂය රෝගයට පොදු රෝග ලක්ෂණ.

මේ රෝග ලක්ෂණ තිබෙනවා නම්, ඔබ යම් ක්ෂය රෝගියකුගෙ ආශ්‍රිතයෙක් නම්, ආශ්‍රිත පරීක්ෂාවට යොමුවීම වැදගත්. ඒ වගේම ක්ෂය රෝගය ආසාදිත අඩු ආදායම් ලාභියෙක් නම් සමාජ සේවා දෙපාර්තමේන්තුවෙන් යම් මුදලක් ලබා දෙනවා. ඒ ආධාරය ලබා ගන්න. රජයෙන් ත්‍රිපෝෂ සහනාධාරයක් ලබා දෙනවා. ළය චිකිත්සාගාරයෙන් එය ලබා ගන්න. ක්ෂය රෝග පරීක්ෂාව ඉතාම වැදගත් වන්නෙ තරුණ පිරිස්වලට. විදෙස් ගතවන ශ්‍රී ලාංකිකයන්ට බ්‍රිතාන්‍ය, නවසීලන්තය, ඔස්ට්‍රේලියාව, කැනඩාව, ඇතුළු රටවල් ගණනාවකට වීසා ලබා ගැනීමට ක්ෂය රෝගයෙන් තොර බව තහවුරු කිරීම අනිවාර්යයි. ඒ අර්ථයෙනුත් මෙම රෝගය සම්බන්ධව උනන්දු වීම වැදගත්.

ළය චිකිත්සාගාරයකට යොමුවීම ඉතාම සරල දෙයක් බව වෛද්‍යවරිය කියන්නීය. කිසිම ලිපි ලේඛනයක් හෝ යොමු කිරීමේ ලිපියක් අවශ්‍ය නැත. කෙළින්ම ළය චිකිත්සාගාරයකට යොමු වී තමන්ගේ සියලු පරීක්ෂණ රස්තියාදුවකින් තොරව නොමිලේ කරගත හැකිය.

“දිස්ත්‍රික් ළය චිකිත්සාගාරයක් තුළ විශේෂඥ ශ්වසන රෝග වෛද්‍යවරු ඇතුළු ප්‍රමුඛ වෛද්‍ය කාර්ය මණ්ඩලයක් ඉන්නවා. බෙහෙත්, පරීක්ෂණ, ප්‍රතිකාර සියල්ල නොමිලේ. මෙම බෙහෙත් පිට ඖෂධහල්වලින් ගන්න බෑ. සියලුම රෝග කළමනාකරණය වෙන්නේ දිස්ත්‍රික් ළය චිකිත්සාගාරයෙන් විතරයි.“ “ක්ෂය රෝගියෙක් මාස හයක් දිගටම බෙහෙත් බොන්න ඕන. ඒක ටිකක් අමාරු වැඩක්. දීර්ඝකාලීන ක්ෂය රෝග ප්‍රතිකාර අතුරු ආබාධවලට අත වනනු ඇති ද?. අපි ඒ පිළිබඳ ශ්‍රී ලංකා ශ්වසන රෝග සංගමයේ සභාපති ශ්වසන රෝග සම්බන්ධ විශේෂඥ වෛද්‍ය රවිනි කරුණාතිලක විමසුවෙමු. “සංකූලතා ඇතිවුණත් ඒ බෙහෙත් ගැනීම ආරම්භ කරන පළවෙනි මාස දෙක ඇතුළෙ තමයි සිදු වෙන්නෙ. ඒ සංකූලතා දීර්ඝ කාලීනව පවතින්නෙ නෑ. සංකූලතා ඇතිවිය හැකි රෝගීන් සම්බන්ධව විශේෂ අවධානයක් සහිතව කෙරෙන නිශ්චිත ප්‍රතිකාර වැඩපිළිවෙළක් අපට තිබෙනවා.“

රට තුළ දශක අටක් තිස්සේ ක්‍රියාත්මක ක්ෂය රෝග මර්දන වැඩසටහනක් ඇත්තේය. ලෝකයේ සියවසකට පෙර මෙම වැඩසටහන ආරම්භ වන්නේ ජනතාව දැනුම්වත් කර රෝගය තුරන් කිරිමේ මුඛ්‍ය අභිලාෂය සහිතවය. අදත් ඒ අරමුණින් ව්‍යාපෘතිය දියත් වෙමින් තිබේ. එහෙත් ඊට අවසාන ජාතික ඉලක්කයක් ලැබී ඇත. ඒ වර්ෂ 2035 දී රටෙන් ක්ෂය රෝගය තුරන් කිරීමය.

Comments