
ඓතිහාසික කන්ද උඩරට වැලිමඩ ප්‍රදේශයේ ධනවත් වතු අධිකාරිවරයකු වූ වික්ටර් පෙරේරා සහ ඩෝර්කි පෙරේරා යුවළගේ වැඩිමහල් පුත්‍රයා ලෙස වර්ෂ 1944 ජූනි 20 උපන් අප කථානායක තරුණයා පාසල් වියේ සිට මාක්ස්වාදී පොතපත කියැවීමත් ඒ අනුව සිතීමටත් දැඩි උනන්දුවක් දැක්වූවෙකි. බණ්ඩාරවෙල ගුරුතලාව ශාන්ත තෝමස් විද්‍යාලයෙන් ප්‍රාථමික අධ්‍යාපනය ලබා මෙරට පළමු වරලත් ගණකාධිකාරී විභාගයෙන් විශිෂ්ට සාමර්ථ්‍යයක් ලැබූ ඔහු සිය වෘත්තීය ජීවිතය ආරම්භ කළේ බෝගල මිනිරන් සමාගමේ ගණකාධිකාරී තනතුරට පත්වීමෙනි.
ධනපති ක්‍රමය ගැන දැඩි කලකිරීමක් සිතේ තබාගෙන රැකියාවේ නිරත වූ ඔහු දුටුවේ පනහ හා හැට දශකවල ධනේෂ්වර එක්සත් ජාතික පක්ෂ දේශපාලනයට මිනිරන් කර්මාන්තය තොටිල්ලක් වී ඇති බවයි. ශ්‍රී ලංකික ධනවාදී පංතියේ ප්‍රභූවරු මිනිරන් පතල් හිමිකරුවන් වූ බැවින් සිය දේශපාලන කටයුතු සඳහා එසේ උපයගන්නා මුදලින් විශාල ධනයක් වියදම් කරන්නට සමත් වූහ. මිනිරන්වලින් උපයන ධනස්කන්ධය එක් පුද්ගලයකු වටා ඒකරාශී වීමත්, කම්කරුවන් විඳින දුකත් ගැන කලකිරුණු ඔහු, කම්කරුවන් එකී අසාධාරණයෙන් මුදවා ගැනීමට අප්‍රතිහත ධෛර්යයකින් කටයුතු කළේය. මේ අරගලකාරී තරුණයා නමින් නිහාල් පෙරේරා ය. දේශ විමුක්ති ජනතා පක්ෂයේ නිර්මාතෘවරයාය.
1960 දශකයේ අගභාගයේදී එක්සත් රාජ්‍ය සංස්ථා හා වෙළෙඳ සේවක සංගමය නමින් වෘත්තීය සමිතියක් පිහිටුවාගත් ඔහු, 1970 සමගි පෙරමුණු රජය යටතේ බෝගල පතල රජයට අත්පත් කර ගැනීමෙන් අනතුරුව මිනිරන් සංස්ථාව පිහිටුවා ගත්තේය. පසුව කහටගහ කොළොන්ගහ සහ මයිකා ව්‍යාපෘතිය ද ආරම්භ කළේය. පසුකලෙක ලංකා බැංකුවේ සභාපති තනතුරට පත්වූ නිහාල් පෙරේරා, හිටපු සභාපතිවරුන්ගෙ ගාම්භීරත්වය වෙනුවට නිහතමානිකමින් සහ ආදර්ශමත් බවින් ක්‍රියාකරන්නට විය.
ඔහු ලංකා බැංකු සභාපති තනතුරට පත්ව ලංකා බැංකුව වෙත පැමිණි මුල්ම අවස්ථාවේ තමා පැමිණි නිල රථයේ දොර විවෘත කිරීමට තම රථය වෙත ළඟා වූ ආරක්ෂක අංශ නිලධාරියාට සිනාමුසු මුහුණින් යුතුව පැවසුවේ “බොහෝම ස්තුතියි, මගේ වාහනයේ දොර මට ඇරගන්න පුළුවන්” කියාය. ඉතා කෙටි කාලයකට සීමා වූ තම නිල කාලය තුළදී ලිපිකරුවන්ගේ උසස්වීම් ක්‍රමයත් විශේෂයෙන්ම සෑහෙන කාලයක් ඇදෙමින් පැවැතුණ සුළු සේවකයන්ගේ උසස්වීම් ක්‍රමයත් ඇති කර චක්‍රලේඛන මඟින් ප්‍රකාශයට පත් කොට වැඩි කලක් ගතවීමට පෙර එන්.පෙරේරා මුදල් ඇමතිකමින් ඉවත් විය. ඒ සමඟම නිහාල් පෙරේරා තම තනතුරින් ඉල්ලා අස්විය. එතැන් සිට ඔහු තම ජිවිත කාලයම කැප කළේ නිර්ධන පන්ති පීඩිත පන්ති අරගලය වෙනුවෙනි. සියලු වමේ දේශපාලන පක්ෂ සුහදව සුභවාදී ආකල්පයකින් කටයුතු කිරීම ඔහුගේ විශේෂ චරිත ලක්ෂණයකි.
ඉඩම් අක්කර දස දහස් ගණනක් පැඟිරි වගාවට කියමින් මැලේසියානු බහුජාතික සමාගමකට පැවැරීමට දැරූ පරගැති තැන පරාජය කිරීමේදී ද, එප්පාවල පිහිටි දැවැන්ත පොහොර ගල් නිධිය ආගමිකයෝ නැමැති ඇමරිකානු යෝධ බහුජාතික සමාගම ගිල ගැනීමට දැරූ වෑයම ද පතල් කම්කරුවන් සමඟ එක්ව පරාජය කිරිමේ සටනේද, රජය ගොවිජනතාව මත ජල බද්ධ පැනවීමට පෙර එහි පෙරහුරුවක් ලෙස නාගරික ජල බද්ධ පැනවීමට එරෙහි සටනේ ද නිහාල් පෙරේරා පුරෝගාමී විය.
ගොවි ජනතාව සමඟ එක්ව සමස්ත ලංකා ගොවිජන සභාව පිහිටුවීමට මුලික වූ ඔහු එම සභාවේ පුවත්පත වන ‘ගොවි හඬ’ වසර ගණනාවක්ම නොකඩවා ප්‍රකාශ කිරීමට සිය පෞද්ගලික ධනය යෙදවීය. ගොවි ජනතාව හෙළන දහදිය, කඳුළු, සුසුම, දුක වේදනාව මනාව හඳුනාගත් ඔහු අසරණ ගොවි ජනතාවගේ ජල බදු, අක්කර බදු, ණය වාරික, පොහොර මිල, කෘමි වසංගත, ඉඩම් ප්‍රශ්න ආදී දහසකුත් එකක් ප්‍රශ්න විසඳීමටත් ඔවුන්ට යුක්තිය, සාධාරණය ඉටු කර දීම සඳහාත් දිවා රෑ නොබලා සිය කාලය, ධනය ශ්‍රමය වැය කළ ආකාරය කිසිදාක අමතක නොවේ.
රටේ ජීවනාලිය බඳු තරුණ පරපුර පිළිබඳව දැඩි අවධානයක් දැක්වූ ඔහු විරැකියාව ඇතුළු නොයෙකුත් තරුණ ප්‍රශ්නවලට විසඳුම් ලබාදීමට ‘තරුණ ශක්ති’ සංවිධානය සහ එනමින්ම සඟරාවක් ද ආරම්භ කළ අතර එම සංවිධානයේ සභාපති ලෙස කටයුතු කළේය. 1985 පෙබරවාරි 13 දා සංශෝධිත විශ්වවිද්‍යාල පනත හා අධ්‍යාපන ධවල පත්‍රිකාවට එරෙහිව සරසවි සිසුන් ගෙන ගිය සටහනට නායකත්වය දෙමින් කොටුවේ දුම්රිය පොළ ඉදිරිපිට දියත් කළ පුළුල් මහජන උද්ඝෝෂණයේ දී නිහාල් පෙරේරා පොලිසියේ අමානුෂික ප්‍රහාරයන්ට ද ලක්විය.
දුක් විඳින කම්කරු ජනතාවගේ සුභ සිද්ධිය වෙනුවෙන් මහත් වූ දයානුකම්පාවකින් හා කරුණාවකින් නිහාල් නිතර කටයුතු කළේය. කම්කරුවනට හාම්පුතුන්ගෙන් සිදුවන නොයෙකුත් අකටයුතුකම් නොඉවසු ඔහු කම්කරුවන්ගේ අයිතිවාසිකම් රැකගැනීම සඳහා උසාවි ගානේ රස්තියාදු වෙමින් සිය ගණනක් නඩු කීවේය.
ජනතාවගේ ජීවන වියදම අඩු කිරීම ඇතුළු තවත් කම්කරු ඉල්ලීම් ගණනාවක් වෙනුවෙන් 1986 වසරේ නොවැම්බර්යේදී කම්කරු උද්ඝෝෂණයක් මෙහෙයවමින් සිටි නිහාල් ප්‍රමුඛ දේශ විමුක්ති ජනතා පක්ෂයේ තිදෙනකුට මාස ගණනාවක් සිරබත් කන්නට සිදුවිය. එහෙත් ඔහුට තිබුණේ පුදුමාකර උපේක්ෂාවකි; නොසැලුණු අධිෂ්ඨානයකි. කොළඹ මහවැලි අමාත්‍යාංශය වටකරමින් දැවැන්ත ගොවි කම්කරු උද්ඝෝෂණය පැවති 1985 සැප්තැම්බර් 11 වැනිදා දේශ විමුක්ති ජනතා පක්ෂය බිහි කළ නිහාල් පෙරේරා, ජනතාවගේ පොදු හා ප්‍රධාන සතුරු බලවේගවලට විරුද්ධව සියලු පක්ෂවල ක්‍රියාත්මක සමගියට පුරෝගාමී මෙහෙයක් ඔහු මියයන තෙක්ම ඉටු කළේය.ශ්‍රී ලාංකික පොදු ජන අරගලයේ පෙර ගමන්කරුවකු මෙන්ම ලෝ පුරා ජාතික විමුක්ති අරගලවල සැබෑ මිතුරකු හා අචල නිර්ධන පන්ති විප්ලවවාදියකු ලෙසත් ජාත්‍යන්තරවාදියකු ලෙසත් හැඳින්විය හැකි ඔහු ජාත්‍යන්තර අර්බුද පිළිබඳ මෙන්ම පවතින ලෝක තත්ත්වය පිළිබඳවත් දැඩි විමසිල්ලෙන් යුතු අයෙකි. ලෙනින් මෙහෙය වූ සෝවියට් විප්ලවය, ඕ සේතුං මෙහෙය වූ චීන විප්ලවය, මෙන්ම හෝචිමිං හා පිදෙල් කස්ත්‍රෝ මෙහෙය වූ ජයග්‍රාහී විප්ලවය පිළිබඳව දැඩි විශ්වාසයක එල්බ සිටි නිහාල් පෙරේරා, එම වීරවරයන්ගේ ජයබිම් සංචාරය කරමින් සියසින් දැක බලාගෙන ප්‍රායෝගික වශයෙන් අත්දැකීම් ලබා ගන්නට ද අමතක නොකළේය. ඒ අනුව ලිබියානු නායක මුවම්මර් අල් ගඩාපි සෙනෙවිතුමා හමුවීමට ලිබියාවට ද, 1990 දී මහජන චීනයට හා කියුබාවට ද ගියේය.
ඔහු ගිය බොහෝ විදේශ සංචාරවලදී මටත් ඔහු සමඟ ඒවාට සහභාගි වීමට අවස්ථාව ලැබිණ. නිහාල් පෙරේරා, පලස්තීන ජනතාවගේ උපන් බිමේ අයිතිය පැහැරගත් ඊශ්‍රායලවරුන් මෙරටින් පිටමන් කිරීමේ ව්‍යාපාරයට ලබා දුන් සහයෝගය මෙතෙකැයි ප්‍රමාණ කළ නොහැක. ශ්‍රී ලංකාව ඊශ්‍රායලයෙන් ආරක්ෂා කිරීමේ ව්‍යාපාරය (MOPSI) නායකත්වය දෙමින් ලාංකික ප්‍රගතිශීලී මුස්ලිම්වරුන්ගේ ද සහාය ලබාගෙන අල්ජිහාඩ් නමින් හා “ධර්ම යුද්ධය” නමින් වාර සඟරාවක් ද පළකළ අතර, ඊශ්‍රායල වරුන් මේ රටින් පිටමන් කරන ලෙස ඉල්ලා දස දහස් ගණනකගේ අත්සනින් යුත් යොධ පෙත්සමක් එවකට ජනාධිපති රණසිංහ ප්‍රේමදාසට භාර දුන්නේය.
පැහැදිලි ලෙසම සමාජවාදී ශ්‍රී ලංකාවක් ඔහුගේ අරමුණ වූ අතර එකී අරමුණ සාක්ෂාත් කර ගැනීම සඳහා මාක්ස් ලෙනින් වාදය කෙරෙහි දැඩි විශ්වාසයක් තැබීය. සමාජවාදී කඳවුර කඩා වැටීම නිසා බොහෝ වාමාංශිකයන් තුළ මාස්ක් ලෙනින් වාදය සම්පූර්ණයෙන් බැහැර කිරීම නැඹුරුවත් ඇති වූ නමුත් ඔහු තුළ එය එසේ නොවීය.
බොහෝ විප්ලවවාදීන් යම් යම් මාස්ක්වාදී ගුරුකුලවල සිරකරුවන් වීම අපේ යුගයේ අවසනාවන්ත සිදුවීමකි. එහෙත් පොතේගුරු වාදියෙක් නොවූ නිහාල් පෙරේරා, මාස්ක් ලෙනින්වාදී, මා ඕ සේතුන් චින්තනය ඔහුගේ පසුබිමේ වී නමුත් එය අන්ධානුකරණයෙන් නොසැලකීමට තරම් බුද්ධිමත් විය. නිර්ධන පංතියේ අඥදායකත්වය යටතේ බිහිකරනු ලබන සමාජවාදී සමාජයක් ගොඩනැංවීමේ අවධියට තබා මහජන ප්‍රජාතන්ත්‍රවාදි අවධියටවත් තවම කාලය නොඑළඹුන බව ඔහුගේ අදහස විය. වත්මන් අවධිය ජාතික ප්‍රජාතන්ත්‍රවාදි අවධිය ලෙස ඔහු සැලකුවේය. අධිරාජ්‍යවාදී මුල්‍ය ආයතනයන්ට වහල්ව ජන අයිතීන් සම්පූර්ණයෙන් පාගා ඇති යුගයක එම වහල් භාවයට එරෙහිව අරගල කිරීම තුළින් ජනතාවගේ ප්‍රජාතන්ත්‍රීය අයිතීන් සුරැකීම අද දවසේ න්‍යාය පත්‍රෙයහි ඇතුළත් වන අතර, ඒ සඳහා ජාතික විමුක්ති අරගලයක් අවශ්‍ය බවත් ඔහු අවධාරණය කළේය.
වැඩවසම් ශේෂයන් සහිත ආසියානු නව විජිතයක් වන ලංකාවේ සමාජවාදී සමාජයක් ගොඩනැංවීමට යන ගමනේදී ප්‍රජාතන්ත්‍රීය අවධියේ ඉතිරි කාර්යයන් සම්පූර්ණ කිරීමට අනිවාර්යයෙන්ම සිදුවේ. මනෝමුල අයුරින් හා වාමඅන්තවාදී ලෙසින් මෙම පැනීමට යන කවරෙකු වූවද සේවා කරන්නේ දකුණට බව ඉතිහාසයේ සනාථ කරයි යනුවෙන් දේශ විමුක්ති ජනතා පක්ෂයේ ප්‍රතිපත්ති මාලාවට ඔහු මෙම අදහස ඇතුළත් කර ඇත.
මානව හිතවාදියකු වූ නිහාල් පෙරේරා, වර්ෂ 1974 දී කර්මාන්ත හා විද්‍යා කටයුතු අමාත්‍යාංශයේ ටී.බී.සුභසිංහ ගේ වැඩිමහල් දියණිය වූ සුවිනීතා සුභසිංහ සමඟ විවාහ විය. සාර්ථක පවුල් ජීවිතයක් ගත කළ ඔහුට නිරුද සහ නාද්‍යා නමින් දරුවන් දෙදෙනකි. 1994 මාර්තු 30 දින ඔහු අප අතරින් වියෝ විය.
ගලගම ධම්මරංසි හිමි