
1.රුපියල නම්‍යශීලී කිරීම විනිමය අනුපාතිකයට කෙසේ බලපෑමක් කරයිද?
2. සජබ උද්ඝෝෂණය සම්බන්ධයෙන් ඔබේ අදහස කුමක්ද?
3. ජාතික ආණ්ඩුවක් අවශ්‍යද?
4. ඉදිරියේදි පැවැත්වීමට යෝජිත සර්ව පාක්ෂික සමුළුව ගැන ඔබේ අදහස?
5. අපි IMF යා යුතුයිද?
යහපත් අදහස්වල එකමුතුවක් තිබෙනවා නම් වැදගත්
- පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න
1රුපියල නම්‍යශීලි කිරීම ජාතික ආර්ථිකය සම්බන්ධයෙන් ගත්විට විශේෂයෙන් ප්‍රායෝගික වෙළෙඳපොළ තත්ත්වයන් සම්බන්ධයෙන් ධනාත්මක සහ සෘණාත්මක බලපෑම් ඇති කරනවා. රුපියල නම්‍යශීලි කිරීම ඇතැම් පාර්ශ්ව අර්බුදයට විසඳුමක් ලෙස යෝජනා කළා. නමුත් අනෙක් පසින් ඒ නිසාම වෙළෙඳපොළ පීඩාවනුත් නිර්මාණය වෙනවා. ආයාසයෙන් එක තැන රුපියල ස්ථාවරව තියා ගැනීමට දරන උත්සහයේදීත් හොඳ සහ නරක ප්‍රතිඵල තියෙනවා. දැනට රුපියල නම්‍යශීලි කිරීමෙන් අපිට හොඳ පිළිතුරු කිහිපයක් ලැබෙනවා. ඒ වගේම සාමාන්‍ය වෙළෙඳපොළ සම්බන්ධයෙන් සහ ජිවන වියදමට අදාළව මෙහිදී දුෂ්කරතා හා ගැටලු තාවකාලිකව මතුවී තියෙනවා; . එය සමනය කර ගැනීමට අවශ්‍ය සියලු කටයුතුවලට රජය මැදිහත් විම සිදුකරමින් පවතිනවා. රුපියල නම්‍යශීලි කිරීම මින් පෙර ගන්න තිබුණා. ආර්ථිකය සම්බන්ධයෙන් විශේෂඥභාවයකින් යුතු අයත්; දේශපාලනික මතයක් ලෙසත් ගොඩනැඟී තියෙනවා. අපි රුපියල නම්‍යශීලි කිරීමේ තීරණයට එකවරම නොයා හිටියේ; වෙළෙඳපොළ තුළ සහ ජීවන වියදම සම්බන්ධයෙන් ඇතිවන පිඩාවන් පිළිබඳ ඇති උපකල්පනයන් නිසයි.
2 මම මෙහිදී පුරවැසියෙක් ලෙස අදහසක් දැක්වුවහොත් ලෝකයේ ශිෂ්ටාචාර ගත මිනිසුන් ලෙස තමන් ඉපදුණ රටේ ව්‍යසනයක් ඇති වී ඇති අවස්ථාවක එකී ව්‍යසනය මත පදනම්ව ස්වකීය දේශපාලනික වාසි නිර්මාණය කර ගැනීම වැනි විකල්පයන් තෝරාගැනීම; මානව ශිෂ්ටාචාරය විසින් ප්‍රතික්ෂේප කරල දැන් ගොඩාක් කල්. බලයට පත්වීමට අර්බුදයන් යොදා ගැනීම රාජාණ්ඩු පැවැති කාලයේ නම් බහුලව යොදා ගත්තා. නමුත් අද දියුණු ශිෂ්ටාචාර ගතවූ සමාජයක අපි ජිවත් වෙන්නේ. ජාතික ව්‍යසනයකදී දේශපාලනික වාසි නිර්මාණය කරගැනීම කියන තැනට දේශපාලන ව්‍යාපාරයක් වැටිය යුතු නැහැ. මේ ඓතිහාසික වරද ඔවුන් මුලින්ම කළේ එල්ටිටිඊ ත්‍රස්තවාදයට එරෙහි මානුෂික මෙහෙයුම වෙලාවේදියි. අලිමංකඩ පාමන්කඩ... ඕන ගොනෙකුට යුද්ධ කරන්න පුළුවන් වැනි ජනප්‍රිය ප්‍රකාශ අපිට මතකයි. මේ සියල්ල තුළ අපි දැක්කේ ජාතික අභිලාෂයන්. එක් වතාවකත් ඒ අයගේ දේශපාලනික බලාපොරොත්තුව තව පාරකත් යනවා. රටක ජාතික ව්‍යසනයක් ඇති අවස්ථාවක එසේ මාවත් දෙකක යන්න බැහැ. අපිට සජබෙන් දේශපාලනිකව පාර්ලිමේන්තු බහුතරය පවත්වාගෙන යාමට සහයක් අවශ්‍ය නැහැ.
3 එවැන්නක් පිළිබඳව මේ තෙක් සංවාදයක්, කථිකාවක් ඇතිවෙලා නැහැ. දේශපාලනික අරමුණු ඇතිව ඇතැම් පාර්ශ්ව මේ වෙලාවේ එවැනි දෙයක් අවශ්‍යයි කියලා කියනවා. රට ඇතුළේ බොහෝ තැන්වලදී ජාතික ආණ්ඩුවක් පිළිබඳ අදහස එන්නේ පවතින ආණ්ඩුවේ බහුතරය සම්බන්ධයෙන් අර්බුද මතුවන අවස්ථාවලදීයි. මෙයින් මා අදහස් කළේ ජාතික ආණ්ඩුවක සංකල්පීය අදහස එයයි කියන එක නොවෙයි. නමුත් අපේ කලාපයේ ප්‍රායෝගිකව එය ක්‍රියාත්මක වන අවස්ථාව නිර්මාණය වන්නේ; පවතින ආණ්ඩුවේ බහුතරය පිළිබඳව අර්බුදයන් නිර්මාණය වූ අවස්ථාවන්වලදීයි. අපිට පාර්ලිමේන්තු බහුතරය ගැන හෝ වෙනත් දේශපාලන අර්බුදයක් නෑ. මේ අවස්ථාවේදී ආණ්ඩුවේ ප්‍රමුඛ අවධානය රටේ ජාතික ආර්ථික ව්‍යසනයට පිළිතුරු සෙවීමයි.
4 මෙවැනි අවස්ථාවකදී සියලු පාර්ශ්වයන්ගේ අදහස් එකතු කර ගැනීමත්; එයට සර්ව පාක්ෂික සමුළුවක් කැඳවීම ඉතා වැදගත්. නමුත් එවැන්නක් කැඳෙව්වේ නැහැ කියලා කිසිවකුට තමන්ගේ අදහස් ප්‍රකාශ කිරීමට විශේෂිත බාධාවක් තිබුණේ නැහැ. පාර්ලිමේන්තුවේ ඇතුළේ ඉතාම වැදගත් විෂයානුබද්ධ ජනතාවාදී සංවාද සභාවක් හදාගන්න පුළුවන්. පාර්ලිමේන්තුව තුළ එවැන්නක් නිර්මාණය කරගන්න විපක්ෂය උත්සාහ කරන බවක් පෙනුණේ නැහැ. දේශපාලනික වශයෙන් හෝ දැනට ඇති අර්බුද පිළිබඳ වේවා සර්ව පාක්ෂික සමුළුවක් මඟිනුත් යහපත් අදහස් වල එකමුතුවක් තියෙනවා නම් එය ඉතා වැදගත් .
5 ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සන්නාම ගතවෙලා තියෙන්නේ; රටක විදෙස් සංචිත අර්බුද සහ ඊට සමගාමී ගෙවුම් ශේෂ හිඟය තුලනය කරගැනීම සඳහා සහය දෙන ආයතන ව්‍යුහයක් විදියටයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) එකේ අනෙක් කාර්යභාරයන් සිදුකෙරෙන්නේ ඒ ප්‍රමුඛ අභිලාෂයෙන් අනතුරුවයි. මේ මොහොතේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලට යෑම සුදුසුයි කියලා පෞද්ගලිකව මටත් හිතෙනවා. ජාත්‍යන්තර මුල්‍ය අරමුදල රටකට උදව් කරන්නේ කොන්දේසි සහිතවයි. එනම් වෙළෙඳපොළ සම්බන්ධයෙන් ගත් විට කිසියම් භාණ්ඩයක හෝ සේවාවක අවසන් වෙළෙඳපොළ මිල; ඒ භාණ්ඩයේ නිෂ්පාදන පිරිවැය සමඟ ගැළපිය යුතු වෙයි. මෙහිදී එවැනි යෝජනා ඉදිරිපත් විය හැකියි. තවත් සංවර්ධන ව්‍යාපෘති වැනි දේ සම්බන්ධයෙන් කොන්දේසි ඇතිවිය හැකියි. නිදහසින් පසුව අපි එදා සිට අද දක්වාම සුබ සාධන රාජ්‍යයක්. IMF රාජ්‍ය සුබ සාධනය ගැන ප්‍රතිවිරුද්ධ ස්ථාවරයක් දරන බව රහසක් නෙවෙයි. නමුත් පවතින තත්ත්වය අඛණ්ඩව ඉදිරියට ගියොත් ඇතිවිය හැකි තත්ත්වය IMF කොන්දේසි විසින් ඇතිකරන පීඩාවන්ටත් වඩා බරපතළ විය හැකියි.
මේ අර්බුදයට ආර්ථික උපායමාර්ගික සැලැස්මක් අවශ්‍යයි
- සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක
1 රුපියල පාවෙන්නට හැරීම එසේත් නොමැති නම් ඉල්ලුම හා සැපයුම මත තීරණය කිරීම හරහා රුපියල හා ඩොලරය අතර මිල ගණන්වල විශාල වෙනස්කම් ඇතිවී තිබෙනවා. මෙය තවදුරටත් හිරකරගෙන සිටිය හැකි දෙයක් නෙවෙයි. රුපියල අවප්‍රමාණය වීමෙන්; අපි පරිභෝජනය කරන දේවල්වල ආනයනික මිල වැඩිවීම සාමාන්‍ය ආර්ථික දර්ශනයක්. එවිට ඉල්ලුමට හා සැපයුමට අනුව මේ රුපියල අවප්‍රමාණය වීමෙන් ඩොලරය ඉහළට යන්නේ. ඩොලර් ලැබෙනවා නම් විනිමය සංචිතයේ රුපියල හා ඩොලරය අතර බරපතළ වෙනසක් වෙන්නේ නෑ. මේ රුපියල තවදුරටත් බලහත්කාරයෙන් අල්ලා ගෙන සිටීමට නොහැකියි.
ආණ්ඩුව දිගටම බලහත්කාරයෙන් රඳවාගෙන සිටීමෙන් විශාල ඩොලර් හිඟයක් ඇති වුණා. ඩොලර් හිඟය ඇතිවෙන්නේ කාරණා දෙකක් නිසයි. විදේශ රටවලින් ශ්‍රී ලංකාවට එවන ප්‍රේෂණ මුදල්වල කඩාගෙන වැටීමක් සිදුවුණා. දෙවෙනි කාරණය නම් මේ තිබෙන අවදානම් තත්ත්වය නිසා රටේ ආයෝජන බිඳ වැටිමකුත් සිදුවෙලා තිබෙනවා.
භාණ්ඩ හා සේවා මත අය කරන බදු සංශෝධන භාණ්ඩ මිල ස්ථාවරත්වයක් පවත්වාගෙන යාම සඳහා ආණ්ඩුවේ මැදිහත්වීම අවශ්‍ය වෙනවා. ඒ සඳහා ආර්ථික උපායමාර්ගික සැලැස්මක් අවශ්‍යයි. එසේ නොකර ආර්ථිකය නිදැල්ලේ යන්නට ඉඩ හැරියොත් විශාල කඩා වැටීමකට ලක්වෙන්න පුළුවන්.
2 සමඟි ජන බලවේගය මහජන උද්ඝෝෂණය සංවිධානය කළේ ජනතාව මුහුණ දෙන දැඩි පීඬනකාරී තත්ත්වය නිසයි. දිඟටම සෑම පැත්තකින්ම ජනතාව පිඬනයට හසු වුණා. පෝලිම් ඇතිවීම හරහා මිනිස්සුන්ට ඇතිවී තිබෙන කනස්සල්ල. තෙල් නැතිවීම ගෑස් හිඟය, විදුලි කප්පාදුව නිසා මිනිස්සු පීඩාවට පත්වෙලා. මිනිසුන්ගේ දුක වේඳනාව පිළිබඳව දේශපාලන පක්‍ෂයක් හැටියට එකට සිටගත යුතුව තිබෙනවා. විසඳුම් සෙවීමට ආණ්ඩුව අවධානය යොමු කරන බවක් පේන්නේ නැහැ. කිසිම දේකට ජාතික වැඩසටහනක් හෝ ප්‍රතිපත්තියක් නැහැ. මේ නිසා අයාලේ යන ආණ්ඩුවකට එරෙහිව සංවිධානය වන ජනතාව දේශපාලනික වශයෙන් ඒකරාශී කිරීම අපේ මූලික අරමුණයි. රටේ ජනතාව ආණ්ඩුව හිතන හැටියට නෙවෙයි හිතන්නේ. මිනිස්සුන්ට සහන දීලා නිවැරදි දිශානතියකට ආණ්ඩුවට යන්න කියන පණිවිඩය අපි දුන්නේ. කරන්න පුළුවන් නම් කරන්න නැත්නම් ගෙදර යන්න කියලා අපි කියන්නේ.
3 ජාතික ආණ්ඩුව යන සංකල්පයේ වැදගත්කමක් නැහැ. අපි අහන්නේ මේ ආණ්ඩුවට 2/3 බලයක් ඉල්ලුවේ ඇයි? විසිවෙනි සංශෝධනය හරහා ඒකාධිපති බලතල පැවරුවා. 2/3 බලයක් පාර්ලිමේන්තුවේ ගත්තා. එතකොට ඒ සියල්ල තියාගෙන තවත් කියනවා; නම් අපිට කරන්න ජාතික ආණ්ඩුවක් ඕන කියලා. එය විහිළුවක්. අවශ්‍ය ජාතික එකඟතාවයක්. රටේ හැමෝටම පිළිගන්න පුළුවන් ප්‍රතිපත්ති සමූහයක්. ආණ්ඩුවේ තිබෙන තනතුරු ටික ජාතික ආණ්ඩු ලේබලය අරන් බෙඳාගෙන; යාන වාහන ටික පාවිච්චි කරමින්; වරප්‍රසාද භුක්ති විඳින; අලුත් කණ්ඩායමක් හදන එක නෙවෙයි. මේ කියන ජාතික ආණ්ඩුව හදන්න යෝජනා වෙන්නේ මේ කණ්ඩායමට තනතුරු හා වරප්‍රසාද බෙදාගන්නයි. කැබිනට් මණ්ඩලයත් 50% අඩු කරලා රටේ ආර්ථිකය නඟා සිටුවන වැඩපිළිවෙළට පුර්වාදර්ශය දිය යුතුයි. ජාතික එකඟතාවයක් ඇති කරගෙන රටේ මූලික ප්‍රශ්නය වන විනිමය අර්බුදයට හා උද්ධමනයට විසඳුම් සෙවීමට වගේම අදායම් වැඩිකර ගැනීම වැනි කරුණු සඳහා යායුතුව තිබෙනවා. නාස්තිය හා දුෂණය, හොරකම මුලිනුපුටා දමන්න අවශ්‍යයි.
4 සර්ව පාක්ෂික සමුළුව ගැන නිල දැනුම්දීමක් තවමත් සමඟි ජන බලවේගයට නැහැ. ආණ්ඩුව එවැනි සමුළුවක් කැඳවන බව මාධ්‍ය වාර්තාවල තිබුණා. මේ මොහොතේ මෙවැන්නක් කැඳවීම කුමක් අරමුණු කරගෙනද කරන්නේ. සමහර විට කඩාගෙන වැටෙන ආර්ථිකයට මුහුණ දීමට ආණ්ඩු කල්පනා කරනවා ඇති; සර්ව පාක්ෂික සමුළුවක් කැඳවල නිල වශයෙන් අපි ඔක්කොම එකට එකතු වෙලා වැඩ කරමු කියලා; හැබැයි අපි ඉතිහාසය දන්න අය නිසා මේ කරන්නේ යම් ආකාරයක නාටකයක් කියලා කිව්වොත් ඒකෙ වැරද්දක් නෑ. කොවිඩ් කාලේ මේ ජාතික අර්බුදය විසඳා ගැනීමට යෝජනාවක් ගෙනාවා.; සාකාච්ඡා කරමින් වැඩ පිළිවෙළක් සකස් කරමු කියලා.. ආණ්ඩුව එකවතාවක් විපක්ෂ ඇතුළු දේශපාලන පක්‍ෂ නායකයන් හමුවුණා. මෙය ලෝකය ඉස්සරහ යම් ආකාරයක ආණ්ඩුව සියලුම දෙනා එක්ක වැඩ කරනවා කියලා පෙන්වන්න සන්දර්ශනයක් විය හැකියි. ඒ නිසා සර්ව පාක්ෂික සමුළු හෝ නැත්නම් වෙනත් ආකාරයක සන්දර්ශනවලට වඩා අවශ්‍යතාව තිබෙන්නේ ජාතික එකඟතාවයක්.
5 ජාත්‍යන්තර මුල්‍ය අරමුදල (IMF) ට යා යුතුද නැද්ද යන තීරණ ගන්න ඕන ආණ්ඩුව.නමුත් ප්‍රශ්නය අපි මේ විනිමය සංචිත අර්බුදය විසඳගන්න වෙනත් විකල්පයක් තිබෙනවද? විකල්ප කියලා ආණ්ඩුව පහුගිය දවස්වල විවිධ රටවලට ගිගින් අතමාරු ඉල්ල ගත්ත. බංගලාදේශයෙන්, චීනයෙන් ඉන්දියාවෙන් අතමාරු ඉල්ලගත්ත. නිවැරදි ආර්ථික දැක්මක් තියෙන රටක නම් ඒ නායකයෝ කරන්නේ ස්ථාවර විසඳුම් හොයන්න; යම් ආකාරයක පිළිගත් සම්මතයන් අනුව ක්‍රියා කළ යුතුයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියන්නේ ලෝකයේ විනිමය සංචිත අර්බුද විසඳා ගැනීමට මැදිහත් වන ජාත්‍යන්තර සංවිධනයක්. ඒක රකුසෙක් නෙවෙයි.
IMF එකේ සහය ලංකාව ඕන තරම් අරන් තියෙනවා. හැම දේශපාලන පක්ෂයකම හැම නායකයෙක්ම උදව් උපකාර ලබාගෙන තිබෙනවා.මේ ආණ්ඩුව තමයි IMF එක ප්‍රතික්ෂේප කළේ. ආණ්ඩුවේ නායකයෝ IMF ප්‍රතික්ෂේප කළා. මහා බංකුවේ අධිපතිවරයා දිගටම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එපා කියනෙක කිව්වා.
පවතින අර්බුදයේ සැබෑ තත්ත්වය ජනතාවට කිව යුතුයි
- ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේ.ඩී. ලාල්කාන්ත
1 රුපියල පා කළාම පිටරටින් ආනයනය කරන සියලු භාණ්ඩ හා සේවාවන්ට වැඩි වැඩියෙන් රුපියල් ගෙවන්න වෙනවා. රුපියල පා කිරීමෙන් ඩොලර් එකට ගෙවන ගාන අඩුවෙන්නේ නැහැ. වැඩිවීමක් තමයි වෙන්නේ. බෙහෙත් පෙත්තේ සිට ඉන්ධන දක්වා සෑම දෙයකටම අපේ ජනතාවට ගෙවන්න වෙන ගාන වැඩි වෙනවා. ජනතාවගේ ජීවන වියදම විශාල ලෙස ඉහළ යනවා. එහිදී ආණ්ඩුවේ බලාපොරොත්තුව සමාජයේ තියෙන රුපියල් ප්‍රමාණය තමන් වෙත ඇද ගැනීමයි. වැඩිවැඩියෙන් ජනතාව පීඩාවට පත්වේවි. සාමාන්‍ය ජනතාවට දරාගත නොහැකි පීඩාවක් ඇති වේවි.
2 උද්ඝෝෂණය කරන්න දේශපාලන පක්ෂවලට අයිතියක් තියනවා. නමුත් ඒ උද්ඝෝෂණ තුළ විපක්ෂ නායකගේ ඔහු හැමදාම ආණ්ඩුව කියන වචනය කියනවා. එසේ නැතිනම් විෂය භාර ඇමැතිවරයන්ගේ නම්වලට පහර දෙනවා. ඔහු මුඳුන අතැර වටේට පහර දෙන දේශපාලන ක්‍රමවේදයක් පාවිච්චි කරමින් රඟදැක්වීමක් කරනවා. එසේ පහර දුන්නොත් ඔහුට එරෙහිව තිබෙන චෝදනා සම්බන්ධයෙන් පියවර ගනී කියලා බියකින් කටයුතු කරනවා විය හැකියි.
3 පාලකයන්ට; පාලනයකට සම්බන්ධ නැති අයටත්; දේශපාලන චෝදනාවක් ගොනු කර ගැනීමට අවශ්‍ය වන විට; පාලකයෝ ජාතික ආණ්ඩු කියලා සංකල්ප ගේනවා. නමුත් පැහැදිලිවම ආණ්ඩු හැදෙන්නේ නැහැ. ජාතික ආණ්ඩු කියන්නේ පාර්ලිමේන්තු නියෝජනය කරන සියලු පක්ෂ සම්බන්ධ වන ආණ්ඩුවක්. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සම්බන්ධ කර ගැනීමේ ශක්‍යතාවක් නැති ආණ්ඩුවට පුළුවන්ද අනික් අය ඒකරාශි කරන්න. මේ මාතෘකාවත් කිහිප දවසක් ජනතාවට සෙල්ලම් කරන්න දාපු එක බෝලයක් විතරයි.
4 අපි පක්ෂයක් විදියට ඒ ගැන තීරණයක් ගත්තේ නැහැ. ආණ්ඩුව ජනතාවට කියන්න අවශ්‍යයි රට මුහුණ දීලා තියන ඇත්ත තත්ත්වය පිළිබඳව. ණය ප්‍රශ්නය ජනතාවට ඉදිරිපත් කළ යුතුයි. වෙනත් කාරණා කියමින් එකිනෙකාට චෝදනා කරලා වැඩක් නැහැ. කොරෝනාවලින් රට විනාශ වුණා කියලා ජනතාවට නිර්දෝෂි වෙලා වැඩක් නැහැ.
එවැනි කතා කියමින් සර්ව පාක්ෂික සමුළුවලට ගිහින් වැඩක් නැහැ. සර්ව පාක්ෂික සමුළුවට යන අය දැනගත යුතුයි පාලකයන්ගේ මතය. සර්ව පාක්ෂික සමුළුවකින් වැඩක් නැහැ.
කොරෝනා තත්ත්වය ඇතිවෙලා ටික කාලයකින් සමුළුවක් කැඳෙව්වා. ඉන් පස්සේ එයට සම්බන්ධ වෙන ඒ ඒ පක්ෂ මොනවා හරි කියලා එනවා. එතනින් එහාට මොනවාවත් වෙන්නේ නැහැ. සර්ව පාක්ෂික සමුළු කියන්නේ සතපහකට වැඩක් නැති දෙයක්. එය ඉතිහාසයේ ඉදලා අපි දැක්කා. අතීත අත්දැකිම් අාවාචිකයි. ජනතාවට ඇත්ත කියන්නයි අවශ්‍ය වෙන්නේ. ප්‍රශ්නවලට පිළිතුරු සොයන්න ආණ්ඩුවක් අවශ්‍යයි කියන තැනට ජනතා අද ඇවිල්ලා තියෙනවා.
5 ණය ගන්න හෝ නොගන්න; රටක ආර්ථික ස්වභාවය බලපානු ලබනවා. පාලනයේ ස්වරූපය බලපානවා. ජාත්‍යන්තර මුල්‍ය අරමුදල (IMF )ඩොලර් ප්‍රශ්නය විසඳගන්න නම් ආණ්ඩුවට අනිවාර්යෙන් කොන්දේසි විශාල ප්‍රමාණයකට යටත් වෙන්න වෙනවා. මේ නාස්තිකාර ආණ්ඩුව දේශපාලන අවශ්‍යතාවයන්ට රාජ්‍ය සේවයට පත්වීම් දුන්නා. ආණ්ඩුව සමෘද්ධි වැනි ව්‍යාපාර දේශපාලන වුවනාවන්ට පවත්වාගෙන යන ආණ්ඩුවක්. නාස්තිකාර දුෂිත ආණ්ඩුව රාජ්‍ය සේවය වගකිමෙන් මෙහෙයන් වන්නේ නැති; දේශපාලනික වුවමනාවන් මත පවත්වාගෙන ආණ්ඩුවක් IMF එකට යාමේදි බරපතළ කොන්දේසිවලට යටත්වෙන්න වෙනවා. ඒ අයට හරියන රාජ්‍යයන් තියනවා. ඒ රාජ්‍යවලින් ණය ගන්න උත්සහා කරනවා. තමන්ට රිසි පරිදි තමන්ගේ අයථා පාලනය කර ගෙන යන්නයි මේ අයට අවශ්‍ය වෙන්නේ. මේ තරම් කාලයක් මේ අය IMF නොගියේ ඒනිසයි.