දකුණු පුරවරයෙන් ඇසුණු අනුවේදනීය කතාවක් | Page 2 | සිළුමිණ

දකුණු පුරවරයෙන් ඇසුණු අනුවේදනීය කතාවක්

නිවසේ හානිවූ දෙපොළ

පාලනයකින් තොර කේන්තිය හැමවිටම අත්කර දෙන්නේ විනාශයකි. එමෙන්ම කෙනකුට ලැබෙන ධනය හා බලය ද තවත් කෙනකු අපහසුතාවන්ට හා වේදනාවට පත්කරන අවස්ථා ද සමාජයේ දක්නට ඇත. එය මෙරට ව්‍යාපාරික ලෝකයේ මෙන්ම දේශපාලන ක්‍රියාවලිය තුළ ද අද වන විට කැපී පෙනෙන ලක්ෂණයක් බවට පත්ව ඇත. එයට කදිම උදාහරණයක් පසුගියදා මාතර පොලිස් බල ප්‍රදේශයෙන් වාර්තා වූයේ මුළු රටේම අවධානයට ලක්වෙමිනි.

දිනය පසුගිය 15 වැනි බදාදා ය. සන්ධ්‍යා භාගය උදාවෙමින් තිබියදී “ගෙයක් ගිනි තැබූ මාතර ප්‍රාදේශී සභා සභාපති අත්අඩංගුවට” යනුවෙන් මාධ්‍ය වාර්තා පළවන්නට පටන්ගත්තේ රටපුරා කතාබහක් ද ඇති කරවරවමිනි. දිස්ත්‍රික්කයේ නමගිය ප්‍රාදේශීය දේශපාලනඥයකු වන ප්‍රියජනක සිද්ධියට මුල්වීම කතාබහ තීව්‍ර වන්නට හේතුවක්ව තිබුණේ ය. 

දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය දේශප­ාලනඥයන් අතර සැරපරුෂ බවෙන් අඩු හා සුහදශීලී පුද්ගලයකු වන මාතර ප්‍රාදේශීය සභාවේ වත්මන් සභාපතිවරයා මෙම සිද්ධියට මුල්වීම වැඩි වශයෙන් ජනතා අවධානයක් දිනාගන්නට හේතුවක් විය. 1994 වසරේ පැවති මහ මැතිවරණයෙන් බලයට පත් චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග රජය පහිටුවීමේදී එහි විශාල කාර්යභාරයක් සිදු කළ මංගල සමරවීර සමඟ දේශපාලනයට පිවිස ඇති මේ සභාපතිවරයා ඒ රජය විසින් ආරම්භ කළ සමෘද්ධි ව්‍යාපාර තුළින් රැකියා අවස්ථාවක් ලබාගෙන ඇත්තේ සමෘද්ධි නියාමකවරයකු ලෙසිනි. ඒ රජය බලයට පත්කර ගැනීම වෙනුවෙන් ප්‍රාදේශීය වශයෙන් කරන ලද කැපකිරීම් වලට ලද උපකාරයක් ලෙස එය ලැබී තිබේ.

ගමේ සාමාන්‍ය පවුලක සාමාජිකයකු ලෙස රජයේ පත්වීමක් ලබාගත් පසු එය පවුලට ශක්තියක් වෙද්දී ලද තනතුරින් ජනතාවට සේවය කරමින් ජනතාව අතර නමක් හදාගන්නට ද එය හොඳ මාර්ගයක් බවට පත්විය. මේ නිසාම ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙක් ලෙස මහජන ඡන්දයෙන් මාතර ප්‍රාදේශීය සභාවට පත්වන්නට ද අවස්ථාව ලැබුණේ ය.

ඒ ඔස්සේ පියවර පිළිවෙළින් ඉහළට පැමිණි ඔහු තමා නියෝජනය කළ ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා වශයෙන් ද පත්වන්නට අවස්ථාව උදාකර ගත්තේය.

මෙම සියලු කාරණා සමාජයේ යළි කතාබහට ලක්වන්නට පටන්ගත්තේ නිශ්ශබ්ද හා වැඩි කලබලකාරී තත්වයක් නැති පුද්ගලයකු වූ සභාපතිවරයාගේ මෙම ක්‍රියාකලාපයත් සමඟ ය. සිද්ධියට මුල්වී තිබුණේ පවුල් ආරවුලකි. එනම් සභාපතිවරයාගේ දියණිය හා ප්‍රදේශයේ තරුණයකු අතර ඇතිව තිබුණු ආදර සබඳතාවක් දුරදිග යාම මූලික හේතුව බව සිද්ධියෙන් පසු පැවති පොලිස් පරීක්ෂණ අනුව අනාවරණය වී තිබුණි.

සභාපතිවරයාගේ බාලවයස්කාර දියණිය දෙමාපිය අණට අකීකරු වී තරුණයකු සමඟ ආදර සබඳතාවක් ඇතිකර ගෙන තිබු‍ණේ නව යෞවන වියේ ඇතිවන හැඟීම්වලට මුල්තැන ලබාදෙමිනි. පොලිස් පරීක්ෂණ වාර්තා අනුව මෙම නව යෞවනයන් තමාගේම ලෝකයක් කරා පියවර තබන්නට තීරණය කර ඇත්තේ 2021 වසරේ ඔක්තෝබර් මාසයේ දිනකය. ඒ දෙමාපියන්ට හොරෙන් නිවෙස්වලින් පැන යමිනි. මෙම සිදුවීම වන විට දෙනොම බලවයස්කාරයන් ලෙස සිට ඇත.

තම දියණියගේ හදිසියේ නිවසින් බැහැරව යාම පිළිබඳ සභාපතිවරයාගේ පවුලේ උදවිය විසින් ගන්දර පොලීසියට කරන ලද පැමිණිල්ල මත පරීක්ෂණ පවත්වා ඇති පොලීසිය නව යෞවන වියේ පසුවූ තරුණ යුවළ අත්අඩංගුවට ගෙන මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර පරිවාස වාර්තාවක් කැඳවීමෙන් පසු දියණියගේ අනාගත ආරක්ෂාව සඳහා දෙමාපියන් භාරයට පත් කර ඇති අතර නඩු විභාගය දිගට ක්‍රියාත්මක වෙමින් තිබී ඇත. ඒ අතර ඉකුත් 12 වැනිදා සභාපතිවරයාගේ දියණිය යළිත් තම ප්‍රේමවන්තයා සමඟ ගොස් ඇත්තේ ඔවුනට එරෙහිව ක්‍රියාත්මක වෙමින් පැවති නඩු කටයුතුද අමතක කරලමිනි. ඒ වන විට දියණියගේ වයස අවුරුදු පහළොවයි මාස හතක් හා තරුණයාගේ වයස අවුරුදු දහ අටක් විය. දියණිය හදිසියේ නිවසින් යාම පිළිබඳ දුකට සභාපතිවරයා හා පවුලේ උදවිය දියණිය සොයාගන්නට දැරූ සියලු උත්සාහයන් අසාර්ථක වෙද්දී එය කෝපයක් බවට පත්ව තිබුණේය. එහි ප්‍රතිඵලය වූයේ සභාපතිවරයාගේ දියණිය රැගෙන ගිය කැකැණදුර රිට්රීට් වත්තේ පිහිටි තරුණයාගේ නිවසට 14 වැනි දින රාත්‍රී 10.10 පමණ සභාපතිවරයා ඇතුළු හතරදෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් යෑම ය. එහිදී නිවෙසේ ජනේලයක් කඩා නිවෙසට ඇතුළුවී රූපවාහිනී යන්ත්‍රය හා පුටු කීපයක් කුඩුකර දමා නිවසේ කාමරයක තිබූ අල්මාරියක් කඩා එහි තිබූ රෙදි එළියට ඇදදමා ගිනි තබා ඇති අතර පොලිස් වාර්තා අනුව සටහන් වූයේ එම ගින්නෙන් නිවසේ වහලය ද ගිනි ගෙන වහලයේ සෙවිලි තහඩු දෙකක් ද ගිනි ගෙන දැවී තිබුණු බවෙකි.

මෙම සිදුවීම වන අවස්ථාවේ අදාළ තරුණයාගේ මව හා සහෝදරියන් දෙදෙනා පමණක් නිවසේ සිට ඇති අතර පියා රැකියාව සහා බහුදින ධීවර යාත්‍රාවකින් දියඹ මුහුදට ගොස් තිබූ බව පොලීසිය පැවසුවේය. මෙම පවුල කලක් ගන්දර ප්‍රදේශයේ පදිංචිව සිට පසුව යම් යම් හේතු නිසා කැකණදුර රිට්රීට් වත්තේ කුලී නිවසක පදිංචියට පැමිණ ඇති බව පොලීසිය පවසයි.

මේ පිළිබද 119 පොලිස් හදිසි ඇමතුම් අංකයට ලද පැමිණිල්ලක් මත පරීක්ෂණ පැවැත්වූ මාතර මූලස්ථාන පොලසීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රොෂාන් හෙට්ටිආරච්චි ප්‍රමුඛ පොලිස් කණ්ඩායමක් කරුණු අනාවරණය කර ගනිමින් සිටියදී සභාපතිවරයා ඇතුළු සැකකරුවන් තිදෙනෙකු පොලිසීයට පැමිණ බාරවීමෙන් පසු අත්අඩංගුවට ගෙන මාතර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු එක් අයෙකුට රුපියල් ලක්ෂ දහය බැගින්වූ ශරීර ඇප දෙකක් බැගින් නියම කර ඇපි ලබාදී ඇති අතර නොවැම්බර් මස 14 වැනි දින නඩුව යළි කැඳවන ලෙස නියෝග කර ඇත.

සිදුවීම සම්බන්ධයෙන් අදහස් දැක්වූ මාතර ප්‍රාදේශීය සභාවේ සභාපති විමල් ප්‍රියජනක මෙලෙස පැවසුවේය "මේක දේශපාලන අරමුණක් මත මාව කොටු කරගන්න ගත්තු උත්සාහයක්.

ඒ වගේම බොරු චෝදනාවක්. එම සිද්ධිය වනවිට මම හිටියෙ ගෙදර මගේ දුවගෙ සිද්ධිය හේතු කරගෙන තමයි මේ චෝදනාව කරන්නෙ. මට විරුද්ධව චෝදනාවක් තිබෙන බව දැන්වීමෙන් පසු මම පොලීසියට ගිහින් බාර උණා. පොලීසිය හරි දේ වෙනුවෙන් නීතිය ක්‍රියාත්මක කරාවි. මේක දේශපාලනික පළිගැනීමක්. මට සහ ආණ්ඩුවට මඩ ගහන්න දේශපාලන අරමුණකින් කරපු වැඩක්”.

බාලවයස්කාර දියණියක් හොර රහසේ රැගෙන යාම හා එවැනි මොහොතක ක්‍රියාත්මක කළ හැකි නීතිය පිළිබඳ හා සිද්ධියෙන් පසු සභාපතිවරයාගේ ක්‍රියාකලාපය පිළිබඳ ට්‍රාන්ස්ප්‍රේරන්සි ඉන්ටර්නැෂනල් ආයතනයේ නීති නිලධාරීනී තුෂානි කන්දිල්පාන මෙලෙස විස්තර කළාය.

“මෙම සිදුවීම දරුවන්ගේ කැමැත්ත මත හෝ කැමැත්ත නැතිව සිදුවූ ව්‍යවස්ථාපිත ස්ත්‍රී දූෂණයක් ලෙස සැලකෙනවා. ඒ සඳහා අධාරදීම යටතේත් දඬුවම් ලබාදිය හැකියි. ඒ දණ්ඩ නීති සංග්‍රහයේ 95 අංක 22 පනතේ දඬුවම් පිළිබඳ හඳුන්වාදී තිබෙනවා.

ඒ වගේම දේශපාලනඥයා කුමන තරාතිරමක සිටියත් අන්සතු දේපළකට හානි කිරීම, බියවැද්දීම ආදිය නිසි ලෙස ඔප්පු වුවහොත් නීතිය අනුව එය අනිවාර්යෙන් දඩුවම් ලැබිය හැකි වරදක්. මෙවැනි ක්‍රියා සමාජයෙන් බැහැර කළ යුතුයි ”

Comments