මහ අම්බලන්ගොඩ ග්‍රාම නිලධාරි වසමට අයත් ‘සිරි සුමනසාර මාවත’ දූව ගමට පිවිසෙන එකම මාර්ගයයි. මීට වසර ගණනාවකට පෙර හිටපු නාගරික මන්ත්‍රීවරයකු විසින් මාගේ ඉඩමෙන් ද පර්චස් දෙකක පමණ බිම් කොටසක් නගර සභාවට පවරාගන්නා ලද්දේ මෙම මාර්ගය පුළුල් කරන බව පවසමිනි.
මාර්ගය පුළුල් කිරීම කෙසේ වෙතත් අද එම බිම් කොටස වල්බිහි වී ජරාවට ගොස් ඇත. විදුලි කණු ද ඇත්තේ පාර මධ්‍යයට වන්නටය. ඒවා ඉවත් කරගැනීමට මේ වන විටත් අම්බලන්ගොඩ නගර සභාව අපොහොසත් වී ඇත. මීට මසකට පමණ පෙර නගර සභාව මඟින් මෙම මාර්ගය දෙපස තිබූ වල් ගස් කපා දමා ඇතත් තවමත් එම කොටසේ තාර දමා පිළිසකර කිරීමක් සිදු කර නැත. මේ පිළිබඳ මා විසින් අම්බලන්ගොඩ නගර සභා සභාපති ඇම්. ඩබ්ලිව්. අරුණ ප්‍රදීප්ගෙන් විමසූ විට පැවසූවේ, අම්බලන්ගොඩ පාර - දූව බේකරිය දක්වා කාපට් අතුරා ප්‍රතිසංස්කරණය කිරීමට දැනටමත් කොන්ත්‍රාත් දී ඇති බවයි. දූව පාර අම්බලන්ගොඩ පාර නොවන බවත් එය ‘සිරි සුමනසාර මාවත’ බවත් ඔහු කීවේය. පාර මධ්‍යයේ පිහිටා ඇති විදුලි කණු ගලවා මාර්ගය අද්දර සිටුවීමට අදාළ ආයතනය මුදල් ඉල්ලා සිටි බැවින් එය කළ නොහැකි බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
ඕනෑම ව්‍යාපෘතියක් ආරම්භයේදීම සක්‍යතා අධ්‍යයනයක් කළ යුතුව ඇත. මේ මාර්ගය පළල් කිරීමට පෙර එසේ නොකිරීමෙන් අද වන විට ‘දූව’ ගම්වාසීන්ට සිදුව ඇත්තේ එහි පලවිපාක අත්විඳීමටයි.
එහෙත් මේ වන විට මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂයන් විසින් ‘අයවැයෙන් වැඩ ලක්ෂයක්’ යටතේ සෑම ගමකටම ලක්ෂ තිහක් ද, පක්ෂ විපක්ෂ පළාත් පාලන මන්ත්‍රීවරයකුට ලක්ෂ හතළිහක් බැගින් ද මූල්‍ය ප්‍රතිපාදන වෙන්කර ඇති බව පසුගියදා වාර්තා විණි. ගම්මානවලට පොදු පහසුකම් ලබාදීම එහි එක් අරමුණකි. එම මූල්‍ය ප්‍රතිපාදන මත හෝ දූව ගමට එන මීටර් හත්අටසීයයක් පමණ වූ ‘සිරි සුමනසාර මාවත’ ප්‍රතිසංස්කරණය කිරීමට නගර සභා සභාපති, පක්ෂ විපක්ෂ නාගරික මන්ත්‍රීවරුන් ඇතුළු අදාළ බලධාරීන්ගේ අවධානය යොමු වනු ඇතැයි ගම්වාසීන් වන අපගේ බලාපොරොත්තුවයි.
• එස්. සමරනායක,
අම්බලන්ගොඩ