දකුණෙන් මතුවී රටම හෙල්ලූ පෙරළිකාරයා | Page 3 | සිළුමිණ

දකුණෙන් මතුවී රටම හෙල්ලූ පෙරළිකාරයා

- මිත්තණිය නිසා ළදරු වියේදීම මානව දයාවෙන් පෝෂණය වූ හැටි
- කඹුරුපිටියේ ගත කළ කාලය ඔහුගේ දිවි සැකැස්මේ පෙරමඟ විය
- අන්න සර්, ප්‍රභූ ආරක්ෂක බළකාය ගේ වටකරලා

ක්දහස් නමසිය හැත්තෑ හතේදී මෙරට පැවති මහා මැතිවරණය මෙතෙක් මේ රටේ පැවති මැතිවරණවලට වඩා සුවිශේෂ විය. වසර පහකට වරක් මෙතෙක් කල් මෙරට පැවති මහ මැතිවරණවලට කාල සීමාවක් නිශ්චය කෙරුණ ද එක්දහස් නමසිය හැත්තෑවේ සිට එක්දහස් නමසිය හැත්තෑහත දක්වා වසර හතක් සිරිමා බණ්ඩාරනායක මැතිනියගේ ප්‍රධානත්වයෙන් පැවති මැතිවරණය සැලකිය හැකිය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය සහ ලංකා සමසමාජ පක්ෂය යන පක්ෂ තුනක එකමුතුවෙන් ආරම්භ වූ එම රජයේ බලය අවසන් වූයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පමණක් තනිකරමිනි.  

මෙකී කාලය තුළ මෙරට මුළු මහත් ජනතාවම දැඩි සේ පීඩනයට පත්ව තිබිණ. මිනිසුන්ගේ පැවැත්ම උදෙසා අත්‍යවශ්‍ය වන ආහාරපාන පමණක් නොව රෙදි පිළිවල සිට සියලුම පාරිභෝගික භාණ්ඩ සඳහා දැඩි නීති රීති පනවා තිබිණ. රටේ සියලුම ආපනශාලාවල ආහාර වර්ග නිකුත් කිරීමට ඉඩකඩ ලැබී තිබුණේ සතියට දින දෙකක් පමණි. මේ ආකාර වූ විවිධ දුෂ්කර නිසා කෙසේවත් සැනසිල්ලේ රැයක් එළිකරගත නොහැකිව සිටි මහජනතාව හැත්තෑහතේ මැතිවරණය පැවැත්වූදා වේලාසනින්ම ඡන්ද පොළවල්වලට ගොස් පේළි ගැසී සිටියහ. තමන්ගෙන් එයට දිය හැකි හොඳම ප්‍රතිචාරය දැක්වීම උදෙසාය.

එදා එක්සත් ජාතික පක්ෂ නායකයා වූ ජේ.ආර්. ජයවර්ධන මහතා තම ඥාති සොහොයුරු උපාලි විජයවර්ධනගේ නිවසට හැන්දෑකරයේ ගොඩවී දෙදෙනා එකට ආහාරපාන ගනිමින් කෝපි බොමින් උපාලිගේ තර්ස්ටන් පාරේ නිවසට වී ඡන්ද ප්‍රතිඵල අසන්නත් ඡන්දයෙන් පසු රට පාලනය ගැන සැලසුම් කිරීමත් කතා කිරීමට පටන් ගත්තේය. මධ්‍යම රාත්‍රිය ඉක්ම යත්ම උපාලිගේ ගෙදර සිටි ආරක්ෂක නිලධාරියා තරමක කලබලයකින් උඩුමහලට ගියේය.

“අන්න සර්, ප්‍රභූ ආරක්ෂක බළකාය ගේ වටකරලා, ඒක කියන්නයි මම දුවගෙන ආවෙ”. ජේ.ආර්. මෙන්ම උපාලි ද මහ හඬින් සිනාසෙමින් අසීමිත සතුටට පත් විය. හෙමින් සීරුවේ ජේ.ආර්. ජයවර්ධන ආරක්ෂකයන් පිරිවරාගෙන වෝර්ඩ් පෙදෙසේ සිය මන්දිරයට ගමන් ගත්තේය.

ජේ.ආර්. ජයවර්ධනගේ පළමු රාජකාරිය වූයේ මෙතෙක් කල් සංවෘත ආර්ථිකයක් පැවැති මෙරටට විවෘත ආර්ථිකයක දොර හැරීමය. ඒ, විදේශ ආයෝජකයන් මෙරටට ගෙන්වා ගැනීමටත් එමඟින් මෙරට ආර්ථිකය විධිමත් පුළුල් ගමන් මඟකට අවතීර්ණ කිරීමටත්ය. මේ සඳහා නියමුවා ලෙස මේ වන විට අත්දැකීම් බහුල බුද්ධිමතකු ලෙස සිටි එකම තැනැත්තා වූයේ උපාලි විජයවර්ධනය. ඔහු ලන්ඩන්හි කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ අභ්‍යන්තර ශිෂ්‍යයකු ලෙස ගෞරව ප්‍රථම පන්තියේ උපාධියක් මෙන්ම ශාස්ත්‍රපති විභාගයෙන් ප්‍රථම පන්තියේ උපාධියක් හිමිකරගන සිටියේය. මහ කොළඹ ආර්ථික කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් ලෙස කටයුතු කරද්දී ඔහු මෙරට ආර්ථිකය ශක්තිමත් කිරීමට අතිශය වැඩදායී මෙහෙවරක නියුක්ත විය.

මහ කොළඹ ආර්ථික කොමිසමේ මහජන සම්බන්ධතා සහ මාධ්‍ය ලේකම්වරයා වූයේ අද අප කවුරුත් දන්නා සුප්‍රසිද්ධ පොත් ප්‍රකාශකයකු වන විජිත යාපා මහතාය. ඔහු සෑම සිකුරාදා දිනකම වාගේ සැන්දෑ කාලයේ සිළුමිණ පුවත්පත් කර්තෘ මණ්ඩලයට පැමිණේ. සතියක් තුළ මහ කොළඹ ආර්ථික කොමිසම විසින් ගන්නා වූ නව ප්‍රගති වැඩසටහන් ගැන මා සමඟ කතා කරමින් සිටී. පසුවදා නිකුත් වන සිළුමිණ පුවත්පතට අවශ්‍ය තොරතුරු කතා කරයි.

දවසක්දා ඔහු මට අලුත් යෝජනාවක් ගෙන ආවේය. “උපාලි විජයවර්ධන මහතා කැමැත්තෙන් ඉන්නවා ඔයා අඳුන ගන්න. වෙලාවක් තියෙනව නම් හෙට දහවල් කාලෙ තර්ස්ටන් පාරේ ගෙදරට ගොස් හමුවන්න බලන්න.” මම පසුවදා නියම කරගත් වේලාවට තර්ස්ටන් පාරේ ගෙදරට ගොඩ වුනෙමි. පහළ මාලයේ අමුත්තන් සඳහා වෙන්ව තිබිණ. උඩුමහල ඔහුගේ කාර්යාලය විය. උඩුමහලට නගිද්දී දකුණු පස බිත්තිය සරසා තිබුණේ අශ්වයන් සමඟ ඔහු සිටින ඡායාරූප කිහිපයකිනි.

“මම එන්න කිව්වෙ පුංචි උපකාරයක් බලාපොරොත්තුවෙන්. අර සර් ජෝන් ගැන ලියපු කථා මම ආසාවෙන් කියෙව්වෙ. ඒ වගේ මගේ ජීවිත කතාවත් ලියා දෙන්න පුළුවන්ද? ඒකට මම පුංචිම කාලෙ හැදුණු වැඩුණු කඹුරුපිටියේ මිරිස්වත්ත වලව්වට යන්න වේවි. මාත් එක්ක පුංචිම කාලෙ ඉඳල එකට හැදුණු මගේම ගෝලයෙක් ඉන්නව ධර්මසේන අතපත්තු කියල. එයත් එක්ක එහේ ගිහින් මගේ අම්මගෙ මහගෙදර පැත්තෙ තොරතුරු එකතු කරගන්න පුළුවන්. දවස් දෙක තුනක් විතර යාවි. ඒ උදව්ව මට කරන්න.”

අප දෙදෙනා ගමන් කළේ උපාලි විජයවර්ධන නිතර ගමන් ගන්නා ඔහුගේම වාහනයෙනි. රථයේ හඬ, විලාසය දැක පුරුදු මහ පිරිස් කඹුරුපිටිය මිරිස්වත්ත වලව්වට පැමිණෙන්නට ගතවූයේ සුළු වේලාවකි. නම් ගම් වශයෙන් තොරතුරු ඇසිය යුතු පුද්ගලයන් ගැන තේරුම් බේරුම් කරගෙන සිටි සියලුම දෙනා එහි පැමිණ සිටියහ.

දෙවැනි ලෝක යුද්ධය ඇරඹීමත් සමඟ කොළඹ නගරය බියෙන් ඇලළී ගියේය. කොළඹ නගරය මුළුමනින්ම ජනශුන්‍ය ප්‍රදේශයක් බවට පත්විය. කඩසාප්පු ඇර දමා එහි අයිතිකරුවෝ තැන තැන දිවීමට ගත්හ. නෑ හිතවතුන් සොයා නගරවැසි පිරිස ගමන් ගත්හ.

මේ ව්‍යසනයට මුහුණ දුන් විජයවර්ධන පවුල ද කොළඹ හැර දමා කඹුරු පිටියට ගමන් ගත්හ. කඹුරුපිටියේ මිරිස්වත්ත වලව්ව පිහිටියේ මනස්කාන්ත කඳුගැටයකය. මේ පරිසරය උපාලි විජයවර්ධන ළදරුවාගේ සිත් ගත් ස්ථානයක් විය.

සිය මිත්තණිය වූ සාරා ලොරැන්සිනා විජයසිංහ මැතිනිය කඹුරුපිටියේ නෑ හිතවතුන් පිරිස සමඟ එක්ව ගෙනගිය ජාතික ආගමික මෙහෙයන් දැක ගනිත්ම පුංචි අවදියේ සිට උපාලි විජයවර්ධන මහත්මා තුළ මානව දයාව ගැන අදහස් සූක්ෂමව මුහුකුරා ගියේය.

යුද්ධ බිය තුරන්වීමට ගතවන කාලය සීමා කළ නොහැකි නිසා සිය ළදරු පුතුගේ අධ්‍යාපන කාර්ය කෙසේ හෝ සිදුවිය යුතු බව වැටහුණු අනුලා කල්‍යාණවතී විජයවර්ධන මැතිනිය ප්‍රදේශයේ ගුරුවරියක ලවා දරුවාට ඉගැන්වීමට කටයුතු යෙදුවාය. ඒ අනුව එවකට පළාතේ පාසලක විදුහල්පතිනියක වූ ඒ.ආර්.කේ. නිශ්ශංක මහත්මිය නිවසට ගෙන්වා තම පුතු ඉගැන්වීමට යොමු කළාය.

විශ්‍රාමික විදුහල්පතිනි නිශ්ශංක එම සිද්ධිය විස්තර කළේ මෙ පරිද්දෙනි. 

“මගේ ඉස්කෝල රස්සාවෙන් මං ලැබූ ලොකුම සතුට උපාලි වගේ කෙනකුට අකුරු කියවන්න මම වාසනාවන්තියක් වීමයි. මම පුංචි උපාලි දැක්ක දවසෙම කඹුරුපිටියෙ ළමයි ළඟ නැති අමුතු ගුණයක් උපාලි ළඟ තිබුණ. ඒක මොන හේතුවක්දැයි මම දන්නෙ නෑ. මට මතකයි උපාලි විජයවර්ධන මහත්තයගෙ මාම සරත් විජේසිංහ මහත්තය ඉස්සර වෙලාම මාව හමුවෙන්න ආව. අපේ අක්කගෙ පුතා කොළඹ ඉඳල ඇවිත් ඉන්නව. ඉස්කෝලෙ නෝනට පුළුවන්ද එයාට අකුරු කියල දෙන්න කියල මගෙන් ඇහුව. මම හරි සතුටකින් ඒ වැඩේ භාර ගත්තා. පුංචි ළමයින්ට අකුරු උගන්නල ඒ වෙන කොට මට පළපුරුද්දක් තිබුණ.”

සමහර ළමයි මුලින්ම මාව දැක්ක ගමන් බය වෙලා කෑ ගහනව. කොහොමටත් හැම ළමයකු ළඟ තිබුණ කුළෑටි ගතිය උපාලි ළඟ තිබුණෙ නෑ. මම හොඳ නැකැතකටයි උපාලිට අකුරු ඉගැන්නුවෙ. ඉස්සර වෙලාම ‘අ’යන්න කියා දුන්නා. උපාලි මගෙන් ඇහුව ඊළඟ අකුර මොකක්ද කියල. මම ඊළඟට ‘ආ’ යන්න කියල දුන්න. අකුරු දෙක දිහා ටික වේලාවක් බලා හිටිය උපාලි අ, ආ, අකුරු දෙක ගල්ලෑල්ලෙ රවුම් අකුරින් ලිව්ව. මම ඇහුව “පුතා ඉස්සර වෙලා අකුරු ලියල තියනවද” කියල. ඒත් කවදාවත් මීට කලින් උපාලි අකුරු ලියල නෑ. මම හිතන්නෙ ඒක පෙර පුරුද්දක් වෙන්න ඇති.

මුළු හෝඩියම සුමාන දෙකක් යනකොට දන්නව. මම උපාලිට උගන්වන්න වැඩියෙන්ම ආස වුණේ ඒ නිසයි. දවසක් උපාලි මගෙන් අහනව ඇයි මූර්ධජ ‘ණ’ යන්නකුයි, දන්තජ ‘න’ යන්නකුයි දෙකක් තියෙන්නෙ කියල. කොහොම කීවත් එකම සද්දෙ තියනව නම් ලියන කොට අකුරු දෙකක් මොකටද? මොන තේරුමකට ද කියල අහනවා.

හෝඩියෙ පන්තියකට නොගිය ගෙදර ඉඳගෙන ඉගෙන ගන්න පුංචි දරුවෙක් මේ වගේ ප්‍රශ්න අහන කොට මොන වගේ දෙයක්ද හිතෙන්නෙ. අනික අපි වයසට යන තුරුම පුංචි දරුවො එක්ක කල් ගෙවූ අය. මම මේ වනතුරු මේ වගේ දරුවකුට අකුරු කියා දී නැහැ. හැම වෙලාවේම තිබුණේ විමසිල්ල. ඉහළ පන්තිවල ඉගෙන ගත්නා ළමයින්ට වඩා තර්ක කරන ගතිය පුංචි දවස්වල ඉඳලම උපාලි ළඟ තිබුණා.

පන්තියෙ වැඩ ඉවර වුණාම ගෙදර වැඩ දෙනව. ගෙදරවැඩ දීල පැය භාගයකට කලින් ඒව ඉවරකරල මම ළඟට දුවගෙන එනව. මේ වගේ දරුවකුට අකුරු කියවන්න ලැබීම මම මගේ ජීවිතේ ලොකුම සතුට ලෙසට සලකනවා.”

කඹුරුපිටියේ ජීවිතය උපාලි විජයවර්ධනගේ දිවි සැකැස්මේ පෙර මඟ ලෙස මම දකිමි. කුඩා කාලයේ සිටම ඔහුට උපදෙස් දෙන්නට කරුණු කාරණා කියා දෙන්නට සැදුණු නෑ පිරිසක් එහි වූහ. එක් අතකින් බලනවිට උපාලි ළදරුවගේ පුංචි දඟකාරකම් මතු වූ තෝතැන්න කඹුරුපිටි විය. පසුකාලීනව ඔහුගේ ජීවිතය මෙහෙයවීමේ බලවේගයේ නිජභූමිය වූයේ ද කඹුරුපිටියයි.

එම යුගයේ කඹුරුපිටිය මිරිස්වත්ත වලව්වේ විජයවර්ධන ළදරුවාට සමීප ඇසුරකින් කල් ගත කළ ගෙදර මුරකරු වූයේ අන්ද්‍රියස් ය. ඔහු උපාලිගේ අතීත සිද්ධීන් විස්තර කළේ මෙලෙසිනි. “මම මේ වලව්වට ආවෙ උපාලි මහත්තයගෙ අත්තම්ම ඉන්න කාලෙ. මම තමයි ඒ කාලෙ ඉඳන් මුරකරුවා. මේ වලව්වෙ අපිට වෙනම කොටසක් වෙන්කරල දීල තිබුණ. උපාලි පුංචි මහත්තය මේ ගෙදරට එනතුරු නොතිබුණු කලඑළියක් පුංචි මහත්තයා ආවායින් පස්සෙ ඇති වුණා. මගේ හිතේ ඒ වෙන කොට පුංචි මහත්තයට වයස අවුරුදු හතරක්, හතරහමාරක් වෙන්න ඇති.

ඇස්වහක් කටවහක් නෑ. අවුරුදු දහයක පෙනුම තිබුණ. මේ පුංචි දරුව ගැන මම කල්පනාවෙන් හිටිය. හැම තිස්සෙම ගෙදර ආත්තම්ම එක්ක විහිළු කර කර ගෙදර උඩහ පැත්තට දුවනව. මම බලාගෙන හිටිය මේ මොකද කරන්නෙ කියල.

හැමදාම හවස් ජාමෙට වලව්ව ළඟට හාවො රංචු පිටින් එනවා. මම දවසක් බලාගෙන ඉන්නකොට උපාලි පුංචි මහත්තයා පුංචි හාවෙක් අල්ල ගෙන සතා එක්ක කතා කරනව. පුංචි දරුවො එහෙම තමයි. ඒත් පුංචි මහත්තයා සතුන්ට ආදරෙ කරනව වැඩියි. අපි ගෙවල්වල වැඩ කරන අය. මිරිස්වත්ත පවුලෙ ප්‍රධානියාව හිටියෙ උපාලි පුංචි හාමුගෙ මෑණියන්. ඒ අය අපට සැලකුවේ අපේම අය හැටියට. උපාලි පුංචි මහත්තය ආවට පස්සෙ මට ගෙදර මුරකාරකමට වඩා වැඩ වැඩි වුණා. කොච්චරවත් ගෙදර නෑ. වත්ත උඩහට වෙලා හාවො ඉන්නවද බලනව. නැත්නම් ගෙදර පහළ කොහිල කොටුව ළඟට එන සත්තු දිහා බලා ඉන්නව. දැන් මගේ රාජකාරිය වෙනස් වෙලා. මම කොච්චරවත් පුංචි දරුවො දැකල තිබුණත් මේ වගේ පුංචි දරුවෙක් දැකල නෑ.

අපට ඉන්න සැප පහසුකම් ඇති වෙනම කාමර කීපයක් තිබුණ. දවසක් මහ රෑ පුංචි උපාලි මහත්තය මගේ කාමරේ ළඟට ඇවිත් වහල තිබුණු දොරට තට්ටු කළා. 

“අන්දිරිස් මාමෙ, අන්දිරිස් මාමෙ” කියන කොට මම අඳුර ගත්තා. එක්කො හාවෙක් බලන්න නැතිනම් කොහිල කොටුව ළඟ ගෙඹි රංචුව බලන්න යන්න වෙන්නැති කියල හිතල මම දොර ඇරගෙන ආව.

“අන්දිරිස් මාමෙ අපි පුංචි වැඩක් කරමු.”

“මොකක්ද පුංචි මහත්තය කරන්න යන්නෙ”

“අපේ ආත්තම්මා මේ ගෙදර බඩු මුට්ටු පුරවගන ඉන්නව මිසක් ඒව හරියට තියා ගන්න දන්නෙ නෑ. අපි දෙන්න එකතුවෙලා පුටු හරියට පිළිවෙළකට තියමු.”

“පුංචි මහත්තයො දැන් ආත්තම්ම මේක දැන ගත්තොත් මගේ රස්සාවත් ඉවරයි. හෙට උදේ ආත්තම්මට කියල ඒ ටික කරමු.”

“අපි මේ වැඩේ කරමු. ආත්තම්ම සතුටු වෙන්නෙ නැද්ද කියල හෙට උදේ අන්දිරිස් මාමට තේරේවි.”

මේ සිද්ධිය අවසන් වූයේ වලව්වේ තිබූ සියලුම ගෘහ භාණ්ඩ වෙනස් ආකාරයකට තැබීමෙන් පසුවය. උපාලි පුංචි දරුවා දහවල තෙක්ම නින්දේ පසුවිය. අත්තම්මා සිදුවූ සිද්ධිය දැන සිටියාය. “පොඩි එක්කා කවද හරි අපේ පම්පරාව ගෙනියන්න පුළුවන් මිනිහෙක් වේවි. මගේ සියලුම දේවල් මම මගේ පොඩි කොල්ලට දෙනව. ඒක මහ පුදුම ගමනක් යාවි.” ඇය සිතුවාය.

පසුදා පාන්දර උපාලි ළදරුවා අවදි වූයේ සිත තුළ සනිටුහන් වූ බිය මුසු සැකයකිනි. අත්තම්මා උපාලි ළඟට පැමිණියාය.

“පුතා දන්නවද ඊයෙ රෑ අපේ ගෙදරට පිටරට කට්ටියක් ආ. මේ ගෙදර බඩු මුට්ටු තියන විදිය හරි නෑ කියල ඒ අය ලස්සනට ඒව හදලා ගියා නේ. පුතා ගිහින් බලල එන්න.”

මිත්තණිය කිසිවිටක තමන් යන ගමන් මඟට විරසක නොවන බව උපාලි ළදරුවා දැන ගත්තේ බහ තෝරන වියේදී නැත්නම් වයස අවුරුදු හතර තිබියදීය.

ජපනුන් කොළඹට බෝම්බ ගසද්දී කඹුරුපිටිය වැනි ගම්බද ප්‍රදේශයක ජනතාව තුළ ද එක්තරා අසහනකාරී බවක් ඇති වන්නට විය. එයට හේතුව වූයේ ආහාර ප්‍රශ්නයයි. ගමේ නෑ හිතවතුන්ට ආත්තම්මා වී අටුවේ තිබූ වී, හාල් දෙද්දී ඒ දෙස බලා සිටි පුංචි උපාලි, ආත්තම්මාට හොරෙන් තව තවත් ඔවුන්ට වී හාල් ලබා දුන්නේය.

“ඇස්වහක් කටවහක් නෑ. මම පූරුවෙ ජාතියෙ කරපු පිනක් පලදීලා මේ වලව්වෙ වැඩට ආවෙ. මට පුංචි උපාලි මහත්තයා හැමදාම සිහිවෙනව. අපට අනෙක් අය කතා කරන විදියට කථා කළේ නෑ. මාමෙ, නැන්දෙ, අයියෙ, අක්කෙ කියල කථා කළේ. කරුණාවන්ත මනුස්ස ගති ගුණ පිරුණු කෙනෙක් හැටියටයි මම උපාලි මහත්තය ගැන හිතන්නෙ.

උපාලි පුංචි මහත්තය කොළඹට ගිය දවසෙ මම ළඟට ඇවිත් කිව්ව, කොළඹ කරදර ඉවරයි, දැන් එහේ යන්න වෙනව කියල.

“අන්දිරිස් මාමෙ මම ලොකු වෙලා ආපහු කඹුරුපිටියට එනවා. ඒ එනතුරු ආත්තම්මව බලාගෙන ඉන්නකො.” අන්දිරිස් සිදුවන දෙය දැන සිටියත් සිත එකඟ කරගත නොහී කඳුළු වගුරුවන්නට විය.

කඹුරුපිටියේ විසූ ළාබාල කාලය එනම් උපාලි විජයවර්ධනගේ හතර හැවිරිදි දිවිය යළිත් කොළඹ ශ්‍රී රම්‍යා නිවසට යොමුවිය.

එහෙත් එම සුළු කාලය මුළු ජීවිතයම මෙහෙයවන බලවේගයක් විය. සත්ත්ව කරුණාව, වැඩිහිටි සංග්‍රහය, ගුණ ගරුක බව උපාලි විජයවර්ධන මහතා තුළ පිහිටියේ කුඩා දරුවකු ලෙස සිටි යුගයේ ලද අත්දැකීම් තුළිනි.

ලබන සතියේ තවත් කොටසක්

Comments