
ණය ගෙවාගත නොහැකිව සිය ජීවිතයෙන් වන්දි ගෙවූ සිවුදරු පියකු පිළිබඳ පුවතක් පසුගියදා වාර්තා වූයේ කළුතර වැලිපැන්න හෝලින්බෝන් ජනපදයෙනි. හෝලින්බෝන් ජනපදයේ ජීවත් වූ සිවුදරු පියකු වූ තිස්හත් හැවිරිදි නාගරාජා රාජන් එලෙස පසුගියදා ගෙල වැළලාගෙන මියගොස් තිබුණේ ණය ගෙවීමට රුපියල් දහදාහක මුදලක් සොයා ගැනීමට නොහැකි වීම නිසාය. පසුගිය 25 වැනිදා සිය බිරියගේ අතට රුපියල් දෙසීයක් දී "මම ගිහින් රුපියල් දහදාහක් හොයාගෙන එන්නම්; කවුරුවත් අපි දිහා බලන්නේ නෑ; ඔයා ළමයින් බලාගෙන ඉන්න" යැයි පවසා ඔහු නිවසින් පිටව ගොස් තිබුණි. ඒ දවස් ගණනක් බිරිය හා දරුවන් සමඟ නිරාහාරව සිට, දරුවන්ගේ කුසගින්න දරාගැනීමට නොහැකි තැනය. මේ දරුවන් වයස අවුරුදු දොළහ, හත, හතර සහ තුන්වන වියේ පසුවන්නන්ය. ණය බරින් මිරිකී සිටි නාගරාජන් කොපියාවත්ත රන්මුතු උයනේ රබර්ගසක එල්ලී අවසන් හුස්ම හෙළා තිබුණේ ණය ගෙවීමට අවශ්‍ය මුදල් සොයා ගැනීමට සෑම උත්සාහයක්ම දරා නොහැකි වූ තැනය. ඔහුගේ ඥාතීන් විසින් ජයරාජන්ගේ අවසන් කටයුතු සිදු කර තිබුණේ රුපියල් 17,500ක් සියයට විස්සක පොලියට ලබාගෙන වීම මෙම ඛේදවාචකයේ තරම මොනවට කියාපාන්නකි.
මෙලෙසින්ම ජන ජීවිතයට විශාල බලපෑමක් එල්ල කළ උපද්‍රවයක් වන්නේ ලීසිං, ණය වාරික සහ ක්ෂුද්‍ර මූල්‍ය ණය අර්බුදයයි. අදටත් විසඳුමක් නොමැති මේ අර්බුදය කොවිඩ් තත්ත්වය නිසා තව තවත් උග්‍ර විය. ලීසිං, ණය වාරික හා ක්ෂුද්‍ර මූල්‍ය ණය අර්බුදය හේතුවෙන් මේ වන විට ලංකාව පුරා සියදිවි නසා ගැනීම් 257පමණ වාර්තා වී තිබේ.
මෙම ගැටලුවෙන් අගතියට පත් එක් පාර්ශ්වයක් වන කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් සම්බන්ධයෙන් අප කළ විමසීමේදී " තමන් මේ වනවිට මුහුණදී ඇති ණය අර්බුදය සම්බන්ධයෙන් පැහැදිලි කර සංඛ්‍යා දත්ත සහිතව ලිපි ලේඛන වරින්වර බැංකු පද්ධතිය නියාමනය කිරීමේ බලය හිමිව ඇති මහ බැංකුවට ඉදිරිපත් කළද මෙතෙක් කිසිදු විසඳුමක් ලබාදීමට මහ බැංකුව අපොහොසත් වී ඇති බව ව්‍යවසායකයන් සුරැකීමේ සංවිධානයේ කැඳවුම්කරු තේ කර්මාන්ත ශාලා අධ්‍යක්ෂ ලක්නාත් සන්නසූරිය පැහැදිලි කළාය.
මේ වනවිට කිසිදු මානුෂීය පදනමක් නොතකා බැංකු තමන්ට අවශ්‍ය ආකාරයට දේපළ පවරා ගනිමින්, දඩ පොලී අයකරමින් අත්තනෝමතික ක්‍රියාදාමයක නියැළී සිටින බව හෙතෙම පෙන්වා දෙයි. රට වැටී තිබෙන අර්බුදයෙන් ගොඩ ඒමට නම් මහ බැංකුව මැදිහත්වී මේ සඳහා කඩිනම් විසඳුමක් ලබාදිය යුතු බවත්, ඒ සඳහා වන යොජනා මේ වනවිටත් මහ බැංකු අධිපතිවරයා වෙත යොමු කර ඇති බවත් හෙතෙම පැහැදිලි කළේය.
ලංකාවේ ආර්ථිකයට ඩොලර් රැගෙන එන තුන්වන ආදායම් මාර්ගය බවට පත්ව ඇත්තේ සංචාර්ක කර්මාන්තයයි. කොවිඩ් අර්බුදය සමඟ මෙම කර්මාන්තය විශාල අර්බුද රාශියකට මුහුණ පා ඇත. පසුගිය වසර දෙකක කාලය තුළ සංචාරක හෝටල් සහ ඒ ආශ්‍රිත සේවා සැපයීම් සිදු කරන ආයතන ඍජුව ලක්ෂ දහයකට ආසන්න ප්‍රමාණයක් ඇති අතර, වක්‍රව ලක්ෂ තිහකට ආසන්න පිරිසක් ලංකාව පුරා දැඩි දුෂ්කරතාවන්ට පත් ව සිටිති.
මේ වනවිට විශාල කඩාවැටීමකට ලක්වී තිබෙන සංචාරක කර්මාන්තය නඟා සිටුවීමට සඳහා රජය මේ වනතෙක් කිසිදු පියවරක් ගෙන නොමැති බවත්, පසුගිය අයවැය මඟින් සංචාරක අමාත්‍යාංශය සඳහා කිසිදු මුදලක් ඒ සඳහා වෙන් නොකළ බවත්; එලෙස වෙන් නොකළ එකම අයවැය එය බවත් සමස්ත ලංකා සංචාරක සේවා සපයන්නන්ගේ සංගමයේ උපසභාපති ප්‍රියන්ත තිලකරත්න පෙන්වා දෙයි. එසේම මේ වැටී තිබෙන අගාධයෙන් සංචාරක කර්මාන්තය ගොඩගැනීම සඳහා කිසිදු සැලැස්මක් හෝ ක්‍රමවේදයක් මේ දක්වා ඉදිරිපත් කර නැති බව පවසන හෙතෙම, මධ්‍යම ප්‍රමාණයේ සංචාරක නිකේතන බොහොමයක් මේ වනවිට වසා දමා ඇති බවද පැහැදිලි කළේය.
සංචාරක ප්‍රවාහන ක්ෂේත්‍රය තුළ වාහන 48,000 -50,000 ප්‍රමාණයක් ධාවනය වන අතර ඒවා බොහොමයක් ලීසිං හා බැංකු ණය යටතේ මිලදී ගත් අධි සුඛෝපබෝගී වාහන වේ. කොවිඩ් වසංගතය සමඟ ඔවුන්ගේ ආදායම අහිමි වී යෑමෙන් අදාළ ණය වාරික නිසි පරිදි ගෙවීමට ඔවුන් අපොහොසත් වී ඇත. එය මේ අර්බුදය හමුවේ ඇති වූ විශේෂ තත්ත්වයකි. මේ සඳහා සහනයක් ලෙස රජයේ යෝජනාවක් අනුව මහ බැංකුව මඟින් මොනටොරියම් ක්‍රමයට එ් සඳහා කාලය ලබා දුන්නද අවසානයේදී අදාළ අයතන එම කාලය සඳහා සියයට එකොළයි දශම පහක් ( 11.5%) එක්කර ණය මුදල් ගණනය කිරීමෙන් ඔවුන් තව තවත් අර්බුදයට ගමන් කළේය. මහ බැංකුව මේ සඳහා මැඳිහත් වී යම් ක්‍රියාමාර්ගයකට එළඹීම යහපත්ය. ඒ සඳහා දීර්ඝකාලීන ණය සහන සලසා දීමට යොජනා කළද එය නිරර්ථක වූ බව සමස්ත ලංකා සංචාරක සේවා සපයන්නන්ගේ සංගමය සිළුමිණට පැහැදිලි කළේය.
සංඛ්‍යා දත්ත මත පදනම්ව මුළු ලංකාව පුරා ක්ෂුද්‍ර මූල්‍ය ණය වින්දිතයන් ලක්ෂ විසිනවයක් සිටින බව අනාවරණය වුවත්, ගම්වලට ගොස් වින්දිතයන් හමු වී තොරතුරු රැස් කිරීමේදී මේ පිරිස විශාල ලෙස වර්ධනය වී ඇති බව ක්ෂුද්‍රමූල්‍ය ණය වින්දිතයන්ගේ ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු නිරෝෂා ගුරුගේ පෙන්වා දෙයි.
මේ ආකාරයට ක්ෂුද්‍රමූල්‍ය ණය වින්දිතයන් වර්ධනය වීමට බල පෑ ආකෘති කිහිපයක් ඇති බව පෙන්වා දෙන ඇය; එකම නියෝජිතයා ආයතන කිහිපයක් නියෝජනය කරමින් එක් අයකුට ආයතන කිහිපයකින් ණය ලබාදී ඇති බව පැහැදිලි කළාය. උදාහරණයක් ලෙස බදුල්ලේ ඇටැම්පිටිය කරත්ත පාර ලැයිම නැති නම් පේළි නිවාස විසිහයක ජීවත්වන වතුකම්කරුවන්ට ආයතන දාහතකින් ණය ලබාදී ඇත. ඒ අනුව එක් පුද්ගලයකුට ආයතන තුනකින් හෝ හතරකින් ණය ලබාදී ඇත. එසේම එකම නිවසේ සාමාජිකයන් දෙතුන් දෙනකුට මෙලෙස ණය ලබාදීමට කටයුතු කර ඇත. ඒවා මොනම ආකාරයෙන්වත් ඉහත සංඛ්‍යා දත්තවලට හසුවී නොමැති බවත්, මේවා ගණනය වී ඇත්තේ එක ණයක් ලෙස බවත්, ඒ අනුව ණය වින්දිතයන් ප්‍රමාණය ලක්ෂ තිහක් තිස්පහත් අතර වර්ධනය වී ඇති බවත් ඕ පෙන්වා දුන්නාය.
තම දරුවන් සමඟ හෝ තනිවම සිය දිවි හානි කර ගැනීම වැනි සිද්ධි ඍජුව පෙනී ගියද නියෝජිතයන් මේ නිවෙස්වලට ගොස් උදේ සිට රාත්‍රිය දක්වා ඒ නිවෙස්වලට වී කල් මැරීම කිසිවකුට පෙනෙන්නේ නැත. ඉතා කුඩා නිවෙසක් නම් දරුවන්ට මෙන්ම වැඩිහිටියන්ට ඇඳුම් මාරුකර ගැනීමට පවා සිදු වන්නේ ඔවුන් බලා සිටියදීය. ළඟම ඥාතීන්ගෙන් අතරවරයට ලක්වන දැරියන් සහ කාන්තාවන් සිටින රටක මෙවැනි පිටස්තරයන්ගෙන් හිරිහැරයට ලක් නොවේ යැයි කාට නම් කිව හැකිද? මෙනිසා මේ දුගී දුප්පතුන්ට ශාරීරිකව මෙන්ම මානසිකව ද වන්දි ගෙවීමට සිදුව තිබේ. පොළොන්නරුව අනුරාධපුර දිස්ත්‍රික්කවල මේ ණය හඳුන්වන්නේ ඇඳ ණය ලෙසය. මේ තත්ත්වය එතරම් බරපතළය.
මේ සඳහා ඔවුන් යෝජනා හතරක් ඉදිරිපත් කරයි. ක්ෂුද්‍ර මූල්‍ය ණය ක්‍රමය යටතේ ගෙවන මුදලට වඩා අධික ලාභයක් මේ වනවිටත් එම සමාගම් උපයා තිබේ. මෙරට පිළිගත් නීතිය අනුව ඕනම තත්ත්වයක් යටතේ පොලී අය කළ හැක්කේ උපරිමයෙන් සීයට තිහක් (30%) පමණි. නමුත් මෙලෙස ණය ලබාදෙන සෑම ආයතනයක්ම එම ප්‍රතිශතය ඉක්මවා ණය පොලී වැඩි කරමින් අයුතු ලාබ රැස්කර ගනී. එනිසා මේ ණය කිසිදු කොන්දේසියකින් තොරව කපා හැරිය යුතු බව ඔවුන් ගේ පළමු යෝජනාව වී තිබේ. දෙවැන්න, අසාධාරණ ලෙස නඩු දමා ඇති, සමථ මණ්ඩලවලට හා පොලීසියට පැමිණිලි කර ඇති සියලු දෙයින් ඔවුන් නිදොස් කොට නිදහස් කළ යුතු බවයි. තෙවැනි කාරණය වන්නේ ණය ගෙවීමට නොහැකිව අසාදු ලේඛනගතව සිටින ණය කරුවන් ඉන් ඉවත් කිරීමට පියවර ගැනීමයි. සියයට තුන්සිය අනූහයක් (96%) වැනි අයුතු ලෙස ලාබ උපයාගත් සියලු ආයතනවලින් ඒවා නැවත අය කර ගෙන මේ මිනිස්සුන්ට ලබාදීමට ක්‍රමවේදයක් සකස් කිරීම සිවුවැන්නයි. පස්වැන්න ලෙස ඔවුන් යෝජනා කරන්නේ රජයේ මැදිහත් වීමෙන් ග්‍රාමීය කාන්තාවන් වෙනුවෙන් පොලී අය නොකර සහන ණය ක්‍රමයක් හඳුන්වා දීමයි. මේ වනවිට සමෘද්ධි බැංකු හරහා ණය ලබාදීමේ ක්‍රම වේදයක් දියත් කර තිබුණද ඉන් දුප්පත් ජනතාවට සහනයක් නොලැබෙන බව පවසන ඕ ඉන් සිදුව ඇත්තේ එම ජනතාව තවතවත් අසරණභාවයට ඇද දැමීම බව පෙන්වා දෙයි.
අම්පාරේ වඩිනාගලදී ක්ෂුද්‍ර මූල්‍ය ණය වින්දිතයන් සමඟ පැවති සාකච්ඡාවකදී කාන්තාවක් අප සමඟ ප්‍රකාශ කර සිටියේ "මෑතදී හඳුන්වා දුන් සමෘද්ධි ණය ක්‍රමය යටතේ ලක්ෂ දෙකක ණයක් ලබාගත් බවත්, තම සමෘද්ධි දීමනාව රුපියල් 3,850 ක් බවත්, මේ ලක්ෂ දෙක ලබාදීමේදී ඇයට මාසිකව හිමිවන රුපියල් 3,850 ක මුදල වසර හතරක් ඇප මුදලක් ලෙස තබා ගත් බවත්ය. ඊට අමතරව වාරිකය ලෙස රුපියල් 5000ක් ගෙවන ලෙසත් දැනුම් දුන් බවය. එසේම ඇය ඉල්ලූ මුදලින් ඇයට හිමිව ඇත්තේ රුපියල් 1,40,000ක් පමණි. රුපියල් 60,000ක මුදල දිරිය කාන්තා, ළමා ඉතුරුම්, කොටස්, කණ්ඩායම් සහ කාන්තා දිනයට කියා රුපියල් 1000ක් ආදී වශයෙන් අය කර ගෙන තිබේ. එසේම ස්වාමි පුරුෂයාට බැංකු ගිණුමක් නොමැති නම් රුපියල් 1500ක් දී ඔහුට බැංකු ගිණුමක් විවෘත්ත කළ යුතු අතර, මාස් පතා ඊට මුදල් දැමිය යුතුය. අනෙක් අතට ලබාදෙන රුපියල් එක්ලක්ෂ හතළිස්දාහ ලබා දෙන්නේද එකවර නොව කොටස් වශයෙනි. එනිසා ඔවුන් රජයෙන් ඉල්ලා සිටින්නේ එවැනි මැදිහත් වීමක් නොවේ.
ලිසිං හා ණය වාරික සම්බන්ධයෙන් මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්ගෙන් විමසීමක් කළ ද ඒ සඳහා කිසිදු පිළිතුරක් ලබා නොදී ලිස්සා ගිය බව කර්මාන්ත ශාලා හිමිකරුවන්ගේ සංගමයේ ලේකම්, මගෙන් රටට සංවිධානයේ ජාතික සංවිධායක රුවන් රණවන සිළුමිණ කළ විමසීමේදී ප්‍රකාශ කර සිටියේය.
පසුගිය දිනක නීත්‍යානුකූල නොවන ආකාරයෙන් පාතාල මැරයන් පිරිසක් විසින් ලීසිං දේපළ අත්පත් කර ගැනීමේ සංවිධානය නමින් සංවිධානයක් පිහිටුවා ගෙන ඇති බවත්, ඔවුන් ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශ බන්දු තෙන්නකොන් හමුවීමට ගොස් ඇති බවත්, අනතුරුව ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා විසින් සියලුම පොලිස් ආයතනවලට ලිපි යවමින් පෙන්වාදී ඇත්තේ, මෙම සීසර්ලාගේ හැඳුනුම්පත දුටු වහාම පැමිණිල්ල බාරගෙන; ඔවුන්ට වාහන හා දේපළ අත්පත් කර ගැනීම සඳහා පහසුකම් සපයන ලෙස බව හෙතෙම පෙන්වා දෙයි.
තම සංවිධාන එකමුතුව විසින් පසුගිය ජනවාරි 18 වැනිදා සිදු කළ උද්ඝෝෂණයේ මූලික අදහස වූයේ මෙම කාරණාව හා පරාටේ එක්සිකියුෂන් (Parate Execution) නීතිය අහෝසි කරන ලෙස බල කර සිටීම බවත්, මෙම නීතිය මේ වනවිට කිසිදු ශිෂ්ට සම්පන්න රටක් විසින් අනුගමනය නොකරන නමුත් ලංකාවේ පමණක් ක්‍රියාත්මකව පවතින බවත් පවසන හෙතෙම මෙය බැංකුවලට පමණක් වාසි වන නීතිමය පනතක් බව පෙන්වාදෙයි.
මෙම ණය ලබාදීම සිදුවන්නේ බොහෝවිට කාන්තාවන් ඉලක්ක කර ගනිමින් බවත්. එය මෙම ක්ෂුද්‍ර මුල්‍ය සමාගම්වල පොදු ලක්ෂණයක් වී ඇති බවය. මේ වන විට ක්ෂුද්‍ර මුල්‍ය ණය කරුවන් ලක්ෂ විසිඅටක් පමණ නිශ්චිතව හඳුනාගෙන ඇති අතර ඉන් ලක්ෂ විසිහයක් ම කාන්තාවන් වීමෙන් මේ කරුණ සනාථ වන බව සිළුමිණ මේ පිළිබඳව කළ විමසීමේදී ක්ෂුද්‍ර මූල්‍ය ණය හේතුවෙන් විපතට පත් කාන්තා එකමුතුවේ සභාපති ප්‍රියන්තිකා කුමාරි පෙන්වා දුන්නාය.
මීට අමතරව දරිද්‍රතාවයෙන් පීඩා විඳින කාන්තාවන් තෝරා ගැනීම, ණය ලබාදීමේ ක්‍රියාවලියේදී පොලි ප්‍රතිශතය ප්‍රකාශ නොකිරීම, ණය ගිවිසුම ඉංග්‍රීසි භාෂාවෙන් තිබීම සහ එය කියවා පැහැදිලි කර නොදීම, අධික පොළිය සහ දඩ පොලිය, ණය ගිවිසුමේ ව්‍යාපාරික කටයුත්තකට හෝ ගොවිතැන් සඳහා ණය ලබාදෙන බව පවසා, ආයෝජන නොවන පරිභෝජන කටයුතු සඳහා ණය ලබාදීම, ණය වාරික එකතු කිරීමට නිවාසවලට පැමිණීම සහ එසේ පැමිණ තර්ජනය කිරීම, බිය වැද්දීම සහ බැණ වැදීම, ණය ගිවිසුම් අලුත් කිරීම සහ හිස් කොළවලට අත්සන් ලබාගැනීම, ණය වාරික වෙනුවට නිවාසවල ඇති භාණ්ඩ ලබාගැනීමට උත්සාහ කිරීම, ණය වාරික ප්‍රමාද වීමේ හේතු දක්වමින් ලිංගික අල්ලස් ගැනීම හා ඒ සඳහා උත්සාහ කිරීම වැනි ගැටලු රාශියක් මෙම ක්ෂුද්‍ර මූල්‍ය අර්බුදය තුළ පැහැදිලිව දැක ගත හැකි බව ඕ පෙන්වා දුන්නාය.
ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදනයට ඍජුවම සියයට පනස් දෙකක(52%)ට වඩා දායකත්වයක් සපයන, රටේ සමස්ත ව්‍යවසායකයගෙන් සියයට හැත්තෑපහ(75%)ක් නියෝජනය වන රැකියා ලක්ෂ පනහකට අධික ප්‍රමාණයක් ජනනය කර ඇති සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් හට මේ වනවිට බැංකු හා බැංකු නොවන මූල් ආයතනයන්ගෙන් සිදුව ඇති අන්තනෝමතික, අසාධාරණ පිළිබඳවත්, ඔවුන් අපහසුතාවයන්ට ලක්කරන හා ජීවිතයෙන් වන්දි ගෙවීමට බලපා ඇති තත්ත්වය පිළිබඳවත්, මිලියන අටකට අධික ලීසිං හා ණය වාරික ගෙවනා, නොයෙක් ක්ෂේත්‍ර තුළ සේවා සපයන සහ පෞද්ගලික ලෙසත් අගතියට පත්ව සිටින සියලුම ජනතාව වෙනුවෙනුත්, මුල්‍ය ආයතන හරහා තම මුදල් අගතියට පත්වීම ආදී කරුණු රැසක් මුල් කරගෙන පසුගිය ජනවාරි 18 දින මූල්‍ය සමාගම් නිසා අගතියට පත් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් හා ක්ෂුද්‍ර මූල්‍ය ණය උගුලේ හිරවූවන් ඒකරාශීකරගෙන උද්ඝෝෂණය පැවැත් වූ බව ලීසිං හා ණය වාරික ගෙවන්නන්ගේ ඒකාබද්ධ සංගමය මාධ්‍ය ලේකම් අසංක සුමේධ අමරසිංහ පෙන්වා දුන්නේය. මේ සඳහා කඩිනමින් විසඳුම් නොලැබෙන්නේ නම් ඉදිරියේදී රට පුරා දැවැන්ත උද්ඝෝෂණයක් දියත් කරමින් මේ සඳහා පියවර ගැනීමට ආණ්ඩුවට බල කර සිටීමට තම සංවිධන එකමුතුව පසුබට නොවන බවහෙතෙම පෙන්වා දෙයි.