
පොලිසිය පෙනි පෙනී තම බලපුළුවන්කාරකම් පෙන්වීමට තරම් අද මිනිසුන්ට හයියක් තිබීම රටේ මිනිසුන් නොමිනිසුන් වී ඇති බැව් කියාපානා සිදුවීමක් පසුගියදා කන්තලෙන් ඇසුණි.
ඉකුත් 19 වෙනිදා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කාර්යාලය ඉදිරිපිට පෙරවරු 11.20 ට පමණ ලංගම බස් රථයක් නවතා තිබුණි. ඒ බසය ත්‍රිකුණාමලයේ සිට කොළඹ බලා යන කිරිඳිවැල ඩිපෝවට අයත් NPNC2210 දරන ලංගම බස් රථයයි. පොලිස් අධිකාරී කාර්යාලය ඉදිරිපිට ඇති බස් නැවතුම්පොළේ සිටි මගීන් ගැනීම හා ඒ ස්ථානයෙන් ගමන් අවසන් කරන මගීන් බැස්සවීමට මෙම බසය නවතා ඇත. බසය යළි ගමන් ආරම්භ කිරීමට සූදානම්වත්ම පිටුපසින් වේගයෙන් පැමිණි කොළඹ බලා ධාවනය වන EPNC5076 දරන පෞද්ගලික බස් රථය ලංගම බස්රථයට ගෑවී නොගෑවී බසය හරස් කර නවතා ඇත.
එකෙණෙහිම පෞද්ගලික බස් රථයේ රියදුරු හා කොන්දොස්තරවරයා පැමිණ ලංගම බස්රථයේ රියදුරුගේ උරහිසින් අල්ලා ඇද ඇත. මේ අවස්ථාවේ ලංගම රියදුරුගේ අතින් එක්වරම ක්ලච් ලීවරය ගිලිහී ගොස් ඉදිරිපස නවතා තිබූ බසයේ පිටුපස වම් මුල්ලේ ගැටී අනතුරක් සිදුවී ඇති බව පරීක්ෂණ පවත්වන පොලිසිය කියයි.
මේ අතරතුර ලංගම බසයේ රියදුරුට පෞද්ගලික බසයේ රියදුරු පොල්ලකින් පහරදීමක් සිදුකර ඇති අතරතුර මෙයින් කුපිත වූ ලංගම බස්රියේ සිටි මගීන් පහර දුන් රියදුරුට හා කොන්දොස්තරවරයාට පහරදීමට උත්සාහ කළ අවස්ථාවේ ඔවුන් පලා යාමට තැත් කරද්දී මගීන් මහාමාර්ගයේ ඔවුන් ලුහුබැඳ දුවන්නට පටන්ගත් අතර දෙදෙනාම පොලිස් මූලස්ථානයේ දොරටුවෙන් ඇතුළට කඩා වැදුණද මගීහු ද ඒ පිටුපසම හඹාගෙන යනු දක්නට ලැබුණි.
අනතුරුව තුවාල ලබා සිටි ලංගම බස් රියදුරු කන්තලේ මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර හෙතෙම ඇඳ හිසපත් අංක 2142/748/22 යටතේ නේවාසිකව ප්‍රතිකාර ලබා ගත්හ. රථ දෙකේම මගීන් කිසිවකුටත් තුවාල සිදුවී නැත.
පෞද්ගලික බස් රථය ත්‍රිකුණාමලයෙන් ගමන් ආරම්භ කොට ඇත්තේ ලංගම බස් රථයට පැය භාගයකට පෙරය. කෙසේ නමුත් ත්‍රිකුණාමලය 4 කණුව මංසන්ධියේදී බස්රථ දෙකම එකට මුණ ගැසී ඇති අතර එතැන් සිටම කන්තලේ දෙසට ගමන් කර ඇත්තේ එකිනෙකා පරයා යමින් තරගයට ගමන් කරමින් ය. මේ බස්රථ දෙක මෙසේ තරඟ කරමින් මගීන්ගේ ආරක්ෂාව ගැනද නොතකමින් ධාවනය කර ඇති අතර පෞද්ගලික බස් රථයේ රියදුරු හා කොන්දොස්තර පරුෂ වචනයෙන් බැණ වදිමින් පොලු මුගුරු හරස් කරමින් ගමන් කළ බව පොලිස් පරීක්ෂණවලදී හෙළි වී ඇත.
‘ලංගම බස් රථයේ රියදුරු පූගොඩ පදිංචි සරත් සිසිර කුමාර (49) සිද්ධිය මෙසේ විස්තර කළා. “මම 10.30 ට ත්‍රිකුණාමලයෙන් කොළඹට යන්න බස්එක ගත්තා. ඊට පැය බාගයකට කලින් තමයි පෞද්ගලික බස් එක පිටත් වුණේ. 4 කණුව හරියේදී අපිට මේ බස් එක මුණ ගැහුණා. එතන ඉඳලාම අපිට වෙට්ටු දමමින් තමයි ආවේ. මගේ ඇඟට දෙපාරක්ම කැපුවා. මඟක් දුර එනකොට කුණුහරපෙන් බණින්නට පටන් ගත්තා. අපිට පොලු පෙන්නනවා ගහනවා කියලා. මම ආවේ මගේ නියමිත වෙලාවට නියමිත වේගයෙන් තමයි ආවේ. කොහොම හරි කන්තලේ පොලිසිය ඉස්සරහ බහින්න හිටි අයට බහින්න නැවැත්තුවා ඒ එක්කම එතනින් කොළඹට යන අය කීපදෙනෙක් නැග්ගා. ඒ අය නග්ගාගෙන මම වාහනේ ඉස්සරහට ගන්න කොටම මේ බස්එක පාර හරස් කරලා නැවැත්තුවා. මම සීට් එකේ වාඩිවෙලාම හිටියා. ඒකෙ රියදුරා බස් එකට නැගලා පොල්ලකින් මට ගැහුවා. ඒකරලා ඇදලා ගත්තා කොන්දොස්තර ජනේලේ ළඟින් ඇවිත් කුණුහරුපෙන් බණින්න පටන් ගත්තා.
මේ සම්බන්ධයෙන් බස්රථයේ ගමන් ගත් මගීන් මෙසේ තමන් දුටු දේ විස්තර කළා. “ හතරෙ කණුවේ ඉඳලාම මේ ගෝරිය ඇදිලා ආවා. අපිත් පුදුම ඉවසීමකින් හිටියේ. කුණුහරප කියනවා මේ බස් එකට වෙට්ටු දානවා; පොලු පෙන්නනවා. යුද්ධයක් ඇල්ලුවේ. අපේ පොඩි දරුවොත් අරන් අපි ආවේ. අපි පණ බයේ ආවේ.
තවත් මගියෙක් “මේක නං මහ කරුමයක්. අපිට නිදහසේ ගමනක් යන්න නෑ. මුංගෙ පොරේ. රටේ මේ තරම්ම අනතුරු වැඩිවෙලා තියෙන්නෙ මේ තරගෙ නිසා තමයි. එකෙකුට එකෙක් පරාද වෙන්ට කැමති නෑ. අපිත් පුදුම ඉවසීමක් ඉවසුවේ. ඒකෙ සීමාව පැන්න තැන තමයි අපි ගහ ගහා එළෙව්වේ. ඕකුන් ඒ වෙලාවෙ පණ කඩාගෙන දිව්වේ නැත්නම් අපේ ගෑනු ටික තමයි මතක හිටින්න තලන්නේ.
ලංගම බස් රථයේ රියදුරුට පහර දෙන අතරවාරයේ එහි සිටි මගීන් කුලප්පු වීමෙන් පෞද්ගලික බස් රථයේ චණ්ඩි දෙපළට සිදුවූයේ එළව එළවා පහර දුන් මගීන් ගෙන් බේරීමට පණ එපා කියා පොලිසියටම රිංගා ගැනීමටයි.
සිද්ධිය සම්බන්ධයෙන් කන්තලේ පොලිසිය විසින් අත්අඩංගුවට ගත් පෞද්ගලික බස් රථයේ රියදුරු කන්තලේ දිසා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව වැඩබලන මහේස්ත්‍රාත් දමයන්ති මෙනවිය දැඩි කොන්දේසි මත ඇප ලබාදුන් අතර ඔහු ගේ රියදුරු බලපත්‍රය තාවකාලිකව අත්හිටුවන ලදී. ලංගම බස් රථයේ රියදුරු කන්තලේ රෝහලේ දින කිහිපයක් නේවාසිකව ප්‍රතිකාර ලබා පිටත්ව ගොස් ඇත.
කන්තලේ මූලික රෝහලේ වෛද්‍ය අධිකාරි මැලින්ටන් කොස්තා “ මේ පුද්ගලයාගේ තැළීම් තුවාල කිහිපයක් තිබුණා. ඒවාට අපි ප්‍රතිකාර කළා. ඔහු පපුවේ අමාරුවක් ඇති බව පැවසූවෙන් ඒ සම්බන්ධ පරීක්ෂණ කළා දින 3 ක් රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ගත්තා. නමුත් තත්ත්වය එතරම් බරපතළ නොවන රෝහලෙන් පිටව ගියා.
“අපි මේ ගෙවා දමන්නේ මුදල් පිටුපසම හඹායමින් මනුස්සකම් වලදමා ඇති කාලයක්. මේ බස්වල තරගය අනන්ත වත් අපිට අත්විඳින්න සිදුවෙලා තියෙනවා. ඒත් අපි හැමදාමත් නිහඬ වුණා. හැම තැනින්ම බැට කන ජනතාව දැන් ටික ටික නැගිටිනවා. මේක හොඳ පාඩමක්. අපිට ලංගමත් එකයි පෞද්ගලික බස් එකත් එකයි. අපිට ඕන නිදහසේ ගමන ඉවර කරන්න. අවුරුදු 30 ක්ම බැටකෑව යුද්ධය ඉවර කරන්න පටන් ගත්තෙත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයෙන්. ඒ වගේම තමයි අසාධාරණයට නැගිටින්නත් හොඳ පාඩමක් තමයි අපේ ප්‍රදේශයෙන් ආරම්භ කළේ.
කන්තලේ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අශෝක වීරක්කොඩිගේ නියෝග මත සහකාර පොලිස් අධිකාරි 1 රෝහණ වනිගසේකරගේ පූර්ණ අධීක්ෂණය මත මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක ඩබ්. එම්. සිරිවර්ධනගේ උපදෙස් මත රථවාහන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ජී. ඒ. ආර්. එස්. දිසානායක සුළු පැමිණිලි අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක එම්. මාහීර් යන අය වැඩිදුර පරීක්ෂණ කටයුතු සිදු කරනු ලබයි.
සුමිත්‍රා කුමාරිහාමි, කන්තලේ සමූහ