දෙස බස රැස රැකි කුමරතුඟු මෙහෙවර | සිළුමිණ

දෙස බස රැස රැකි කුමරතුඟු මෙහෙවර

 

ජාතියක දියුණුව සහ නැඟීම සිදු වන්නේ චින්තනය මුල් කරගනිමිනි. එකී චින්තනය බිහි වන්නේ භාෂාව මාධ්‍යය කරගෙන ය. එබැවින් ජාතියක් ගොඩනැඟීමට නම්, ඒ ජාතිය වහරන බස නිවහල්ව දියුණුව තිබීම අවශ්‍ය වේ. එවැනි භාෂාවක් භාවිත කරන ජනතාව තුළ නිරායාසයෙන්ම භාෂාභිමානය ඇතිවුවද අධිරාජ්‍යවාදී යටත්විජිත සමයේදී සිංහල බසට ලැබුණේ ´කුඩම්මාගේ සැලකිලි´ ය.

එවැනි අවාසනාවන්ත ඉරණමක් අත්කරගෙන සිටි සිංහල භාෂාව අබිසෙස් ගැන්වීමට කටයුතු කළ භාෂා ප්‍රාඥයන් අතර ප්‍රමුඛ ස්ථානයක් හිමිකර ගත් වියත් පඬිවරයකු ලෙස කුමාරතුංග මුනිදාස නාමය ඉහළින් ම කියැවේ.

ශ්‍රේෂ්ඨ පඬිවරයකු, සාහිත්‍යකරුවකු, පුවත්පත් කලාවේදියකු, ගුරුවරයකු, ගුරුවරු පුහුණු කරන්නකු, ප්‍රකට වාග් විශේෂඥයකු, පාසල් පරීක්ෂකවරයකු සහ කවියකු ලෙස ක්ෂේත්‍ර රැසක් ඔස්සේ සිය විශේෂ නිපුණත්වය ප්‍රකට කළ කුමාරතුංග මුනිදාසයන්, 1887 ජුලි මස විසිපස් වැනි දින මාතර දික්වැල්ලේ, ඉඳිගස් ආරේ සිය නිවෙසේදී උපත ලැබීය.

නිවැරදි නිරවුල් සහ නිදහස් භාෂාවක් සිංහල ජාතියට තිළිණ කරමින් විශිෂ්ට සාහිත්‍ය මෙහෙවරක නිරත වූ කුමාරතුංග මුනිදාසයන්, නූතන සිංහල ළමා සාහිත්‍යයක්‌ බිහි කිරීමට පුරෝගාමී මෙහෙවරක් ඉටු කළ අමරණීය මිනිසෙකි. ඔහු විසින් ‘හෙළ හවුල’ නම් සංවිධානය පිහිටුවා ගනු ලැබුවේ සිංහල භාෂාව තුළ අරක් ගෙන තිබූ සංස්කෘතික බලපෑම් ඉවත් කිරීමට ඉමහත් පරිශ්‍රමයක් දරමිනි.

සාහිත්‍යකරුවන් අතර ඔහු සුවිශේෂී වූයේ අසාමාන්‍ය භාෂා ඥානයත් නිර්මාණශීලී චින්තනයත් නිසාය. සිංහල, පාලි, සංස්තෘත භාෂා පමණක් නොව කුමරතුඟුවන් දමිළ, මලයාලම්, ඉංග්‍රීසි, ලතින් සහ ග්‍රීක් භාෂා හැසිරවීමේ ද දක්‍ෂයකු විය.

අදටත් බාල, මහලු කා අතරත් වඩාත් ජනප්‍රිය කෘතීන් වන ´ශික්‍ෂා මාර්ගය, කියවන නුවණත්, හත්පණ, මඟුල් කෑම, හීන්සැරය, ප්‍රබන්‍ධ සංග්‍රහය සහ කවි ශික්‍ෂාව´කුමාරතුංග මුනිදාසයන් විසින් රචිත ජනප්‍රිය කෘති කිහිපයකි.

රටට, ජාතියට හා සාහිත්‍යයට අපමණ මෙහෙයක් ඉටු කළ කුමාරතුංග මුනිදාසයන්, 1944 මාර්තු 02 වැනිදා දැයෙන් සමුගත් අතර, 1945 වසරේ මාර්තු 2 වැනිදා සිට කුමාරතුංගයන්ගේ අනුස්මරණය කිරීම සිදු විය.

1980 දශකය අගභාගෙය්දී හිටපු ඇමති විජමු ලොකුබණ්ඩාර විසින් කරන ලද යෝජනාවකට අනුව මාර්තු 2 ´සිංහල භාෂා දිනය´ ලෙස නම් කිරීම සිදු විය.

ඊට මූලික හේතුව වූයේ කුමාරතුංගයන් සිංහල භාෂාව කෙරෙහි දැක්වූ වෙසෙස් කාර්යභාරයයි. එතැන් සිට මේ දක්වා සෑම වසරකම මාර්තු 2 වැනිදා කුමාරතුංග මුනිදාස අනුස්මරණය සහ සිංහල භාෂා දිනය සැමරේ.

යටත්විජිත යුගයකදී ස්වභාෂාව කෙරෙහි ප්‍රේමීත්වයක් ඇතිකර ස්ව භාෂාවේ ඇති අගය, වටිනාකම පැහැදිලි ලෙස ම පෙන්වා දුන් ප්‍රමුඛ විද්වතා වූ කුමාරතුංග මුනිදාසයන්ගේ අභාවය සිදුවී දශක 7කට වැඩි කාලයක් ගතවී තිබුණද අදත් සිංහල භාෂාවට අභියෝගවලින් නිදහසක් නම් නැත.

¨ස්වාභිෂාමානය අඩුවෙමින් යෑම සිංහල භාෂාව හමුවේ ඇති ප්‍රධාන අභියෝගයයි. රටේ අධ්‍යාපනය, රාජ්‍ය තන්ත්‍රය සහ ජනමාධ්‍ය තුළ ඉතාම උසස් ලෙස සිංහල භාෂාවේ නිවැරදි වහර සහ සම්මතය රැකගනිමින් නිවැරදි නූතන භාෂාවක් ලෙස සංවර්ධනය කරන්නේ කෙසේද යන අභියෝගය අප හමුවේ තිබෙනවා.

ඉකුත් පෙබරවාරි 21 වැනිදාට යෙදී තිබූ ජාත්‍යන්තර මාතෘ භාෂා දිනයේදී යුනෙස්කෝව පවා පිළිගෙන තිබෙනවා, ලෝකයේ තිබෙන භාෂා විවිධත්වය නිසා තමන්ගේ මවුබසෙහි වැදගත්කම. එහෙත් අද විශේෂයෙන්ම සිංහල භාෂාව ව්‍යවහාර වන රටක් ලෙස මවුබසෙහි අගය එන්න එන්නම අඩුවෙමින් තිබෙනවා. ¨

සිංහල භාෂාව හමුවේ ඇති වත්මන් අභියෝග පිළිබඳ එසේ පැහැදිලි කළේ කොළඹ විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයන අංශයේ ප්‍රධානී, මහාචාර්ය සඳගෝමි කෝපරහේවා ය.

කුමරතුංගයන්ට කළ හැකි ඉහළම ගෞරවය වන්නේ රාජ්‍ය මට්ටමින් මවුබස වෙනුවෙන් භාෂා සැලසුම් වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම බව ඔහුගේ අදහසයි.

සිංහල භාෂාව, රාජ්‍ය භාෂාව ලෙස රාජ්‍ය යන්ත්‍රණය තුළත් අධ්‍යාපන සහ සන්නිවේදන මාධ්‍යයක් ලෙස භාවිත වුවත් ඒ සම්බන්ධයෙන් ඇති අභියෝග ගැන ද මහාචාර්ය සඳගෝමි කෝපරහේවා අදහස් පළ කළේය.

¨විශ්වවිද්‍යාල ආචාර්වරයෙක් හැටියට මම හොඳින්ම දන්නවා,

මේ වන විට අලුත් විෂයන් ඉගැන්වීම සඳහා අපි බොහෝවිට යොදාගන්නේ ඉංග්‍රීසි භාෂාවයි. ඒ නිසා ඒ අලුත් විෂයයන්වල නව දැනුම සිංහල භාෂාවෙන් ප්‍රකාශයට පත්නොවීමේ තත්ත්වයක් තිබෙනවා. ඒ වගේම මේ වන විට බොහෝ ජාත්‍යන්තර පාඨශාලා සහ වෙනත් පෞද්ගලික විශ්වවිද්‍යාල නිසා සිංහල භාෂාවෙන් අධ්‍යාපනය ලැබීමේ අවස්ථාව අඩුවී තිබෙනවා. රාජ්‍ය භාෂාව වූ පමණින් හෝ මිනිසුන් විසින් භාෂාව කතාකළ පමණින් භාෂාවක් දියුණු වන්නේ නැහැ.

ඒ සඳහා අලුත් කාර්යයන් සඳහා භාෂාව යොදාගත යුතුයි. ඉහත කී කරුණු නිසා සිංහල භාෂාවේ තිබෙන රමණීයත්වය, අගය සහ ස්වාභිමානය අද බොහෝ දුරට අඩුවෙමින් තිබෙනවා. බස දියුණු කිරීම, භාෂාවේ පෝෂණය සහ සංවර්ධනය ගැන වැඩිම අවධානයක් යොමු කළ විද්වතා කුමාරතුංග මහතායි. එවැනි පිරිසක් එකතු කරගෙන භාෂානුරාගයක් ඇති කිරීමට ඔහුට හැකියාව තිබුණා.

අද අපි නිවැරදිව පද බෙදලා ලියන්නේ එදා එතුමා බස සැලසුම් කළ නිසයි. ඒ නිසා නැවත වරක් මේ රටේ එවැනි ස්වාභිෂාමානයක් ඇතිකරන අතර, බස සැලසුම් කිරීමේ ජාතික වැඩසටහනක් අවශ්‍යයි. ¨

මහාචාර්ය සඳගෝමි කෝපරහේවා අවධාරණය කළේය.

භාෂාවේ ජාතිකත්වය ඇති කිරීම සඳහා එදා සිටම විශේෂ මෙහෙයක් සිදු කළ හෙළ හවුලේ ඇත්තන් කුමරතුඟු මුනිදසුන් ඒ සඳහා ලබා දුන් පුරෝගාමී නායකත්වය සිහි කරන්නේ කෘතඥ බවිනි.

“යම් ජන සමූහයක් ජාතියක් බවට පත්වන්නේ ඒ සියල්ලනට පොදු සංස්කෘතියක් පවතින විට යි. භාෂාව කියන්නේ ඒ සංස්කෘතියේ ප්‍රධාන ම අංගයක්. සංස්කෘතියක් ඉදිරියට ගෙන යන ගාමක බලය භාෂාවයි. අප කොතරම් භාෂා දැන ගත්තත් සිතන්නේ මවු බසින්.

අපට හැඟීම් දනවන්නේ මවු බස යි. ඒ කියන්නේ අපේ අනන්‍යතාව පවතින්නේ මවු බසෙයි.

මේ තත්ත්වය මනා ව අවබෝධ කොටගත් නිසයි කුමාරතුංග මුනිදාසයන් බස නැංවීම මඟින් රැස හෙවත් ජාතියත් රැස මඟින් දෙසත් නැංවිය හැකි බව පැවැසුවේ. චින්තනයේ මාධ්‍යය භාෂාවයි. භාෂාව පිළිබඳ දැනුමක් නැති අය කෙසේ ද නිවැරැදි චින්තනයකට යොමුවන්නේ.

මෙය විශාල සමාජ ගැටලුවක්. සාහිත්‍යයෙන් ළමා පරපුර ඈත් වීමත් මෙයට බෙහෙවින් බලපා තිබෙනවා. අනාගතයේ මෙ රට සිටිනු ඇත්තේ චින්තනයෙන් තොර ජාතියක් බව නම් එවැනි පරපුරක් කුමටද? ළමයින්ට බස හොඳින් උගන්වන්නට නම් හොඳින් බස දන්නා ගුරු පරපුරක් ද සිටිය යුතුයි.”

හෙළ හවුලේ සභාපති, ශ්‍රීනාත් ගණේවත්ත එසේ කීවේ සිංහල භාෂාව හමුවේ ඇති තවත් අභියෝගයක් සිහිපත් කරමිනි. මහාචාර්ය කුලතිලක කුමාරසිංහ පවසන්නේ කුමාරතුංග මුනිදාසයන් මෙරට පහළ වූ ශ්‍රේෂ්ඨතම ළමා පද්‍ය රචකයා බවයි.

කුමරතුඟුවන් කාව්‍යකරණයේදී පළ කළ ප්‍රභාව ඉතා සුන්දර සහ අරුත්බර වූ බව ඔහුගේ විශ්වාසයයි.

වැඩිහිටියන් සඳහා රචනා කළ නිර්මාණවලදී බොහෝදුරට වියත් බස් වහර භාවිත කළද ළමා නිර්මාණවලදී ළමා මනස මැනවින් වටහාගෙන එය පෝෂණය කිරීමට තුඩු දෙන ආකාරයේ කවි බසක් පරිහරණය කිරීමට කුමාරතුංගයන් කටයුතු කළ අයුරු මහාචාර්ය කුලතිලක කුමාරසිංහ පැහැදිලි කළේ උදාහරණ සහිතවය.

“විශේෂයෙන් ´කුමර ගී´ සංග්‍රහයේ ඇතුළත් නිර්මාණ එකින් එක විමසා බැලීමේදී එය රස ගඟුලක් හා සමානයි. ඒවායේ ඇතුළත් ඇතැම් ගී සරල පදමාලාවකින් සමන්විත වුවත් ඉතා අපූරු රසවින්දනයක් ලැබෙන ආකාරයට නිර්මාණය කර තිබෙනවා. මඟුල් කෑම, හීන්සැරය වැනි කෘති මඟින් කුඩා කාලයේ සිටම භාෂාව නිසි ලෙස හැසරවීමේ වැදගත්කම පිළිබිඹු වන ආකාරයට ඉදිරිපත් කිරීම එතුමාගේ දක්ෂතාවක්.

ගද්‍ය රචකයකු, ප්‍රබන්ධකරුවකු ලෙස එතුමා වැඩිහිටියන් සඳහා ‘ප්‍රබන්ධෝපදේශය’රචනා කළේ ප්‍රබන්ධකරණයේ මූලධර්ම පැහැදිලි කරදීමටයි. බටහිර ආභාසයක් නොලබා දේශීය චින්තනය අනුව ප්‍රබන්ධකරණය පිළිබඳ උපදෙස් මාලාවක් ලෙස මුලින්ම නිකුත් වන්නේ එම කෘතියයි. එහි ඉගැන්වෙන නීතිරීති වඩාත් අවධාරණය කිරීම සඳහා කුමාරතුංග මුනිදාසයන් ‘ප්‍රබන්ධ සංග්‍රහය’කෘතිය රචනා කළා.

සිංහල භාෂාව වෙනුවෙන් මෙතරම් ඇපකැපවී කටයුතු කළ, භාෂාව තමාගේ ජීවිත ප්‍රාණය ලෙස සැලකූ විද්වතකු තවත් නොවන තරම්.”

පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙනේ ආචාර්ය, කැලණිය විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයන අංශයේ අංශාධිපති, මහාචාර්ය මල්වානේ චන්ද්‍රරතන හිමියෝ ද , ශ්‍රේෂ්ඨ පඬිවරයකු වන කුමාරතුංග මුනිදාසයන් වෙතින් සිදුවූ සුවිසල් භාෂා සහ සාහිත්‍ය මෙහෙවර තුළ ළමා ගද්‍ය සහ පද්‍ය සාහිත්‍යයට ඉටු කළ පුරෝගාමී මෙහෙය වෙසෙසින් අගය කරති.

“එතුමා සතු වූ නිර්මාණශීලී චින්තනයෙන් වැඩිපුර ස්පර්ශ කළේ ළමා මනස. බොහෝ වියතුන් ආමන්ත්‍රණය කරන්නේ වැඩිහිටියන්ට, තරුණ පරපුරට.

නමුත් ඊට වඩා හොඳ පරිසරයක ළමා මනස ගොඩනැඟිය යුතුයි යන මනෝ විද්‍යාත්මක චින්තනයට තමා සතු නිර්මාණශීලී චින්තනය එක්කොට ළමා මනස ස්පර්ශ කළ ආකාරය ඉතා සුන්දරයි.

කුමාරතුංගයන් විසින් රචිත ‘හාවාගේ වග’ නම් පැදි පෙළ එතුමාගේ ළමා නිර්මාණ අතර අතිශය සාර්ථක ළමා පද්‍ය නිර්මාණයක්‌ ලෙස හඳුනාගත හැකියි.

ඒ කවි කියවනවිට, හාවාගේ හැසිරීම් රටාව පිළිබඳ සිතේ මැවෙන චිත්තරූප තුළින් දරුවා අපූර්ව ලෝකයක් තුළ සැරිසරනවා.

ඒ ලෝකය මැවීම සඳහා කුමාරතුංගයන් යොදාගත් සරල, සුගම, සුලලිත බස්‌ වහර නිසා දරුවන්ට පමණක් නොව වැඩිහිටියන්ට පවා අදත් ඒ නිර්මාණ රස විඳිය හැකියි.

ඒ වගේම ‘පුබුදුව’ පද්‍ය රචනාව තුළින් ළමා මනස තුළ රට, ජාතිය, ආගම පිළිබඳ හැඟුම් ජනිත කරමින් ජාත්‍යානුරාගය, ජාත්‍යාලය ඇති කිරීමට සමත් වුණා.

කුමාරතුංග මුනිදාසයන් හෙළ හවුල බිහි කළේ අධිරාජ්‍යවාදී පාලන කාලය තුළ සැඟවී ගිය හෙළයන්ට ආවේණික සහ අනන්‍ය වූ භාෂාව, සංස්කෘතිය සම්බන්ධ යටගියාව නැවත මතුකර හෙළයන්ට මේ හෙළ දිවයිනේ දෙපයින් නැඟී සිටිය හැකි තත්ත්වයක් ඇතිකිරීමටයි.

භාෂාව අතීතයට ඇද ගෙන යන බවට හෙළයන්ට ඇතැමුන් චෝදනා කළත් හෙළ හවුල පිහිටුවීම භාෂාව, දේශීයත්වය සම්බන්ධ විශාල කාර්යභාරයක්. මුනිදාස කුමාරතුංගයන් ජීවත් වූ වසර හැට ගණනට වඩා අවුරුදු දහස් ගණනක් ජීවත් වූ මිනිසකුගෙන් රටට, ජාතියට, ආගමට සහ භාෂාවට ඉටුවීමට තිබුණාට වඩා වැඩි මෙහෙයක් ඉටුකර තිබෙනවා.”

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිංහල අංශයේ මහාචාර්ය සාලිය කුලරත්න පැවසුවේ, පවුලේ 12 වැනි දරුවා ලෙස උපන් කුමාරතුංග නම් දරුවා පස්වැනි පන්තියේ ඉගෙනුම ලබමින් සිටියදී සිදුවූ පියාගේ අභාවයෙන් ලද අත්දැකීම් පසුකලෙක ඔහු විසින් රචිත ‘පියසමර’ කෘතියට මුල් වී ඇති බවයි.

පියා නැති පුතකුගේ පෞරුෂය වර්ධනය වන ආකාරය, පියාගේ රැකවරණය නැතිව ජීවිතයේ ඉදිරි කාලය ගතකරන්නේ කෙසේද යන්න ඒ තුළින් මනාව ප්‍රකට වේ.

කුමරතුංග දරුවා පාසල් අධ්‍යාපනය අහිමිව වසර ගණනාවක් ගතකොට ඇති බවත් ඔහු 18 වැනි වියේදී එවකට ද්විභාෂා විද්‍යාලයක් වූ කොළඹ රජයේ අභ්‍යාස විදුහලට ඇතුළත්ව ගුරු පුහුණුව ලබා කෙටිකලක් තුළ මහා භාෂාවේදියකු ලෙස සිය ජීවන චරිතය ගොඩනඟාගත් ආකාරයත් මහාචාර්ය සාලිය කුලරත්න විග්‍රහ කළේ කුමරතුංගයන් පබැඳූ සුලලිත පද රචනාවක් ආකාරයෙනි.

තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන්ගේ කාව්‍යශේඛරය කියවා ´කුකවියකු´ ලෙස එහිමියන් හඳුන්වා දීම නිසා කුමාරතුංගයන් සමකාලීන උගතුන්ගේ උදහසට ලක්වූ අයුරු ද මහාචාර්ය සාලිය කුලරත්න ආවර්ජනය කළේය.

“කුකවි වාදය නමින් ප්‍රසිද්ධ වූ ඒ වාදයේ අවසන් අදියරේදී ආනන්ද විද්‍යාලයේ පැවති විශාල සභා රැස්වීමට කුමාරතුංග මහත්මයා තනියම ඇවිත් තමන්ගේ මතය අභීතව නමුත් නොපැකිළව සාධාරණව ඔප්පු කර තිබෙනවා. එයින් පසු කුමාරතුංග හොඳ පඬිවරයෙක් ලෙස පිළිගැනීමට ලක්වී තිබෙනවා.¨

ප්‍රවීණ ගී පද රචක සුනිල් සරත් පෙරේරාට අනුව කුමාරතුංග මුනිදාස යනු හොඳ ප්‍රනේතෘවරයෙකි. භාෂාව පිටුපස සිටගෙන සාම්ප්‍රදාය කලක් තිස්සේ හදාරා අනාගතයට යා යුතු මඟ පැහැදිලි කළ මඟ පෙන්වන්නෙකි.

දේශානුරාගයත් භාෂානුරාගයත් එක විට දල්වමින් කළ ඒ මඟ පෙන්වීමට හොඳම උදාහරණය කුමාරතුංගයන් විසින් රචනා කළ ´හෙළ මියැසිය´ කෘතියයි.

´තනුව´ නමැති වචනය එළි දුටුවේද ඒ කෘතියෙනි. දේශානුරාගය දල්වන ගීත සමුදායක් එයින් මතුකළ අතර, නිවරැදිව නිරවුල්ව භාෂාව යෙදිය යුතු ආකාරයට අනුබලයක් ලෙස ඔහු ව්‍යාකරණ කෘති කිහිපයක් ද රචනා කළේය.

¨භාෂාව කියන්නේ චින්තනයේ උල්පත. භාෂාව නිවැරදිව පාවිච්චි කරන පුද්ගලයා නිවැරදිව සිතනවා. අද ඇතැම් අය අර්ථයක් නැති වචන පාවිච්චි කරනවා.

ගෝලීයකරණය, තිරසර සංවර්ධනය, විශ්ව ගම්මානය වගේ වචන විශ්වීය නවතම දැනුම ගැන අවබෝධයක් නැතිව කළ පටලවා ගැනීම්. අපේ රටේ තිරසර අමාත්‍යාංශයක් පවා නම් කර තිබුණා. නමුත් ලෝකෙ කොහෙවත් එවැනි ස්ථිර සංවර්ධනයක් නැහැ. තිබිය හැක්කේ දරාගත හැකි සංවර්ධනයක්, ධරණීය සංවර්ධනයක්. ලෝක සමුළුවලදී ලෝකයම ධරණීය සංවර්ධනයක් ගැන කතාකරද්දි අපි තිරසර සංවර්ධනයක් ගැන කතාකිරීම රටටත් අවාසිදායක තත්ත්වයක්. භාෂාවත් ජාතියත් අතර ඇති අවියෝජනීය සම්බන්ධතාව පිළිබඳ තියුණු අවබෝධයකින් යුතුව කටයුතු කළ කුමාරතුංගයන් අද සිටියා නම් මේවා අසා මහත් හඬ නඟා සිනාසේවි.¨

ප්‍රවීණ ගී පද රචක, සුනිල් සරත් පෙරේරා එසේ කියද්දී,

¨කා කුමක් කීවත්-සියබස කෙළෙසා අපට

නිදහසෙක් නො මැ ලැබේ-පටන් ගන්නැ සිය බසින් අනුන් පර බසෙකැ-අගය වනන පුන පුනා සිය අගය පානු බැරි-හෙළයා මහ නිවටයෙකි¨ යනුවෙන් සිය බසෙහි අගය පැහැදූ කුමරතුඟු මුනිදසුන්ගේ පැදි පෙළකින්ම මේ සටහනට විරාම තබමි.

 

 

Comments