හදි­සියේ දිවි හැර­ගිය හක්මණ ලක්ෂ­පති යාච­කයා | සිළුමිණ

හදි­සියේ දිවි හැර­ගිය හක්මණ ලක්ෂ­පති යාච­කයා

 

මෙරට සෑම නගරයකදීම අප යාචකයන් දැක ඇත. ඔවුනට උපකාර ද කර ඇත. එමෙන්ම යාචක ව්‍යාපාරිකයන් ගැන ද අප අසා ඇත. යාචක ව්‍යාපාරිකයන් යනු යාචකයන්ට කෑම බීම හා රාත්‍රිය ගතකරන්නට තැනක් සකසා දී ඔවුන්ට දිනකට යම් දීමනාවක් ලබාදී යාචකයන් මඟින් ඉපයීම් සිදු කරනා අයයි. එය ඉතා සූක්ෂම ව්‍යාපාරයකි. එමෙන්ම මාතර නගරයේ සිඟමන් යදින වැඩිහිටියෙක් එලෙස එක්රැස් කර ගන්නා මුදලින් වෙසක් පෝයට දන්සැලක් දෙන අයුරු ද අප දැක ඇත. මේ සියල්ල අතරේ සිඟමනින් උපයාගන්න ලක්ෂ ගණනින් මුදල් තම සන්තකයේ තබා ගෙන සිටි පොහොසත් යාචකයකු ගැන අසන්නට ලැබුණේ හක්මණ කෝංගල ප්‍රදේශයෙනි. පොලිස් වාර්තා අනුව එය අපූරු කතාවකි.

 මිය ගිය විම­ල­දාස

දිනය පෙබරවාරි මස 10 වැනිදාය. කෝංගල නැ‍ෙඟනහිර ග්‍රාමනිලධාරී සුමුදු ප්‍රදීපිකාට එදින දහවල් හදිසියේ ලැබුණු තොරතුරකින් කියවුණේ ග්‍රාම නිලධාරී කොට්ඨාසයේ තනිව ජීවත්වූ ඊ. එච්. විමලදාස නි‍ෙවසේ සිට පහළට ගමන් කරන කඳු සහිත මර්ගයේ හදිසියේ ඇද වැටී මියගොස් ඇති බවයි. ඒ අනුව වහා ක්‍රියාත්මක වූ ග්‍රාම නිලධාරීනිය හක්මන පොලීසියට ඒ පිළිබඳ දන්වා අවශ්‍ය නීත්‍යානුකූල ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කළාය.

හක්මණ නගරයේ සිඟමන් යදිමින් දිවි ගෙවා ඇති විමලදාසට ජීවත්වීම සඳහා හිටපු අමාත්‍යවරයකු විසින් නි‍ෙවසක් තනාදී තිබුණි. දිනපතා කෝංගල සිට හක්මණ නගරයට යන විමලදාස නගරයේ සිඟමන් යදිමින් දවස ගෙවා සවස නි‍ෙවසට ගොස් විවේකීව ගත කිරීම සමාන්‍ය පුරුද්දක් කරගෙන ගොස් ඇත.

ප්‍රදේශයේ අයට කිසිදු ඥාති සබඳතාවක් නොපෙන්වූ හැටනව හැවිරිදි වියේ පසුවූ විමලදාස කලක සිට ගමේ ජීවත් වූයේය. ඔහු මුල් රැකියාව ලෙස සිදුකර ඇත්තේ බෙර වාදනය කිරීමයි. මළ ගෙවල්, දානෙ ගෙවල් හා පන්සල්වල පින්කම්වලදී දවුල් වාදනය කිරීම විමලදාස විසින් සිදු කර ඇත. පසුව එම රැකියාවට සමුදී සිඟමනින් ජීවත් වන්නට පටන් ගෙන ඇත. ඒ අතර පසුගිය 10 වැනි දින මෙම හදිසි සිද්ධිය සිදුව ඇත. ග්‍රමා නිලධාරිනියගේ හා පොලීසියේ දැනුම් දීම මත පැමිණි හක්මන හදිසි මරණ පරීක්ෂක ඩී. ගලගම විසින් මරණයට අදාළ හදිසි මරණ පරීක්ෂණය සිදු කර ඇත. මරණ පරීක්ෂණය සිදුකර මෘතදේහය මාතර මහ රෝහලට යවා ඇති හිදිසි මරණ පරීක්ෂකවරයා විමලදාස ජීවත්වෙමින් සිටි නිවෙස පරීක්ෂා කිරීමට පියවර ගෙන තිබේ. ඒ පොලිස් නිලධාරීන්ගේ ද සහාය ඇතිවයි. එහි තිබූ විමලදාසගේ ඇඳුම් පරීක්ෂා කිරීමේදී අවපැහැගන්වී තිබූ කොට කලිසමක් අතට ගැනීමේදී එහි යම් බරක් තිබූ හෙයින් ඒ ගැන විශේෂ පරීක්ෂාවකට ලක් කර ඇත. එහිදී කලිසමේ වෙනත් රෙදි කැබැල්ලකින් මසා තිබූ රහස් සාක්කුවක තිබූ මුදල් නෝට්ටු හා කාසි තොගයක් සොයා ගැනීමට හැකිව තිබේ. වහා එය නි‍ෙවසින් පිටතට රැගෙන ආ නිලධාරීන් එළිමහනේ දැමූ ඇතිරිල්ලක් මත එම මුදල් හලා පරීක්ෂා කළේය. එහිදී රුපිල් දහය, විස්ස, පනහ, සියය, පන්සියය, දහස හා පන්දහස දක්වාවූ විවිධ ප්‍රමාණයේ මුදල් නෝට්ටු ද කාසි ද රැසක් තිබූ ඇති අතර එහි වටිනාකම රුපියල් තුන් ලක්ෂ අසූ හතර දහස් අටසිය හැටහතක (384,867.00) ක් බව පොලිසිය පැවසුවේය.

“විමලදාස නගරයේ ඉන්න විට සරමට යටින් ඔය කොට කලිසම නිතර ඇඳගෙන් ඉන්නවා. කීයක් හරි අතට වැඩිපුර හම්බවුණාම අයිනකට ගිහින් රහසේම කලිසමේ දා ගන්නවා. එහෙම ටික ටික දා ගත්තු සල්ලි වෙන්න ඇති ඒ විදියට එකතු වෙලා තිබුණෙ” හක්මණ නගරයේ ව්‍යාපාරිකයකු පැවසුවේය.

දුක්බර ජීවිතයක් ගත කරමින් කල්ගෙවා ඇති විමලදාස වසර ගණනාවක් පුරා ටිකෙන් ටික එකතු කර ගත් මුදල් එලෙස රහසිගත අයුරින් තබාගන්නට ඇතැයි පොලීසිය සැක කරයි. ඒ කුමන අරමුණකින් ද යන්න ප්‍රශ්නයකි.

හදිසියේ සිදුවූ මෙම මරණය පිළිබඳ මාතර මහ රෝහලේදී පැවති පශ්චාත් මරණ පරීක්ෂණයේදී අධිකරණ වෛද්‍යවරයා විසින් හෘදයාබාධයක් මත මෙම මරණය සිදුව ඇතැයි නිගමනය කර තිබූ බව ග්‍රාම නිලධාරී සුමුදු ප්‍රදීපිකා පැවසුවාය. මරණය බාර ගැනීමට විමලදාසගේ ඥාතිවරයෙක් නොසිටියෙන් අවසන් කටයුතු සිදුකිරීම ග්‍රාම නිලධාරිනියට ප්‍රශ්නයක්ව තිබියදී ප්‍රදේශවාසීන් දෙදෙනකු ඒ සඳහා ඉදිරිපත්ව ඇති අතර ඒ අනුව පසුගිය 11 දින විමලදාසගේ අවසන් කටයුතු ග්‍රාම නිලධාරිනිය ප්‍රමුඛත්වය ගෙන සිදු කර ඇත.

මරණයට අදාළව අවසන් කටයුතු සිදුකර දින කීපයක් ගතවීමෙන් පසු විමලදාසගේ ඥාතීන් බව කියනා පුද්ගලයන් දෙදෙනකු හක්මණ පොලීසියට පැමිණි බවත් ඔවුන් අකුරැස්ස ප්‍රදේශයේ පදිංචි අය බවත් පොලීසිය පවසයි. මරණයේ කටයුතු අවසන්ව දින කීපයක් ගතවීමෙන් පසු මෙලෙස ඥාතීන් පැමිණ විමලදාසගේ ඥාතීත්වය පෙන්වන්නට කටයුතු කළේ කුමන අරමුණකින් ද යන්න ගැටලුවකි. මේ පිළිබඳ ප්‍රදේශයේ ග්‍රාම නිලධාරිනිය මෙන්ම හක්මන ප්‍රාදේශීය ලේකම්වරයා ද අවධ­ානයෙන් සිටියි.

විමලදාසගේ කලිසමේ සාක්කුවේ තිබී සොයාගත් මුදල් පොලීසියේ තබා ඇති අතර එම මුදල්වලට සිදුකරන්නේ කුමක් ද යන්න පිළිබඳ කළ විමසීමේදි හක්මණ ප්‍රාදේශීය ලේකම් කාර්යාල උසස් නිලධාරයකු පැවසූවේ, එම මුදල් රජයේ ගිණුමේ තැන්පත් කර නීතිපති උපදෙස් ලබාගෙන ඒ අනුව ක්‍රියාකරනා බවයි.

හක්මන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ඩබ්ලිව්. පී. ඒ. සනත් කුමාරගේ මෙහෙයවීමෙන් පොලිස් පරීක්ෂක අජිත් වනිගසේකර, පොලිස් සැරයන්වරුන්වන 55811 දයාපාල, 68818, පුෂ්පකුමාර හා ග්‍රාම නිලධාරි එච්.කේ.ඩබ්ලිව්. සුමුදු ප්‍රදීපිකා යන අය මරණ පරීක්ෂණයට සහාය වූහ.

 

Comments