
අතීතයේදී මෙරට අධ්‍යාපනය රඳා පැවතියේ පිරිවෙන් අධ්‍යාපනය මතය. බෞද්ධ භික්ෂූන් වහන්සේ බහුශ්‍රැත මෙන්ම, ජනතාවට ගුණ දහමින් යුත් සමාජයක් කරා යන්නට මඟ හෙළි කෙළේ ද පිරිවෙන් අධ්‍යාපනයෙන් ලැබුණු දැනුම් සම්භාරය නිසාය.
විශේෂයෙන්ම මහාවිහාරය, අභයගිරිය, ජේතවනය වැනි ප්‍රධාන ගුරුකුලයන් අතීතයේදී විශ්ව කීර්තියටත් පත් විණි. එහෙත් සොළී ආක්‍රමණ මෙන්ම යුරෝපීය ආක්‍රමණිකයන්ගේ විවිධ තර්ජනත් වෙනත් ව්‍යසනයන් නිසාත් පිරිවෙන් අධ්‍යාපනය ක්‍රමයෙන් පරිහානියට පත්ව ගොස් මහනුවර යුගය වන විට උපසම්පදාව ලැබූ එකදු භික්ෂූන් වහන්සේ නමක් හෝ සොයා ගැන්මට නොහැකි විය. එමෙන්ම පිරිවෙන් අධ්‍යාපනයද ක්‍රමයෙන් පරිහානියට පත් විය.
මේ අතර වැලිවිට ශ්‍රී අසරණසරණ සංඝරාජ නා හිමියන් පැරැණි ග්‍රන්ථ අධ්‍යයනය කර වන පොත් කර පසුව පිරිවෙන් අධ්‍යාපනයට නව පණක් ලබා දීමට කටයුතු කරන ලදී. විශේෂයෙන්ම වලානේ සිද්ධාර්ථ නායක හිමිගේ ප්‍රධානත්වයෙන් හා උන් වහන්සේගේ ශිෂ්‍ය හිමිනමක් වූ හික්කඩුවේ ශ්‍රී සුමංගල හිමියන් මෙන්ම රත්මලානේ ධර්මාලෝක හිමියන් ද විද්‍යාලංකාර හා විද්‍යෝදය මහා පිරිවෙන් ආරම්භ කර ඒ හරහා පිරිවෙන් අධ්‍යාපනය යළි ආරම්භ කරන ලදී. එහි ස්වර්ණමය අවස්ථාවක් ලෙස අපට හඳුන්වා දිය හැක්කේ 1959 වසරේදී විද්‍යාලංකාර හා විද්‍යෝදය මහා පිරිවෙන් විශ්වවිද්‍යාල බවට පත් කිරීමයි. එමෙන්ම එම පිරිවෙන් ගුරුකුල මුල්වීමෙන් ඇතිවුණු අධ්‍යාපන ආයතන හරහා මෙරට විශාල පුනරුදයක් ඇති වුණි. ඒ අතර දකුණු ප්‍රදේශයෙන් බිහිවුණු මහා මන්තින්ද පිරිවෙනද පිරිවෙන් අධ්‍යාපනයට විශාල දායකත්වයක් සපයන ලදී. මේ නිසා විදේශ රටවලින් පවා පැමිණ අධ්‍යාපනය හැදෑරූ සිසුන්ද විය. පිරිවෙන් අධ්‍යාපනය මේ ලෙසින් වර්ධනය විය.
එහි ප්‍රතිඵලයක් ලෙස පිරිවෙන් අධ්‍යාපනය පරිපාලනය කිරීමේ ආයතන ව්‍යුහයක් අවශ්‍ය විය. ඒ අනුව අධ්‍යාපන අමාත්‍යාංශයේ පිරිවෙන් ඒකකයක් ආරම්භ කරන ලදී. එම පිරිවෙන් ඒකකය මඟින් පිරිවෙන් පරිපාලනය ආරම්භ කළ අතර එහිදී පසුකාලීනව කෘත්‍යාධිකාරි, පරිවේණාධිපති හිමිවරුන් එකට එක්ව පිරිවෙන් සඳහා දිනයක් යොදා ගන්නා ලදී.
පිරිවෙන් සඳහා ආචාර්යවරුන් සපයා ගැනීමේ ප්‍රධාන වගකීම් පැවරුණේ කෘත්‍යාධිකාරි, පරිවේණාධිපති හිමිවරුන්ටය. අදද තත්ත්වය එසේමය. මේ නිසා පිරිවෙන් ගුරුවරුන් කෙරෙහි ඇති පිළි ගැනීම තරමක් අඩු තත්ත්වයට පත් විය. ඒ ඔවුන් රාජ්‍ය සේවා කොමිසම මඟින් කරනු ලබන පත්වීමක් හෝ තරග විභාගයකින් පත් නොවන බැවිනි. මේ නිසා රජයේ පාසල් ගුරුවරුන්ට හිමි බොහෝ වරප්‍රසාද ඔවුන්ට අහිමි විය. එම නිසා පිරිවෙන් ගුරුවරුන් හෙවත් පරිවේණාචාර්යවරුන්ට අඩු තක්සේරුවක් මත කටයුතු කිරීම නිසා ඔවුන් සමාජයේ වරප්‍රසාද අඩු පුද්ගලයන් බවට පත් විය. එම නිසා පිරිවෙන් ගුරුවරුන්ද අනෙක් අය මෙන් තම අයිතීන් දිනා ගැන්ම පිණිස පෙළ ගැසුණි. එහි ප්‍රතිඵලය ලංකා පිරිවෙන් ගුරු සේවා සංගමය බිහි වීමයි. පසුගිය මාසය පුරාම පිරිවෙන් ගුරුවරුන් තම අයිතීන් ලබා දෙන මෙන් ඉල්ලමින් විරෝධතා දියත් කළහ. ඒ සම්බන්ධයෙන් අපි ලංකා පිරිවෙන් ගුරු සේවා සංගමයේ සභාපති වකමුල්ලේ උදිත හිමියන්ගෙන් අදහස් විමසුවෙමු.
‘‘පිරිවෙන් ගුරුවරුන්ට බලපාන ගැටලු ගැන අපි අවස්ථා ගණනාවකදී පෙන්වා දුන්නා. එහෙත් බොහෝ අවස්ථාවලදි අපිට සාකච්ඡාවකටවත් අවස්ථාවක් නොලැබුණ තරම්. ඒක ඇත්තෙන්ම ශෝචනීයයි. ලංකාවේ සමස්ත පිරිවෙන් 840ක් තියෙනවා පිරිවෙන් ආචාර්යවරුන් සංඛ්‍යාව 7416ක්. එතැනින් ගිහි ආචාර්යවරුන් වැඩි පිරිසක් ඉන්නවා. මේ අය කරන්නේ ගුරු සේවාවක්. නමුත් ලැබෙන්නේ ඉතා අවම සැලකිල්ලක්. පාසල්වලට සමගාමීව නිවාඩු ලබා දුන්නේ නැහැ, වැටුප් වැඩිවීම් වෙනකොට ඒවාට අනුගත වෙන්නේ නැහැ, රුපියල් 5,000 වැටුප් වැඩිවීම ලැබුණෙ නැහැ, බැංකුවලින් ණය පහසුකම් දෙන්නෙ නැහැ. වැන්දඹු අනත්දරු වැටුපට රාජ්‍ය සේවකයන්ගෙන් අය කරන්නෙ මූලික වැටුපෙන් 6%ක් විතරයි ඒත් පිරිවෙන් ගුරුවරුන්ගෙන් 12%ක් අය කරනවා. ඒ වගේම පරිවේණාචාර්ය සේවා ව්‍යවස්ථාවක් නිසියාකාරව නැහැ, පිරිවෙන් නියෝග මාලාව යන්නෙන් තිබුණත් එය නිසියාකාරව බලාත්මක නැහැ. බොහෝ නිලධාරීන් දන්නෙ නැහැ ඒකෙ මොනවද තියෙන්නෙ කියලා.
අපි හිතුවා අලුතෙන් පිරිවෙන් අමාත්‍යාංශයක් ආවහම ලොකු දෙයක් වෙයි කියලා, ඒත් වුණේ වැඩේ තවත් අවුල් වුණු එක විතරයි. අමාත්‍යාංශ විෂය බෙදීම ඇත්තටම නාමිකයි. රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා චක්‍ර ලේඛයක් යැව්වා පාසල් ගුරුවරුන්ට වැඩි කළ වැටුප අනුව අපිටත් වැඩි කළ යුතු බවට. ඒත් ඒක බලාත්මක වුණේ නැහැ. පසුව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් යවන ලිපියට අනුව තමයි වැටුප් ගෙවීම් සැකසුණේ ඒත් එහි පිටපතක් රාජ්‍ය අමාත්‍යාංශයට එවල නැහැ. මේ වගේ විශාල අවුල් ගොඩක් තියෙන්නෙ. අපේ ගැටලුවලින් යම් යම් ඒවට විසඳුම් ලැබුණා පාරට බැස්සට පස්සෙ.
අපට බලපාන ගැටලු සම්බන්ධයෙන් අපි පැහැදිලි ඉල්ලීම් කරල තියෙනවා. අපි දැන් මේ ගැන ජනාධිපතිතුමාට ලිපියකින් ලියනවා. බලමු එයින්වත් අපට යමක් වෙයිද කියලා.‘‘
අපි මේ සම්බන්ධයෙන් මහාවිහාර වංශික ශ්‍යාමෝපාලි මහා නිකායේ ශ්‍රී රෝහණ පාර්ශ්වයේ ප්‍රධාන සංවිධායක හා විධායක කාරක සභික අධ්‍යාපන අමාත්‍යාංශයේ පිරිවෙන් ජාතික උපදේශක ශාස්ත්‍රපති දොඩම්පහළ ශ්‍රී රාහුල හිමියන්ගෙන් කරුණු විමසුවෙමු.
‘‘ඇත්තෙන්ම පිරිවෙන් ආචාර්යවරුන් කියලා පිරිසක් ඉන්නවද කියලවත් ඇතැම් කාලයන්හිදී දැනගෙන හිටියෙ නැහැ. දැන් ඒ සම්බන්ධයෙන් සොයා බලා ඔවුන් වෙනුවෙන් අවශ්‍ය කටයුතු කරන්න පියවර අරගෙන තියෙන්නෙ. ඇත්තෙන්ම පිරිවෙන කියන්නේ මොකක්ද කියල හුඟක් දෙනෙක් දන්නෙ නැහැ.
සමහරු හිතන්නෙ හාමුදුරුවරු ඉගෙන ගන්න තැනක් විතරයි කියල, ස්වාමීන් වහන්සේ පිරිවෙන් අධ්‍යාපනය ලබනවා. එහෙත් මේ වන විට පිරිවෙන්හි සිසුන් 79,000න් 35,000කට අධික ගිහි සිසුන් පිරිසක් අධ්‍යාපනය ලබනවා. ඒ අයගේ අධ්‍යාපනය නංවන්න කටයුතු කරන ගුරුවරුන් වෙනුවෙන් අනිවාර්යෙන්ම රජයේ දැඩි අවධානය යොමු විය යුතුමයි.
ඇත්තෙන්ම පිරිවෙන් ගුරුවරුන් විශාල ප්‍රශ්න ගොඩක් මැද තමයි තම කාර්යයන් කරගෙන යන්නෙ. වැටුප් ගැටලුව එයින් එකක් පමණයි. දුම්රිය නිදහස් ගමන් බලපත්‍ර නැහැ, බැංකුවලින් ණය දෙන්නෙ නැහැ. ඒ වගේම පිරිවෙන් සහකාර අධ්‍යක්ෂක නමින් නාමික තනතුරක් තියෙනවා. ඒ සියල්ල ක්‍රමයෙන් ගෞරව සම්පන්න ලෙසින් අයිතිවාසිකම් ලබා දෙන්නටත් පිරිවෙන් සහකාර අධ්‍යක්ෂක තනතුරු ස්ථිර කර ගැනීමටත් කටයුතු කරමින් ඉන්නවා. මෙ වන විටත් නිදහස් දුම්රිය ගමන් බලපත්‍ර මෙන්ම වැටුප් වැඩිවීම් ලබා දී තියෙනවා. ඒ වගේම බැංකු ණය ලබා දීම සම්බන්ධයෙන් බැංකුවල ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමඟ සාකච්ඡා කර තියෙනවා. ඒ වගේම පිරිවෙන් අතර ගුරු මාරු ගැටලුවත් බොහෝ විට බලපා තිබෙන ප්‍රශ්නයක් ඒ සියල්ල ගැන අපි අවධානය යොමු කර තියෙනවා.
විශේෂයෙන්ම පිරිවෙන් ආචාර්යවරයකු ලෙස පත්වන හිමිවරුන් පසුව පිරිවෙන් සහකාර අධ්‍යක්ෂක තනතුරු සඳහා පත්වුණත් එයට කිසිදු පිළි ගැනීමක් නැහැ. ඒ ආචාර්යවරුන්ට තනතුරු නාමයක් පමණයි. ඒ අය පෙර ලෙසින්ම පෙර වැටුප් ලබාගත් පිරිවෙනින්ම ගොස් වැටුප් ලබා ගත යුතුයි. කිසිදු ආකාරයක ගෞරවනීයත්වයක් පිළිගැනීමක් පවා නැහැ.
විද්‍යායතන පිරිවෙන් 64ක් සීලමාතා ආරාම 10ක් ඇතුළුව තියෙන මේ සියල්ලේම ආචාර්යවරුන් මේ ගැටලුවලින් පීඩා විඳිනවා.
ගිහි පැවිදි සියලු දෙනා අධ්‍යාපනය ලබන පිරිවෙන්හි කිසිදු ජාතිභේදයක් නැහැ. ඕනෑම අයකුට අධ්‍යාපනය ලබන්න පුළුවන්. ත්‍රිපිටක ධර්මයට අමතරව පාලි සංස්කෘත සිංහල දෙමළ භාෂා සමඟ ගණිතය, සමාජ අධ්‍යයනය විෂය ධාරාවන් මෙන්ම කලා සංගීතය චිත්‍ර කාර්මික අධ්‍යාපනය, ආයුර්වේදය, ජ්‍යෙතිර් විද්‍යාව කෘෂි අධ්‍යාපනය ඇතුළු අධ්‍යාපනයට අවශ්‍ය සියලු දේ පිරිවෙන් මඟින් අධ්‍යාපනය ලබා දෙනවා.
පිරිවෙන් ආචාර්යවරුන් පත් කිරීම පිරිවෙනේ කෘත්‍යාධීකාරි හිමියන්ගේ බලතලයක්. එවැනි බලතලයක් බෞද්ධ සංඝ සමාජයට තිබීමත් එක් අතකින් භාග්‍යයක්.
පිරිවෙනේ නේවාසික භික්ෂූන් වහන්සේ සිටින නිසා බොහෝ විට සිද්ධ වුණේ එහි වැඩ සිටින පොඩි ස්වාමීන් වහන්සේට අධ්‍යාපනික කටයුතු පැත්තක තියලා උයන පිහන වැඩ කරන්න සිද්ධ වුණා. ඒක නිසා පිරිවෙන් සඳහා අරක්කැමියෙක්, මුරකරුවෙක්, රියැදුරෙක්, කාර්යාල කාර්ය සහායකයෙක් හා සංවර්ධන නිලධාරියෙක් අප ඉල්ලා සිටියා. එයට හොඳ ප්‍රතිචාර ලැබුණා.
අප දැන් විශේෂයෙන්ම ඉල්ලා සිටින්නේ ගිහි ගුරුවරයාගෙන් වැන්දඹු අනත්දරු අරමුදලට ප්‍රතිශතයක් ලෙස යම් ප්‍රමාණයක් අය කළත් භික්ෂූන් වහන්සේගෙන් අය කිරීම අත්හිටුවන ලෙසයි.
අපි මේ සම්බන්ධයෙන් දහම් පාසල් පිරිවෙන් හා භික්ෂු අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් එස්. එච් හරිස්චන්ද්‍රගෙන් විමසුවෙමු. ‘‘පිරිවෙන් ගුරුවරුන්ට මේ වන විට වරප්‍රසාද රැසක් ලබා දී තියෙනවා. වැටුප් වැඩිවීම් මෙන්ම රුපියල් 5000 දීමනාව, ඒ වගේම පාසල් සමගාමීව නිවාඩු මෙන්ම බොහෝ රාජ්‍ය වරප්‍රසාද ඔවුන්ට හිමිව තිබෙනවා. එහෙත් වැන්දඹු අනත්දරු වැටුප් වෙනුවෙන් අය කරන 12% ප්‍රතිශතය සම්බන්ධයෙන් නම් අඩු කිරීමක් ගැන අපට විශේෂ යමක් පවසන්න බැහැ. මොකද පූර්ණ රාජ්‍ය සේවයේ නොවන අංශයන්ට අයත් ප්‍රතිශත වෙනස් කිරීමට අපට හැකියාවක් නැහැ.
ඒ වගේම තවත් බොහෝ පිරිසක් බැංකු ණය ලබා ගැනීමට නොහැකි වීම ගැනත් චෝදනා එල්ල කරනවා. එහි වගකීම ඔවුන් සතුයි. බැංකු ණය ලබාගත් සැලකිය යුතු පිරිසක් නොගෙවා සිටීම නිසා බැංකු ණය ලබා දීමට උදාසීනත්වයක් දක්වනවා. ඒ වගේම ණය ලබාගත් ඇතැම් හිමිවරුන් උපැවැදි වී තිබෙනවා. එවිට ණය අය කර ගැනීම පිළිබඳව බැංකුවලට විශාල ගැටලු ඇතිව තිබෙනවා.
ඒ නිසා බැංකුවලින් ණය ලබාගත් අය විසින් සිදු කළ කොන්දේසි කඩකිරීම් ණය ආපසු නොගෙවා සිටීම් නිසා ඇතිව තිබෙන ගැටලු නිසා බැංකුවලට උපදෙස් ලබා දීමට අපට හැකියාවක් නැහැ‘‘
කරුණු කෙසේ වුවත් ශාස්ත්‍රපති දොඩම්පහළ ශ්‍රී රාහුල හිමියන් පෙන්වා දෙන පරිදි පිරිවෙන් ආචාර්යවරුන්ගේ ගැටලු සම්බන්ධයෙන් නිසි අවධානය යොමු නොවුණහොත් සිදු වන්නේ ඒ ගිහි පැවිදි ආචාර්යවරුන් පාසල් ආචාර්යවරුන් ලෙස සේවයට යොමු වීමයි. එයින් සිදු වන්නේ පිරිවෙන් අධ්‍යාපනය අඩපණ වීමය.
මෙරට පිරිවෙන් වලට අමතරව සාම්ප්‍රදායිකව පිරිවෙන් අධ්‍යාපන ආයතන 3ක් ද ස්ථාපිතය. ඒ අතර විද්‍යාලංකාර පිරිවෙන, විද්‍යෝදය පිරිවෙන මෙන්ම වතුරුවිල ඥානානන්ද පිරිවෙනද වේ. ඊට අමතරව සීල මාතා අධ්‍යාපන ආයතන 11ක්ද මේ යටතේ අධීක්ෂණය කෙරේ.
පිරිවෙන් පරිපාලනයේ ඉහළම රාජ්‍ය නිලධාරියා වන්නේ පිරිවෙන් අධ්‍යක්ෂ ජනරාල්වරයායි. ඒ තනතුර ලැබෙන්නේ අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයාටය. ඔහු හරහා පරිපාලන කටයුතු කරන්නට උපදේශක සභාවක් ස්ථාපිත කර ඇත.
ඒ අනුව අධ්‍යාපන ලේකම්වරයාට අමතරව, අතිරේක ලේකම්වරයාත්, පිරිවෙන් අධ්‍යාපන උපදේශකවරයාත් අධ්‍යාපන අධ්‍යක්ෂ (පිරිවෙන්) ඇතුළු පහළට ගලා යන ධුරාවලියක් ඔස්සේ මේ කටයුතු සිදු කෙරේ.
ප්‍රධාන වශයෙන් පිරිවෙන් වර්ග තුනක් මේ වන විට මෙරට ස්ථාපිත කර තිබේ. ඒ අනුව මූලික පිරිවෙන, මහා පිරිවෙන හා විද්‍යායතන පිරිවෙන යනුවෙන් ඒ වර්ගීකරණය සිදු කර තිබේ. එම පරිවේණාධිපතිවරුන්ට දීමනාවක්ද ලබා දිය යුතු බවට උපදේශක හිමියන් වන දොඩම්පහළ ශ්‍රී රාහුල හිමියන් විසින් යෝජනා කර තිබේ.පිරිවෙන් අධ්‍යාපනය ඉහළ නැංවීම උදෙසා මල්වතු හා අස්ගිරි පාර්ශ්වයේ මෙන්ම අමරපුර, රාමඤ්ඤ නිකායේ නියෝජනයන් මෙන්ම විද්‍යාලංකාර හා විද්‍යෝදය පිරිවෙන්හි නියෝජනයන් ද ඇමැතිවරයා විසින් පත් කරන ලද 6 දෙනෙකුගෙන් යුක්ත පිරිසක්ද වශයෙන් 12 දෙනකුගේ මණ්ඩලයකින් සමන්විතය. එබැවින් පිරිවෙන් අධ්‍යාපනය නංවාලීමට හොඳම අවස්ථාව මෙයය. එමෙන්ම පිරිවෙන් ගුරුවරුන්ට අවශ්‍ය පහසුකම් සැපයීමට මෙන්ම ඔවුන්ගේ සියලු සාධාරණ ඉල්ලීම්ද ඉටු කළ යුතුය.
එසේ නොවුවහොත් සිදු වන්නේ පිරිවෙන් ආචාර්යවරුන්ද යළිත් පාරට බැස තම ඉල්ලීම් ලබා දෙන ලෙස හඬ නැඟීමය. පිරිවෙන් ආචාර්යවරුන් සහකාර අධ්‍යක්ෂ තනතුරට පත් වූ විටත් පෙර පරිදිම පරිවේණාචාර්යවරුන් ලෙස පෝලිමේ ගොස් පිරිවෙනින්ම වැටුප ලබා ගත යුතු නම් එතැන ඇත්තේ පිරිහීමක් පමණි. එය විසඳන්නට කැබිනට් පත්‍රිකා අවශ්‍ය නැත. ඒ වැටුප වෙනම ආකාරයකට ලබා දෙන්නට අවශ්‍ය කටයුතු සිදු කිරීමෙන් අදාළ තනතුරේ ගෞරවනීය බවවත් රැකෙනු ඇත. එහෙත් අද සමස්ත පිරිවෙන් අධ්‍යාපනයේම ගෞරවය රකින්නට කටයුතු කළ යුතුව තිබේ. පිරිවෙන් අමාත්‍යාංශයක් තිබුණද එහි කාර්යයන් මීට වඩා වගකීමකින් හා වගවීමකින් විය යුතු වන්නේය.