
විදුලිබල සැපයුම සහ සෞඛ්‍ය සේවය අත්‍යවශ්‍ය සේවා බවට පත්කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂයන් පසුගිය 11 වැනිදා මධ්‍යම රාත්‍රිෙය් සිට ක්‍රියාත්මක වන පරිදි අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරනු ලැබීය. ඔක්තෝබර් 8 වැනිදා සංස්ථාපනය කරන ලද 1979 අංක 61 දරන අත්‍යවශ්‍ය මහජන සේවා පනතේ අංක 2266/55 දරන අති විශේෂ ගැසට් පත්‍රය නිකුත් කරන ලදී. ඒ අනුව විදුලිබල සැපයුම, රෝහල්වල, සාත්තු නිවාසවල, බෙහෙත් ශාලා සහ වෙනත් ආයතනවල රෝගීන් නඩත්තු කිරීම, පිළිගැනීම, රැකවරණය, පෝෂණය කිරීම සහ ප්‍රතිකාර කිරීම සම්බන්ධව අවශ්‍ය හෝ කළ යුතු ඕනෑම විස්තරයක සියලුම සේවා, වැඩ හෝ ශ්‍රමය අත්‍යවශ්‍ය සේවා බවට පත් කර ඇත.
මෑතකාලීනව පෙර දැනුම්වත් කිරීමකින් තොරව වැඩවර්ජන සිදු කෙරෙයි. එහි භයංකර තත්ත්වය වන්නේ එවැනි අසාධාරණය වැඩ වර්ජන නිසා අහිංසක මහජනතාව පීඩාවට පත්වීමයි.
දැනුම්වත් කිරීමකින් තොරව කරනු ලබන වැඩ වර්ජන වෘත්තිය සමිති ආඥා පනත යටතේ නීති විරෝධි ක්‍රියාවක් වෙයි. ඒ නිසා වැඩවර්ජන කිරීමේ ක්‍රමවේදය ඉතා පැහැදිලිව ලෝක කම්කරු සංවිධාන සම්බන්ධ නීතියේද සඳහන් වෙයි.
යම්කිසි වෘත්තිකයන් පිරිසක් විසින් වැඩ වර්ජනයකට සූදානම් වීමේදි, ඒ වැඩවර්ජනය පිළිබඳ වෘත්තිය සමිති සාකච්ඡාවන් සහ දැනුම්වත් කිරීම්වලින් අනතුරුව සිදු කළ යුතුයි.
මෙරට වැඩවර්ජන සිදු කෙරෙන ක්‍රමවේදයන් අනුව බහුතර මහජනතාවගේ අයිතිවාසිකම් ඛණ්ඩනය වෙයි.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව යම්කිසි රජයක් බලයට පත් වූ විට එම රජයේ ප්‍රමුඛ වගකීමක් වෙන්නේ මහජන ආරක්ෂාව සැපැයීමයි. ඒ අනුව 1947 මහජන ආරක්ෂක ආඥා පනත යටතේ ජනාධිපතිවරයාට හදිසි අවස්ථා රෙඟුලාසි පනවමින්; හදිසි අවස්ථා ප්‍රකාශයට පත් කර අත්‍යවශ්‍ය සේවාවන් බවට පත් කළ හැකිය.
ඒ ආකාරයෙන් මහජන ආරක්ෂාව වෙනුවෙන් පැනවූ පනත් අප රට තුළ නොව ලෝකයේද ක්‍රියාත්මක වෙයි. මහජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් අත්‍යවශ්‍ය මහජන සේවාවන් සඳහා සමහර දෙපාර්තමේන්තු, රාජ්‍ය ආයතනයන්, සංස්ථා පමණක් නොව පළාත් පාලන ආයතන, සමූපකාර සමිති, අත්‍යවශ්‍ය මහජන සේවා බවට පත් කීරීම සඳහා අත්‍යවශ්‍ය මහජන සේවා පනත 1979 අංක 61 ඔක්තෝබර් 8වැනිදා නිල වශයෙන් සංස්ථාපනය කළේය.
එහිදී සිදු කරනු ලබන්නේ අත්‍යවශ්‍ය මහජන සේවාවන් පවත්වාගෙන යෑම සඳහා රජයේ දෙපාර්තමේන්තු සංස්ථා මෙන්ම; ඡන්දයෙන් මහජනතාව පත් කරනු ලබන පළාත් පාලන ආයතනයන් සහ සමූපකාර සේවා ද අත්‍යවශ්‍ය සේවාවන් බවට පත් කිරීමයි.
මෙහි ඇති වැදගත්ම කරුණ නම් මේ පනතේ ජනාධිපතිවරයාට ගැසට් පත්‍රයක් නිකුත් කර යම් යම් සේවාවන් අත්‍යවශ්‍ය සේවා බවට පත් කළ හැකි වීමය. ඒ අනුව විදුලිය මෙ වන විට අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කර ඇත.
මෙම ගැසට් නිවේදනය නිකුත් කළ පසුව මේ ආයතනයන්වල සිටින කෙනෙකු ගැසට් නිවේදනයට එරෙහිව යන්නේ නම් එයට විරුද්ධව ගත යුතු ක්‍රියාමාර්ගයන 4 වැනි වගන්තියේ වෙයි.
එසේ නම් මෙහිදී ඒ ආයතන වල සභාපතිවරුන් සහ අංශ ප්‍රධානීන්ට විශේෂ වගකීමක් පවරා ඇත. කිසියම් සේවකයකු මහජනතාවට අවශ්‍ය දේ ලබා නොදෙන්නේ නම්, සේවයට වාර්තා නොකරන්නේ නම්, සේවය බාර නොගන්නේ නම්, සේවා සපන්නේ නැතිනම්, අඛණ්ඩ වැඩවර්ජනයකට යන්නේ නම් මේ පනතට ප්‍රකාරව ඒවාට සහය දෙන, උනන්දු කරන සෑම දෙනෙකුම වැරදිකරුවෝ වෙති.
මේ පනතේ 1/4 වගන්තිය යටතේ මීට අදාළව වරදක් කරන අයට විරුද්ධ කටයුතු කිරීමට අංශ ප්‍රධානීන්ට බලය ඇත.
ඒ අනුව ලඝු කාර්ය පටිපාටියට අනුව මහේස්ත්‍රාත් උසාවියේ නඩු විභාගයක් පවත්වා වරදකරු වන අයකුට බරපතළ වැඩ ඇතිව අවුරුදු දෙකකට වඩා අඩු නොවන අවුරුදු පහකට වඩා වැඩි නොවන සිරදඬුවමක් ලබාදිය හැකියි. රුපියල් 2000කට හෝ 5000කට දඩ මුදලක් අය කෙරෙයි.
මේ පනතේ 2/4 වගන්තිය අනුව මේ යටතේ යම් කිසි කෙනෙකු වරදකරු වුවහොත් දඬුවමට හෝ දඩයට අමතරව ඔහු සතු සියලුම චංචල සහ නිෂ්චල දේපොළ තහනමට ගත හැකි අතර වෘත්තියෙන් පවා ඉවත් කළ හැකියි. ඒ නිසා වැඩ වර්ජනයක් කිරීමට පෙර වෘත්තීය සමිති නායකයන් විසින් වෘත්තිකයන් අදාළ පනත පිළිබඳව දැනුම්වත් කළ යුතුයි.
වෘත්තීය ක්‍රියාමාර්ගයන්ට යෑමට පෙර වෘත්තිකයන් දැනුම්වත් කළ යුතුයි. වෘත්තීය සමිති නායකයන් මේ පිළිබඳ දැනුම්වත් කිරීම් කළ යුතුයි. යම් කෙනෙකුගේ සාමාන්‍ය ජන ජීවිතය අඛණ්ඩව පවත්වාගෙන යෑමට බාධා කරන්නේ නම්, එවැනි බාධා කිරීම් කරන පුද්ගලයන්ට උදවු කරන්නේ නම් ඒ සියලු දෙනාම වැරදිකරුවෝ වෙති.
එවැනි අයට විරුද්ධව මහේස්ත්‍රාත් උසාවියේ නඩු පවරා නඩු විමසීමෙන් පසුව දඬුවම් නියම කළ හැකියි. මේ වරද යටතේ උසාවියට දණ්ඩන පමුණවා චංචල නිශ්චල දේපොළ ජනසතු කළ හැකියි; වෘත්තියෙන් පහ කළ හැකිය.
මේ ගැසට් පත්‍රයේ තුන්වැනි වගන්තියේ 1/2 යටතේ එය මසක් යනතුරු ක්‍රියාත්මක වන අතර මසක කාලයක් බල පැවැත්වුවත් ඊට පෙර මේ ගැසට් පත්‍රය ඉවත් කර ගැනීමට අවශ්‍ය නම් ඉවත් කරගත හැකිය. මාසයකට වඩා කාලයක් ඉදිරියට යා නොහැකි අතර මසක් සම්පූර්ණ වීමේදී දීර්ඝ කිරීමට අවශ්‍ය නම් පාර්ලිමේන්තුවට අනිවාර්යෙන් ඉදිරිපත් කළ යුතුයි.
ඒ අනුව මෙය දිර්ඝ කරන්නේ නම් පාර්ලිමේන්තුවේ සම්මත වීමෙන් අනතුරුව ඉදිරියට ක්‍රියාත්මක කළ හැකියි.
කෙසේ වුවත් මේ රටේ ක්‍රියාත්මක වන හදිසි වැඩවර්ජන කිසිසේත් සදාචාරාත්මක යැයි කිව නොහැකිය. ලෝකයේ කිසිදු රටක මහජනතාව අපහාසුතාවට පත් වන ආකාරයේ වැඩ වර්ජන සිදුවන්නේ නැත. මෙරට වෘත්තීය අරගල වැඩවර්ජන සිදුකරන ලද මුල් කාලවකවානුවල මෙවැනි තත්ත්වයක් පැවැතියේ නැත. සදාචාරාත්මක වෘත්තිය වැඩ වර්ජනයන් එවකට ලෝක වෘත්තීය අයිතිවාසිකම් සහ කම්කරු නීතින් යටතේ සිදු කෙරිණි. මෙරට ඉතිහාසයේ විශාල අභියෝගයන්ට මුහුණ දී ඇති කාලවකවානුවකි.
පවතින තත්ත්ව හමුවේ සියලුම වෘත්තිකයන්ට යම් ජාතික වගකීමක් සහ යම් කිසි නම්‍යශිලිත්වයක් අවශ්‍ය මොහොතක් උදාවී ඇත.
රටේ සියලු ජනතාව විශාල අභියෝගයන්ට මුහුණපාමින් ඇති අවස්ථාවකි. අද සෞඛ්‍ය ප්‍රවේශය අත්‍යවශ්‍ය වෙයි. පොදු ප්‍රවාහනය මිනිසුන්ගේ ජනජිවිතය පවත්වාගෙන යෑමට අත්‍යවශ්‍ය සාධකයකි.
ජනතාවගේ එදිනෙදා ආර්ථීකය සම්බන්ධයෙන් ගැටලු පවති.
“ලෝක කම්කරු සංවිධානයේ සංකල්පය වන්නේ වැඩ කරමු, වැඩ කරන ගමන් වෘත්තිය අයිතිය දිනා ගනිමු“ යන්නයි. වර්තමානයේ ලෝක කම්කරු සටන් පාඨය වී ඇත්තේ ද මෙයයි. අප වැඩ කරමින් වෘත්තිය ගැටලුවලට විසඳුම් සෙවිය යුතුය. මේ රටේ හදිසි වැඩවර්ජන දිගින් දිගටම සිදුවෙමින් පවතී. වැඩ වර්ජන නිසා මහජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩවී ඇත.
පවතින කාලවකවානුව තුළ යම් අඩියක් පස්සට තබමින් මේ ප්‍රශ්න විසඳීමෙන් අනතුරුව තමන්ගේ අයිතීන් වෙනුවෙන් පෙනී සිටිය යුතුය. මේ අවස්ථාවේ සියලුදෙනාගේ දායකත්වය අත්‍යාවශ්‍යය. විශේෂයෙන් රජය පාර්ශ්වයෙන් සහ වෘත්තිකයන්ගේ පාර්ශ්වයෙන් සාකච්ඡා මාර්ගයට යා යුතුයි.
එසේ නම්‍යශීලි නොවීමට හේතුව මේ රටේ සෑම වෘත්තීය සමිතියක් දේශපාලන න්‍යාය පත්‍රයක් අනුව ක්‍රියාත්මක වීමයි. එය වෘත්තීය අරගලයන් හමුවේ සුදුසු දෙයක් නොවෙයි.
1938 වෘත්තිය සමිති ආඥා පනත අනුව දේශපාලන අරමුදලක් ඇති කරගැනීම සම්බන්ධයෙන් සඳහනක් වෙයි. එනිසා එතනින් වෘත්තිය ක්‍රියාකාරීන් යම් අවකාශයන් ගෙන ඇත. මෙරට ස්වාධීන වෘත්තිය සමිති ව්‍යාපාරයක් වූ බාල තම්පෝගේ සහ ඒ. ඊ. ගුණසිංහගේ කාලයේ ස්වාධීන වෘත්තීය සමිතිය වූ අතර සියලු දේශපාලන මතවාදයන් දරන වෘත්තිකයන් එකම අරමුණක් යටතේ සිය වෘත්තීය සටන් දියත් කළ බව පෙනෙයි.
අද වන විට වෘත්තීය සමිති ස්වාධීන නැත. අද වෘත්තීය සටන් පිටුපස ඇත්තේ දේශපාලනික වශයෙන් බලය ලබා ගැනීමේ අරගලයක නිරත වීමක්ද යන්න විචාරශිලිව බලන්නෙකුට සිතෙයි.
මෙතැනදී සෑම වෘත්තීය ක්‍රියාමාර්ගයකින්ම පීඩාවට පත්වන්නේ මේ රටේ සාමාන්‍ය ජනනතාවයි. මහමාර්ග ගමනාගමනය සෞඛ්‍ය වැනි මූලික අවශ්‍යතා අහිමි කර ඇත. වෘත්තීය අයිතිවාසිකම් පමණක් නොව මහජනතාවගේ පාර්ශ්වයෙන් අනිවාර්යෙන් සිතිය යුතුය. ජනතාවගේ අයිතිවාසිකම් කඩකර වෘත්තීය අරගලවලට යෑම නීති විරෝධි ක්‍රියාවකි.
වර්තමානයේ පවතින වෘත්තිය සටන සාධාරණද යන්න ගැටලුවක් මතුවෙයි. මේ සටන සාධාරණ ද එය අසාධාරණ ද නොව පවතින වාතාවරණය ගැන අපි සිතීම අවශ්‍යය.
බහුතරයකගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට සුළුතරයකට කැපවීම් කිරිමට සිදු වෙයි. මෙවැනි හදිසි අවස්ථාවලදි උසාවිය මඟින් ලබාදෙන වාරණ නියෝගවලට අවනත විය යුතුය. එයට ගරුකළ යුතුය. වාරණ නියෝගයක් ලබා දුන්විට උසාවියට ඉදිරිපත්වී කරුණු දැක්විය යුතුයි. එසේම මේ ක්‍රමවේදයට අනුව මේ වැඩවර්ජනයන් තාවකාලිකව නැවැත්විය යුතුයි.
සියලු වෘත්තිය අයිතිවාසිකම් වෙනුවෙන් වෘත්තීය සමිති පැවැතියද රෝගීන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් කිසිදු නෛතික රැකවරණයක් නැත. රෝගීන්ගේ අයිතිවාසිකම් සම්බන්ධ සම්මුතියක් මෙරටේ තිබිය යුතුයි. ලෝකයේ බොහෝ රටවල් මෙවැනි සම්මූතින් ක්‍රියාත්මක කරයි.
අපේ රටේත් එවැනි අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට ක්‍රියාමාර්ගයන් ගත යුතුය. මහජනතාවට හානියක් නොවන, මහජනතාවගේ අයිතිවාසිකම් සහ ආර්ථිකයකට හානියක් නොවන ලෙස තීන්දු ගත යුතුයි.
අත්‍යවශ්‍ය සේවා ආරක්ෂා කිරීමට මේ පනත සම්මත කර ඇත. අත්‍යවශ්‍ය සේවා මහජන අයිතින් රැකීමට සම්මත කරගත්තා සේම වෘත්තිය සමිතියකට භාෂණ ප්‍රකාශනය අයිතියද අනෙක් පැත්තෙන් පිළිගත යුතුයි. මෙතැනදි අපි නිරපේක්ෂකව නොව සාපේක්ෂකව බැලිය යුතුයි. එනම් වෘත්තිය අයිතිවාසිකම් සහ ජනතාවගේ අවශ්‍යතාවයන් පිළිබඳත් සලකා බැලිය යුතුය. රටක් ලෙස ජාතික වගකීමක් සියලු දෙනාට ෙම් අවස්ථාවේ පැවරී ඇත.