සහෝ­ද­ර­කම නැසූ සුනඛ සෙනෙ­හස | සිළුමිණ

සහෝ­ද­ර­කම නැසූ සුනඛ සෙනෙ­හස

බාල සහෝදරයකු විසින් එක කුස උපන් තම වැඩිමහල් සහෝදරයාගේ අත් සහ හිස පොරවකින් සහ මන්නා පිහියකින් කපා කොටා අමානුෂික ලෙස ඝාතනය කිරීමේ පුවතක් ඉකුත් හත්වැනිදා අලුයම අසන්නට ලැබුණේ ඇඹිලිපිටිය පනාමුර පොලිස් බලප්‍රදේශයේ මුල්ඇඬියාවල ගම්මානයෙනි. එකී කුරිරු මිනිස් ඝාතනයට හේතු වූයේ නි‍ෙවසේ ඇති කරන සුරතල් සුනඛයකු බව ඇසුවහොත් ඇතැම් විට ඔබ පුදුම වනු ඇත. සුනඛයකු නිසා එසේ දිවි අහිමි වූයේ අංක 723/3, කෙසෙල්වත්තෙ ගෙදර, මුල්ඇඬියාවල පදිංචි කංකානම් පතිරණගේ රංජිත් නමැති හතළිස් දෙහැවිරිදි තිදරු පියකුටය.

පනාමුර පොලීසිය පසුකර කිලෝමීටර් හයක් හතක් පමණ දුරින් මිද්දෙණිය මාර්ගයේ වලල්ගොඩ හන්දියෙන් වමට හැරී මුල්ඇඬියාවල විහාරස්ථානය අසල සිට මීටර් හයසීයක් ගිය විට මියගිය රංජිත්ගේ නි‍ෙවස හමුවෙයි. අලුතින් ඉදිකරගෙන යමින් තිබූ නි‍ෙවස තරමක් විශාල එකකි. ඊට මීටර් විස්සකට පමණ දුරින් රංජිත්ගේ ඝාතනයට සැකපිට පොලිස් අත්අඩංගුවට පත්වී සිටින ඔහුගේ බාල සහෝදරයාගේ නිවෙස පිහිටා ඇත. ඔහු ලියනාරච්චි කංකානම්ගේ ඉන්දික නමැති 27 විසි හත් හැවිරිදි පුද්ගලයෙකි.

සිය සැමියා රංජිත්ට අත්වූ අවාසනාවන්ත ඉරණම දරාගත නොහැකි සොවින් වැලපෙන ඔහුගේ බිරිය ගීගන ගමගේ මනෝජි ප්‍රසංගිකා (36) අප සමඟ කතා කළේ කඳුළු අතරිනි.

මට දරුවන් තිදෙනකු සිටිනවා. ලොකු දරුවාට වසර දොළහයි. අනිත් පුතාට අවුරුදු හතරයි. පුංචිම දරුවාට මාස හතරයි. රංජිත් දරුවන්ට හරිම ආදරෙයි. එදා මගේ පුතාව ඉන්දිකගේ සුනඛයා සූරලා තිබුණා. මම ඇඹිලිපිටිය රෝහලෙන් බෙහෙත් දාගෙන ආවා. එදා හවස හයට විතර මගේ සැමියා කෑම කාලා නංගිත් එක්ක ගොඩක් දවසකින් කතා කරන්න බැරිවුණා කියලා කෝල් එකක් ගත්තා. දෙන්නා ටිකක් සැරට කතා කර ගත්තා. දරුවාව එයාලගේ සුනඛයා සපා කාපු එක ගැන. ඊට පස්සෙ ඉන්දිකලාගේ ගෙදර යන්න හැදුවා. මම එපාම කිව්වා. මම දරුවට කිරිදෙන්න කාමරයට ගියා. ඒ වෙලාවෙ එයා තමයි එයා ඉන්දිකලාගේ ගෙදරට ගිහින් තියෙන්නෙ. මට කෑ ගහනවා ඇහුණා. ඒ සද්දෙට දරුවො දෙන්නත් අරගෙන ඉන්දිකලාගේ ගෙදරට ගියා. ඒ යන කොට රංජිත් ලේ පෙරා ගෙන මිදුලේ බලු කූඩුව අසල වැටී සිටියා. මම ඇඟට අත තියලා කෑගැහුවා. එයා කතා කළේ නෑ. අපි 1990 කතා කළාම එයාලා ඇවිත් කිව්වා රංජිත් මිය ගිහින් කියලා. ”

එදිනෙදා කුලීවැඩ කරමින් ජීවත්වූ සාමාකාමී පුද්ගලයකු වූ සිය බාල පුතුණුවන්ට සිදුවූ විපත ගැන මියගිය රංජිත්ගේ මව වන අංක 723/1, කෙසෙල්වත්තෙ ගෙදර, මුල්ඇඬියාවල පදිංචි මලවිආරච්චිගේ මේරිහාමි (72) පැවසුවේ හඬා වැටමිනි.

“ එදා හවස බාල පුතා ඔහුගේ ගෙදර ටීවී බලමින් ඉන්න අතරේ ඔය මියගිය පුතා මන්නා පිහියකුත් අරගෙන බීමතින් ඇවිත් " මට සුනඛයා බලන්න ඕනෑ " කියමින් බල්ලා සිටි කූඩුව දෙසට ගොස් තිබෙනවා. ඒ අතර බාල පුතාගේ බිරිය වන චතුරිකා අඬමින් බලු පැටියා ට ගහන්න එපා, ඌ මරන්න එපා යැයි කියමින් පස්සෙන් දිවගොස් තිබුණා. රංජිත් පුතා සුනඛයා මැරීමට තැත්කරද්දී ඊට හරස් වීමෙන් ඇතිවූ පොර බැදීමත් සමඟ චතුරිකාගේ අතට පිහි පහරක් වැදී වැලමිට ආසන්නයේ කැපීමක් සිදු වෙලා. ලේ ගලමින් සිටි චතුරිකා දුටු ඇයගේ සැමියා වන සැකකරු පැමිණ සිය සහෝදරයා ගේ සිරුරේ පිට පැත්තට පොරව පහරක් එල්ල කර තිබෙනවා. ඒ සමඟම විසිවී ගොස් බිම ඇද වැටුණු සහෝදරයා අත තිබූ පිහිය ගෙන හිස වෙන් වන තරමටම බෙල්ල කපා හිසට ද පිහි පහර කිහිපයක් එල්ල කර තිබෙනවා. පහර කෑ පුතා එතැනම මිය ගොස් තිබෙනවා. ”

සිය පුතුගේ වියෝව දරා ගත නොහැකිව රංජිත්ගේ මව ඔහුගේ නිසල දේහය බදාගනිමින් විලාප දෙන්නට වූවාය.

" ඔයා වෙනදා මෙහෙම සූට් එකක් ඇන්දෙ නැහැනෙ මගේ පුතේ. ඔයා හැමදාම ඇන්දේ සරම නෙ.අද හරිම වෙනස් වෙලා. ඔයා අද ගොඩක් ලස්සනයි මගේ පුතේ.මම ඔයා එනකම් කවදාවත් බත් කටක් කෑවේ නෑ.මොකද මගේ රත්තරන් පුතේ ඔයාට මේ වුණේ. ඇයි මට මෙහෙම වේදනාවක් විඳින්න වුණේ? මම ඉන්දිකට කියපුවා ඇහුවනම් මෙහෙම දෙයක් වෙන්නෙ නෑනේ. ඔය බලු පැටිය හදන්න එපා කියල කොච්චර කිව්වාද මම?

මට පුතාලා හය දෙනෙක් හා දූලා හතර දෙනෙක් සිටියා. එක පුතෙක් හමුදාවේ ඉඳලා මැරුණා. තව පුතෙක් සිය දිවි හානි කර ගත්තා. මගේ මහත්තයාගේ බීමත්කම නිසා ඔහු 2001දී මියගියා. ඒකත් වුණේ රණ්ඩුවෙලා. ඊට පස්සේ ඔක්කොම දරුවන්ගේ බර දරාගෙන මම එයාලා හදාගත්තා. එක පුතෙක් විශ්වවිද්‍යාලයටත් යැව්වා. අනෙක් දරුවො ගොවිතැන් කරනවා.හමුදාවෙ පුතා වෙනුවෙන් ලැබෙන මුදල් තමයි මම මේ දරුවො හදාගන්න වියදම් කළේ. අවුරුදු විස්සක් තිස්සේ හමුදාවේ පුතාට පින් දෙනවා. මම තාමත් ඉමිටේෂන් කරාබු දෙකක් දාගෙන ඉන්නෙ. මියගිය රංජිත් පුතා මාස තුනක විතර ඉඳලා මගෙ ගෙදරට ආවෙ ගියෙ නෑ. එයා ගොඩක් නපුරු වුණා, හිතුවක්කාර වුණා වගේ දැනුණා. ඔහු අධික ලෙස මත්වතුර බොනවා. ඒත් දරුවන්ට පණ වගේ ආදරෙයි. දරුවව බිම තියන්නෙ නෑ, වැඩට ගිහින් ආවම දරුවන් ගෙ ඇඟපත හැම තැනම බලනවා සීරීමක්වත් තියෙනවද කියලා. එහෙම හිටපු මගේ රත්තරන් පුතාට මොකක් ද මේ වුණේ කියලා මට අදහා ගන්න බෑ මහත්තයෝ."

ඇය කියන්නේ දරාගත නොහැකි වේදනාවෙනි. රංජිත්‍ගේ ඝාතනය සම්බන්ධයෙන් ඇඹිලිපිටිය සහකාර පොලිස් අධිකාරී ලසන්ත දඩල්ලගේ ගේ අධීක්ෂණය යටතේ පනාමුර පොලිසියේ වැඩ බලන ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අයි.එම්.ඩී.රශ්මේන්ද්‍ර ගේ මෙහෙයවීමෙන් අපරාධ අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක මෙන්ඩිස් ඇතුළු විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් සිද්ධිය වූ ස්ථානයට පැමිණ පරීක්ෂණ ක්‍රියාත්මක කර ඇත. ඒ අනුව සැකකරු එදින රාත්‍රියේදීම අත්අඩංගුවට ගෙන තිබේ.

මුල්ඇඬියාවල ශ්‍රී තාලරුක්ඛාරාම විහාරස්ථානයේ විහාරාධිපති විශ්‍රාමලත් පරිවේණාධිපති ශාස්ත්‍රවේදී පූජ්‍ය මුල්ඇඬියාවල පඤ්ඤාසේකර නිහිමිපාණන් වහන්සේ මෙම සිදුවීම සම්බන්ධයෙන් පැවසුවේ මෙවැනි අදහසකි.

“මේ පවුලේ තාත්තව මරලා තියෙන්නෙත් තමන්ගෙම පුතෙක්. එක පුතෙක් එල්ලිලා මැරුණා. එල්ලිලා මැරිච්ච දරුවා දඬුවම් කරල තියෙන්නෙ මේ මිය ගිය දරුවා. තාත්තා මිය ගියාට පස්සෙ මවට ⁣කෑමවත් දීලා නෑ. මව දැඩි මානසික පීඩාවකින් හිටියෙ. ඒ ගැන අපට කියලා අඬපු වාර අනන්තයි.අපි කොච්චර අවවාද කළත් පිළිගත්තෙ නෑ. මෙවැනි සිද්ධි අපි අහලා තියෙනවා.මේවා සාංසාරිකව එන දේවල්. අජාසත්ත රජ්ජුරුවෝ බිම්බිසාර රජතුමා මැරුවා. අම්මා ඒක තේරුම් කරලා දෙනතුරු පුතාට තාත්තගේ වටිනාකම තේරුම් ගන්න බැරිවුණා. මේ පවුලේ අය සමාජයේ වැඩවලටත් දායක වෙනවා.යහපත් විදිහට ජීවත් වෙන අයත් ඉන්නවා. නමුත් මත්වතුර බිව්වම සිදුවෙන දේවල් තමන් දන්නෙත් නැහැ. මේක දෙයක් ඉවසා දරා ගන්න බැරිකමේ ප්‍රතිඵලයක්. පන්සලට ආවට වැඩක් නෑ. දානේ දුන්නට වැඩකුත් නෑ.පිළිම නෙළුවට වැඩක් නෑ.මිනිස්සු ඒවා ආධ්‍යාත්මික වශයෙන් කල්පනා කරන්න ඕන.”

උන්වහන්සේ පැවසුවේ ආධ්‍යාත්මික දියුණුව මිනිසාගේ යහපත් හැසිරීම සඳහා වැදගත් වන බව අවධාරණය කරමිනි.

සිද්ධිය සම්බන්ධයෙන් ඇඹිලිපිටිය අපරාධ ස්ථාන පරීක්ෂණාගාර නිලධාරී පොලිස් පරීක්ෂක රාජපක්ෂ ,පොලිස් සැරයන් නිශ්ශංක (60548) සහ දිනේෂ්(18060) පරීක්ෂණ පැවැත්වූහ.

පශ්චාත් මරණ පරීක්ෂණය තංගල්ල මහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී ඒ.එස්.සෙනෙවිරත්න විසින් එය සිදු කළ අතර ඇඹිලිපිටිය වැඩබලන මහේස්ත්‍රාත් සෙනරත් බන්ධුනාථ දසනායක විසින් ස්ථානීය පරීක්ෂණය සිදු කරන ලදී.

රංජිත්ට දිවි අහිමි කළ සිදුවීමට පාදක වූ ඉන්දික සුරතලයට නිවෙසේ ඇති කළ සුනඛයාගේ නම "ඩෝරා" ය. වයස මාස හතරක් වන අතර මෙතෙක් සුනඛයාට ජලභීතිකා එන්නත ලබා දී නොමැත. සුනඛයා විසින් සපා කෑ බව කියන මියගිය රංජිත්ගේ සසිදු දිල්ෂාන් පුතුගේ වයස අවුරුදු හතරකි. සුනඛයා විසින් සපා කෑ බව කියන ඔහුගේ පපුව ප්‍රදේශයේ සුනඛයකු සපා කෑ බවට ලකුණක් හෝ දැකගන්නට නොමැත. එහෙත් සුරතල් සතකුගේ හැසිරීම පිළිබඳ අනවබෝධය නිසා සසිඳු පුතු ඇතුළු දරුවන් තිදෙනකුට පියකු අහිමි වී ඇත. තවත් අයකු බන්ධනාගාර ගතවී තිබේ. පවුල් දෙකක් එලෙස අනාරක්ෂිත වූයේ සුළු දේකටවත් ඉවසීමක් දරාගැනීමක් නැතිකම නිසාද?

 තුෂාර හෙට්ටිආරච්චි, කහවත්ත

 

Comments