දරුවා ඇකේ හොවා­ගෙන පාසල් දරු­වන්ට මත්පෙති විකිණූ මහ­නු­වර අම්මා | සිළුමිණ

දරුවා ඇකේ හොවා­ගෙන පාසල් දරු­වන්ට මත්පෙති විකිණූ මහ­නු­වර අම්මා

වැට­ලීම සිදු­කළ මහ­නු­වර කොට්ඨාස දූෂණ මර්දන අංශයේ නිල­ධා­රීන් අත්අ­ඩං­ගු­වට ගත් මත්පෙති තොගය සමඟ
වැට­ලීම සිදු­කළ මහ­නු­වර කොට්ඨාස දූෂණ මර්දන අංශයේ නිල­ධා­රීන් අත්අ­ඩං­ගු­වට ගත් මත්පෙති තොගය සමඟ

පාසල් දරුවන් මත්ද්‍රව්‍යය භාවිතයට යොමුවීමේ ප්‍රවණතාව දිනෙන් දින ඉහළ යමින් තිබේ. පොලිස් ස්ථාන මඟින් සිදුකරන අත්අඩංගුවට ගැනීම් මෙන්ම දෙමව්පියන් හා ගුරුවරු පොලීසිවලට කරන පැමිණිලි සංඛ්‍යාව සලකා බැලීමේදී මේ පිළිබඳව පහසුවෙන්ම අවබෝධයක් ලබා ගැනීමට පුළුවන.දිවයිනේ වෙනත් පොලිස් ස්ථාන වලට මෙන්ම මහනුවර පොලීසියටද මේ ආකාර පැමිණිලි පැමිණ හෝ දුරකතන මඟින් ලබා දෙන අවස්ථා සුලබය.

 

විශේෂයෙන් සති අන්ත දිනවල පෞද්ගලික පන්ති වලට සහභාගි වන සිසු දරුවන් සැලකිය යුතු පිරිසක් මත්ද්‍රව්‍යය භාවිතකොට පන්ති වලට සහභාගි වන බව කලක සිටම කතා බහට ලක්වන කරුණකි. නගරයේ ප්‍රධාන පෙළේ පාසල් වල නවවන ශ්‍රේණියෙන් ඉහළ පන්ති වල අධ්‍යාපනය ලබන ඇතැම් ළමුන් පාසල් වේලාවේ නිද්‍රාශීලිව සිටින බවට ගුරුවරු පොලීසියට පමණක් නොව දෙමව්පියන්ටද පැමිණිලි කළ අවස්ථා එමටය.

මහනුවර පොලීසියේ කොට්ඨාස දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපති ලෙස මෑතක පත්වූ ප්‍රධාන පොලිස් පරීක්ෂක බන්දුල විදානගමගේ මහනුවර ගැන හොඳින් දන්නා අයෙකි. ඔහු මහනුවර නගරයේ සෑම අස්සක් මුල්ලකම කරක් ගැසුවෙකි. පදික වෙළෙන්ඳෝ පමණක් නොව යාචකයන් සමඟ පවා ඔහුගේ සම්බන්ධයක් තිබේ. මෙම සම්බන්ධතා පාවිච්චි කරමින් මතට ඇබ්බැහිවූ පාසල් දරුවන් පිළිබඳ තොරතුරු රැස්කර ගැනීමට ඔහු දැලක් දැම්මේය. ඒ ඔස්සේ දින කිහිපයකදී පාසල් නිල ඇඳුමින් මත්වී සිටි ළමුන් කිහිප දෙනෙකුම අත්අඩංගුවට ගැනීමට ඔහු ඇතුළු කණ්ඩායමට හැකි වූහ. ළමුන්ට අවවාද කර දෙමව්පියන්ට බාරදීමේ සුපුරුදු ක්‍රියාවලියෙන් බැහැරව බන්දුල විදානගමගේ ළමුන්ගෙන් ලබාගත් තොරතුරු ඔස්සේ ඔවුන්ට මත්ද්‍රව්‍ය ලබාදුන් පුද්ගලයා පිළිබඳ තොරතුරු ඒකරාශි කර ගත්තේය. ඇය කාන්තාවකි. තිස්පස් හැවිරිදි ඇය ළමුන්ට අලෙවි කරන්නේ රෝගී පුද්ගලයන් සඳහා වෛද්‍ය නිර්දේශ මත පමණක් නිකුත් කරනු ලබන පෙති වර්ගයකි. දින ගණනාවක් තිස්සේ අදාළ කාන්තාව සම්බන්ධයෙන් මහනුවර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි චමිල් රත්නායකගේ අධීක්ෂණය යටතේ කොට්ඨාස දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපතිවරයා සමඟ උප පොලිස් පරීක්ෂකවරුන් වන නාරංපනාව,බණ්ඩාර, පොලිස් සැරයන් දිසානායක (6588) කාන්තා පොලිස් සැරයන් මංජුලා (3818), පොලිස් කොස්තාපල් වරුන් වන තරංග (74182),කණිෂ්ක (878165) ,ඒකනායක (93406),යාපා බණ්ඩාර (35486) ,වික්‍රමසිංහ (37661), බණ්ඩාර (96319) යන කණ්ඩායම නගරයේ තැන් තැන් වල රැඳී සිටිමින් ඔත්තු බැලූහ.

ඒ ඔස්සේ රැස්කරගත් තොරතුරු අනුව පාසල් දරුවකුට මත්පෙති අලෙවි කරන අවස්ථාවේදීම අදාළ කාන්තාව අත්අඩංගුවට ගැනීමට මෙම පොලිස් කණ්ඩායම සමත්විය. ඒ සම්බන්ධව ප්‍රධාන පොලිස් පරීක්ෂක බන්දුල විදානගමගේ මෙසේ විස්තර කළේය.

‘දරුවා තුරුලේ තියාගෙන මේ මත්පෙති වෙළෙඳාම සිදු කිරීම නිසා කවුරුවත් මේ කාන්තාව ගැන වැඩි සැකයක් ඇතිකරගෙන නැහැ. දරුවාට අන්දවා තිබූ ඩයපරය ඇතුළෙ තමයි මත්පෙති කාඩ් සඟවලා තිබුණේ. මෙයාගෙන් මත්පෙති ගන්න පුරුදු වුණු පිරිසක් ඉන්නවා. ඒ අතර පාසල් දරුවන්ද සිටියා. කාන්තාව අත්අඩංගුවට ගත්තට පස්සේ ඇයව අධිකරණයට ඉදිරිපත් කරලා වැඩේ එතනින් නතර කරන්න අපි හිතුවේ නැහැ. මැයට මේ මත්පෙති දෙන්නේ කවුද කියන කාරණය ගැන අපි හොයන්න ගත්තා. ඒ අනුව ඒ සම්බන්ධව අපි ඇගෙන් දිගින් දිගටම ප්‍රශ්න කළා. එහිදී මහනුවර දළදා වීදියේ ඖෂධ අලෙවි සැලකින් මේ මත්පෙති මැයට ලැබෙන බව හෙළි වුණා.

අදාළ ස්ථානය වැටලීමට පෙර බන්දුල විදානගමගේ ඇතුළු පිරිස සැලසුමක් සකස් කළේය. ඖෂධ අලෙවි සැලට කඩා පැන එහි ඇති මත්පෙති අත්අඩංගුවට ගැනීමේ හැකියාවක් නොමැති බව දැන සිට ඔවුන් ඒ සඳහා අදාළ කාන්තාවම යොදා ගැනීමට තීරණය කරනු ලැබූහ.

අපි මුදල් නෝට්ටු අංක සඳහන් කරගෙන රුපියල් 8000 ක මුදලක් කාන්තාවට ලබා දුන්නා. ඇයට කිව්වා එම මුදල් පාවිච්චි කරලා ෆාමසියෙන් මත්පෙති ගන්න කියලා. ඒ අනුව ඇය මත්පෙති මිලට ගන්නා අවස්ථාවේදීම පොලිස් කණ්ඩායමක් එම ස්ථානයට ගොස් ඖෂධ අලෙවි සැලේ හිමිකරු සහ තවත් සේවකයෙකු අත්අඩංගුවට ගත්තා. වෛද්‍ය නිර්දේශ නොමැතිව අලෙවි කරන මෙම මත්පෙතිවලින් ලැබෙන මුදල ඖෂධ අලෙවි සැලේ මුදල් අයකැමි බිල් කරන්නේ නැහැ. ඒක ඖෂධ අලෙවි සැලේ හිමිකරු තමන්ගේ සාක්කුවේ තියා ගන්නවා. ඔහු අත්අඩංගුවට ගෙන පරීක්ෂා කිරීමේදී අපි කාන්තාවට ලබාදුන් රුපියල් 8,000 ක මුදලත් එක්ක ඔහු සතුව රුපියල් 89,000 ක් තිබුණා. මේ උදේ 10.00 සිට සවස 4.00 දක්වා කාලය තුළ මත්පෙති අලෙවියෙන් උපයා තිබූ මුදල්. ප්‍රබල වේදනා නාශකයක් වන මේ එක පෙත්තක් වෛද්‍ය නිර්දේශ වලට අනුව නිකුත් කිරීමේදී අලෙවි කෙරෙන්නේ රුපියල් 13.00 ක වගේ මුදලකටයි. කාන්තාවට රුපියල් 100.00 කට දෙන පෙත්තක් ඇය පාසල් ළමුන්ට අළෙවි කරන්නේ රුපියල් 150.00 කටයි. සැකකරුවන්ගෙන් කළ ප්‍රශ්න කිරීම්වලින් ෆාමසියේ තිබී එම ඖෂධ පෙති 3,000 ක් පමණ අපි සොයා ගත්තා. අත්අඩංගුවට ගත් ඖෂධ හළේ හිමිකරු ඉතා කෙටි කාලයකදී කෝටිපතියෙකු බවට පත්ව තිබෙනවා. ඉතා කෙටි කාලයකදී මෙතරම් මුදල් ඉපයීමට ඔහුට හැකි වුණේ මෙම මත්පෙති ජාවාරම නිසාද කියන බරපතළ සැකය අපිට තිබෙනවා. ඒ පිළිබඳවත් අපි පරීක්ෂණ ආරම්භ කරලා තියෙන්නේ. අත්අඩංගුවට ගත් අනෙක් පුද්ගලයා ඖෂධ අළෙවි නියෝජිත ආයතනයක සේවය කරනවා. ඔහු පස්වරු 4.00 ට මෙම ඖෂධ අලෙවි සැළට වෙනත් ඖෂධ සමඟ මෙම මත්පෙති පෙට්ටි රැගෙන විත් ගබඩා කරනවා.මත්පෙති විකිණෙන ප්‍රමාණය අනුව ඔහු සෑම දිනකටම පස්වරුවේ නැවත ඒවා රැගෙන ඇවිත් ස්ටොක් කරනවා.

යාචක ස්වරූපයෙන් දරුවා ද රැගෙන නගරයේ තැනින් තැනට ගොස් මත්පෙති විකිණු කාන්තාව ද ඇති පදම් මුදල් ඇති තැනැත්තියක බව පොලීසිය පවසයි.ඇය මතුකඩු ළඟ තබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මෙයට පෙර රක්ෂිත බන්ධනාගාර ගත තැනැත්තියකි.

අදාළ කාන්තාව විසින් පාසල් දරුවන්ට ලබාදී තිබුණේ ස්නායූ ආබාධ සහිත පුද්ගලයන්ට නියම කරනු ලබන ඖෂධයක් බව මහනුවර ජාතික රෝහලේ වෛද්‍ය, නීතීඥ පාලිත බණ්ඩාර සුබසිංහ පවසයි. මේ පිළිබඳව වැඩිදුරටත් කරුණු දක්වමින් ඔහු මෙසේද කීවේය.

‘මේ අත්අඩංගුවට ගෙන තිබෙන පෙති වර්ගය ස්නායූ ආබාධ ඇති අයට ලබා දෙන එකක්. මෙහි බලපෑම ඍජුවම මොළයට එල්ල වෙන්නේ. අනිත් වේදනා නාශක හා මේ ඖෂධය අතර තිබෙන වෙනස එයයි. වේදනාව කියන්නේ මොළයට දැනෙන හැඟීමක්. මේ පණිවිඩය මොළයට අරන් යන්නේ රසායනික ක්‍රියාවලියක් මගින්. දියවැඩියා රෝගය තිබෙන ඇතැම් අයගේ කකුල්වල ලොකු වේදනාවක් හට ගන්නවා. තවත් අයගේ දීර්ඝකාලීනව පවතින කොන්දේ ආබාධ නිසා හට ගන්නා වේදනාව කකුල් දක්වා විහිදෙන අවස්ථා තිබෙනවා.එවැනි අයට මේ පෙත්ත වේදනා නාශකයක් ලෙස වෛද්‍යවරු ලබා දෙනවා.කිසිම අබාධයක් නැති දරුවෝ මේවා ගත්තම එයාලගේ මොළයේ රසායනික ක්‍රියාවලිය වෙනස් වෙනවා. අධි මාත්‍රාවක් ගත්තම ඇවිදින විට විසිවන තත්ත්වයක් ඇති වෙනවා. ටික දිනක් ගත්තම මේකට ඇබ්බැහි වෙනවා. එහෙම වුණොත් ඒක නතර කරන්න ප්‍රතිකාර නැහැ. කාලයක් මේ පෙති පාවිච්චි කළාම මාංශ පේෂි ඉහිල් වෙලා හන්දි වලින් අස්ථි විසන්ධි වෙන්න වුණත් පුළුවන්‘

පොලීසිය මඟින් අත්අඩංගුවට ගත් ඖෂධ අලෙවි සැලේ හිමිකරු,සේවකයා සහ කාන්තාව රක්ෂිත බන්ධානාගාර ගත කරනු ලැබ සිට පසුගිය 08 දින මුදල් හා ශරීර ඇප මත මුදා හරිනු ලැබූහ.

මෙම පිරිස පමණක් නීතිය හමුවට ගෙනගොස් අදාළ ගැටලුවට විසඳුම් සෙවිය නොහැකිය. මේ ආකාරයෙන් පාසල් දරුවන් මතට හුරුකර මඩිය තරකර ගන්නා පුද්ගලයන් තවත් මහනුවර සිටිනා බව සැවොම දන්නා කරුණකි. පොලීසිය බොහෝ විට උත්සාහ කරන්නේ නඩු ගණන වැඩිකර ගැනීමටය. පුද්ගලයෙකු අල්ලා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් ඔබ්බට ගිය කාර්යභාරයක් පොලීසියට පැවරේ. මත්පෙති සමඟ අත්අඩංගුවට ගත් කාන්තාව අධිකරණයට ඉදිරිපත් කර අත පිසදා නොගෙන එහි මහ මොළකරුවන්ද සොයා මෙහෙයුම් දියත් කිරීමට මහනුවර කොට්ඨාස දූෂණ මර්දන අංශය ගත් උත්සය ඉතා වැදගත් එකක් වන්නේ පොලීසියේ නියම කාර්යභාරය කුමක්ද යන්න හඳුනාගෙන එය ක්‍රියාත්මක කර තිබෙන නිසාය.

Comments