වසර 7කට පෙර කඩවත - කොට්ටාව අධිවේගයේ පීත්ත පටිය කපා එක රැයින් රටම හෙල්ලු සුමනා සහ පුෂ්පා සොයා ගිය ගමන | සිළුමිණ

වසර 7කට පෙර කඩවත - කොට්ටාව අධිවේගයේ පීත්ත පටිය කපා එක රැයින් රටම හෙල්ලු සුමනා සහ පුෂ්පා සොයා ගිය ගමන

කඩවත - කඩුවෙල අධිවේගි මාර්ගය විවෘත කරන මොහොතේ සුමනා සහ පුෂ්පා දහස් ගණනක් ඉදිරියේ  විරෝධය දැක්වූ අයුරු. දේශීය සහ විදේශිය මාධ්‍ය අතර ප්‍රචලිත වූයේ මෙම ඡායාරූපයයි.
කඩවත - කඩුවෙල අධිවේගි මාර්ගය විවෘත කරන මොහොතේ සුමනා සහ පුෂ්පා දහස් ගණනක් ඉදිරියේ විරෝධය දැක්වූ අයුරු. දේශීය සහ විදේශිය මාධ්‍ය අතර ප්‍රචලිත වූයේ මෙම ඡායාරූපයයි.

මාජයේ ප්‍රකට පුද්ගලයන් මෙන්ම අප්‍රකට පුද්ගලයෝ ද සිටිති. ඒ අතරවාරයේදී යම් සිද්ධියක් පාදක කර ගැනීමෙන් එක් රැයකින් ජනප්‍රිය වූ අය සිටිති. සේපාල ඒකනායක, විජිත රෝහණ විජයමුණි, ප්‍රැන්සිස්කුකරණයට ලක් වූ විමල් ප්‍රැන්සිස්කු එක් සිද්ධියක් හේතුකොටගෙන එක් රැයකින් ජනප්‍රිය වූ කීප දෙනෙකි. සුමනා ජයසූරිය හා එල්. පුෂ්පකුමාරි ද එවැනි චරිත ද්විත්වයකි.

අහසේ පුපුරා ගිය මල් වෙඩිල්ලක් සේ සුමනා හා පුෂ්පා එක් රැයකින් ජනප්‍රිය වූයේ 2015 දී කඩවත - කඩුවෙල අධිවේගි මාර්ගය නිල වශයෙන් විවෘත කෙරෙන උත්සවයේදී ආරාධිත අමුත්තන්ට පෙර ඔවුන් දෙදෙනා පීත්ත පටිය කැපූ නිසාය. වසර හතකට පසු අපි ඔවුන් සොයා ගියේ ඔවුන්ගේ වර්තමාන තොරතුරු දැනගැනීමේ අටියෙනි.

සුමනා ජයසූරිය සහ එල්. පුෂ්පා කුමාරි 2022 පෙබරවාරි 02 වැනිදා

සුමනා ජයසූරිය සිටින්නේ කඩවත මහර නුගේගොඩය. එල්. පුෂ්ප කුමාරි රාගම කැන්දලියැද්දපාළුවේ පදිංචිකාරිනියකි. දෙදෙනාම දන්න කියන කාලයේ පටන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් දරදිය ඇද්දෝ වෙති. අද දෙදෙනාම ශ්‍රී ලංකා පොදුජන එක්සත් පෙරමුණේ දේශපාලන ක්‍රියාකාරි සාමාජිකාවන්ය.

“මගේ උපන් ගම බලන්ගොඩ. ඉගෙනගත්තේ බලන්ගොඩ බුද්ධ ජයන්ති මධ්‍ය මහා විද්‍යාලයේ. අ.පො.ස. උසස් පෙළ වාණිජ විෂයන්ගෙන් කළේ. අපේ අම්මා, අප්පච්චී සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය වෙනුවෙන් ඇපකැප වී වැඩ කරපු අය. මගේ අම්මා මැතිනිය වෙනුවෙන් වේදිකාවල නැඟලා කතා කළා. කවි කිව්වා. මටත් පොඩිකාලේ ඉඳලාම ඒ ආභාසය ලැබුණා. මමත් පොඩිකාලේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ රැස්වීම්වල පෙළපාළිවල ගියා. 1977 දී එක්සත් ජාතික පක්ෂය ජයග්‍රහණය කළාම අපේ පවුලට ගොඩාක් කරදරවලට මුහුණපාන්න සිද්ධ වුණා. සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ සහෝදරයකු වන බාන්ස් රත්වත්තේ මහත්තයා ඇවිත් අපිව මහවලතැන්න වලව්වේ තියාගෙන හිටිය නිසා තමයි එදා අපි බේරුණේ.” යනුවෙන් සුමනා ජයසූරිය ඇගේ දේශපාලන ගමන් මගේ අතීත කතාව අප හමුවේ දිගහැරියාය.

1977 බලයට පැමිණි එක්සත් ජාතික පක්ෂයෙන් එල්ල වූ තාඩන පීඩන නිසාම ඇයට එක්සත් ජාතික පක්ෂය තිත්ත විය. ඇය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට වැඩි වැඩියෙන් නැඹුරු වුණේ එමනිසාය.

කඩවත - කඩුවෙල අධිවේගී මාර්ගය එවකට මහාමාර්ග ඇමතිව සිටි 
ලක්ෂ්මන් කිරිඇල්ල නිල වශයෙන් විවෘත කරන අවස්ථාව

1988 දී ඇහැලියගොඩ පදිංචි සුනිල් අබේසිංහ සමඟ විවාහ වූ ඇය 1992 දී කඩවත මහර නුගේගොඩට සේන්දු වූයේ සැමියාගේ රැකියාවත් සමඟිනි. ඉන්පසුව අතුල නිමලසිරි ජයසිංහ, ප්‍රදීප් හපන්ගම යන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් සමඟ දේශපාලන කටයුතුවල දිගින් දිගටම නිරත වූවාය. සුමනා ජයසූරිය නැවතත් ක්‍රියාකාරී වූයේ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංගගේ සම්ප්‍රාප්තියත් සමඟය. චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනියගේ සමුගැනීමත් සමඟ ඇය සියයට සියයකින් කැප වූයේ මහින්ද රාජපක්ෂයන්ගේ ජයග්‍රහණය වෙනුවෙනි. එදා පටන් අද දක්වාම සුමනා ජයසූරිය මහින්ද රාජපක්ෂයන්ගේ සහ ගෝඨාභය රාජපක්ෂයන්ගේ දේශපාලනය සමඟ අත්වැල් බැඳගෙන සිටින්නීය.

“ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ දේශපාලනය වෙනුවෙන් මම හදවතින්ම බැඳී සිටිනවා. අධිවේගි මාර්ගය විවෘත කරන දවසේ සුමනක්කා කතා කළාම මැරෙන්න හරි ගියේ ඒ නිසයි. අධිවේගි මාර්ග හැදුවේ මහින්ද මහත්තයා. ඒක කවුරුත් දන්නවා. ඒත් මහින්ද මහත්තයා හදපු කඩවත - කඩුවෙල අධිවේගි මාර්ගය විවෘත කරන උත්සවයට මහින්ද මහත්තයාට ආරාධනා කළේවත් නැහැ. ඒ අඩු සැලකිල්ල ඉවසා ගන්න බැරිවයි එදා අපි ආරාධිත අමුත්තන් එන්න ඉස්සෙල්ලා පීත්ත පටිය කැපුවේ. එදා මම ඒ ගමන ආවේ ආයේ ගෙදර එන්න බැරිවේවී කියලා හිතාගෙන ගෙදර යතුරුත් වෙන කෙනෙකුට බාර දීලා. වෙඩි කාලා මැරෙන්න වේවි කියලා එදා මට හිතුණා. මම ගෙදර ආවේ නැතිනම් හිරේට ඇවිත් බලන්න කිව්වා. මහින්ද මහත්තයා වෙනුවෙන් මැරෙන්න හරි මම යනවා.” යනුවෙන් එල්.

පුෂ්පකුමාරි පැවසුවාය.

සුමනා සහ පුෂ්පා උසාවියෙන් නිදහස් වී එදා පැමිණි අවස්ථාව

පුෂ්පාට දේශපාලන උණ වැලඳී තිබෙන්නේ කුඩා වියේදීමය. ඈ උපන් ගම් ප්‍රදේශයේ එවකට විසූ සිරිවර්ධන මුදලිතුමා බණ්ඩාරනායක මැතිනියගේ රජය පැවැති කාලයේ ගමේ ස්වයං රැකියා සඳහා ඉමහත් සේවයක් කළ අයෙකි. ඔහුගේ ආධාරයෙන් ස්වයං රැකියා කටයුතුවල යෙදුණු පුෂ්පාගේ පවුලේ සාමාජිකයන් සමඟ මුදලිතුමාගේ දේශපාලන කටයුතු පසුපස ඔවුන් ඇදී ගියේ නිරායාසයෙනි. ඉන්පසුව කඩවත මහර ආසනයේ සූරියආරච්චි මහතා සමඟ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කටයුතුවල නිරත වූහ. එතැන් පටන් අතුල නිමලසිරි ජයසිංහ, ප්‍රදීප් හපන්ගම, සිසිර ජයකොඩි යනාදී වශයෙන් දේශපාලනඥයන් සමඟ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ක්‍රියාකාරිනියක් වූවාය. මෙම දේශපාලනඥයන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට එක්වන විට සුමනා ජයසූරය සහ පුෂ්පා කුමාරි ද ඊට සම්බන්ධ වූහ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කාන්තා සංවිධානයේ ලේකම් සහ සභාපති තනතුරු දැරූ සුමනා ජයසූරිය, අද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කාන්තා බල මණ්ඩලයේ සභාපතිනිය වශයෙන් කටයුතු කරන්නීය.

“මහින්ද මහත්තයා විවෘත කරන්න තිබුණු අධිවේගි මාර්ගය යහපාලන රජයේ මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල විවෘත කරනවා කියලා රූපවාහිනියේ ප්‍රවෘත්තිවලට කියනවා දැක්කා. මම පුෂ්පාට කතා කරලා කිව්වා අපි දහ දොළොස් දෙනෙක් එදාට ගිහින් කළුකොඩි දාලා මහින්ද මහත්තයාගේ පෝස්ටර් අල්ලා ගෙන ඉමු කියලා. පුෂ්පා කැමති වුණත් අනිත් කවුරුවත් කැමති වුණේ නැහැ. එයාලා බොරු කියලා මගහැරියා. පුෂ්පායි මමයි මහින්ද මහත්තයගේ ඡායාරූපය ඇතුළත් පෝස්ටර් අරගෙන අධිවේගි මාර්ගය විවෘත කරන තැනට ගියා. එදා මම ගෙදරින් යනකොට පුෂ්පාටත් නොකියා පොඩි කතුරක් පීත්ත පටියකින් ඔතලා හෑන්ඩ්බෑග් එකට දාගත්තා. අපි එදා විවෘත කරන තැනට ගියාම ආරාධනා පත්‍ර නැති අයට එතනින් එහාට යන්න දෙන්න බැහැ කිව්වා. ඊටපස්සේ අපි දෙන්නා ආපහු ඇවිත් එක තැනකින් රිංගුවා. එතැන ඉඳලා පයින් යනකොට පොලිස් නිලධාරියෙක් ඇහුවා කොහෙද යන්නේ කියලා. මම කිව්වා ගෙවල් තියෙන්නේ එහා පැත්තේ නිසා එතනින් පැන්නාම ගෙදරට යන්න ලේසියි කියලා. අපි දිගටම ගිහින් විවෘත කරන ස්ථානය තිබෙන මාර්ගයට අමාරුවෙන් නැඟලා ගොඩවුණා. අපි මහින්ද මහත්තයාගේ පෝස්ටර් අරගෙන විවෘත කරන ස්ථානයට ඇවිදගෙන යනකොට ආරාධිත අමුත්තන් ඉදිරියට පැමිණෙනවා දැක්කා. ඡායාරූප ශිල්පීන්, කැමරාකරුවන් සියලුදෙනාම ඒ දිහා බලාගෙන ඒ ගැන අවධානයෙන් හිටියේ. මහින්ද මහත්තයා සමඟ කටයුතු කරපු ඇමතිවරුනුත් එදා යහපාලන ආණ්ඩුවට ගිහින් පට්ටම් අරගෙන ආරාධිත අමුත්තන් එක්ක එනවා දැක්කාම මට මරුවා නැග්ගා. මට ඒවෙලාවේ පුදුම ශක්තියක් ලැබුණේ. මම ටක්ගාලා කතුර අරගෙන පීත්ත පටිය කැපුවා. පුෂ්පා ඡායාරූපය අල්ලාගෙන හිටියා.” යනුවෙන් සුමනා ජයසූරිය වසර 7කට පෙර ඔවුන් කළ වීර වික්‍රමය විස්තර කළාය.

ඒ මොහොතේ ක්ෂණිකව ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරිහු ඔවුන් දෙදෙනා ජීප් රියට නංවාගෙන කඩවත පොලිසියට රැගෙන ගියහ. පොලිස් නිලධාරින්ට දැන ගැනීමට අවශ්‍ය වූයේ ඔවුන් දෙදෙනා පිටුපස දේශපාලන හස්තයක් තිබේද යන්නයි. එහෙත් එය කාගේවත් ඉගැන්නුම් බහකට කළ දෙයක් නොවන බවත් සුමනාත් පුෂ්පාත් එකතු වී සිදුකළ කටයුත්තක් බවත් ඔවුහු පුන පුනා පැවසූහ. මාධ්‍යවේදීන් කඩවත පොලිසිය වටා එක්රොක්වූයේ මේ අතරවාරයේදීය. එදා බස්නාහිර පළාත් සභාවේ මහ ඇමති වී සිටි ප්‍රසන්න රණතුංග මුළු දවසම කඩවත පොලිසියේ රැඳී සිටියේ “සුමනක්කාවත් පුෂ්පක්කාවත් නිදහස් කරගන්නේ නැතිව මම යන්නේ නැහැ” යන තිර අදිටනනි. සවස් භාගය වන විට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දේශපාලනඥයන්ගෙන් කඩවත පොලිසිය පිරී ගියේය. සුමනා ජයසූරියගේ සැමියා සේවය අවසන් කර කෙළින්ම ගියේ කඩවත පොලිසියටය. එදා කඩවත පොලිසියේ රැය පහන් කළ සුමනාටත් පුෂ්පාටත් පසුදා ඇප පිට නිදහස ලැබිණි.

එහෙත් සෑම ඉරු දිනකම කඩවත පොලිසියට ගොස් පොලිස් පොතේ අත්සන් කිරීමට ඔවුන්ට සිදු විය. ඔවුන්ට විරුද්ධව අවුරුද්දක් පුරා අධිකරණයේ නඩුවක් ද විභාග විය. නඩුව අවසාන වූයේ එක් අයකුට රු. දෙදහස බැගින් දඩ නියම කිරීමෙනි.

“මම නම් හිතුවෙ අපිව හිරේ දමාවි කියලා. අපේ සෑම නඩු වාරයකටම පොදුජන පෙරමුණට සම්බන්ධ නීතිඥවරුන් 15 දෙනකු නැගිටිනවා. සිසිර ජයකොඩි අමාත්‍යතුමා සෑම නඩු වාරයකටම පෙනී සිටියා. අපිට නීතිඥවරුන් හොයන්නවත් ඔවුන් වෙනුවෙන් වියදම් කරන්නවත් අවශ්‍ය වුණේ නැහැ. එක් වතාවක් වාසුදේව නානායක්කාර ඇමතිතුමාත් අපි වෙනුවෙන් පෙනී සිටියා.” යනුවෙන් එල්. පුෂ්ප කුමාරි පවසන විට සුමනා ජයසූරිය සඳහන් කළේ වරක් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂයන් ඇයට දුරකතනයෙන් කතා කර, “එක දවසකින් වීර කාන්තාවක් වූවා නොවේද” යැයි විමසූ බවය. ඔවුන් දෙදෙනා එදා කළ කටයුත්ත හොඳ හෝ නරක වුවද ඉන්පසුව ඔවුන් දෙදෙනාට ගමේ හොඳ පිළිගැනීමක් ලැබුණු බව සුමනා ජයසූරිය සඳහන් කළාය. අද ඇයට ඕනෑම තැනකට ගොස් වැඩක් කර ගැනීමට හැකියාව තිබෙන බව ඈ තවදුරටත් පැවසුවාය.

අද සුමනා ජයසූරිය මහර ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරියකි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කාන්තා බල මණ්ඩලයේ සභාපතිනිය වන්නේ ද ඇයයි. සිය සැමියා සුනිල් අබේසිංහ, එකම දියණිය මයුමි, බෑණා සහ මුනුපුරා සමඟ දිවි ගෙවන සුමනා ජයසූරිය සමාජ සේවා කටයුතුවලදී ක්‍රියාකාරි සාමාජිකාවකි.

කැන්දලියැද්දපාළුව ගමේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කාන්තා සමිතියේ සභාපතිනිය වන එල්. පුෂ්ප කුමාරි, සමෘද්ධි කටයුතුවලට ගොවි හා සංවර්ධන කටයුතුවලට සහාය දෙමින් සමාජ සේවා කටයුතු කරන කාන්තාවකි. ඇය සිය මව සහ බාල සොයුරියන්, බාල සොයුරන් සමඟ දිවි ගෙවන්නේ අනාගතයේදී ප්‍රාදේශීය සභා මැතිවරණයකට ඉදිරිපත් වී උපන් ගම් පියසට සේවය කිරීමේ අපේක්ෂාවෙනි.

ඡායාරූප - මාලන් කරුණාරත්න

සුමනා සහ පුෂ්පා නිදහස ලබා පැමිණි අවස්ථාවේදී ප්‍රදේශවාසින් උණුසුම් අයුරින් එදා පිළිගත් අයුරු
වමේ සිට, බෑණා, දියණිය, සුමනා සිය සැමියා සමඟින්

 

Comments