යාන්ත්‍රික කිය­ත­කින් පුතුගේ අත­පය කැපූ කටු­ග­ස්තොට බාප්පා | සිළුමිණ

යාන්ත්‍රික කිය­ත­කින් පුතුගේ අත­පය කැපූ කටු­ග­ස්තොට බාප්පා

ස් කැපීමට උපයෝගී කරගන්නා යාන්ත්‍රික කියතකින් පුද්ගලයකුගේ පාදයක් හා අතක් කපා දමා ඝාතනය කිරිමේ අමානුෂික සිදුවීමක් පසුගියදා වාර්තා වූයේ කටුගස්තොට හමන්ගොඩ ප්‍රදේශයෙනි. මෙම පුවත කන වැකුණු සැණින් කවුරුත් පුදුමයටත් බියට හා තැතිගැන්මටත් පත්වූයේ එහි ඇති බිහිසුණුකම පමණක් නොව ම්ලේච්ඡත්වයද නිසාය. ඝාතනයට ලක්ව තිබුණේ ඝාතකයාගේ සහෝදරයාගේ පුත්‍රයාය.ඔහු තිස් හැවිරිදි අවිවාහකයෙකි. ගස් කපන කියතකින් කපා බාප්පා විසින් පුතා මෙලෙස ඝාතනය කළේ ඇයිද යන්න දැන ගැනීම සිද්ධිය ආරංචි වූ කා තුළත් ඇති වූ කුකුසයි. මේ නිසාම සිළුමිණ අපි හමන්ගොඩ ප්‍රදේශයට ගොස් අපි ඒ් පිළිබඳ සොයා බැලුවෙමු.

කටුගස්තොට සිට ගන්නෝරුව දක්වා දිවෙන මාර්ගයේ කිලෝ මීටරයකට මඳක් වැඩි දුරක් ගිය පසු හමුවන තුන්මං හන්දියේ විශාල බුදු පිළිමයක් දක්නට ලැබේ. එය ඉදිරිපිටින් ඇති මාර්ගයේ තවත් කිලෝ මීටරයක පමණ දුරක් ගියවිට නැවත බුදු පිළිමයක් හමුවේ. මේ බුදු පිළිම හමංගොඩ ගමට එන ආඳුනිකයකුට ගම සොයා ගැනීමට ඇති ප්‍රධාන මං සලකුණු යැයි කීවොත් එය නිවැරදිය. මෙහි ජීවත්වන වැඩි දෙනෙකු එකම පවුලේ ඥාතීන්ය. දරු මල්ලන් ලොකු වෙත්දී මවුපියන් තිබෙන ඉඩම කොටස් කර ඔවුන් අතර බෙදාදී ගමේම පදිංචි කරවා ගන්නේ කවුරුත් නොහඳුනන පළාතකට ගොස් පදිංචි වනවාට වඩා එය පවුලට ශක්තියක් වේයැයි සිතාය. එයම පරහට හිටිමින් ඉඩම් ආරවුල් ඇතිව එකිනෙකා ගහ මරා ගන්නා තත්ත්වයක් ඇති වීමට බලපෑම් කර තිබේ.

මෙම ම්ලේච්ඡ ඝාතනයට හේතුවී ඇත්තේද ඉඩම් ආරවුලකි. ඔලගන්වත්තේ ගෙදර වාසගම හිමි නිමල් හා ඩග්ලස් එක බඩවැල කඩාගෙන මෙළොව එළිය දුටු සහෝදරයින්ය. ගස් කැපීම ජීවිකාව කරගත් මේ දෙසොහොයුරෝ රැකියාව කළේද එකටමය. උදේ පාන්දරින් රැකියාවට යන නිමල් හා ඩග්ලස් සවස්වරුවේ නිවෙසට එන්නේද එකටය. මේ සහෝදර බැඳීම වැඩිකල් නොගොස් බිඳී ගියේ මව සතු පර්චස් 14 ක කුඹුර පවුලේ වැඩිමලා වූ නිමල්ට සින්නක්කරයටම ලියා දීමත් සමඟය. ඉන් කොටසක් තමන්ට ද අවශ්‍යය බව ඩග්ලස් නිතර ප්‍රකාශ කිරීමත් සමඟ සහෝදරයන් දෙදෙනා නයා සහ පොළඟා මෙන් වෛරක්කාරයන් බවට පත්වූහ. එතෙක් කල් එකට කළ රැකියාව වෙන් වෙන්ව කරන්නට නිමල් සහ ඩග්ලස් පෙලඹුණහ. මේ විරසකය නිසාම නිමල් ගේ බිරිය හා දරු තිදෙනාද ඩග්ලස්ගේ බිරිය හා දරු දෙදෙනාද එකිනෙකට කතා නොකරන්නට වග බලාගත්හ.

සිද්ධිය වූ පසුගිය 29 දින ඩග්ලස් මල්ලී මගේ ඉඩම් කෑල්ලේ කොටසක් වෙන් කරගෙන ගිනිසිරියා වලින් වැටක් ගහලා තිබෙනවා. පහුවදා මේ වැට කවුරු හරි ගලවලා. මල්ලී මේකට උදේ කෑගහලා බැන්නා. මම මොනවත් කියන්න ගියේ නැහැ. මම ගස් කපන රස්සාවට ගියා. මල්ලිත් පස්සේ වැඩට ගිහින් තියෙනවා. හවස 3.30 ට විතර එයා ආපහු ඇවිත් තමයි මේ අපරාධය කරලා තියෙන්නේ. ඝාතනයට ලක්වූ ප්‍රසන්න කුමාරගේ පියා නිමල් විජේසිරි පැවසුවේය.

ඩග්ලස් කෑකෝගසමින් සිට වැඩට ගියපසු නිමල් ගේ පුතා වන ප්‍රසන්න හා ඩග්ලස්ගේ බිරිය අතර ආරවුලක් ඇතිව තිබේ. ගස් සමඟ පොරබැද නි‍ෙවසට පැමිණි මොහොතේ මෙය කන වැකුණු ඩග්ලස් දණ්ඩෙන් පහර කෑ නාගයකු මෙන් කිපුණේය.ඔහු ගස් කපන කියත පණ ගන්වා කෙලින්ම ගියේ මීටර සියයකටත් අඩු දුරකින් පිහිටි සහෝදරයාගේ නිවෙසටය. එතැන් පටන් සිද්ධිය විස්තර කළේ මියගිය ප්‍රසන්නගේ මිතුරකු වන එස්.උදාරය. මම ටවුමට ගිහින් එනවිට ආනන්ද (ඩග්ලස්) මාමා හමුවුණා. එයා ගස් කපන මැෂිමත් අරන් ආවේ. ආනන්ද මාමා බැඳලා ඉන්න නැන්දා කඩේට ගියා. මාමා කෑගැහුවා. මාමා ප්‍රශ්න ඇතිකර ගන්න එපා කියල මම කිව්වා. එතකොට එයා මේක අපේ පවුලේ ප්‍රශ්නයක් කියලා මටත් ගහන්න ආවා. ආනන්ද මාමා ගස් කපන මැෂිම ස්ටාර්ට් කරගෙන ප්‍රසන්නලාගේ ගෙදර පැත්තට ගියා. මාමා කෑගහන සද්දේ ඇහිලා ප්‍රසන්න දොර ඇරගෙන එළියට ආවා. ඒ්ත් එක්කම ආනන්ද මාමා ප්‍රසන්නගේ අතකට මැෂිම ඇල්ලුවා. අත කැපෙනවාත් එක්කම කකුලටත් මැෂිම ඇල්ලුවා. ප්‍රසන්න ටික දුරක් ඇවිදගෙන ඇවිත් මිදුලේ වැටුණා. හැමතැනම ලේ. තුවාලෙන් ලේ විදින විදිහ බලන්න මටත් බැරිවුණා. පස්සේ මගේ වීල් එකෙන් ප්‍රසන්නව කටුගස්තොට ඉස්පිරිතාලෙට අරන් ගියා. එදා ඉරිදා නිසා නුවර රෝහලට මේ වගේ හදිසි අනතුරු ලෙඩ්ඩු බාර ගන්නේ නැහැ. ඒ් නිසා කටුගස්තොටින් කෙලින්ම ලෙඩාව පේරාදෙණියට අරන් ගියා. එහෙදී තමයි ප්‍රසන්න මැරිලා කියලා දැන ගත්තේ.

එක බඩවැල කඩාගෙන පැමිණි තම සහෝදරයා අතින් තම පුතු ඝාතනය වේ යැයි නිමල් විජේසිරි සිහිනෙන්වත් නොසිතන්නට ඇත. එහෙත් අද එය සිදුව තිබේ. පුතුගේ වියෝව දරාගත නොහැකිව සිටින නිමල් පැවසුවේ මෙවන් අදහසකි.

‘මගේ කොල්ලා වැරැද්දක් කළා නම් මල්ලිට තිබුණා උගේ කකුලක් හරි අතක් හරි කඩන්න. එහෙම කළා නම් බෙහෙත් කරල මට පුතාව හොඳකර ගන්න තිබුණා. මට හිතා ගන්න බැහැ මේ කරපු දේ. එදා ඉරිදා (30) මල්ලිගේ නෝනත් එක්ක අපේ පුතා පොඩි කතා බහක් වෙලා තියෙනවා. මල්ලී වැඩට ගිහින් ආපු ගමන් ඒක නෝනා මල්ලිට කියලා. මල්ලි පුතාව කපලා පොලීසියට ගිහින් තියෙනවා පැමිණිල්ලක් දාන්න. මගේ එකම දුව බැඳල පදිංචි වෙලා ඉන්නේ ගලගෙදර. මේ සිද්ධිය වෙච්ච ගමන් එයාට කවුරු හරි කෝල් කරල කියලා තියෙනවා. දුව එයා බැඳලා ඉන්න පුතත් එක්ක ගෙදර එනකොට අපි හිටියේ පේරාදණිය ඉස්පිරිතාලේ. අපි නැති නිසා ඒ් දෙන්නා කටුගස්තොට පොලීසියට ගිහින් තියෙනවා. එහෙදී දුව දැකලා තියෙනවා මල්ලී පොලිසියේ ඉන්නවා. පොලිසියේ මහත්තුරුන්ට දුව කියල තියෙනවා මෙයා අපේ මල්ලිව කපල ඇවිත් ඉන්නේ කියලා. පස්සේ පොලිසියේ මහත්තුරු එයාව අල්ලගෙන තියෙනවා. මගේ නෝනා ඩුබායිවල ඉන්නේ. අනෙක් පුතා මැලේසියාවේ රස්සාවක් කරනවා.

ඝාතනයට ලක්වූ ඕ. ඩබ්ලිව්. ප්‍රසන්න කුමාර විජේසිරි 30 හැවිරිදි වියේ පසුවූ අවිවාහකයෙකි. ඔහු ඝාතනය කිරීමට යොදාගත් බව කියන ගස් කපන කියත සැකකරුගේ නි‍ෙවසේ තිබී පොලිස් භාරයට ගෙන ඇත. මියගිය තරුණයාගේ බාප්පා වන ඕ. ඩබ්ලිව්. ඩග්ලස් නොහොත් ආනන්ද නමැත්තා පසුගිය 31 වැනිදා මහනුවර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු මෙම මස 15 දා තෙක් දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර ඇත. කටුගස්තොට පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රසික සම්පත්ගේ උපදෙස් මත අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නලීන්, උප පොලිස් පරීක්ෂකවරුන් වන මහින්ද, විජේසිරි, පොලිස් සැරයන් (26037) අතපත්තු, පොලිස් කොස්තාපල් (19778) මිගාර ඇතුළු පිරිසක් සිද්ධිය පිළිබඳ පරීක්ෂණ සිදු කරති.

පශ්චාත් මරණ පරීක්ෂණය පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ අධිකරණ වෛද්‍ය නිලධාරී සමන් චන්ද්‍රදාස විසින් සිදුකර තිබේ. වම්පාදයේ ප්‍රධාන රුධිර නාළවලට හානිවීමෙන් සිදුවූ අධික රුධිර වහනය නිසා මරණය සිදුව තිබෙන බව පශ්චාත් මරණ පරීක්ෂණයේදී හෙළිව ඇත.

පසුබිම් වාර්තාව සහ ඡායාරූප

කටුගස්තොට සමූහ එස්.ජී විජේරත්න

 

Comments