
මෙරට මැටි කර්මාන්තයට ඉතාම සුවිශේෂී එමෙන්ම දීර්ඝ වූ ඉතිහාසයක් තිබේ. කලක් මෙරට ප්‍රධාන ජීවනෝපායක් ලෙස පැවැති පාරම්පරික වෘත්තියක් ලෙස හඳුන්වා දිය හැකි මැටි හෙවත් කුඹල් කර්මාන්තයෙන් සිය ජීවිකාව පවත්වා ගෙන ගිය බොහෝ පිරිසක් අතීතයේ සිටම මෙරට ජීවත් වී ඇත.
කෙසේ වුවත් තාක්ෂණයේ දියුණුව සමඟ මැටි භාණ්ඩවලට ආදේශක හඳුන්වා දීම නිසා මේ වන විට මෙරට මැටි කර්මාන්තය ඉතාම වේගයෙන් අභාවයට යමින් තිබේ. ඒ අනුව මැටි බඳුන් නිෂ්පාදනය වීම හා එම මැටි බඳුන් නිෂ්පාදනයට යොදා ගන්නා කුඹල් (සකපෝරුව) අද දක්නට ලැබෙන්නේ ඉඳහිට ඇතැම් ප්‍රදේශවල පමණි.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂයන් බලයට පත් වීමත් සමඟ මෙරට සාම්ප්‍රදායික කර්මාන්ත යළි නගා සිටුවීම සඳහා ඉතාම සුවිශේෂී වැඩසටහන් රැසක්ම මේ වන විටත් ආරම්භ වී ඇති අතර, එහිදී මෙරට සාම්ප්‍රදායික කර්මාන්තයක් වූ මේ මැටි කර්මාන්තය සම්බන්ධයෙන්ද ප්‍රමුඛ අවධානයක් ලබා දී තිබීම විශේෂයෙන්ම අගය කළ යුත්තකි. ඒ අනුව පළමුවරට කුඹල් කර්මාන්තය යළි නඟා සිටුවීම සඳහා රාජ්‍ය අමාත්‍යාංශයක්ද ස්ථාපිත කළ අතර වේවැල්, පිත්තල, මැටි, ලී බඩු සහ ග්‍රාමීය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණවීර ද අගය කළ යුතු වැඩ කොටසක් ඉටු කරමින් සිටියි.
නවගමුව, රනාල,කිරිමැටියාන, මැදගොඩ, දුම්මලසූරිය, බංගදෙනිය,යකෑගල්ල, රඹෑව, වළල, පඬුවස් නුවර, පිදුරුවැල්ල, කළුගමුව, කපුගම, බෙලිඅත්ත, යටියන, කිරින්ද, දෙදියවල, ධර්මපුර, විසුවමඩු, පුදුකුඩියිරුප්පු, මුල්ලියවලෙයි, නාච්චික්කුඩා, මඩුක්කරෙයි, කල්වියංකාඩු, කොඩිකාමම්, සංගානෙයි, නොච්චිකාමම්, එරාවුර්, කලවාංජික්කුඩි, පෙරියපොරතිව් ආදී ප්‍රදේශ රැසක මේ වනවිටත් ඉතා සාර්ථක ලෙස මැටි කර්මාන්තය ආශ්‍රිත නිෂ්පාදන සිදු කෙරෙන අතර වළන්, මුට්ටි, කළ ගෙඩි, ඇතිළී, නෑඹිලි,කොරහා, උළු, පෙති උළු, කොත්, පිහිලි, නළ ආදී මැටියෙන් සිදු කෙරෙන විවිධ නිෂ්පාදන එම ප්‍රදේශ ආශ්‍රිතව මේ වන විටත් නිෂ්පාදනය කෙරේ.
මෑතක සිට මෙරට ජනතාව සිය ආහාරපාන ආරක්ෂිත ලෙස සකස් කර ගැනීම සදහා මැටි ආශ්‍රිත වළං, උදුන් භාවිතයට වැඩි වැඩියෙන් පෙලඹී ඇති අතර ඊට ප්‍රධානතම හේතුව වී තිබෙන්නේ එක දිගට වාර්තා වූ ගෑස් කාන්දුවීම් හා ගෑස් ලිප් පුපුරා යාමේ සිදුවීම්ය. එම සිදුවීම් සමඟ බියට පත් බොහෝ ජනතාව මේ වන විට ආහාර පිසීමේ ක්‍රියාවලියට මැටි වළං හා මැටි ළිප් සඳහා යොමු වී තිබේ.
මෙරට මැටි කර්මාන්තය සඳහා රාජ්‍ය අනුග්‍රහය ද හිමි වී එම කර්මාන්තය සඳහාම වෙන්වූ අමාත්‍යාංශයක් ද ස්ථාපිත කර ඇති වටාපිටාවක වුවද මේ වන විට මැටි කර්මාන්තය ආශ්‍රිතව සිය ජීවිකාව පවත්වා ගෙන යන මැටි කර්මාන්තකරුවන් තම නිපැයුම් සිදු කර ගැනීමට අවශ්‍ය මැටි සපයා ගැනීමට නොහැකි වීමෙන් මේ වන විට දැඩි දුෂ්කරතාවන්ට පත්ව ඇත.වෙන්නප්පුව, කිරිමැටියාන ප්‍රදේශයේ නිෂ්පාදනය වන මැටි ලිප් සඳහාද මේ වන විට විශාල ඉල්ලුමක් පවතින නමුත් නිෂ්පාදන සිදු කිරීමට අවශ්‍ය මැටි සපයා ගැනීමට නොහැකිකම නිසා තමන් දැඩි දුෂ්කරතාවන්ට ලක් ව සිටින බව ඔවුන්ගේ අදහසයි. මැටි කර්මාන්තය සඳහා අවශ්‍ය මැටි හා අමුද්‍රව්‍ය සපයා ගැනීමට මතු වී ඇති දුෂ්කරතාවන් නිසා එම ක්ෂේත්‍රය ආශ්‍රිතව සිය ජීවනෝපාය මාර්ග පවත්වා ගෙන ගිය ජනතාවගේ ගැටලු පිළිබඳ යම් සොයා බැලීමක් සිදු කිරීමේ අරමුණින් මැටි කර්මාන්තය සාර්ථක ලෙස සිදු කරන ලද ප්‍රදේශයක් වන ගම්පහ දිස්ත්‍රික්කයේ කැලණිය, ගල් බොරැල්ල ප්‍රදේශයේ ජනතාවගේ අදහස් අප විමසූ අතර විෂය භාර අමාත්‍යවරයා ගේ ඡන්ද බල ප්‍රදේශයද කැලණිය ආසනය වීම හේතුවෙන් අප එම ජනතාවගේ එකී අදහස් සඳහා ඉතාම වුවමනාවෙන් යුතුවම සවන් දුන්නෙමු.
කැලණිය, ගල් බොරැල්ල හි පදිංචි බී බී ජයන්ති ද කාලයක් පුරා මැටි කර්මාන්තය ආශ්‍රිතව සිය ජීවනෝපාය පවත්වා ගෙන ගිය තැනැත්තියකි.
"මම පදිංචිව ඉන්නේ අත්කම් නිවාස ගම්මානයේ. මේ ව්‍යාපාරය ලාබ ලබන ව්‍යාපාරයක්. අපේ මහන්සියට හරි යන වටිනාකමක් මේ භාණ්ඩ අලෙවියෙන් අපිට ලැබෙනවා. කොහොම වුණත් මේ දිනවල තියෙන ප්‍රධානම ගැටලුව තමයි මැටි නොමැතිකම. මැටි ප්‍රවාහනය කරන අය කියන විධියට නම් මේ මැටි ප්‍රවාහනය සඳහා විවිධ තහංචි වැටී තිබෙනවා. මැටි ටික නොමැති වුණාම පාඩු සිදුවෙනවා. මේ දිනවල බියගම ප්‍රදේශයෙන් තමයි මැටි ලබා ගන්නේ. ඒ වගේම මැටි අඹරන මැෂින් අපට නැහැ. මේ නිසා රජයෙන් ඉල්ලා සිටිනවා; අපිට මේ සඳහා අවශ්‍ය පහසුකම් සහ සහන ලබා දෙන්න කියලා." .
ජයන්ති මහත්මිය මෙන්ම කැලණිය, ගල් බොරැල්ල හි පදිංචි එම්. සීලවතී ද පාරම්පරික ලෙස මැටි කර්මාන්තයේ යෙදෙන අතර අප සමඟ අදහස් දැක්වීමට එක්වූ ඇය සඳහන් කර සිටියේ කර්මාන්තයට අවශ්‍ය මැටි සපයා ගැනීම දුෂ්කර වීම නිසා මැටි සඳහා අධික මුදලක් ගෙවීමටද සිදු වී ඇති බවයි.
"මැටි සපයා ගැනීම ඇත්තටම ලොකු ප්‍රශ්නයක්. මේ නිසා කියුබ් කාලට රුපියල් අටදහසක් ගෙවන්න සිදු වුණා. ඒත් එහෙම ගෙන්වා ගත් මැටි ටිකත් තනිකරම රොඩු ගොඩක්. එවැනි ප්‍රමිතියෙන් තොර අමුද්‍රව්‍ය යොදා ගෙන අපිට මේ කර්මාන්ත කරන්න බැහැ.
අපි රජයෙන් විශේෂ ආධාර, උපකාර බලාපොරොත්තු වෙන්නේ නැහැ.නමුත් අපට තියෙන ප්‍රධානම ගැටලුව තමයි අවශ්‍ය වෙලාවට ණය මුදලක් ලබා ගැනීමට හැකියාවක් නැතිකම. ඒ නිසා අපට කරන ලොකුම උදව්ව තමයි අපේ ඉඩම් වල ඔප්පු ටික ලබා දෙන එක"
මැටි කර්මාන්තය සිය ජීවිකාව කර ගත් කැලණිය, ගල්බොරැල්ල, අත්කම් නිවාස හි බී. ජගත් ද අදහස් දක්වා සිටි අතර එහිදී ඔහු සඳහන් කර සිටියේ අවුරුදු 12 ක කාලයක සිට තමන් මෙම කර්මාන්තයේ නිරත වී සිටින බවයි.
"මට මේ රැකියාව උරුම වුණේ පරම්පරාවෙන්. මේක ඉතාම හොඳ කර්මාන්තයක්. හොඳ ලාබයකුත් තියෙනවා. අපිට මේ නිර්මාණ විකුණා ගැනීමේදීත් කිසිම ගැටලුවකුත් නැහැ. නමුත් දැන් තියෙන්නේ එකම ගැටලුව තමයි නිසි වෙලාවට මැටි ටික නැතිකම.
අපට මැටි ලැබෙන්නේ රණාල හා බියගම වැනි ප්‍රදේශවලින්. නමුත් මේ දිනවල ප්‍රමාණවත් තරමින් අවශ්‍ය මැටි සැපයීම සිදු වන්නේ නැහැ. අපි පදිංචිව සිටින මේ අත්කම් නිවාස ජාතික නිවාස සංවර්ධන අධිකාරියට අයත්. අපි මේ ඉඩම් වලට අවුරුදු 45 පමණ කාලයක් පදිංචි වී සිටිනවා. අපි ගෙවීම් කරලා තියෙන්නේ. නමුත් අපිට තවම ඔප්පු ලබාදීලා නැහැ. ඔප්පු නැතිවීමේ ප්‍රශ්නය තුළ අපට බැංකුවෙන් ණයක් ගන්න විදිහක් නැහැ"
මැටි කර්මාන්තයේ නියුක්ත වී සිටින මේ කර්මාන්තකරුවන්ගේ අදහස්වලට සවන්දීමෙන් පසු ගම්පහ දිස්ත්‍රික් වරාගොඩ සෙරමික් පුහුණු මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ රුෂාන් මාරඹගේ ව අපි හමුවුණෙමු.
"මෙම මධ්‍යස්ථානයෙන් සිදු කරන්නේ දිස්ත්‍රික්කයේ සිටින සෙරමික් හා මැටි ආශ්‍රිත කර්මාන්ත සඳහා යොමු වීමට කැමැත්තෙන් සිටින තරුණ පිරිස් සඳහා වෘත්තීය පුහුණුව ලබාදීමයි. 2022 වසර වෙනුවෙන් අපි තව නොබෝ දිනකින් පුහුණු වැඩසටහන් ආරම්භ කරනවා.
ඒ වගේම අම්පාර සෙරමික් පිඟන් සංස්ථාව මඟින් අපගේ නිෂ්පාදන සිදු කිරීමට අපට අවශ්‍ය මැටි ප්‍රමාණවත් ආකාරයෙන් සපයනවා. මේ නිසා ඕනෑම අයකුට අප සෙරමික් මධ්‍යස්ථානය මඟින් හොඳ ප්‍රමිතියෙන් යුතු මැටි ඉතාම අඩු මුදලකට මිලදී ගන්නත් අවස්ථාව සලසා දී තියෙනවා."
මැටි කර්මාන්තය නඟා සිටුවීම සඳහා වගකීම් පැවැරී ඇති විෂය බාර අමාත්‍යවරයා වන වේවැල්, පිත්තල, මැටි, ලී බඩු සහ ග්‍රාමීය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර ද හමු වුණු අප මැටි කර්මාන්තය මේ වන විට මුහුණ දී සිටින ගැටලු හා දුෂ්කරතා පිළිබඳවත් කර්මාන්තකරුවන් නඟා සිටුවමින් හා දිරි ගන්වමින් ඉදිරියට ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති නව වැඩසටහන් පිළිබඳවත් විමසා සිටියෙමු.
මේ වන විට වළං කර්මාන්තය සඳහා අවශ්‍ය ප්‍රධානතම අමුද්‍රව්‍ය වන මැටි සපයා ගැනීම දුෂ්කර වී ඇති බව ඒ කර්මාන්තයේ නියුතු වූවන් චෝදනා කර සිටිනවා. විෂය බාර අමාත්‍යවරයා හැටියට ඔබ මේ චෝදනාවට ලබා දෙන පිළිතුර කුමක්ද?
මැටි හිඟයක් ගැන කතා කළාට ඇත්ත වශයෙන්ම එවැනි හිඟයක් මට නම් පෙනෙන්නේ නැහැ. ඒත් මේ කියන මැටි හිඟයට විසඳුමක් විදිහට මේ වන විට අප අමාත්‍යාංශය හා ජනාධිපති කාර්ය සාධක බලකාය එක්ක එකතුවෙලා සෑම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකම ලේකම්වරුන්ට මැටි කියූබ් හයක් දක්වා මසකට කැණීම් කරන්නත් මැටි ප්‍රවාහනයටත් අවසර සලසලා දීලා තියෙනවා. ජාතික ශිල්ප සභාවේ ලියාපදිංචි ශිල්පීන්ට පමණයි එවැනි බලපත්‍රයක් ලබා ගත හැක්කේ. අවශ්‍ය අයට මැටි ප්‍රවාහනයට අවශ්‍ය බලපත්‍ර තම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් ලබා ගැනීමට පුළුවන්.
මැටි කර්මාන්තය බාර ගෙන ඇති අමාත්‍යවරයා හැටියට ඔබ මැටි කර්මාන්තයේ දියුණුවට ගෙන ඇති පියවර මොනවාද? දළ වශයෙන් මේ වෙනවිට දහදාහක පමණ පිරිසක් රට පුරා මැටි කර්මාන්තය සිය ජීවනෝපාය මාර්ගය කරගෙන තිබෙනවා. විධිමත් හා ක්‍රමානුකූල සැලසුමකට අනුව අප එලෙස මෙම කර්මාන්තයේ නිරත වී සිටින පිරිස දිරිමත් කිරීමට හා ඔවුන්ට අවශ්‍ය පහසුකම් ලබාදීමට කටයුතු යොදා තිබෙනවා.
ඒ අනුව මගේ අමාත්‍යාංශය මඟින් පසුගිය 2021 වසරේදී ගම්මාන සීයකට අවශ්‍ය යටිතල පහසුකම් ලබා දුන්නා. ඒ අනුව මැටි කර්මාන්තය දියුණු කරන්න අවශ්‍ය යටිතල පහසුකම්, තාක්ෂණික දැනුම ලබා දීලා හඳුනාගත් නව ව්‍යවසායකයන් 3000 ක් ඉදිරියට ගෙන ඒමට අප සමත්ව තිබෙනවා. 2022 වසර තුළ ගම්මාන 50 ක් තෝරාගෙන අවශ්‍ය තාක්ෂණික දැනුම, පුහුණුව, ලබා දෙන්න කටයුතු කරනවා. ඒ වාගේම නව නිපැයුම් පුහුණු කරන පොදු මධ්‍යස්ථානවලට අවශ්‍ය පහසුකම් ලබා දෙන්නත් කටයුතු කරනවා."
ඡායාරූප- සමන්ත වීරසිරි සහ
ලයනල් පී පෙරේරා (කැලණිය සමූහ)