
ගුරුවරියක වු ෆාතිමා ෆස්මිදා රමීස් ඉකුත් 02 දා මුස්ලිම් ජාතික කාන්තාවන්ට ආවේණික වූ අබායා ඇඳුමෙන් සැරසී පාසලට පැමිණ සේවයට වාර්තා කිරීමේදී ඊට පාසලෙන් එල්ලවූ විරෝධය අවසන් වූයේ මහත් කලබැගෑනියකිනි.
එහිදී ඇතිවු හදිසි තත්වයෙන් සම්මුගා හින්දු බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනිය වන ලිංගේස්වරී රවිරාජ් විදුහල්පතිනිය හා ෆාතිමා ෆස්මිදා රමීස් ගුරුවරිය තව දුරටත් ත්‍රිකුණාමලය මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිති. සම්මුගා හින්දු බාලිකා විද්‍යාලයේ මේ අබායා ඇඳුම් ගැටලුවට අද ඊයෙක ඇතිවූවක් නොවේ. එයට ඇත්තේ තරමක් දිගු ඉතිහාසයකි.
විද්‍යා පීඨ ගුරුවරියක්වූ ෆාතිමා ෆස්මිදා ගුරුවරිය ත්‍රිකුණාමලය සම්මුගා හින්දු බාලිකාවට පැමිණෙන්නේ 2013 වසරේදීය. ඊට පෙර ඇය සේවය කර ඇත්තේ මූතුර් මුස්ලිම් මධ්‍ය මහා විද්‍යාලයේය. ඒ ෆාතිමා ෆස්මිදා ගුරුවරියගේ පළමු පත්වීමයි. ඇය එම පාසලේ සේවය කරන විට පාසලට ඇඳ ඇත්තේ අබායා ඇඳුමයි.
1923 වසරේ ආරම්භ කර ඇති ත්‍රිකුණාමලය සම්මුගා හින්දු බාලිකා විද්‍යාලය ත්‍රිකුණාමලයේ පිහිටි ප්‍රකට පාසලක් මෙන්ම ජාතික පාසලකි.මෙහි සිසුවියන් 2500 ක් පමණ ඉගෙනුම ලබන අතර ඉන් බහුතරය දෙමළ සිසුවියන්ය. සියයට 4.5 ක් වෙන් කර ඇත්තේ මුස්ලිම් ජාතික දැරියන් සඳහායි. ත්‍රිකුණාමලය නගරයේ දෙමළ ජාතිකයන් හා මුස්ලිම් ජාතිකයන් අතර ඇත්තේ අනුපමේය බැඳීමකි. මේ නිසාම බොහෝ මුස්ලිම් ජාතිකයන් සිය දරුවන් හින්දු පාසල් වලට යොමු කිරීමට පැකිළීමක් නොදක්වයි. ත්‍රිකුණාමලයේ දෙමළ මාධ්‍ය පාසල්වල අධ්‍යාපනය ඉතාමත් ඉහළ මට්ටක පැවතීමද ඊට වඩාත් බලපා ඇති බව පෙනේ.
දෙවන බස සිංහල උගන්වන ගුරුවරියක් ලෙස ෆාතිමා ෆස්මිදා ගුරුතුමිය 2013 වසරේ සම්මුගා හින්දු බාලිකා විද්‍යාලයට පළමුවර පැමිණෙන විටද සැරසී ඇත්තේ අබායා ඇඳුමකිනි. ෆාතිමා ෆස්මිදාට එවකට විදුහල්පතිනිය ලෙස කටයුතු කළ සුලෝචනා දැනුම් දී ඇත්තේ තම පාසලේ ගුරුවරියන්ට අබායා ඇඳුමෙන් සැරසීමට අවසරයක් නොමැති බවත් ඇයට එය අපහසු කටයුත්තක් නම් වෙනත් පාසලකට මාරුවීමක් ලබා ගෙන යන ලෙසත්ය.
අබායා ඇඳුම සම්බන්ධයෙන් දිගින් දිගටම පාසලෙන් විරෝධය එල්ලවීමත් සමඟ ඔවුන් මෙම ගැටලුව අධ්‍යාපන අමාත්‍යාංශය වෙත යොමු කිරීමට කටයුතු කර තිබේ. එහිදී බලධාරීන් අදාළ ගුරුවරියන් සිවුදෙනාට දැනුම් දී ඇත්තේ අබායා ඇඳුම සම්බන්ධයෙන් විසඳුමක් ලබා දෙන තෙක් ඔවුන් ඒ ආසන්නයේ පිහිටි සහිරා මුස්ලිම් විද්‍යාලයට තාවකාලිකව අනුයුක්ත කිරීමට කටයුතු කරන බවයි. ඒ අනුව 2018.04.27 වන දින මෙම ගුරුවරියන් පිරිස සහිරා මුස්ලිම් විද්‍යාලයට අනුයුක්ත කිරීමට පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය කටයුතු කර තිබේ. 2019 වසරේ සිදුවු පාස්කු ප්‍රහාරය මෙය තව දුරටත් බලාත්මක කරන්නට ඇත. අධ්‍යාපන අමාත්‍යාංශය මෙම ගැටලුව සම්බන්ධයෙන් අවධානයක් යොමු නොකොට අදාළ ගුරුවරියන්ගේ තාවකාලික ස්ථාන මාරුවීම් දිගින් දිගටම යාවත් කාලීන කිරීමට කටයුතු කළ බව ෆාතිමා ෆෂ්මිදා කියා සිටි. මේ නිසාම ඔවුන් මෙම ගැටලුව සිය මානව හිමිකම් කඩකිරීමක් සේ සලකා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම් සභාවට පැමිණිලි කිරීමට වග බලාගෙන තිබේ. මේ ගුරුවරියන් පිරිස මුලින්ම ත්‍රිකුණාමලයේ පිහිටි ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම් සභාවට මේ සම්බන්ධයෙන් පැමිණිලි කළ ද පසුව ඔවුන් එය කොළඹ පිහිටි ප්‍රධාන කාර්‍යාලය වෙත යොමු කර ගෙන ඇත.
ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව මෙම ගැටලුව සම්බන්ධයෙන් සියලු පාර්ශ්වයන් අවස්ථා හතකදී පමණ සිදුකළ විමර්ශන අවසානයේ 2019.02.19 වන දින ලබා දී ඇති නිර්දේශය වී ඇත්තේ අදාළ ගුරුවරියන්ගේ මානව හිමිකම් පාසල් බලධාරීන් විසින් කඩවී කර ඇති බවත් පාසල් බලධාරීන් වහා එය නිවැරදි කිරීමට කටයුතු කළ යුතු බවත්ය.
“මානව හිමිකම් කොමිෂන් සභාවේ නිර්දේශයෙන් පස්සේ මට නැවත සම්මුගා විද්‍යාලයට වාර්තා කරන්න කියලා අමාත්‍යාංශයෙන් ලිපියක් ආවා. ඒ අනුව 2019 මාර්තු මාසයේ නැවත පාසලට ගියත් අර පරණ විදිහටම තමා පාසල කටයුතු කළේ. මානව හිමිකම් කොමිෂන් සභාවේ නිර්දේශ ක්‍රියාත්මක කළේ නැහැ. ආපහු අධ්‍යාපන අමාත්‍යාංශයෙන් මාව සහිරා විද්‍යාලයට අනුයුක්ත කරා. ඊට පස්සේ තමා අපිට සාධාරණයක් නොවන තැන මේක අධිකරණය දක්වා අරගෙන ගියේ“ ෆාතිමා ෆෂ්මිදා මේ සම්බන්ධයෙන් අධිකරණයට යෑමට සිදුවු හේතු කාරණා පැහැදිලි කළේ ඒ අන්දමනි.
සිය සංස්කෘතියේ අංගයක් වූ අබායා ඇඳුම පාසලට ඇදීමට පාසල් බලදාරීන් අත්තනෝමතික ලෙස ඉඩ නොදීම ඒ සම්බන්ධයෙන් අධ්‍යාපන බලධාරීන්ගේ නිහඬ පිළිවෙත සහ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ නිර්දේශ පාසල් බලධාරීන් පිළිනොපැදීම යන කාරණා මත ෆාතිමා ෆස්මිදා සිය නීතිඥවරු මඟින් අභියාචනාධිකරණයට රීට් පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.
නීතිපති දෙපාර්මේන්තුව මෙම රීට් පෙත්සම විභාග කිරීමේදී පැමිණිලි පාර්ශ්වය සහ අධ්‍යාපන අමාත්‍යාංශය අතර එකඟතාවකට පැමිණීමට කැමැත්ත පළ කර තිබේ.ඒ එකඟතාවට අනුව මානව හිමිකම් කොමිෂන් සභාව විසින් ලබා දුන් නිර්දේශ ඒ ආකාරයෙන් ක්‍රියාත්මක කිරීමට සහ අදාළ ගුරුවරියගේ හිඟ වැටුප් වර්ධක සමඟ යළි අදාළ විද්‍යාලයේම සේවයේ පිහිටුවීමට එකඟතාව පළකර ඇති බව ෆාතිමා ෆෂ්මිදාගේ සැමියා වන අබ්දුල් රහීම් රමීෂ් කියා සිටි. රමීෂ් සාහිරා විද්‍යාලයේ ඉංග්‍රීසි ගුරුවරයෙක් ලෙස කටයුතු කරයි. ෆාතිමා ෆෂ්මිදා ඉකුත් 02 දා සම්මුගා හින්දු බාලිකා විද්‍යාලයේ සිදුවු සිදුවීම පිළිබඳ විස්තර කිරීමට මුල පිරුවේ ඒ අන්දමනි.
ෆාතිමා ෆෂ්මිදා කියන අන්දමට එදින ඇය සුපුරුදු අන්දමින් අබායා ඇඳුමෙන් සැරසී පෙරවරු 7.10 ට පමණ පාසලට වාර්තා කර ඇති අතර එහිදී වත්මන් විදුහල්පතිනිය වන ලිංගේෂ්වරී රවිරාජ් මහත්මිය කියා ඇත්තේ මේ සම්බන්ධයෙන් ලොග් පොතේ සටහනක් තැබීමට අවශ්‍ය බවයි. පෙරවරු 7.30 ට පමණ ෆාතිමා ෆෂ්මිදා සිය සැමියා වන රමීෂ්ට දුරකතනයෙන් මේ බව දැනුම් දී ඇති අතර ඔහුගේ අදහස වී ඇත්තේද ඒ අනුව කටයුතු කරන ලෙසයි. නමුත් පෙරවරු 8.00 ට පමණ නැවත වරක් සිය සැමියාට කතා කළ ෆාතිමා ෆෂ්මිදා කියා ඇත්තේ,පිටස්තර පිරිස් පාසල තුළට පැමිණෙමින් සිටින බවත් තමාට මේ සම්බන්ධයෙන් යම් කිසි බියක් දැනෙන බවත්ය.
ෆාතිමා ෆෂ්මිදා කියන අන්දමට මෙම සිදුවීමේදී විදුහල්පතිනිය තමාට හෝ තමා විදුහල්පතිනියට පහරදීමක් සිදුව නැත. නමුත් මෙම සිද්ධියත් සමඟ පිටතින් පැමිණි පිරිස් තමාට තර්ජනය කරමින් පාසලෙන් පිටව යන ලෙස බැන වැදී ඇති අතර,ඒ සියල්ල තමා වීඩියෝ ගත කළ බව කියයි. ඒ අතරතුර එක්තරා කණ්ඩායමක් නියෝජනය කරන පුද්ගලයකු ෆාතිමා ෆෂ්මිදා ගේ දුරකතනය උදුරා ගැනීමට ඇය අසලට පැමිණ ඇති බවත් එහිදී ඇය සිය දුරකතනය ඇය හැද සිටි බලවුස් එක ඇතුළට දමා ගත් බව කියා සිටි. ෆාතිමා ෆෂ්මිදා ඉකුත් 02 දා සිදුවූ සිද්ධිය අප හමුවේ කියා සිටියේ ඒ අන්දමනි.
මෙම සිද්ධියත් සමග සම්මුගා හින්දු බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනිය වන නගුලේෂ්වරී රවිරාජ් හදිසි අසනීප තත්වයක් හේතුවෙන් රෝහල් ගත කර තිබේ. සම්මුගා විද්‍යාලයේ ගුරුවරියන් කිහිප දෙනකුම පොලිසිය හමුවේ සාක්ෂි දෙමින් කියා ඇත්තේ ෆාතිමා ෆෂ්මිදා විදුහල්පතිනියට පහර දුන් බවයි.
කෙසේවෙතත් නගුලේෂ්වරී රවි රාජ් රෝහල් ගත කිරීමට හේතුව හෘදය ස්පන්දනය වැඩීවිම බවත් ඇයගේ සිරුරේ පහරදීම් කිසිවක් නොමැති බවත් වෛද්‍යවරු තහවුරු කර තිබේ.
එපමණක් නොව මෙම සිද්ධියත් සමග තමාගේ බෙල්ල තදින් මිරිකු බව කියමින් රෝහල් ගත වූ ෆාතිමා ෆෂ්මිදාගේ සිරුරේ ද එවැනි පහරදීම් හෝ තැලීම් සීරීම් සිදුව නොමැති බවට වෛද්‍යවරු තහවුරු කර තිබේ. ඉකුත් 03 දා ඇයට රෝහලෙන් පිටව යෑමට අවසර ලබා තිබුණද ඇය තව දුරටත් රෝහලේම රැදී සිටි.
මෙම සිද්ධියත් සමඟ පාසලේ දරුවන් පාරට බස්සවා මෙය බරපතළ කිරීමට යම් යම් පාර්ශ්ව ගත් උත්සහයන් ත්‍රීකුණාමලය පොලිසියේ මූලස්ථාන පොලිස් පරීක්ෂක සමන් කේ ජයරත්න ක්‍රියාත්මක වී නවතා දමා තිබුණි.
“අපි දෙපාර්ශවයේම තත්වයන් සැලකිල්ලට ගෙන මේ ප්‍රශ්නය දුර දිග නොයා විසදීමට පියවර ගෙන තිබෙනවා.මේ සම්බන්ධයෙන් අධ්‍යාපන බලධාරීන් සාධාරණ පරීක්ෂණයක් සිදුකළ යුතුයි. අපි මේ දෙදෙනා රෝහලෙන් පිටවු පසු ඔවුන් සමථ මණ්ඩලයට යොමු කර විසඳුමක් ලබාදීමට අදහස් කරනවා. එතෙක් අදාළ ගුරුවරිය වෙනත් ස්ථානයකට යොමු කිරීමට බලධාරීන් එකඟතාව පළකර තිබෙනවා..“ යැයි ත්‍රිකුණාමලය මූලස්ථාන පොලිසි පරීක්ෂක සමන් කේ ජයරත්න වැඩි දුරටත් සඳහන් කරයි.
මේ සම්බන්ධයෙන් අප ත්‍රිකුණාමලය කොට්ඨාශ කලාපයේ අධ්‍යාපන අධ්‍යක්ෂ සිවා නන්දන් සිරිදරන්ගෙන් කළ විමසීමේදී ඔහු කියා සිටියේ,නීතිපති දෙපාර්මේන්තුව හා අධ්‍යාපන දෙපාර්මේන්තුව පැමිණි බව කියන එම එකඟතාව තමාට හෝ පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂට මෙතෙක් ලැබී නොමැති බවයි.
“ඒ නිර්දේශය අපිට යොමුකළා නම්, අපි තිබෙන තත්වය සලකා බලා කටයුතු කරනවා. මෙතන තිබෙන තත්වය මොකක්ද කියලා පිටස්තර අය දන්නේ නැහැ. කොහොම වුණත් මේ සිද්ධිය සම්බන්ධයෙන් අපි පරීක්ෂණයක් සිදුකර ගත හැකි පියවර ඉතා ඉක්මනින් ගැනීමට කටයුතු කරනවා..“ යැයි කියා සිටියේය.
ඉකුත් 02 දා සිදුවු මෙම සිද්ධිය සම්බන්දයෙන් සම්මුගා හින්දු බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනිය වන නගුලේෂ්වරී රවි රාජ්ගෙන් විමසීමක් කිරීමට උත්සහ කළද ඇය ඒ වන විට රෝහල් ගත කර සිටි බැවින් එය ව්‍යර්ථ විය.
මේ වන විට මේ සිද්ධිය සම්බන්ධයෙන් පැමිණිලිකාර පාර්ශ්වය වු සම්මුගා හින්දු බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනිය හා ෆාතිමා ෆෂ්මිදා ගුරුවරිය සමතයට පැමිණීමට පොලිසිය හමුවේ මේ වන විටත් කැමැත්ත පළ කර ඇත. සිද්ධිය සම්බන්ධයෙන් විසඳුමක් ලබා දෙන තෙක් ෆාතිමා ෆෂ්මිදා කොට්ඨාශ කලාප අධ්‍යාපන කාර්‍යාලය වෙත අනුයුක්ත කිරීමට පියවර ගෙන තිබේ.