ජන­තා­වට තිළිණ කරන අම්පාරේ අලුත් ජලා­ශය | සිළුමිණ

ජන­තා­වට තිළිණ කරන අම්පාරේ අලුත් ජලා­ශය

කළු­ග­ල්ඔය වේල්ල  ඈතට දිස්වන අයුරු
කළු­ග­ල්ඔය වේල්ල ඈතට දිස්වන අයුරු

මෙරට වී අස්වැන්නෙන් සියයට 20ක් පමණ ලබා දෙන්නේ සිංහල, මුස්ලිම්, දෙමළ ජනතාව සහයෝගයෙන් සිටින අම්පාර දිස්ත්‍රික්කයේ සරු කෙත්වතු මඟිනි. වසරේ මාස 3 – 4ක් අම්පාරට ඇතිවෙන්න වැස්ස ලැබුණත් වසරේ අනෙක් මාසවලදි අම්පාරේ දිස්ත්‍රික්කයේ පවතින්නේ වියළි කාලගුණයකි. ඒ නිසා අම්පාරට ඊසාන දිග මෝසමෙන් ලැබෙන වැසි ජලය අපතේ නොයවා මෙහිම සුරක්ෂිත කිරීම අම්පාරේ කෙත්වතු අස්වැද්දීමට අත්‍යවශ්‍ය වේ.

1948 දි මහමාන්‍ය ඩී. ඇස්. සේනානායකයන් අප රටේ විශාලතම ජලාශය ලෙස තවමත් පවතින අක්කර අඩි 77,000 විශාල අම්පාරේ ගල්ඔය සේනානායක සමුද්‍රය ඉදිකර අහසින් ලැබෙන ජලය සුරැකීමට පෙරමුණ ගත්තේ ඒ නිසා ම ය.

ඔහු ඇරඹූ අම්පාරේ වාරිමාර්ග විප්ලවය තවත් දියුණු වූයේ 2005 ක්‍රියාවට නැංවූ “මහින්ද චින්තනය” මඟිනි. ඒ අනුව 2014 එකල මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා විසින් අක්කර අඩි 45500 රඳවන රඹකැන්ඔය ජලාශය අම්පාරේ ජනතාවට දායාද කළේ ය.

1970 – 80 වකවානුවේ සිටම අම්පාරේ උහන ගොනාගොල්ල ප්‍රදේශයේ අති දුෂ්කර ගම්මානයක් වූ බණ්ඩාරදූව ගමේ දුප්පත් ජනතාව අම්පාර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට පැමිණ තම ප්‍රදේශයෙන් ගලා යන කළුගල්ඔය හරහා ප්‍රදේශයේ ඇති කඳු දෙකක් මැදින් වේල්ලක් බැඳ ඔවුන්ට කුඹුරු වගා කිරීමට ජලය ලබාගැනීමට ජලාශයක් ඉදිකිරීම සුදුසු බවට යෝජනා ඉදිරිපත් කළ බව ගම්වාසීහු පවසති.

අම්පාර වාර්මාර්ග අධ්‍යක්ෂ ඉංජිනේරු සුදත් ගමගේ පවසන පරිදි මේ පිළිබඳ වාරිමාර්ග හා පරිපාලන ප්‍රධානීන්ගේ ඇස් ඇරී ඇත්තේ 2005 දී පමණය.

ඒ අනුව 2011දී පමණ කළුගල්ඔය ජලාශය බණ්ඩාරදූව ගමේ ජනතාවට ඉදිකර දීමට සැලසුම් මහින්ද චින්තනය යටතේ සකස් කෙරුණේ ඔවුන්ට සෞභාග්‍යය උදාකරදීම සඳහා ය.

කළුගල්ඔය යාය 2 ගොවි සංවිධානය සභාපති ඊ.එම්. සෝමරත්න පවසන්නේ 2014 ඔක්තෝබර් 21 වැනි දින මේ ජලාශයේ ඉදිකිරීම් ආරම්භ කළ බවයි.

“අපේ පරම්පරා පැවැත එන්නේ 1815 වෙල්ලස්ස කැරැල්ල සමයේ ආරක්ෂාව පතා කඳුවලින් වටවූ බණ්ඩාරදූවට පැමිණි ජනතාවගෙන්.

1990දී අපේ ගමට කොටි ගහලා 25 දෙනෙක්ව මරලා දැම්මා. මම බේරුණේ බොහොම අමාරුවෙන්. ඒත් අපි මේ ගම දාලා නොගියේ මේ පොළොවේ තිබෙන සාරවත් බව නිසයි.

කළුගල්ඔය හැම වසරේම අග කාලයේදී පිටාර දානවා. ඉන් පස සරු වෙනවා. නමුත් අපිට ඒ ජලයෙන් වැඩක් ගන්න බැරුවයි තිබුණේ. ඒ සේරම වතුර ටික පහළ නවකිරිවැවට ගිහින් මහ මුහුදට නිකම්ම ගලා යනවා.

මේ ජලාශ ව්‍යාපෘතිය පසුගිය වසරෙදි අවසන් කළා. ව්‍යාපෘතිය ක්‍රියාත්මක වන විට අපේ ගමේ පවුල් 1000කට විතර කුඹුරු කරන්න ජලය ලැබෙනවා. ඒ පිළිබඳ ජනපතිට, අගමැතිට, වාරිමාර්ග ඇමැති චමල් රාජපක්ෂයන්ට අපි ස්තුතිවන්ත වෙනවා.” සභාපතිවරයා කීය.

ලොව බලවත් රාජ්‍ය පවා විශ්මයට පත්කරන වාරි තාක්ෂණයක් ශ්‍රී ලංකාව සතුව ඇත.

ලොව ප්‍රථම වැව වන්නේ ද අප රටේ ඇති අභය වැවයි. ඒ අනුව වාරි කර්මාන්තය හා කෘෂිකාර්මික ආර්ථික නැඹුරුව කෙරෙහි ශ්‍රී ලාංකිකයන් තුළ තිබූ දක්ෂතාව ලොවට ම විදහා පෙන්වා ඇත.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂයන්ගේ සංකල්පයක් අනුව දැන් දිවයිනේ පැතිරුණු වැව් අමුණු ප්‍රතිසංස්කරණය කරමින් සිටී. සෞභාග්‍යමත් දේශයක් ගොඩනැඟීමේ මෙහෙයුම වශයෙන් ඊට අනුබද්ධව වාරිමාර්ග ඇමැති චමල් රාජපක්ෂයන් මෙහෙය වන ‘වාරි සෞභාග්‍යා’ වැඩසටහන මෙහිදී කැපී පෙනේ. එමඟින් රටේ වී ගොවිතැන ජීවිකාව කරගත් ගොවි ජනතාවට එම කුඹුරුවල යල මහ දෙකන්නයම වගා කර ගැනීමට හා තම කෘෂි අස්වැන්න වැඩිකර ගැනීම සඳහා ජලය ලබා ගැනීමට අවස්ථාව ලැබී ඇත. ඒ යටතේ අම්පාර දිස්ත්‍රික්කයේ ද අලුත් ජලාශ කිහිපයක්ම පසුගිය කාලයේ ආරම්භ විය.

අම්පාර දිස්ත්‍රික්කයේ උහන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් බණ්ඩාරදූව ගමේ වැසියන් වැසි ජලය මඟින් තම හේන් ගොවිතැනේ යෙදුණත් අස්වද්දන භූමියට සාපේක්ෂව හේන්වල අස්වැන්න නොලැබිණි.

වසරේ මාස 3ක් වැස්ස ලැබුණත් අනිත් මාසවල වියළි කාලගුණයක් පැවතීම ඊට හේතුවයි. එනිසා ඔවුන්ට අවශ්‍යතාව තිබුණේ කෙසේ හෝ කුඹුරක් අස්වද්දා ගැනීමට ජලය ලබා ගැනීමයි. මෙම දිගුකාලීන ගැටලුවලට පිළිතුරක් වශයෙන් 2014දී මහින්ද චින්තනය යටතේ කළුගල්ඔය ජලාශය ඉදි කෙරිණි.

අම්පාර වාරිමාර්ග අධ්‍යක්ෂ ඉංජිනේරු සුදත් ගමගේ පවසන පරිදි කළුගල්ඔය ජලාශය ඉදි කෙරෙන්නේ උහන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ බණ්ඩාරදූව ගම්මානය අසලින් ගලා යන කළුගල්ඔය හරස් කර මීටර් 300ක් දිගැති වේල්ලක් බැඳීමෙනි. අම්පාර දිස්ත්‍රික්කයේ ගොවිබිම් බොහොමයක් සේනානායක සමුද්‍රයෙන් පෝෂණය වුවද බණ්ඩාරදූව ගම්මානයේ ආශ්‍රිත වගාබිම් ඒ යටතේ පෝෂණය වූයේ නැත. ඒ නිසා 2011 වර්ෂයේදී මහින්ද චින්තනය වැඩසටහන යටතේ මෙම ව්‍යාපෘතිය පිළිබඳ ශක්‍යතා පරීක්ෂා කර බලා පරිසර ඇගයීම් වාර්තාවෙන් අවසර ලැබීමෙන් පසු 2014 ඔක්තෝබර් 21 මෙහි ඉදිකිරීම් ආරම්භ කළ බව වාරිමාර්ග අධ්‍යක්ෂවරයා පවසයි.

ජලාශයේ ඉදිකිරීම් පිළිබඳ කරුණු පැහැදිලි කරන අම්පාර වාරිමාර්ග ඉංජිනේරු ඒ.එල්. නියාස් පවසන්නේ මෙහිදී මුලින්ම සිදු කළේ කළුගල්ඔය හරහා මීටර් 60ක් උස මීටර් 300ක් දිග වේල්ලක් බැඳ අක්කර අඩි 8177 ක ධාරිතාවක් ඇති ජලාශයක් ඉදිකිරීම බවයි.

“මේ මඟින් කුඹුරු අක්කර 1500 යල මහ අස්වැද්දීමට දියවර සපයනවා. ඒවා සපයන්නේ ජලාශයෙන් ගලා යන ප්‍රධාන ඇළ, දකුණු ඉවුරු ඇළ හා වම් ඉවුරු ඇළ මඟින්. ප්‍රධාන ඇළ මීටර් 800ක් දිග අතර දකුණු ඉවුර ඇළ කිලෝමීටර් 12ක් දිගයි. වම් ඉවුරු ඇළ කිලෝමීටර් 4.5ක් දිගට ගලා යනවා.” ඉංජිනේරුවරයා පවසයි.

කළුගල්ඔය ජලාශය වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් තනිකරම නවීන තාක්ෂණික ක්‍රමෝපායන් යොදා ගනිමින් ඉදිකළ ජලාශයකි. ඒ වේල්ල ඉදිකර ඇත්තේ පස්වලිනි. රළපනාව කළුගල් යොදා හොඳින් ශක්තිමත් කර ඇත.

ඒ අනුව මෙම සුවිශේෂී නිර්මාණයට අදාළ සියලු කටයුතු සැලසුම් සකස් කිරීම, ඉදිකිරීම වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ඉංජිනේරුවරුන්ගේ හා සෙසු කාර්ය මණ්ඩලයේ ඍජු දායකත්වය මත පමණක් සිදු කෙරුණි.

මෙහිලා දේශීය හෝ විදේශීය කොන්ත්‍රාත්කරුවන් ලබා නොගැනීම සුවිශේෂී කාර්යයකි.

ඉදිකිරීම් ක්‍රියාත්මක වීමේදී ප්‍රදේශයේ ජනතාවට ද ව්‍යාපෘතියේ රැකියා අවස්ථා හිමිවිය. විශේෂයෙන් පෙදරේරුවන් හා යන්ත්‍ර ක්‍රියාකරුවන් රැසකට මෙමඟින් රැකියා ලැබිණි.

මෙම ජලාශ ව්‍යාපෘතිය මඟින් ප්‍රදේශයේ ගොවි පවුල් 1000කට ආසන්න පිරිසකගේ කුඹුරු වගා සරුවී ආර්ථිකය සවිබල ගැන්වීම සිදුවෙමින් පවතී. කලින් ගොඩ ගොවිතැන් පමණක් වගා කළ ගොවීහු දැන් දෙකන්නයේම කුඹුරු වගා කිරීමට සූදානම්ව සිටිති.

ඊට අමතරව මෙම ව්‍යෘපෘති නිසා ප්‍රදේශයේ අංශ ගණනාවක සංවර්ධනය සිදුවී එමඟින් ප්‍රතිලාභීන්ගේ අනාගතය මැනවින් සුරක්ෂිත වන තත්ත්වයකට පත්ව තිබේ.

විශේෂයෙන් දීර්ඝ කාලයක් තිස්සේ කළුගල්ඔයට පහළින් ඇති මඩකලපුව දිස්ත්‍රික්කයේ ඇති වූ ගංවතුර පාලනය කිරීමට ද අවම කිරීමට ද මෙම ජලාශ ව්‍යාපෘතිය හේතුවී ඇත. ඊට අමතරව මිරිදිය ධීවර කර්මාන්තය ආශ්‍රිත නව රැකියා අවස්ථා ඇතිවීම.

එමඟින් ධීවර පවුල්වල ආර්ථික අභිවෘද්ධිය සහතික වීම, වනජීවීන්ගේ පානීය ජල අවශ්‍යතා සපිරීම මෙම ජලාශය ආශ්‍රිත මනස්කාන්ත පරිසර පද්ධති නිසා දෙස් විදෙස් සංචාරක කර්මාන්තයට දොරටු විවෘත වීම මෙමඟින් ලැබුණු ප්‍රතිලාභ අතර ප්‍රධාන වේ.

අම්පාර වාරිමාර්ග ඉංජිනේරු ඒ.එස්. නියාස් පවසන පරිදි මෙම ජලාශ ව්‍යාපෘතිය මඟින් බණ්ඩාරදූව ප්‍රදේශයේ ඉඩම් නොමැති ගොවීන් වෙත වී ගොවිතැන සඳහා අක්කර 1 ½ ක් ද ගොඩ ගොවිතැන සඳහා අක්කර ½ ක්ද දීමට යෝජිතය. ප්‍රදේශයේ පානීය ජල අවශ්‍යතා සපුරාලීම, සත්ත්ව පාලන කටයුතු ශක්තිමත් කිරීම සඳහා ද මෙම ව්‍යාපෘතිය මඟින් සැලකිය යුතු දායකත්වයක් සපයා ඇත.

මාර්ග ඇතුළු යටිතල පහසුකම් සංවර්ධනය සිදුවීම නිසා දරිද්‍රතාවෙන් මිරිකී සිටි ජනයාට තම කෘෂි නිෂ්පාදන වැඩි මිලට අලෙවි කර ගැනීමට අවස්ථාව ලැබී ඇත.

ආර්ථික අතින් ඔවුන් සවිබල ගැන්වීම හේතුවෙන් ඔවුන්ගේ දරු පරපුරට උසස් අධ්‍යාපන පහසුකම් ළඟාකර දීමට ද හැකියාව ලැබීම මෙහි අතුරු ප්‍රතිඵලයකි.

ඒ පිළිබඳ කරුණු පැහැදිලි කරන වාරිමාර්ග ඇමැති චමල් රාජපක්ෂයන් පවසන්නේ කළුගල්ඔය ජලාශය ජනතා අයිතියට පත්කිරීම මඟින් අම්පාර දිස්ත්‍රික්කයේ කෘෂි නිෂ්පාදනය ඉහළ නංවන බවයි. ප්‍රදේශයේ ජනතාවගේ කෘෂිකාර්මික, සාමාජික හා ආර්ථික ක්ෂේත්‍රවල දියුණුව මෙමඟින් ඇතිවන බවත් විශේෂයෙන් අම්පාර දිස්ත්‍රික්කයේ සිටින සියලු ජාතීන්ට ජාති භේදයෙන් තොරව දියවර ලබාදීමට රජය කටයුතු කරන බවත් ඇමැතිවරයා අවධාරණය කරයි.

නව කළුගල්ඔය ජලාශයේ ජලපෝෂක ප්‍රදේශය වර්ග සැතපුම් 16කි. අම්පාර වාරිමාර්ග ඉංජිනේරු ඒ.එල්. නියාස් පවසන පරිදි මෙම ජලාශයේ මතුපිට වර්ග ප්‍රමාණය අක්කර 575කි. සොරොව්ව මඟින් තත්පරයට ඝන අඩි 60ක ජල ධාරිතාවක් කුඹුරුවල ප්‍රයෝජනයට යවනු ලැබේ. ජලාශයේ ජලය සම්පූර්ණයෙන් පිරුණු පසු පිටවානේ ඇති ගේට්ටු දෙක ස්වයංක්‍රීයව විවෘත වන ලෙසට සකස් කර ඇත.

අම්පාර වාරිමාර්ග අධ්‍යක්ෂ සුදත් ගමගේ පවසන පරිදි මෙම ව්‍යාපෘතිය මඟින් බණ්ඩාරදූවේ පමණක් නොව උහන, ගොනාගොල්ල වැනි ප්‍රදේශවල ජනතාවගේත් කෘෂිකාර්මික, සාමාජික හා ආර්ථික ප්‍රගතියක් ඇතිවේ.

එහි ගොවි ජනතාවට යල මහ දෙකන්නයේ වගා කිරීමට හැකියාව ලැබේ. ප්‍රදේශයේ වනාන්තරවල ජීවත් වන වැස්ස අඩු කාලයට ජල බිඳක් නොමැතිව දුක් විඳින සතුන්ට ද මේ ජලාශයෙන් බීමට ජලය ලැබේ.

ව්‍යාපෘතිය මඟින් ගොනාගොල්ල - බණ්ඩාරදූව කිලෝමීටර් 3.6ක් වන මාර්ගය කාපට් අතුරා සංවර්ධනය කර දී ඇත. තෙකළා විදුලිය ද ඔවුන්ට ලැබී ඇත.

කළුගල්ඔය ව්‍යාපෘතිය පිළිබඳ ප්‍රදේශයේ ගොවි සංවිධාන සියල්ලේ සාමාජිකයෝ සිය සතුට පළකරති.

කළුගල්ඔය 2 ගොවි සංවිධානයේ සභාපති ඊ.එම්. සෝමරත්න පවසන්නේ අහස් දියෙන් මෙතෙක් කල් ගොඩ ගොවිතැන් කළ තමන්ට දැන් ජලාශයේ වතුරෙන් හොඳින් යල මහ දෙකන්නයේ කුඹුරු වැපිරීමට හැකි බවයි.

ප්‍රදේශයේ ගොවි නායකයකු වන ඩී. ඇම්. සජීව අනුරුද්ධ පවසන්නේ මීට පෙර නව කිරිවැවට ගිය කිසිම වැඩක් නොගත් මහා ජලධාරිතාවකින් දැන් අපේ ගොවි පවුල් 1000කට විතර කුඹුරු කිරීමට දෙකන්නයේම ජලය ලැබෙන බවයි.

ඒ පිළිබඳ ජනපතිට, අගමැතිට හා වාරි ඇමැතිට ස්තුතිවන්ත වන බවත් අනුරුද්ධ පවසයි.

මෙම ජලාශය මඟින් අස්වද්දන කුඹුරුවලින් බසින ජලය මඩකලපුව දිස්ත්‍රික්කයේ නවකීරිවැවට ද එක්වී එමඟින් එහි ගොවීන්ට ද ප්‍රතිලාභ රැසක් ලැබේ.

සමස්ත ලෙස ගත්විට මෙම කළුගල්ඔය ව්‍යාපෘතිය හුරුබුහුටි නමුත් කාර්යක්ෂමතාවෙන් ඉහළ ව්‍යාපෘතියකි.

මේ ව්‍යාපෘතිය නිසා ප්‍රදේශයේ සිටි දුප්පත් ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ යමින් තිබේ. ඒකපුද්ගල ආදායම ද වැඩි වෙමින් ඇත. ඒ නිසා දිගුකලක් කාගෙවත් හව්හරණක් නැතිව සිටි මේ ප්‍රදේශයේ ජනතාවට දැන් සුබවාදී අනාගත අපේක්ෂාවන් සමඟ සංවර්ධන අරුණාලෝකය ලැබෙමින් පවතී. ඒ නිසාම ඒ ප්‍රදේශයේ ජනතාව දැන් කියන්නේ “දැන් අපිට ඉස්සරට වඩා හොඳා” යනුවෙනි.

සේයාරූ :-අමින්ද ප්‍රනාන්දු

වාරිමාර්ග අමාත්‍යාංශයේ මාධ්‍ය ඒකකය

 

Comments