වැලිගම හඬවා මුහුදට බිලි වුණු දැරියන් දෙදෙනා | Page 2 | සිළුමිණ

වැලිගම හඬවා මුහුදට බිලි වුණු දැරියන් දෙදෙනා

වැලිගම වෙරළ උද්‍යානය මේ වන විට විදේශීය සංචාරකයන්ගෙන් පිරීයමින් ඇත්තේ සංචාරක කර්මාන්තයේ නියළෙන්නන්ගේ අතමිට සරු කරමිනි. ඒ නිසාම වසරකට වැඩි කාලයකට පසු රටේ ආර්ථිකයටත් ප්‍රදේශවාසීන්ගේ ආර්ථිකයටත් යම් අස්වැසිල්ලක් ඇතිවෙමින් තිබියදී ඒ සතුට ලබා දුන් වෙරළම එතෙක් පැවති සතුට පරයා ප්‍රදේශවාසීන්ගේ නෙත් කඳුළිින් තෙමාදැමූවේ මල් කැකුළු වන් දියණියන් දෙදෙනකුගේ දිවි අහිමි කරමිනි.

ඒ ඉක්තු විසිතුන්වැනිදාය. උදෑසන පැවති අධික සිසිල් බව තුරන්කරමින් පෑයූ හිරු තම ආලෝකයේ චණ්ඩ බව පතුරුවමින් මුඳුන්වෙමින් තිබුණේය. විදේශයන් වෙරළ සිරි විඳිමින් ද ධීවරයන් තම සුපුරුදු රැකියා කටයුතුවල නිරතවෙමින් ද සිටියදී මහ මුහුද තුළ මහා අමුත්තක් ඇතිවෙමින් තිබෙනු ඒ කිසිවකුටවත් දැනුණේ නැත. අසරණ දියණියන් දෙදෙනකුගේ ජීවිත නතු කරගන්න මාන බලමින් සිටි මාරයා දියවැලකට අරක්ගෙන මුහුදු පතුලේ සැඟව සිටියේ තම වාරය එනතුරු නිසොල්මන් විලසය.

ඒ අතර වැලිගම හේචන්ද්‍ර ගුණසේකර විද්‍යාලයේ නවය ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ ඉමල්ෂා මල්ෂාණි (14) දියණිය යොවුන්වියට පාතැබීමේ ප්‍රීතිය නිමිත්තෙන් ඇය හදාවඩාගත් මිත්තණිය, මව හා ඥාතීන් එක්ව පැවැත්වූ මංගල සාදය පැවතියේ පසුගිය විසිදෙවැනිදාය. වැලිගම, මූදුගමුව, හබරල ගෙවත්ත නිවසේ පැවති සාදයට ප්‍රදේශවාසීන් මෙන්ම බද්දේගම ඇතුළු පිට ප්‍රදේශවල සිට පැමිණි පවුලේඥාතීන් රැසක් ද එක්ව සිටියහ. උත්සවය සතුට හා විනෝදය පිරි එකක් විය. දිනය ගෙවී ගියේ එම සතුට මැදය. 

විසිතුන්වැනි දනට හිරු උදාවීමෙන් පසු හබරල ගෙවත්ත නිවස යම් කලබලකාරී බවක් ගෙන තිබුණේ පෙරදින පැවති උත්සවයට ගෙන ආ බඩුමුට්ටු අස්පරස් කරමින් තිබූ නිසාය. නිවසේ පවිත්‍රතා කටයුතු නිමවද්දි එක්ව සිටි දරු දැරියන්ට මුහුදේ නාන්නට ආශාවක් ඇතිවී තිබුණේ පවුලේ ඥාතීන් එක්ව සිටි මෙහොතෙන් ප්‍රයෝජනයක් ගනිමිනි. ඒ අනුව 23 දින දහවල් පුංචි දරුවන්ගේ ඉල්ලීම ඉටුකරමින් වැලිගම මුහුදු තීරයේ නාන්නට පවුලේ වැඩිහිටියන් කිහිපදෙනෙකු සමඟ දරුවන් එක්ව සිටියේය. එලෙස එක්ව සිටි පිරිස දහනම දෙනෙකු පමණ විය.

මුහුදේ නාන්නට පිරිස පිටත්වද්දී නව යොවුන් වියට පත්ව සිටි ඉමල්ෂා මල්ෂාණිට ඊට සහභාගී වීම තහනම් වූයෙන් ඇය තුළ ඇතිවූයේ දුකකි. ඒ නිසාම ඉමල්ෂා ඉකිබිඳිමින් හඬන්නටවූ අතර එය මිත්තණිය හා අම්මා තුළ ඇති කළේ දුකකි. දැරියට ඇති ආදරය නිසා ගමනට එක්කවන්න ඉමල්ෂාගේ මිත්තණිය හා මවගෙන් අවසරය ලැබුණි.

වැලිගම වෙරළ තීරයට පැමිණි පිරිසේ සිත සතුටින් පිරී ගියේ පෙර දිනටත් වඩා විනෝදවීමේ අවස්ථාව උදාකර ගනිමිනි. ඒ නිසාම ඇතැම් දරුවන් වෙරළේ වැලි අතගාමින්, වැලි වලින් විවිධ නිර්මාණ සිදුකරමින් සිටියදී වැඩිහිටියන් දෙදෙනෙකු සහ දැරියන් හතර දෙනෙකු මුහුදේ නාන්නට පටන් ගත්තේය.

චණ්ඩ දියවැලක් ලෙසින් එකවර පැමිණි මරුවා දැරියන් හතරදෙනකු දිය යටට රැගෙන යාමට වෙර දරද්දී එය දුටු වැඩිහිටියකු කෑගසන්නට පටන් ගත්තේ දියණියන් මුහුදේ ගසාගෙන යන බව පවසමිනි. කෑ ගසන ශබ්දයට වෙරළ තීරයේ සිටි ධීවරයන් කලබලවී එතනට දිවවිත් තම ජීවිත පරදුවට තබා මහ මුහුදට පැන්නේ අසරණ දියණියන්ගේ ජීවිත බේරාදීමේ අරමුණෙනි. එහෙත් මරුවා ඊට වඩා බලවත්ව සිටියේය. දියවැල කෙතරම් චණ්ඩ ලෙස හැසිරුණ ද ධීවරයන් දියණියන් බේරාගැනීමේ උත්සාහය අත්නොහළ අතර චණ්ඩ රළ පහර අතරින් මුහුදු පතුලට ගිලෙමින් සිටි දියණියන් දෙදෙනකු ගොඩබිමට ගෙන එන්නට ක්‍රියාකරද්දී මරුවා විසින් ඉමල්ෂා මල්ෂාණි සහ සෙනුරි ඉමල්ෂා (20) මුහුදු පතුලට රැගෙන ගියේ රැස්ව සිටිවුන්ගේ ළතෝනි හඬ මධ්‍යයේය.

එම අවාසනාවන්ත සිදුවීමෙන් නව යොවුන්වියට පත්වීම නිමිත්තෙන් පෙරදින පැවති උත්සවය සමරන ලද වැලිගම හේමචන්ද්‍ර ගුණසේකර විද්‍යාලයේ නවවැනි ශ්‍රේණියේ අධ්‍යාපනය ලැබූ ඉමල්ෂා මල්ෂානි (14) දියණිය සහ ඇයගේ ඥාති සහෝදරියක වූ බද්දේගම අම්පෙගම පදිංචි නන්දසාර ජාතික පාසලේ අධ්‍යාපනය ලබමින් මෙවර අපොස උසස් පෙළ විභාගයට පෙනී සිටීමට සූදානමින් සිටි සෙනුරි ඉමල්ෂා (20 ) දියණියද අවාසනාවන්ත ලෙස මුහුදු පත්ලේ සැඟව ගියහ.

දිවිපරදුවට තබා ධීවරයන් සිදුකළ උත්සාහයෙන් දිවි බේරාගත් වැලිගම මුදුගමුව පදිංචි ඉෂාරා සෙව්වන්දි (14 ) සහ ඉසුරින්දි චතුරිකා (21 ) දියණියන්ට මුහුදු වෙරළේදී අවශ්‍ය මූලික ප්‍රථමාධාර ලබා දීමෙන් පසු වැලිගම වලාන රෝහලට ඇතුළත් කර අනතුරුව මාතර මහ රෝහලට මාරු කර යවනු ලැබූ බව පොලීසිය සඳහන් කළේය. දිවි බේරාගත් දියණියන් දෙදෙනා මරුමුවට පත්වූ දියණියන් දෙදෙනාගේ සහෝදරියන්ය.

දරුවන් සමඟ මුහුදේ දිය නෑමට පැමිණ එම අත්දැකීමට මුහුණ පෑ නිලූකා සඳමාලි තම අත්දැකීම මෙසේ විස්තර කළා ය.

“මම පදිංචි වෙලා ඉන්නේ බද්දෙගම. අපි සෑම අවුරුද්දකම වැලිගම පැමිණි පසු හැමෝම එක්ක මූදේ නාන්න යනවා. දරුවෝ ඇතුළු අපි දහනම දෙනෙක් පමණ මූදෙ නාන්න ගියා. දූලා හතර දෙනෙක් සහ මමත් මහත්තයත් විතරයි නෑවේ. අනිත් කට්ටිය බලාගෙන හිටියා. අපි නාද්දී එකවරම මුහුදේ වතුර අඩු වෙලා දිය වැලක් ආවා. දරුවෝ ගහගෙන යනවා කියලා කෑගහන සද්දෙට මේ ආසන්නව හිටපු කට්ටියක් ඇවිත් බේරා ගන්න උදව් කළා. ඒ වෙලාවේ දෙන්නෙක් දිය වැලකට ගසාගෙන ගියා. තව දෙන්නෙක් බේර ගත්තා. අපි හැමෝම පවුලේ ඥාතීන්. කවදාවත් නොවිච්ච දෙයක් තමයි මේ සිදුවුණේ. දෙවියනේ අපි කොහොමද මේ දුක දරා ගන්නේ”

දිවි පරදුවට තබා දියණියන් බේරාගැනීමට උත්සාහ ගත් ධීවර කාර්මිකයකුවූ එස්. එච්. නයනජිත් ප්‍රියංකර (31) තම අත්දැකීම මෙසේ විස්තර කළේය.

“මම වැලිගම පදිංචි ධීවර රැකියාව කරන්න පටන් අරන් දැනට අවුරුදු දොළහක් දහතුනක් විතර වෙනවා. මේ සිදුවීම වන විට අපි කණ්ඩායමක් මාළු දැල් සකස් කරමින් සිටියේ. ඒ අවස්ථාවේ මල්ලි කෙනෙක් කෑගහලා කිව්වා පිරිමි ළමයෙක් ගහගෙන යනවා කියලා. බලනකොට පිරිමි ළමයෙක් නෙවෙයි ගෑනු ළමයි හතර දෙනෙක් ගිලිලා තියෙන්නෙ. ඉතින් මමයි අබේසේකර, ජයන්ත කුමාර, සර්වජිත් සහ එස්. සුපුන් එකතු වෙලා මේ දරුවො හතර දෙනා බේරගන්න උත්සාහ කළා. දියවැල් නිසා පුදුම අමාරුවක් තිබුණෙ. ඒ වෙලාවේ කොහොමහරි උත්සාහ කරල දරුවෝ දෙන්නෙක් බේරා ගත්තා. ඒ ළමයි ගොඩබිමට ගෙනල්ලා ප්‍රථමාධාර දීලා ඉක්මනට රෝහල් පිටත් කළා. මේ දරුවෝ කාගේ කවුරුද? කොහෙද? කියලා අපි බැලුවේ නෑ. අපි කළ යුතු දේ ඉක්මනින් කළා. අපි හිතුවේ ට්‍රිප් එකක් ආපු කට්ටියක් කියලා. කොහොමවුණත් අවදානම නොකතා බොහෝ අවස්ථාවල ජීවිත බේරා ගත්තා.

කිසිදු දෙයක් බලාපොරොත්තුවෙන් නෙවෙයි අපි මේවා කරන්නේ. අපි ඉල්ලා සිටිනවා ජනතාවගෙන් මෙවැනි අවදානම් ස්ථානවල දිය නෑමෙන් වළකින්න කියලා. රජයෙන් වුණත් මේවා ගැන බලා මෙවැනි තැන් වල මුහුදේ නාන්න එපා කියා දැන්වීමක් හරි ගහනවා නම් හොඳයි. හැම අවුරුද්දෙම මේ අවසනාවන්ත සිදුවීම මෙතැන වෙනවා. මේ ගැන මීට වඩා බලන්න ඕන. අපරාදෙ අසරණ ජීවිත මේ විනාශ වෙන්නේ”

මිත්තණියගේ හා මවගේ රැකවරණය හා අසීමිත ආදරය මැද දිවි ගෙවූ මූදුගමුවේ ඉමල්ෂා මල්ෂාණි තමන් හීන බලමින් සිටි යොවුන් වියට පාතැබීමේ උත්සවයේ සතුටට උපරිම විඳිමින් ද පෙබරවාරි මස හත්වැනි දින සිට ආරම්භ වීමට නියමිත උසස්පෙළ විභාගයට පෙනීසිට ජීවිතය දිනන්නට හීන දකිමින් සිටි බද්දේගම සෙනුරි ඉමල්ෂා අද අප අතර නැත. හිතපිත් නැති මහ මුහුද ඔවුන්ගේ ජීවිත උදුරා ගෙන ඇත. ඒ නිකම්ම නොවේ. වසර ගණනක සිට මෙලෙස ජීවිත අහිමි වීම පිළිබඳ නෑසූ කන්ව සිටි බලධාරීන්ගේ නෙත්සිත් හැර බලන්නට යළිත් වතාවක් අවස්ථාව ලබා දෙමිනි.

මහා ඛේදවාචකයක් යළිත් ඇතිවන්නට පෙර මෙම සිදුවීම මූලික කර ගෙන වැලිගම මුහුදු තීරයේ මෙවැනි අනාරක්ෂිත තැන් පිළිබඳ ජනතා අවධානයට ලක්වන සේ දැන්වීම් පුවරු හෝ ප්‍රදර්ශනය කර යහපත් වැඩසටහනක් දියත් කළ යුතුය යන්න සැමගේ අදහසයි.

Comments