
- රතුකුරුස හෙදියක් ලෙස කටයුතු කිරීම මගේ ගමනේ ආරම්භයයි
- සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ නායකත්ව ලක්ෂණ සහ පෞරුෂත්වය කාන්තාවන්ට අභිමානයක්
- වෘත්තිය සමිති සහ දේශපාලන ආභාසය මට ලැබුණේ මවුපියන්ගෙන්
කට ඇති පුතුත් රුව ඇති දියණියත් පවුලට සම්පතක් වූයේ අතීතයේය. මේ, රුව පමණක් නොව නැණ නුවණ ඇති දියණියන් රටේ පමණක් නොව ලෝකයෙත් කිතු ගොස පතුරන යුගයකි. පිරිමින් හා සම තැන ඉල්ලන ඇතැම් කාන්තාවන් අතර තමා නිසි තැන දිනාගත් කාන්තාවක් බව ඇය පවසන්නේ අභිමානයෙනි. නමින් ඇය දේවිකා කොඩිතුවක්කු ය. රජයේ පවුල් සෞඛ්‍ය සේවා සංගමයේ සභාපති ධුරය දරන අතර දේශපාලන සහ සමාජ ක්‍රියාකාරිනියක ලෙස ද කටයුතු කරමින් වගකීම් සම්භාරයකට උර දෙන ඇය මෙතෙක් ආ ගමන් මඟ පිළිබඳ කෙරෙන සොඳුරු ආවර්ජනයකි මේ.
දේවිකා කොඩිතුවක්කු උපත ලබන්නේ ඓතිහාසික සෙංකඩගල පුරවරයේ හන්තාන කඳු පාමුල පේරාදෙණිය නම් සුන්දර ග්‍රාමයේදීය. ඒ, 1969 අගෝස්තු 22 වැනිදාය. එම්. ජී. විල්බට් කොඩිතුවක්කු සහ අනුලා කොඩිතුවක්කු යන යුවතිපතින්ගේ දෙවැනි දරුවා වන දේවිකා කොඩිතුවක්කු ගේ සුභද්‍රා, නිරෝෂණී සහ රෝහණ යන සහෝදර සහෝදරියන් තිදෙනාම රාජ්‍ය සේවයේ නිරතව සිටී. ඉකුත් ජනවාරි 4 වැනිදා තම මව අනුලා කොඩිතුවක්කු ජීවිතයෙන් සමුගත් බව දේවිකා කොඩිතුවක්කු සිහි කළේ දැඩි සංවේගයෙනි.
“මගේ ජීවිතයේ මෙතෙක් ආ ගමනේ මූලිකව ආශිර්වාදය සහ ශක්තිය ලැබුණේ මගේ මවුපියන්ගෙන්. ඒ නිසාම අම්මාගේ වියෝව මගේ හිතට තදින්ම දැනෙනවා. වෘත්තිය සමිති සහ දේශපාලන ක්‍රියාකාරිත්වයට ආභාසය මට ලැබුණේ අම්මාගෙන් සහ පප්පාගෙන්. මගේ පප්පා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ විශ්‍රාමලත් කාර්ය මණ්ඩල සහායකයෙක්.
ඔහු පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ සභාපති විදිහට කටයුතු කළා. මගේ මවුපියන් පාරම්පාරිකව වාමාංශික දේශපාලනයේ නියැළුණු නිසා කුඩා වියේ සිටම මට දේශපාලනය නුහුරු දෙයක් වුණේ නැහැ. විශේෂයෙන් මගේ මවුපියන් මහනුවර දිස්ත්‍රික්කයේ අනුරුද්ධ රත්වත්තේ, දි.මු ජයරත්න, සරත් අමුණුගම වැනි දේශපාලන චරිත සමීපව ඇසුරු කිරීම නිසා දේශපාලනය ගැන නිරායාසයෙන්ම මගේ හිතේ ඇල්මක්, උනන්දුවක් ඇතිවුණා. ඒ වගේම බහතෝරන වයසේ සිටම රටේ ජනතාවගේ ප්‍රශ්න ගැන අවධානය යොමුකිරීමේ පුරුද්දකුත් මා තුළ නිරායාසයෙන්ම ඇතිවුණා. ඒ නිසාම උසස්පෙළ පන්තියේ ඉගෙන ගන්න කාලේ 1989දී ගම් මට්ටමින් පිහිටුවූ පොලිස් සුපරික්ෂාකාරී කමිටුවේ සාමාජිකාවක් වීමට අවස්ථාව ලැබුණා. භීෂණය රජ කළ ඒ කාලයේ යම් යම් ගැටලුකාරී ස්ථානවලට ගොස් ජනතාවගේ ප්‍රශ්න දෙස සාධාරණව සහ මැදහත්ව බැලීමේ හැකියාවක් මා තුළ නිර්මාණය වුණා. ඒ නිසාම වැඩිහිටියන්ගේ ආදරය, ප්‍රසාදය දිනා ගැනීමට මට අවස්ථාව ලැබුණා. මම හිතන්නේ නායකත්ව ලක්ෂණ වගේම පෞරුෂත්ව ලක්ෂණත් වර්ධනය වීමට ඒ අත්දැකීම් මට විශාල රුකුලක් වුණා. “
අතීතය ආවර්ජනය කරමින් ඇය පිළිසඳර ඇරඹුවේ එලෙසිනි. පේරාදෙණිය සරසවිඋයන විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලැබූ දේවිකා කොඩිතුවක්කු, මහනුවර හේමමාලි බාලිකා විද්‍යාලයේ විද්‍යා අංශයෙන් ද්විතීක අධ්‍යාපනය ලැබුවාය. පාසල් කාලයේ සිටම නායකත්වයේ පූර්ව ලක්ෂණ විදහා පෑ ඇය, නිවාස නායිකාවක සහ ශිෂ්‍ය නායිකාවක ලෙස මෙන්ම සරසවිඋයන මහා ශිෂ්‍ය සංගමයේ ලේකම් ලෙස ද කටයුතු කළාය.
පාසල් වියේ සිට දැනුමින් සන්නද්ධ වීමට තිබූ ආශාව නිසාම ඇය දැනුම සොයා ගිය, සෑම දෙයක් පිළිබඳවම වැඩිපුර අධ්‍යයනයට ප්‍රිය කළ පාසල් සිසුවියක වූවාය. පාසල් වියේදී රතු කුරුස සමාජයේ කටයුතුවලට සම්බන්ධ වීමෙන් ඒ අත්දැකීම් වඩාත් පෝෂණය වූ බව ද දේවිකා පැවසුවාය. එමෙන්ම ජාතික තරුණ සේවා සභාවේ යෞවන සමාජ ව්‍යාපාරයේ සමාජ සේවා අංශයට යොමුවී එහි විවිධ තනතුරු ද දරන දේවිකා ගෘහ නිර්මාණ ශිල්පය සහ ලඝු ලේඛනය සහ යතුරු ලියනය ද ප්‍රගුණ කරන්නීය.
“ඒ කාලේ මහනුවර ශ්‍රී ලංකා රතුකුරුස සමාජය භාරව සිටි කෑරගල සර් මගේ දක්ෂතා, කුසලතා හඳුනාගත් ගුරුවරයෙක්. එතුමා මා තුළ නායකත්ව ගුණාංග දියුණු කරගැනීමට විශාල සහයෝගයක් දුන්නා. ඒ නිසාම රතු කුරුස සමාජයට එක්වී ඉතා කෙටි කාලයක් තුළ රතුකුරුස හෙදියක ලෙස කටයුතු කරන්නට මට අවස්ථාව ලැබුණා.”
අධ්‍යාපනය අවසන් කිරීමෙන් පසු ඊට සරිලන වෘත්තීය ජීවිතයක් ගොඩනඟා ගැනීම දේවිකාගේ අපේක්ෂාව වුවත් වාමාංශික දේශපාලන කඳවුරට අයත් වීම නිසා ඒ සියලු රැකියා අවස්ථා ගිළිහී ගිය බව බව ඇයගේ විශ්වාසයයි. එසේ නොවූවා නම් අද අපට ඇය ගැන කතා කිරීමට සිදු වන්නේ වර්තමානයේ 10,800ක පමණ සාමාජික සංඛ්‍යාවකගෙන් සමන්විත, මෙරට විශාලතම කාන්තා වෘත්තිය සමිතිය වන රජයේ පවුල් සෞඛ්‍ය සේවා සංගමයේ සභාපතිනිය ලෙස නොවේ. එසේ නම් රජයේ ආයතනයක මුල් පෙළේ තනතුරු නාමයක් දේවිකා කොඩිතුවක්කුගේ නම සමඟ සටහන් වන්නට තිබිණ.
“ඒ කාලයේ රාජ්‍ය සේවයට බඳවා ගැනීම සඳහා තිබූ තරග විභාග කිහිපයකටම පෙනී සිට ඒ සියලු විභාගවලින් ලකුණු 140ට වඩා ලබාගත්තත් ඇතැම් රැකියා සඳහා සම්මුඛ පරීක්ෂණවලට පෙනී සිට ඒවායෙන් සමත් වුණත් මට ඒ රැකියා ලැබුණේ නැහැ. අවසානයේදී මම සිසු පවුල් සෞඛ්‍ය නිලධාරිනියන් බඳවා ගැනීම සඳහා පැවැත්වූ විභාගයට පෙනී සිට එයින් සමත්වුණා. නමුත් මා ඇතුළු ඒ විභාගය සමත්වූ කණ්ඩායමට බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ පැවැත්වුයේ නැහැ. ඒ පිළිබඳ අපි ජනාධිපති ප්‍රේමදාස මහතාව පවා දැනුම්වත් කිරීමෙන් පසු එවකට සිටි සෞඛ්‍ය ඇමතිනි රේණුකා හේරත් මහනුවර හෙදි විදුහලේදී අපට පත්වීම් ලබාදීමේ උත්සවයක් පැවැත්වුවා.
අපව කැඳවූයේ සිසු පවුල් සෞඛ්‍ය නිලධාරිනි පත්වීම් ලබාදීමට වුවත් එහිදී අපට ලබාදුන්නේ සහායක සෞඛ්‍ය සේවිකා පත්වීම්. එම ප්‍රෝඩාකාරී සිදුවීමට මධ්‍යම පළාතේ සහ වයඹ පළාතේ 840 දෙනෙකු මුහුණ දුන්නා. ඒ සියලු දෙනා ඒකරාශී කරගෙන කණ්ඩායමටම නායකත්වය දෙමින් මම අපට සිදුවූ අසාධාරණය ගැන දිගින් දිගටම සටන් කළා. ඒ සම්බන්ධයෙන් නඩුවක් පැවරීමට අප සැලසුම් කර තිබියදී එවකට තිබූ එජාප රජය පෙරළීමෙන් පසු බලයට ආ ශ්‍රීලනිප රජය පවුල් සෞඛ්‍ය නිලධාරිනියන්ගේ පත්වීම් සම්බන්ධයෙන් පැවති ප්‍රෝඩාකාරී තත්ත්වය නිවැරදි කර 1998 ජුලි 01 වැනිදා අපි 840 දෙනකුට පවුල් සෞඛ්‍ය නිලධාරිනියන් ලෙස පත්වීම් ලබාදුන්නා.”
දේවිකා කොඩිතුවක්කු නම් වෘත්තිය සමිති ක්‍රියාකාරිනිය බිහි වන්නේ ඒ අරගලයේ ප්‍රතිඵලයක් ලෙසිනි. යුවතියක ලෙස එදා ඒ සටන ජයග්‍රහණය කරන්නට ඇයගේ හදවතේ වූයේ විසල් ආත්ම ශක්තියකි. මේ, එදා ගැන අද ඇය කියන කතාවයි.
“ ඒ සටනේදී මගේ ජීවිතයට අනතුරක් වෙයි කියලා ගොඩක් අය බය වුණා. මගේ මවුපියන් තුළත් ඒ බය තිබුණා. ඒත් මම ඔවුන්ට කිව්වේ, ”මෙයින් මගේ ජීවිතයට අනතුරක් වුණොත් ඒක සිද්ධ වෙන්නේ මම නරක වැඩක් කරපු නිසා නෙවෙයි 839 දෙනකුට ඔවුන්ට අයිති පත්වීම ලබාදෙන්න වැඩ කරලයි කියලා හිත හදාගන්න කියලා. ඒ වගේම මගේ මවුපියන් හැකි උපරිමයෙන් මට ශක්තියක් වුණා. ඒ දවස්වල අපි කොළඹ උද්ඝෝෂණ තියෙද්දි ඊට කලින් දවසේ කොළඹ යනවා පෝස්ටර් අලවන්න. ඒ හැමදේම සැලසුම් කරගෙන මම ඇතුළු කණ්ඩායම සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරියට එනකොට මම දකිනවා මගේ අම්මයි පප්පයි සෞඛ්‍ය අමාත්‍යාංශය ළඟ ඉන්නවා. ඒ තරම් රැකවරණයක්, සෙනෙහසක් මට ඔවුන්ගෙන් ලැබුණා. ඔවුන් මගේ ජීවිතයට සෙවණැල්ලක් වුණා.“
දේවිකා කොඩිතුවක්කු පැවසුවේ මවුපිය සෙනෙහසට උත්තමාචාර පුද කරමිනි. පවුල් සෞඛ්‍ය සේවයට ඇතුළත් වීමෙන් පසු එම සේවයට සිදුවන අසාධාරණකම් ඇය අත්දකින්නේ හෙද විදුහලේ පුහුණුව ලබන අවස්ථාවේදීමය.
හෙද විදුහලේ සිට ඊළඟ අරගලය අරඹන දේවිකා, පුහුණුව අවසන් කර පත්වීම් ලබන අවස්ථාවේදී මැතිඇමතිවරු සහ සෞඛ්‍ය බලධාරින් ප්‍රමුඛ උත්සවයේදී පවුල් සෞඛ්‍ය පුහුණුවේදී සිදුවන ආසාධාරණකම් පිළිබඳව නොබියව අදහස් පළ කිරීමට ද ඇයට අවස්ථාව ලැබිණ. ඉන් නොනැවතුණු ඇය සේවයට එක්වීමෙන් පසු එම සේවාවේ තිබෙන ගැටලු පිළිබඳවද නොබියව කරුණු හෙළි කළාය.
එවකට සිටි වෘත්තීය සමිති නායකයන් දේවිකාට එහි විධායක සභාවට ඇරයුම් කරන්නේ එහි ප්‍රතිඵලයක් ලෙසටය. ඒ අනුව ඊට සම්බන්ධ වී වසරක් ගතවීමට පෙර එහි නියෝජ්‍ය ප්‍රධාන ලේකම් ධූරයට පත්වන ඇය පවුල් සෞඛ්‍ය සේවාවට එල්ල වූ අසාධාරණකම් සම්බන්ධයෙන් දිගින් දිගටම හඬ නැඟුවාය. ඒ නිසාම කෙටි කාලයක් තුළ සංගමයේ සභාපති ධුරය ඇයට හිමි විය. ඒ, 2008 වසරේදීය. එතැන් සිට මේ දක්වා ඇය ඒ ධුරයේ කටයුතු කරන්නීය.
ඊට අමතරව රාජ්‍ය සේවා වෘත්තීය සමිති සම්මේලනයේ නියෝජ්‍ය සභාපතිනිය වීමට ද දේවිකාට අවස්ථාව ලැබිණ. මේ වන විට ඇය සෞඛ්‍ය වෘත්තියවේදීන්ගේ සම්මේලනයේ කැඳවුම්කාරිනියක ද වේ.
සේවාව තුළ දක්වන දක්ෂතා වෙනුවෙන් ඇය ‘සාම ශ්‍රී දේශාභිමාණී සේවා කීර්ති’ සම්මානයෙන් , ‘මාස් ලංකා ගෞරව‘ සම්මානයෙන් සහ පසුගිය 21දා සමස්ත ලංකා සංස්කෘතික පරිසර සුරැකීමේ සංවිධානය විසින් පිරිනැමූ ගෞරව ආචාර්ය සම්මානයකින් ද පිදුම් ලැබුවාය.
2003 වසරේදී මුළු දිවයිනටම සාම විනිසුරු ධුරයෙන් පිදුම් ලැබූ දේවිකා කොඩිතුවක්කු මේ වන විට උඩුනුවර ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රධාන සංවිධායක ලෙස කටයුතු කරන්නීය. ශාසනික සහ සමාජ සත්කාර රැසක නියැළී සිටින ඇය සිය සේවාව තවත් පුළුල් කිරීමේ අරමුණින් ලබන 10 වැනිදා මහනුවර දී දේවිකා කොඩිතුවක්කු පදනම ආරම්භ කරන්නීය. අභියෝග අතරින් පෙරට ආ ගමන ගැන ඇය කතාකරන්නේ ආත්ම තෘප්තියෙන් යුතු ගැහැනියක ලෙසටය.
“අභියෝග ජයගන්න ගැහැනුකම බාධාවක් කරගත යුතු නැහැ. විශේෂයෙන් දේශපාලන සහ වෘත්තිමය වශයෙන් ඉදිරියට යන විට අභියෝගවලට මුහුණදීමට සිදුවීම අරුමයක් නෙවෙයි. නමුත් ඒ නිසා තමන්ගේ ගමන අතරමඟ නතර කළ යුතු නැහැ.
ශ්‍රී ලාංකික කාන්තාවන් විදිහට අපිට හොඳ පසුබිමක් තිබෙනවා. ලංකාවේ වගේම ලෝකයේ පළමු අගමැතිනිය සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය බිහිවීම, චන්ද්‍රිකා බණ්ඩාරනායක වැනි ජනාධිපතිනියක් බිහිවීම වගේම විවිධ ක්ෂේත්‍රයන්ගෙන් ජාත්‍යන්තරය ජයගත් කාන්තාවන් අපි අතර ඕනෑතරම් ඉන්නවා. ඒ නිසාම දේශපාලන පසුබිමකින් ආවේ නැති කෙනෙකුට වුණත් ජනතාවගේ හද ගැස්ම හඳුනාගත හැකිනම් ඒ වෙනුවෙන් කැපවිය හැකි නම් විශ්ව ශක්තියේ ආශිර්වාදය ලැබෙනවා.
මගේ ජීවිතය තුළ හැමදාමත් සමූහයක් තුළ නිරායාසයෙන්ම නායකත්වය ලැබෙන වාසනා ගුණයක් තිබූ බව මගේ විශ්වාසයයි. ඒ නිසාම අභියෝගවලට මුහුණ දීමේ ශක්තියත් මා තුළ ගොඩනැඟුණා. ආත්ම ශක්තිය වගේම විශ්ව ශක්තියෙන් ලැබෙන ආශිර්වාදය ගැනත් මා තුළ දැඩි විශ්වාසයක් තිබෙනවා. අපි ලෝකයට යහපත් දේ දෙනවා නම් විශ්ව ශක්තිය විසින් අපේ ජීවිතයටත් යහපතම උදා කරන බව මගේ විශ්වාසයයි.”
ශ්‍රී ලංකාවේ පවුල් සෞඛ්‍ය නිලධාරි සේවය උසස් මට්ටමකට ගෙන ඒම සඳහා විශාල කාර්යභාරයක් ඉටු කළ දේවිකා කොඩිතුවක්කු, ශ්‍රී ලංකාව නියෝජනය කරමින් නේපාලයේ සහ චීනයේ පවැති වෘත්තිය සමිති සම්මේලනයන්ට ද සහභාගි වී ඇත. සමස්ත පවුල් සෞඛ්‍ය සේවාව ඒකරාශි කර ඒකායන අරමුණක් ඔස්සේ ගමන් කරවීමට පියවර ගත් ඇය පවුල් සෞඛ්‍ය සේවාව විනාශ කිරීමට ඇතැමුන් ගත් උත්සාහයන්ට නිර්භිතව මුහුණ දෙමින් එම සේවාව සුරක්ෂිත කළාය. එපමණක් නොව පවුල් සෞඛ්‍ය සේවයට වරප්‍රසාද රැසක් හිමිකර දුන් ඇය පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන්ගේ දැනුම, ආකල්ප, කුසලතා සහ පෞරුෂය වර්ධනය කිරීමට ද දායක වූවාය. ඒ සියල්ල අතර ජනතා සේවය ද මුල් තැන ලා සලකන දේවිකා කොඩිතුවක්කු සිය ජීවිතයේ පරමාදර්ශී චරිත පිළිබඳ සිහි කළේ අභිමානයෙනි.
“සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය මම සැබවින් දැකලා නැතිවුණත් ඇයගේ චරිතය ගැන මගේ හිතේ විශාල ගරුත්වයක්, ආදරයක් තිබෙනවා. විශේෂයෙන් ඇයගේ නායකත්ව ලක්ෂණ සහ පෞරුෂත්වය ගැහැනු අපි හැමෝටම ආඩම්බරයක් සහ අභිමානයක්. ඒ වගේම රටේ නම ජාත්‍යන්තරයට ගෙන ගිය විවිධ ක්ෂේත්‍රවලින් ඉදිරියට ආ හැම කාන්තා චරිතයකම මම ප්‍රිය කරනවා වගේම ඔවුන්ගෙන් ගත යුතු ජීවිත ආදර්ශයට මම හදවතින්ම ගරු කරනවා.”
සියලු පුරවැසියන්ට සුබබර සුබවාදී අනාගතයක් සහිත රටක් පිළිබඳ ඇයගේ සිතේ අපේක්ෂාවන් රැසකි.
රටේ සමස්ත දරු පරපුරම මගේ දරුවෝ කියලා හිතාගෙනයි මම කටයුතු කරන්නේ. ඒ වගේම රටේ සියලු මවුපියන් මගේ මවුපියන්. ඒ නිසාම රට වෙනුවෙන් මට කළ හැකි උපරිමය කිරීම මගේ බලාපොරොත්තුවයි.
ඒ වෙනුවෙන් දේශපාලනයට අවතීර්ණය වීමේ අපේක්ෂාවක් මා තුළ තිබෙනවා. මගේ ජීවිතය මුළුමනින්ම අනුන් වෙනුවෙන් කැපකර තිබෙනවා. ඒ නිසාම විවේකය ඉතාම අඩුයි. මගෙන් උදව්වක්, උපකාරයක් පතන ඕනෑම කෙනකුට හැකිපමණින් උපකාර කිරීම මට සතුටක්. අවසාන වශයෙන් මම අපේ කාන්තාවන්ට කියන්නේ තමන් අපේක්ෂා කරන දේ වෙනුවෙන් සිහින දකින්න, නිතර ඒ ගැන මෙනෙහි කරන්න, ඒ සිහින ඉටුවන තෙක් අධිෂ්ථානයෙන් කැපවීමෙන් කටයුතු කරන්න කියලයි.”
ඡායාරූප- දුෂ්මන්ත මායාදුන්නේ