අද වැනි දවසක... | සිළුමිණ

අද වැනි දවසක...

 

කාන්තා මැරතන් ලෝක වාර්තාව උපදී

ක්‍රීඩා පිටියකදී ලෝකයම එකට හමුවන ඔලිම්පික් ක්‍රීඩා උළෙල හඳුන්වා දී වසර 125 ක් ඉක්ම ගොස් ඇතත් මැරතන් තරග ඉසව්ව ක්‍රීඩිකාවන්ට විවෘත වූයේ 1984 වසරේ ලොස් ඇන්ජලීස් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ දී ය.

ඉන් පැවසෙන්නේ ඔලිම්පික් ක්‍රීඩා උළෙලක මැරතන් තරගයකට සහභාගීවීමට ක්‍රීඩිකාවන්ට වසර 112 ක් ම බලා සිටින්නට වූ බව ය.

කිලෝමීටර් 42.195 ක (සැතපුම් 26 යාර 385) දුරක් දිවීම ක්‍රීඩිකාවන්ට දරාගැනීම අපහසු වේ යැයි එකල තිබූ විශ්වාසය ඊට හේතුව විය.

එහෙත් මැරතන් තරගයක දී ක්‍රීඩිකාවක විසින් පිහිටුවන ලද පළමු නිල වාර්තාව ලෙස පිළිගනු ලබන පැය 3 වි. 40 තත්පර 22 ක කාලය ඉතිහාසයට එක් කරන්නට එංගලන්තයේ වයලට් පියර්සිට අවස්ථාව ලැබී ඇත්තේ අදවන් දිනක ය. වින්සර් සිට ලන්ඩන් දක්වා පවත්වන ලද කාන්තා මැරතන් තරගයේ දී ය.

එම තරගය පවත්වා ඇත්තේ 1926 වසරේ ඔක්තෝබර් 03 වැනි දා ය. මෙම තරගය සංවිධානය කරන ලද්දේ අන්තර්ජාතික මලල ක්‍රීඩා සංගමය විසිනි.

මෙම ලෝක වාර්තාව අලුත් කරන්නට වසර 37 ක කාලයක් ගත වීමෙන් ද පැහැදිලි වන්නේ මැරතන් තරග ඉසව්ව ක්‍රීඩිකාවන්ට දරා ගැනීමට අපහසු එකක් බව ය.

ඇගේ වාර්තාව පළමු වරට බිඳ දමන ලද්දේ 1963 වසරේ දෙසැම්බර් 16 වැනිදා අමෙරිකානු ක්‍රීඩිකා මාරි ලෙපර් විසිනි.

කෙසේ වුවත් අද වන විට ආරම්භයේ දී බටහිර රටවල් සතුව තිබූ මැරතන් තරගයේ ආධිපත්‍ය මේ වන විට අත්පත් කරගන්නට අප්‍රිකාකරයේ ක්‍රීඩිකාවන්ට හැකි ව ඇත.

ඒ අනුව දැනට පවතින කාන්තා මැරතන් ලෝක වාර්තාව වන පැය 02 වි 14 තත් 04ක කාලය කෙන්යානු ක්‍රීඩිකා බ්‍රිගිට් කොස්ගේ වාර්තා කර ඇත්තේ 2019 වසරේ පවත්වන ලද චිකාගෝ මැරතන් තරගයේ දී ය.

වාර්තා අලුත්වීම සිදුවිය යුක්තකි. එසේ නොවුවහොත් ඉන් කියැවෙන්නේ ක්‍රීඩාවේ වර්ධනය අඩාළ වී ඇති බව ය. ඒ කොහොම නමුත් වරින් වර අලුත් කරන්නට හෝ පළමු කාන්තා මැරතන් වාර්තාව පිහිට වූ වයලට් පියර්සි අමතක නොකළ යුතුය. එසේම ඒ ලෝක වාර්තාවට ආරම්භය ලබාදුන් ඔක්තෝබර් 03 වැනි දා ද මතකයේ රඳවා ගත යුතුම ය.

 

Comments