හෙල්ලයෙන් එල්ලය ගත් ඈ සෙවූයේ හද සුවය මය | Page 2 | සිළුමිණ

හෙල්ලයෙන් එල්ලය ගත් ඈ සෙවූයේ හද සුවය මය

 

'ක්‍රීඩාව උත්තුංග මනුෂ්‍යත්වයේ පිළිබිඹුවකි. තරගකාරී වුව ද එයින් ප්‍රකාශ වන්නේ ආදරය ය. මේ එවන් ආදරය ප්‍රකාශයට පත් අවස්ථාවකි.'

ටෝකියෝ ඔලිම්පික් උළෙලේ කාන්තා හෙල්ල විසි කිරීමේ රිදී පදක්කම්ලාභිනී (මිටර් 64.61) පෝලන්තයේ විසිපස් වියැති මාරියා ඇන්ඩ්‍රෙජ්සික් සිය රිදී පදක්කම එරටෙහි ම තරුණ පිරිමි ළමයකුගේ හදවත් සැත්කමකට ආධාර කිරීම සදහා වෙන්දේසි කළා ය. ඒ තුරුණු හදවතක් සුවපත් කිරීමට තමන්ගේ කාරුණික හදවත ප්‍රකට කිරීමක් වූ හෙයින් අදාළ සිදුවීමට ලෝකය පුරා සුවිශාල ප්‍රවෘත්තිමය වටිනාකමක් හිමි වුණේ ය.

අදාළ වෙන්දේසියේ දී එම පදක්කම ලබා ගත් අමෙරිකා එක්සත් ජනපදයේ සාබ්කා පොල්ස්කා පසුව එම පදක්කම මාරියා වෙත ම ප්‍රදානය කර අදාළ ශල්‍යකර්මයට අර-මුදල් දීමට තීරණය කළේ ය.

ඇන්ඩ්‍රෙජ්සික් 2016 රියෝ හි සිවු වැනි (මිටර් 64.78) ස්ථානයට පත් වූයේ ලෝකඩ පදක්කම් හිමියාට වඩා සෙන්ටි මීටර් දෙකක් මෑතින් හෙල්ල විසි කිරීම නිසා ය. මේ අතර ඇන්ඩ්‍රෙජ්ජික් යනු භයංකර රෝගයකින් පීඩා විඳි තැනැත්තියකි. 2018 දී රෝග විනිශ්චය කිරීමෙන් පසු හෙළි වූයේ ඈ අස්ථි පිළිකාවකින් පෙළෙන බවය. එහෙත් පසුව සිදු කළ වෛද්‍ය ප්‍රතිකාරයන් හේතුවෙන් ඈ ඉන් සුවය ලැබූ අතර මෙවර ඔලිම්පික් තරගාවලියට පැමිණ තමන්ට රියෝ හි දී අහිමි වූ රිදී පදක්කම දිනා ගන්නට සමත් වූවා ය.

25 හැවිරිදි ඇයට පදක්කම දිනා ගැනීමෙන් පසු සමාජයට උපකාර කිරීමට එම කීර්තිය යොදා ගැනීමට අවශ්‍යව තිබුණි. ඒ අනුව ඈ සිය ෆේස්බුක් පිටුවේ ඒ බව සඳහන් කළා ය. ඉන් කියැවුණේ තමන් දිනූ පළමු ඔලිම්පික් පදක්කමට වටිනාකමක් එක් කිරීම සඳහා අරමුදල් රැස් කිරීමකට එය යොදවන බව ය.

එහි දී අමෙරිකා එක්සත් ජනපදයේ ස්ටැන්ෆර්ඩ් රෝහලේ හෘද සැත්කමක් වෙනුවෙන් පොරොත්තු වෙමින් සිටි පෝලන්ත ජාතික මයිලෝසෙක් ට අත දීමට මාරීයාට මේ අනුව අවස්ථාව උදා විණි.

මාරියාගේ පරිත්‍යාගය සහ අනිකුත් දායකත්වයන්ගෙන් සැත්කම වෙනුවෙන් වැය කළ යුතු පවුම් 140,000 සීමාව ඉක්මවා යෑමට සමත් විණි.

මෙහි දී තමන් ගත් තීරණය සම්බන්ධයෙන් අදහස් දැක්වූ ඇන්ඩ්‍රෙජ්සික් පවසන්නේ පදක්කමේ වටිනාකම හදවතේ ඇති බවත්, දූවිලි බැඳෙන්නට පදක්කමක් නිවෙසේ තබා තිබීමෙන් පළක් නොවන බවත් ය.

“මිලොසෙක්ට බරපතළ හෘදයාබාධයක් තිබෙනවා. ඔහුට ශල්‍යකර්මයක් අවශ්‍යයි, ඔහු වෙනුවෙන් තමයි මම මගේ ඔලිම්පික් රිදී පදක්කම වෙන්දේසි කරන්න තීරණය කළේ. ” කෙසේ නමුත් සැත්කමට අදාළ ළදරුවා දුර්ලභ හෘදය සහ ශිරා ගැටලුවලින් පීඩා විඳිමින් සිට හෘද සැත්කමකට යොමු කර තිබිණි. ඔහුගේ රෝගය පෙණහලු නහර නිසි පරිදි ක්‍රියා කිරීම සීමා කරන රෝගී තත්ත්වයකැයි වෛද්‍යවරුන්ගේ මතය විය.

මේ සියලු තත්ත්වයන් යටතේ ඈ මෙම රෝගී දරුවා නිරෝගී කර ගැනීමට තම හදවත සංවේදී කළ ඔලිම්පික් පදක්කම වෙන්දේසි කරන්නට ඉදිරිපත් වීම වූ කලි මනුෂ්‍යයත්වයේ විශිෂ්ටත්වය හෙළිදරව් කළ අවස්ථාවකැයි කිව යුතුව ඇත.

 

Comments