චීනයට හීනියට ටොක්ක අනිමින් අමෙරිකාව ආසියාවේදී ත් බලය පතුරයි | සිළුමිණ

චීනයට හීනියට ටොක්ක අනිමින් අමෙරිකාව ආසියාවේදී ත් බලය පතුරයි

 

'ඔලිම්පික් අරමුණ ආදරය බෙදා ගැනීම වුව ද එය ලෝකයේ ඇතැම් රටවල් භාවිත කරන්නේ තමන්ගේ තාක්ෂණික දියුණුව, මානසික සවිය, එඩිය, වීර්යය හා අධිෂ්ඨානය පෙන්වන යතුරක් ලෙස ය. එය වඩාත්ම දැකිය හැක්කේ ලෝක බලවතුන් අතර ය. මෙවර ඔලිම්පික් උලෙළේ දී ත් එම සටන දක්නට ලැබුණේ ය. මේ ඒ ගැනය.'

දින දහ අටක් පුරා ජපානයේ ටෝකියෝ හි පැවැති තිස් දෙවැනි ඔලිම්පික් උලෙළ නිමාවිණි. ඊට සහභාගි වූ රටවල් අතුරින් 93 ක් කුමන හෝ පදක්කමක් සිය රටට ගෙන යාමට සමත් වූ හ.

සමස්ත පදක්කම් සටහනේ අඛණ්ඩව තෙවැනි වතාවටත් පෙරමුණ ගැනීමට ලෝක බලවතා වන අමෙරිකාව සමත්ව සිටියේ ය.

ඒ ලෝකයේ සියලු අංශයන්ගෙන් බලවන්ත භාවය දිනාගැනීමට වෙරදරන ආසියාවේ ප්‍රබලයා වන චීනය එක් රන් පදක්කමකින් අභිභවා යමිනි.

අමෙරිකාව රන් පදක්කම් 39 ක්, රිදී පදක්කම් 41 ක් හා ලෝකඩ පදක්කම් 33 ක් වශයෙන් සමස්ත පදක්කම් 113 ක් හිමිකරගනිමින් ලෝකයෙන්ම පෙරමුණට පැමිණි අතර, චීනය රන් පදක්කම් 38 ක්, රිදී පදක්කම් 32 ක් හා ලෝකඩ පදක්කම් 18 ක් වශයෙන් සමස්ත පදක්කම් 88 ක් දිනා පදක්කම් සටහනේ දෙවැනි තැනට පත් විය.

සත්කාරක ජපානය රන් පදක්කම් 27 ක්, රිදී පදක්කම් 14 ක් හා ලෝකඩ පදක්කම් 17 ක් වශයෙන් සමස්ත පදක්කම් 58 ක් හිමිකර ගනිමින් තෙවැනි ස්ථානටයත් මහා බ්‍රිතාන්‍යය රන් පදක්කම් 22 ක්, රිදී පදක්කම් 21 ක් හා ලෝකඩ පදක්කම් 22 ක් වශයෙන් සමස්ත පදක්කම් 65 ක් ලබා ගනිමින් සිව්වැනි ස්ථානයටත් පත්විය.

රුසියානු ධජය තහනමට ලක් වීම හේතුවෙන් ( ආර්.ඕ.සී.) රුසියානු ඔලිම්පික් කමිටු ධජය යටතේ පැමිණි එරට ක්‍රීඩක ක්‍රීඩිකාවෝ රන් පදක්කම් 20 ක්, රිදී පදක්කම් 28 ක් හා ලෝකඩ පදක්කම් 23 ක් වශයෙන් සමස්ත පදක්කම් 71 ක් දිනා ගෙන පස්වැනි ස්ථානයෙන් නතර වන විට ඔස්ට්‍රේලියාව රන් පදක්කම් 17 ක්, රිදී පදක්කම් 07 ක් හා ලෝකඩ පදක්කම් 22ක් වශයෙන් සමස්ත පදක්කම් 46ක් දිනා ගත්තේ මෙවර හයවැනි ස්ථානය හිමිකර ගනිමිනි.

නෙදර්ලන්තය, ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය රන් පදක්කම් 10 බැගින් දිනා ගනිද්දී, කැනඩාව, බ්‍රසීලය, නවසීලන්තය, කියුබාව, හංගේරියාව, දකුණු කොරියාව යන රාජ්‍ය රන් පදක්කම් පහකට වඩා දිනා ගැනීමට සමත් විණි.

දකුණු ආසියානු බලවතා

දකුණු ආසියාවේ බලවතා වන ඉන්දියාව රන් පදක්කමක්, රිදී පදක්කම් 2 ක් හා ලෝකඩ පදක්කම් 7 ක් ඇතුළුව පදක්කම් 14ක් සමඟ 48 වැනි ස්ථානයට පත් වූ අතර, මෙවර එක් රන් පදක්කමක් හෝ දිනා ගැනිමට සමත්වු රටවල් ගණන 22කි. දකුණු ආසියාවේ අනෙක් කිසිදු රටකට පදක්කමක් දිනා ගැනීමට නොහැකි වනවිට ලෝකඩ පදක්කමක් හෝ දිනා ගැනීමට රටවල් 8 ක් සමත් විය. මෙවර ඔලිම්පික් උළෙලේ දී කිසිදු පදක්කමක් නොමැතිව හිස් අතින් සිය රට යන රටවල් ගණන ශ්‍රී ලංකාව ද ඇතුළුව සියයකට අධික ය.

මලල ක්‍රීඩා ඉසව්වලට පිරිනැමුණු රන් පදක්කම් 49 රටවල් 23 ක් අතර බෙදී යද්දී ඉන් රන් පදක්කම් 7 ක් දිනා ගත්තේ අමෙරිකාව යි. විශේෂයෙන් ජැමෙයිකාව පසුපසට තල්ලු කර දමමින් ඉතාලිය මලල ක්‍රීඩා ඉසව්වලින් රන් පදක්කම් 5 ක් දිනා ගත් අතර, කෙන්යාව, පෝලන්තය හා ජැමෙයිකාව රන් පදක්කම් 4 බැගින් දිනා ගත් හ. මේ අතර නෙදර්ලන්තය, චීනය, කැනඩාව, උගන්ඩාව, නොර්වේ, ස්වීඩනය හා බහමාස් යන රටවල් රන් පදක්කම් දෙක බැගින් දිනා ගැනීම කැපී පෙනෙයි.

ටෝකියෝව විසින් 2024 ඔලිම්පික් ක්‍රීඩා උලෙළ පැවැත්වීම සඳහා පැරිස් නගරයට සත්කාරකත්වය භාර දීම සමාප්ති උලෙළේ දී සිදුවූ අතර දින ගණනාවක් පුරා නොනිවී දැල්වුණු අසිරිමත් ඔලිම්පික් පහන ටෝකියෝ ඔලිම්පික් ක්‍රීඩාංගණයට අඳුර මෝදු කරමින් සෙමෙන් සෙමෙන් නිවී ගියේ යළිත් වසර තුනකින් යුරෝපයේ මුණ ගැසීමේ අරමුණ සහිතව ය.

 

Comments