මමත් වුෂු කාරයෙක් | සිළුමිණ

මමත් වුෂු කාරයෙක්

 

මම අයත් වන්නේ අසූනවය භීෂණයේ පශ්චාත් යුගයට

මට මගේ තාත්තා ඡායාත්මක මතකයක්

 'ගුරුවරයා උත්තම පුරුෂයෙකැයි කීවාට ඔහු දුටු සැණින් අපට කියන්නට සිතෙන්නේ ගුරුවරයා යනු රංගනවේදියකු කියා ය. ඒ ඔහු වෘත්තියෙන් ගුරුවරයෙක් වූවාට සමාජය තුළ ප්‍රමුඛ හඳුනා ගැනීම රංගන ශිල්පියකු වශයෙන් වන හෙයිනි. රංගනවේදියාට අමතරව ඔහු තුළ වේදිකා නාට්‍ය අධ්‍යක්ෂවරයෙක්, පසුතල නිර්මාණ ශිල්පියෙක්, සෞන්දර්යය විශ්ව විද්‍යලයේ චිත්‍ර හා මූර්ති අංශයේ උපාධිධරයෙක්, කැලණිය විශ්ව විද්‍යාලයේ නාට්‍ය හා රංග කලාව පිළිබඳ ශාස්ත්‍රපති උපාධිධරයෙක්, කොළඹ විශ්ව විද්‍යාලයේ නාට්‍ය හා රංග කලාව පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාධාරියෙක් ද වෙයි. ඒ අන් කවරකුවත් නොව ඉකුත් යුගයේ මෙරට රංගන ක්ෂේත්‍රයෙන් බිහිවූ සුවිශිෂ්ට රංගනවේදියකු වන ධර්මප්‍රිය ඩයස් ය. මේ ඔහුගේ කැදැල්ලේ ගෙවුණු 'කෙළිබර කලාකාමී' සන්ධ්‍යාවකි.'

ඔහු මාගේ පැමිණීම බලාපොරොත්තුවෙන් සිටියා විය හැක. නි‍ෙවසට ගොඩවන විටම ඔහු සුහදශීලි හඬින් අප ඇමතූයේ ය.

'එන්න, එන්න. මහන්සිත් ඇතිනෙ අපි මොනවා හරි බීලම කථා කරමු.' ඒ ආරාධනා පදය කොවිඩ් වසංගතයේ බිය ජනක කදමල්ල නි‍ෙවස දොරකඩින් තබා ඔහුගේ ආලින්දයේ සුවපහසු අසුනකට බර දෙන්නට අපට දිරි දුන්නේ ය.

'අපේ සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂවරියක් ඉන්නේ. ඇගේ නම හීන් මැණිකා. ඇය තමයි මගේ ආදරණීය අම්මා. ඈ දෙවැනි පංතිය දක්වා පාසල් ගිය ජීවිතයෙන් අධ්‍යාපනය ලද ගෘහණියක්. තාත්තාගේ මතකය යම් පමණකට ඡායාවක්. මොකද මම තමයි අපේ පවුලේ බඩපිස්සා. මම ඉපදිලා වසර කීපයකින් තාත්තා රෝගියෙක් වෙනවා. ඔහු වෘත්තියෙන් ටැක්සි රියැදුරෙක්.' ඔහු කිව්වා.

අපට එම්.එස්. ප්‍රනාන්දු සූරීන්ගේ 'මම ටැක්සි කාරයා ගීය මතක් විය. ආගන්තුකයෙක් වීමත්, පැමිණි රාජකාරියක් තිබීමත් ඒ ගීය සෙමින් මුමුණන්නට සිත කියූ ඉල්ලීම දෙතොල් ක්‍රියාවට නැංවූයේ නෑ.

'මගේ තාත්තාගේ නම පබිලිස් ඩයස්. තාත්තගෙ මතකය මගේ හිතේ රැඳෙන්නේ මගේ කොණ්ඩෙ කප්පවන්න එහෙමත් නැත්නම් අවුරුද්දකට සැරයක් කොට කලිසමක් මස්සලා දෙන්න, කැස්බෑව හන්දියට මාවත් අරගෙන යන හැටි. ඒත් මගේ දඩබ්බරකම් සෑම විටම සමනය කළේ අම්මා. '

අපේ රංගනවේදියා මඳ වේලාවක් නිහඬව සිටියේ රංගන වින්‍යාසයකින් නොවෙන බව අපට පැහිදිලි විය. ඒ ඔහුට අම්මා සිහි වුණු නිසා ය. තාත්තාව ඡායාවක් මෙන් මතක් වූ නිසා ය.

ඒ නිහඬත්වය ඔහුව කලබල කළ බවක් පෙනිණි. එහෙයින් ඔහු තමන් ගැනම තමන්ගෙන් ප්‍රශ්න කෙරුවේ ය.

'මගේ පුංචි කාලේ හරිම සැහැල්ලුයි. ඩොටි අක්කගෙ මොන්ටිසෝරිය මගේ මුල්ම තක්සලාව වුණා. නැකතට අකුරු කියෙව්වෙත් ඩොටි අක්කා. ඊට පස්සේ කැස්බෑව කනිෂ්ඨ විද්‍යලයට ගියා. සාමාන්‍ය පෙළ විභාගය සර් ජෝන් කොතලාවල විදුහල කොළමුන්න. ඒ වගේම පිළියන්දල මැදි විදුහලේ තමයි උසස් පෙළ හැදෑරුවේ.' ඔහු පැවසුවා.

'ඉස්කොලේ ඇතුළේ නිදහස් අධ්‍යාපනය තිබුණාට අධ්‍යාපනය නිදහසේ කරන්න පරිසරයක් අපට තිබුණේ නෑ. උදේ ආහාර වේල, අඳින්න තිබුණ ඇඳුම, සපත්තු දෙක එක්ක අපිට තිබුණේ අධ්‍යාපනය නොලබන්න පුළුවන් පරිසරයක්. ඒත් ඒක හොඳ ජීවිත අධ්‍යාපනයක් කියලයි මම දැන් හිතන්නේ. අපි වෙන පැත්තකට යොමු වුණා නම් තමන්ගෙ රටේ ජීවත් වෙන්න නුසුදුසු පුද්ගලයෙක් වෙන්නත් තිබුණා. කොහොම හරි ගමේ ජීවිතයත්, පාසල් ජීවිතයත් සුන්දර විදිහට ගෙවිල ගියා. කොහොම නමුත් හැම දේම හොඳ පැත්තට විසඳුණා.' ඔහු දිග සුසුමක් හෙළුවා.

පාසල් සමය ඉතාම සුන්දර මතකයන්ගෙන් පිරිලා තිබුණු බවයි ඔහු කිව්වේ. දුක, වේදනාව, අඩුපහසුකම් තිබුණත් ඔහු පාසල් ගමන නවත්තලා වෙන පැත්තකට නැඹුරු වෙලා තිබුණේ නෑ. 'අපි පාසල් ගියා. ක්‍රීඩා කළා. ක්‍රීඩාව කියන්නේ මොකක්ද කියලා ලොකු අවබෝධයක් නොතිබෙන කාලයක තමයි අර සෙල්ලම ක්‍රීඩා කළේ. ඒක ඉතිං පාසල් යන ඕනෑම දරුවෙක් කරන දෙයක්නෙ.' ඔහු කිව්වා.

තමන් විධිමත්ව ක්‍රීඩා කරන්න අවශ්‍යතාවයක් ඇතිවුණේ අහම්බයක් මෙන්ම පවුල තුළ ඉරිතලා ගිය ජීවන අත්දැකීම් කීපයක් එක්ක බව තවමත් අමතක නෑ කියලයි ඔහු සඳහන් කළේ.

' ඒ කාලේ භීම සමයක්. තැන තැන මිනිස්සු පුළුස්සනවා. තරුණයෝ මැරෙනවා. සාමාන්‍ය මිනිස්සු, ගමේ මුදල් හදල් තිබුණු මිනිසා මේ හැමෝම මැරෙනවා. ඒ 1989 වසර. එසමයේ රට වෙළාගෙන තිබුණු භීෂණය අපිට තදින් දැනුණා. මම එතකොට ගොඩාක් පොඩියි. ඔය අවධියේ යුද හමුදාවේ ඉන්න සමන් අයියගෙ බොක්සිං තරගයක් බලන්න මගේ බාප්පගෙ පුතා හේමන්ත අයියා මාව එක්කගෙන පොලිස් පාර්ක් එකට ගියා. එදා තමයි පළමුවැනි වරට බොක්සිං ක්‍රීඩාව දැක්කේ. ඊට පස්සේ තමයි හේමන්ත අයියා එක්ක මමත් බොක්සිං ක්‍රීඩාව පුහුණු වෙන්න ගත්තේ. ඒත් රහසෙන්. කාටවත් කිව්වෙ නෑ. නමුත් 89 භීෂණය කලෙදි හේමන්ත අයියා අතුරුදහන් වෙනවා. ඒ අතර මගේම අයියත් අතුරුදහන් වෙනවා. ඔය අතරවාරෙදි තමයි යුද හමුදාවේ හිටපු සමන් අයියාව බස් එකේදී මුණගැහෙන්නේ.‍ ෙඊට පස්සේ සමන් අයියගෙ වියදමෙන් වයි.එම්.සී.ඒ. එකට ගිහින් බොක්සිං ගහන්න පටන් ගත්තා. බොක්සිං ක්‍රීඩාව ඉගෙන ගත්තට කාටවත් පෙන්නන්න ගියේ නෑ. නමුත් සාමාන්‍ය පෙළ ඉවර වෙනකම් දිගටම ක්‍රීඩාව කරගෙන ආවා.

දකුණු ආසියානු ක්‍රීඩා උළෙලට බොක්සිං පුහුණු කරන විල්සන් මාස්ටර්. ඔහු ගාව තමයි අපි පුහුණු වුණේ. ඒ කාලේ ඔහු අපිව ගාළුමුවදොර පිට්ටනියට ගිහින් දුවවනවා.

අපි විනාඩි නවයෙන් පරණ ගාළුමුවදොර පිට්ටනිය වටේ වට 3 ක් දුවනවා. ඒ කාලේ හොඳට ක්‍රීඩා කළා. ඕනෑම වැඩකට බැස්සාම කාගෙන ඉන්න ගැම්මක් ආවේ ක්‍රීඩාව නිසයි. සමාජයෙ ජීවත් වෙද්දී යම් වැරැද්දක් නොකර වැරැද්දක් දකිද්දී ඒ වැරැද්ද ගැන කතා කරලා ඒක නිවැරැදි කර ගන්න කියලා කොන්ද කෙළින් තියා ගෙන කියන්න පුළුවන් ශක්තියක් ලැබුණේ ක්‍රීඩාවෙනුයි . උසස් පෙළට පිළියන්දල මධ්‍ය විද්‍යලයට ආවාට පස්සේ නම් මට ක්‍රීඩාව අතහැරුණා.

කොහොම හරි අපි පස්සේ වුෂු ඉගෙන ගන්න පටන් ගත්තා. ඒකට මුදල් සොයාගන්න දවසේ කුලියට පොල් වල වලුත් හෑරුවා.

කොටින්ම කියනවා නම් රංගන ශිල්පියකු වශයෙන් මා තුළ යමෙක් යමක් දකිනවා නම් ඒ වෙනස ආවේ ක්‍රීඩාව තුළිනුයි. මම ඉගෙන ගත්ත බොක්සිං, වූෂූ ක්‍රීඩාවලින් නාට්‍යයක චරිතයක් ඉස්මතු කරන්න මම ඒ දැනුම ඉවහල් කර ගෙන තිබෙනවා.

ඔහු වුෂූ, බොක්සිං වැනි සටන් ක්‍රීඩාවලට පමණක් නැඹුරු වූ ක්‍රීඩකයෙක් නොවෙයි. ඔහු ඒ බව කිව්වේ කණ්ඩායම් ක්‍රීඩා වෙනුවෙනුත් තමන් සහභාගි වී ඇති බව පවසමින්.

‘ මම වොලිබෝල්වලටත් කැමතියි. මම වොලිබෝල් ක්‍රීඩාවේ පන්දුව පිරිනමන්නෙක්.' ඔහු වැඩිදුරටත් කිව්වා.

මේ සියලු කතා අසමින් ඉන්න විට කාලය ගෙවෙනවා තේරෙන්නේ නෑ.

' වූෂූ කියන්න් මම හොඳින් කරපු ක්‍රීඩාවක්. මගේ හිතේ චීනයට යන හීනයකුත් තිබුණා .ඒ වගේම මගේ රංගනයට ක්‍රීඩාව තුළින් පුළුල් ආභාසයක් ලැබුණා. හැබැයි ක්‍රීඩකයෙකුට කලාකාමී හදවතක් තිබිල බෑ. ක්‍රීඩකයා කියන්නේ හික්මීම දියුණු කළ ගාය තියෙන මනුෂ්‍යයෙකුට. නොහික්මුණු මිනිස්සුත් ලෝකයේ දක්ෂ ක්‍රීඩකයෝ වෙලා තිබෙනවා තමයි. හැබැයි එතැන ඉන්නේ ක්‍රීඩකයෙක් විතරමයි. '

සටහන සහ ඡායාරූප - සුදම් ගුණසිංහ

 

Comments