ක්‍රීඩාවට අම්ලකර වාතය පිඹීම | Page 3 | සිළුමිණ

ක්‍රීඩාවට අම්ලකර වාතය පිඹීම

 

සිංගප්පූරුව ආසියාවේ දියුණු රාජ්‍යයකි. අධි සංවර්ධිත රාජ්‍යයකි. ස්වභාවික සම්පත් කිසිවක් නොමැති කුඩා රාජ්‍යයකි. ඔවුහු කොතෙක් ධනවත් වුවද ඔවුන්ගේ රටවැසියන්ගෙන් බහුතරයක් මේද බහුලතාව, අධිපීඩනය, දියවැඩියාව, අධික ස්ථුලතාවය, වැනි රෝගාබාධ හේතුවෙන් නිරෝගී භාවයෙන් පිරිහී සිටිති. එය සිංගප්පූරු සෞඛ්‍ය අංශ මුහුණ දෙමින් ඇති ගැඹුරු හා විසඳුම් සොයාගැනීමට අසීරු ගැටලුවක්ය.

කෙසේ නමුත් එම තත්ත්වය අවම කරගැනීම සඳහා එරට පාලකයන් යොදාගෙන ඇත්තේ නිරතුරුව තම රටවැසියන් දැනුවත් කිරීමය. ඒ අනුව ව්‍යායාමය, ආහාර පාලනය ක්‍රමවත්ව සිදුකිරීමේ වැදගත්කම සිය පුරවැසියන් විෂයේ අත්පත්‍රිකා, දැන්වීම් පුවරුව, රූපවාහිනී, පුවත්පත්, පාසල් අධ්‍යාපනය ආදී විවිධ ඉගැන්වීම් මෙවලම් යොදාගැනීමට ඔවුහු කටයුතු කරති. ඔවුන් එසේ කරන්නේ මෙවැනි සෞඛ්‍ය ගැටලු දීර්ඝ කාලීන වශයෙන් සමාජමයට සිදුකරන බලපෑම අවම කරගැනීමටය.

ක්ෂණික ආහාර පාන, අතිශය කාර්ය බහුල ජීවිතය, වෘත්තීමය හා ආර්ථික පීඩනය ඉහත දැක්වූ ආකාරයට සිංගප්පූරුවට පමණක් නොව සමස්ත ලෝකය තුළම මානව සමාජයේ නිරෝගී භාවය වේගයෙන් ගොදුරු කරගනිමින් තිබේ. ප්‍රාග් ධන සටන හේතුවෙන් ඇතිවන කායික හා මානසික සංකූලතා ප්‍රබල ව්‍යසනයක්ව මතුවෙමින් ඇත. එකී ව්‍යසනයෙන් මඟ හරින්නට ලොව ඇති ප්‍රබලම මෙවලම ක්‍රීඩාවය.

ක්‍රීඩාව යනු තරගකාරී කාණ්ඩයට පමණක් ලඝුකළ යුත්තක් නොවේ. එයට මානසික හා ශාරීරික ව්‍යායාම් ද ඇතුළත්ය.

ලෝකයේ සෙසු බොහෝ රටවල් මෙන් ශ්‍රී ලංකාව තුළ ද මෙම තත්ත්වය ගොඩනැංවීම කෙරේ දැන් දැන් රජයේ පූර්ණ අවධානය යොමුවී ඇත්තේ එහෙයිනි. ඊට වැඩිවශයෙන් හේතුවනුයේ පුරවැසියාගේ නිදහස් සෞඛ්‍ය ප්‍රතිපාදන වෙනුවෙන් ඖෂධ ආනයනය කිරීම වෙනුවෙන් පමණක් වාර්ෂිකව සැලකිය යුතු විදේශ විනිමය ප්‍රමාණයක් වැය කිරීමට සිදුව ඇති හෙයිනි. එසේම රටේ මානව සම්පතේ සැලකිය යුතු ප්‍රතිශතයක් බෝ නොවන රෝග වලට ගොදුරුවීමේ අවධානමක් මතුවෙමින් ඇති හෙයින්ය.

මෙම තත්ත්වයට පිළියමක් ලෙස ‘සැමට ක්‍රීඩා’ සංකල්පය රට තුළ ස්ථාපනය කිරීමට ක්‍රීඩා අමාත්‍යාංශය මූලිකත්වය ගෙන සිටීම ප්‍රශංශනීයය. ඒ යටතේ විවෘත කායවර්ධන මධ්‍යස්ථාන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ මට්ටමින් ආරම්භ කිරීමේ වැඩපිළිවෙල, ඇවිදීමේ මංතීරු දහසක් රට තුළ ස්ථාපනය කිරීමේ යෝජනාව දැක්විය හැකිය.

පසුගියදා ක්‍රීඩා අමාත්‍යවරයා කියා සිටියේ දිස්ත්‍රික් මට්ටමින් එසේ අලුතින් ඉදිකෙරෙන ඇවිදීමේ මංතීරු ආශ්‍රිතව නාගරික වන වගා ව්‍යාපෘතියක් ආරම්භ කිරීමේ අදහසක් පවතින බවය. සැබැවින්ම එය කාලෝචිත යෝජනාවකි. සංවර්ධනය හේතුවෙන් පරිසරයට සිදුවන විනාශය සලකා බලද්දී එය යම් පණකට නාගරික අම්ලකර වායු ගෝලයට ප්‍රාණ ජීවය පිඹීමකි.

එහෙයින් තුරු ලතා පෙළක සිහිලස යට ව්‍යායාමය පිණිස ඇවිදයන මංතීරු නිර්මාණය කිරීම වෙසෙසින් අගය කළ යුතුය. අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර තිබුණේ ශ්‍රී ලංකාවේ දේශගුණ ක්‍රියාකාරිත්වය සහ ඊට අනුගත විය යුතු ආකාරය සම්බන්ධයෙන් පැවැති ජාතික සංවාදය අමතමින්ය.

ඇමැතිවරයාගේ මෙම යෝජනාව හුදු ප්‍රකාශයක් බවට පත් නොකිරීමේ වගකීම දැන් ඇත්තේ බලධාරීන් සතුවය. අප එසේ කියන්නේ සුවතා මංතීරු වෙත සුවහසක් ජනතාව ආකර්ශනය කරගැනීමටද, දූෂණය වූ නාගරික වායුගෝලයට අම්ලක වාත අණු පිඹීමේ මහඟු පුණ්‍ය කර්මයටද සම ඉඩක් මෙමගින් සැපයෙන බව අවබෝධ කරගනිමින් ඊට ප්‍රමුඛත්වය ලබාදෙමිනි.

 

Comments