
ක්‍රීඩා අමාත්‍යාංශය විසින් පිහිටුවා ඇති උසස් දක්ෂතා සංචිතයේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් හැටක් උදෙසා රුපියල් ලක්ෂයක මාසික දීමනාවක් ලබාදීම පසුගියදා ආරම්භ කරනු ලැබිණි. ඒ ක්‍රීඩා අමාත්‍යවරයාගේ පූර්ණ උපදෙස් මත ය. පසුගිය සතියේ සිදුවූ එම වැඩපිළිවෙල තවදුරටත් ඉදිරියට රැගෙන යමින් ෆෝනටෙරා සමාගම සමඟ ඇතිකරගත් ගිවිසුමකට අනුව එම සංචිතයේ එක් ක්‍රීඩකයකුට මසකට රුපියල් විසි පන්දහස බැගින් පෝෂණ දීමනාවක් ලබාදීම වෙනුවෙන් ගිවිසුමකට ද එළඹිණි.
පළමුව පැවසිය යුත්තේ එය ඉතා අනගි ක්‍රියාවක් බවය. අප එසේ කියන්නේ මීට පෙරද ක්‍රීඩාව තුළ මෙවැනි ස්වර්ණමය ඉතිහාසයක් නිර්මාණය වුණු ආකාරය ඇසින් දුටු සාක්ෂිකරුවන් වශයෙනි. එහි ප්‍රතිඵලය වූයේ දකුණු ආසියාව ඉක්මවා ආසියාව, පොදුරාජ්‍ය මණ්ඩලය, ලෝක ශූරතාව හා ඔලිම්පික් දක්වා පදක්කම් දිනාගත හැකි ක්‍රීඩක, ක්‍රීඩිකාවන් පිරිසක් බිහිවිමය.
එලෙස බිහිවූ ක්‍රීඩක, ක්‍රීඩිකාවන්ගෙන් කීපදෙනෙක්ම කොළඹ නගරාසන්නයේ බිම් කැබැල්ලක්, නිවාසයක්, හොඳ රැකියාවක් හිමිකර ස්වකීය ජීවිතයේ මැදියම යහපත් ජීවන තත්ත්වයක් ගොඩනගා ගනිමින් සතුටින් ජීවත් වෙති. ඔවුනට ගමන් බිමන් යන්නට තමන්ගේ කියා පෞද්ගලික මෝටර් රථ ඇත. දහසක් බාධක මැද දිනාගත් පදක්කම් ගොන්නක් ද නිවසේ ආලින්දයේ හෝ සමරු තිළිණ තබන්නට ඉදිකළ කුටියේ හෝ තබා තිබේ. සාපේක්ෂ වශයෙන් සලකන කල්හි ජීවිත සුඛිත මුදිතය.
මේ තත්ත්වය අනුව යමින් වත්මන් ක්‍රීඩා බලධාරීන්ද පෙර කී ආකාරයට ක්‍රීඩකයන් විෂයේ දීමනාවන් ලබාදීමට තීරණය කිරීම වැදගත් ප්‍රයත්නයකි. එය අනාගතයේ දිනාගැනීමට අපේක්ෂාවෙන් පසුවන පදක්කම් ජයග්‍රහණ සොයා යෑම කඩිනම් කිරීමකි.
එහිදී 2022 වසරේ පැවැත්වීමට නියමිත ආසියානු ක්‍රීඩා උළෙල සහ පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල ප්‍රමුඛ අධ්‍යාශය බවට පත්ව ඇති බව පෙණේ. මෙලෙස රුපියල් ලක්ෂයක දීමනා ලබන ක්‍රීඩකයන් අයත්වන්නේ මලල ක්‍රීඩා, බර ඉසිලීම, බොක්සිං, ජූඩෝ,බැඩ්මින්ටන්, පිහිනුම්, පැරා ආදී ක්‍රීඩා සංගම් තුළය. ඔවුන් පදක්කම් දිනාගැනීමට ආසන්නතම ක්‍රීඩාවන් ලෙස හඳුනාගත් ක්‍රීඩා නියෝජනය කරන්නෝ වෙති.
එහෙත් එයින් කියැවෙන්නේ ජාත්‍යන්තරය දිනාගත හැක්කේ මෙම ක්‍රීඩා හතට පමණක් කියා නොවේ. උදාහරණයකට ඉලක්කයට වෙඩි තැබීම ඒ ආකාරයෙන්ම පදක්කම් අපේක්ෂා කළ හැකි ක්‍රීඩාවකි. දුන්නෙන් විදීමද එසේය. කඩු සරඹ ක්‍රීඩාව සඳහාද පදක්කම් වෙනුවෙන් යම් ඉලක්කයක් ලබාදුන්නාට වරදක් නැත. කණ්ඩායම් ක්‍රීඩා අතරින් හොකී ක්‍රීඩාවට පහසුකම් ලබාදෙන්නේ නම් එහිද ආසියාව ජයගත හැකි දක්ෂයන් අප රට සතුව නැතැයි කිසිවකුටත් පැවසිය නොහැකිය. ආසියාව දිනා ඇති දැල්පන්දුවෙන් ලෝකය දිනන්නට ප්‍රයත්නයක් වශයෙන් එකී ක්‍රීඩක සංචිතයටත් යම් මූල්‍ය ප්‍රදානයක් කිරීම යෝග්‍යය.
අප යෝජනා කරන්නේ පෙර සඳහන් කළ සියලු ක්‍රීඩා සංගම්වලින් තෝරාගන්නා ක්‍රීඩකයන්ට රුපියල් ලක්ෂයේ දීමනාව ලබාදිය යුතුබව නොවේ. එහෙත් අවම වශයෙන් එම දීමනාවෙන් හතරෙන් එකක් හෝ ලබාදී ඔවුන් දිරිගන්වන්නේ නම් මීට වඩා සාධනීය ප්‍රතිඵල අත්පත් කරගැනීමට හැකි බවය.
මේ බව තේරුම් ගෙන කටයුතු කිරීමට ක්‍රීඩා අමාත්‍යාංශ බලධාරීන් කටයුතු කළ යුතු අතර ජාතික ක්‍රීඩා සභාව විසින් ද ක්‍රීඩා අමාත්‍යවරයා දැනුවත් කිරීම වැදගත් ය.
කෙසේ නමුත් දැනට මේ ආකාරයෙන් දීමනා ලබාදෙමින් ආරම්භකර ඇති විප්ලවය සුවිශාලයැයි අපි පිළිගනිමු. එහි ප්‍රතිඵල අනාගතයේ මෙරට ක්‍රීඩා ක්ෂේත්‍රයට කඩිනමින් ළඟාවනු ඇත. එහෙත් අප පෙර කළ යෝජනාව අනුව කටයුතු කරන්නට උත්සුක වන්නේ නම් එය බොහෝ ක්‍රීඩා තුළින් පුබුදුවා ගත් ජයග්‍රහණයක් බවට පත්කරගැනීම කිසිසේත්ම අසීරු නැත.










