
මලල ක්‍රීඩකයෝ සමඟ මම ගනුදෙනු කළේ ඔවුන්ගේ සහෝදරයා විධිහට නේපාලයේදී මුළු දකුණු ආසියාවම පරාජය කළා. එදා මට මහා ආඩම්බරයක් ඇතිවුණා. මගේ ක්‍රීඩකයෝ නොවෙයි දිව්වේ, මමයි දිව්වේ වැනි හැඟීමකිනුයි මගේ හිත පිරිලා ගියේ.
අපේ ක්‍රීඩකයන්ට මම අල්ලස් දීලා නෑ
රට, දැය වෙනුවෙන් ජීවිත දානයට සූදානම් කියන්නේ ඉහළම මනුස්සකමක්
ක්‍රීඩකයෝ සමඟ ඉන්න ඕනෑම දෙයක් අතහරින්න මම සූදානම්
කාලයකට පස්සෙ කොහොමද වැඩකටයුතු? තවම නිල ඇඳුම අමතක කරලා නෑ වගේ?
නිල ඇඳුම අමතක කරලා කොහොම ද? අපි ආදරය කරන නිල ඇඳුම අපිට අපේ ආත්මය වගේ තමයි. ඒ නිල ඇඳුම තුළ තවත් කාලයක් ජීවත් වෙන්න මට අවස්ථාවක් ලැබුණා. මොකද මම විශ්‍රාම ගිය සැණින් නැවත සේවයට කැඳෙව්වා. එහෙම කැඳවලා අලුත් වගකීම් ගොන්නක් භාරදුන්නා. ඉතින් හමුදා නිලධාරියෙක් වශයෙන් මට නිල ඇඳුම අමතක කරන්නත් බෑ. අමතක කරවන්නත් බෑ.
කොහෙන්ද පාත්වෙලා වගේ මලල ක්‍රීඩාවට ආපු ඒත් මලල ක්‍රීඩාව ඇතුළේ නමක් තබාපු හමුදා නිලධාරීන් අතර ඔබට තිබෙන්නේ ඉහළ පිළිගැනීමක්. ඒ ගැන මොකද හිතෙන්නේ?
මම කොහෙන්හරි පාත්වුණු කෙනෙක් නොවෙයි. ඒක නිවැරැදි කරන්න ඕනෑ. ඇත්තටම මගේ මලල ක්‍රීඩා භූමිකාව ගැන සතුටු වෙන එක ගැන මටත් සතුටුයි. මොකද මමත් ඒ භූමිකාව සම්බන්ධයෙන් අතිශය තෘප්තිමත් වන නිසා.
මොකද ඔබ මලල ක්‍රීඩාවට උඩින් පාත්වුණා කියන එක පිළිනොගන්නෙ. අපි දැක්කේ ඔබ එහෙම උඩින් පාත්වූ කෙනෙක් විදිහට තමයි?
නෑ. මම මලල ක්‍රීඩාවට එන්නේ යුද හමුදා මලල ක්‍රීඩා සංගමයේ සභාපතිවරයා වශයෙනුයි. ඒ විදිහට තමයි මම මගේ නිල බලයෙන් මලල ක්‍රීඩා සංගමයට එන්නේ.
ඊට පස්සේ ඔබ එකපාරටම නේපාලයේ පැවැත්වුණු දකුණු ආසියානු ක්‍රීඩා උලෙළේ ශ්‍රී ලංකා මලල ක්‍රීඩා කණ්ඩායමේ කළමනාකරු වශයෙන් තෝරාගන්නවා. කොහොමද එකපාරටම මේක වුණේ?
වර්තමාන මලල ක්‍රීඩා සභාපති මේජර් ජනරාල් පාලිත ප්‍රනාන්දු මහතා තමයි මාව එම තනතුරට පත් කරන්නේ. ඒ නිසා මට දකුණු ආසියානු තරගාවලියට යන ශ්‍රී ලංකා මලල ක්‍රීඩා කණ්ඩායමේ කළමනාකරු වෙන්න අවස්ථාවක් උදාවෙනවා. ඒක එක පාරට ලැබුණු දෙයක් නොවෙයි. මගේ හැකියාව ගැන මලල ක්‍රීඩා සභාපතිතුමා දක්වපු තක්සේරුවේ ප්‍රතිඵලයක් වශයෙන් තමයි එය මට හිමිවුණේ.
ඔබ ඒ ආකාරයෙන්, දකුණු ආසියානු තරගාවලියේ ශ්‍රී ලංකා මලල ක්‍රීඩා කණ්ඩායමේ කළමනාකාර ධුරයේ වැඩකටයුතු ගැන සතුටු වෙනවාද?
ඇයි නැත්තේ. මම ඉතාමත් තෘප්තිමත්. පසුගිය දකුණු ආසියානු ක්‍රීඩා උලෙළේදී අපට හැකියාව ලැබෙනවා රන් පදක්කම් පහළොවක් අරගෙන එන්න. ඒක වාර්තාවක්. අපි තමයි දකුණු ආසියාවේ මලල ක්‍රීඩාවේ වැඩිම රන් දිනන්නේ. මේ තැනට මට මගේ කණ්ඩායම සමඟ යන්න ලැබුණු එක ගැන සතුටුයි.
දිව්වේ, පැන්නේ ක්‍රීඩකයෝ. කළමනාකරු කළේ කණ්ඩායම භාරව රට යන එක විතරයිනේ කියලා ඇතමුන් සිතන එකක් නැද්ද?
එහෙම හිතන්න පුළුවන්. ඒත් මම කළමනාකරුවා වශයෙන් මගේ ආදරණීය මලල ක්‍රීඩා කණ්ඩායම සමඟ හොඳ පෞද්ගලික ගනුදෙනුවක් පවත්වා ගත්තා. ඔවුන්ගේ සහකම්පනය මට දැනුණා. ඒ සෑම දෙයක්ම හැකි පමණ විසඳලා, ඒ සඳහා පිළිතුරු සපයා දෙන්න මම උත්සුක වුණා. ඒක නිකම්ම නිකං කළමනාකරුවා කියන නාමික භූමිකාව නොවෙයි.
මොනවද ඔබ කළමනාකරුවකු විදිහට කරපු වැඩ? අනෙක ඔබ හමුදා නිලධාරියෙක්. එත-කොට ක්‍රීඩකයන්ට ළංවෙන්න තියෙන අවස්ථාව අඩු වෙනවා කියලයි අපිට හිතෙන්නේ?
ඒ ඔබට හිතෙන හැටි. නමුත් මම නේපාලයේ තිබුණු දකුණු ආසියානු ක්‍රීඩා උළෙලට ගියේ කළමනාකරුවා කියලා ලොකුකම පෙන්වන්න, ක්‍රීඩකයන්ට ළංවෙන්න බැරි නිලධාරියෙක් විදිහට නෙවෙයි. ඒකයි මම කිව්වේ ක්‍රීඩකයන්ගේ සහකම්පනය මට දැනුණා කියලා. ඒ සහකම්පනය නිසා මම හැකිතාක් ක්‍රීඩකයන්ගේ ප්‍රශ්න විසඳන්න උත්සුක වුණා. එහෙම කරන්න මට හැකිවුණේ වෙන කිසිවක් නිසා නොවෙයි. මම ක්‍රීඩකයන්ගේම සහෝදරයෙක් වුණු නිසයි. ඔවුන්ව නිවැරැදිව තේරුම්ගත් නිසයි.
ඔබ මලල ක්‍රීඩා කළමනාකාරිත්වය භාරගනිද්දී ඒ කණ්ඩායමේ විශාල පිරිසක් යුද හමුදා ක්‍රීඩා සමාජය නියෝජනය කළ ක්‍රීඩකයෝ. ඔය කියන සහෝදර කතාව ඔවුන් සම්බන්ධයෙන් සලකද්දී එතරම් සාධාරණ කතාවක් නොවෙයි නේද?
ඔබ මහින්ද මුදලිගේ කියන්නේ කවුද කියලා දන්නේ නෑ. නමුත් මම මගේ ක්‍රීඩකයන් එක්ක නේපාලයට ගියේ ඔවුන්ගේ වැඩිමහල් සහෝදරයා, ඇතැම් වෙලාවට තාත්තා, අම්මා වගේ ආදරයකින්. ඒක එහෙම වුණේ මම ඔවුන්ගේ හැම ප්‍රශ්නයකටම ඇහුම්කන් දුන් නිසයි. මම කිව්වා විනය මූලිකව ආරක්ෂා කරගෙන අපි කටයුතු කළ යුතුයි කියලා. මගේ ක්‍රීඩකයන් ඒ හැම දෙයක්ම කළේ විනය උපරිම ආරක්ෂා කරලා. ඔවුන්ගෙන් විනය විරෝධී කිසිවක් සිදුවුණේ නෑ. හැබැයි ඔවුන්ගේ සෑම ප්‍රශ්නයක්ම මම දැනගෙන ඒවාට හැකි උපරිම ආකාරයෙන් සාධාරණ පිළිතුරු සොයා දුන්නා. අනෙක මම නේපාලයේ හිටියේ යුද හමුදා නිල ඇඳුම දරාගෙන නොවෙයි. මම එතැනදී කළේ රට වෙනුවෙන් පදක්කම් සොයන මෙහෙයුමක්. ඒ කළමනාකාරිත්වය ආදරය මූලික කරගනිමින් ගොඩනඟාගත් එකක්. මම මේ කියන දේ ජාතික පුහුණුකරුවා, සෙසු පුහුණුකරුවෝ, මාධ්‍යවේදීන් ඇතුළු බොහෝදෙනෙක් දැක්ක දෙයක්.
ඔබ නේපාලයේදී පදක්කම් දිනා-ගන්න ක්‍රීඩකයන්ට අල්ලස් දුන්නා කියලත් ආරංචියක් ගියා. ඒක ඇත්තද?
මම දුන්නු ලොකුම අල්ලස තමයි ඔවුන්ට සහෝදරයෙක් වෙන එක. හැමදාම අපි කතා කළා. හැකිතාක් අඩුපාඩු නැති කර ගත්තා. අපේ ක්‍රීඩකයෝ කවුරුහරි ඉසව්වකට යනවා නම් අපි ඔක්කොම පිට්ටනියට ඇවිල්ලා තැන තැන ස්ථාන ගත වෙලා දිරි ගැන්වූවා. ජය පරාජ දෙකේදීම අපි අපේ ක්‍රීඩකයෝ ළඟ හිටියා. ඒක අල්ලසක් කියලා කියනවා නම් ඒක සහෝදරත්වයේ, ආදරයේ අල්ලසක්. කළමනාකරුවකු වශයෙන් අල්ලස් ලබාදුන්නා කියලා අල්ලස් විමර්ශනයට ගෙනයන්න බැරි අල්ලසක්නෙ ඒක. ඒ නිසා යමෙක් එය අල්ලසක් කියනවා නම් ඒ අල්ලස ක්‍රීඩකයන්ට දෙන්න මම හැමදාම කැමැතියි.
නෑ. ඒක විතරක් නොවෙයි. තව අල්-ලසක් දීලා තිබුණා. ඔබ ඒක හංගනවා ද?
නෑ. ඔබ කියන්නේ අපි ලුම්බිණි වන්දනාවේ ගිය එක වෙන්නැති. ඔව්. මම අපේ මලල ක්‍රීඩා සංචිතයම ලුම්බිණිය වඳින්න එක්ක ගියා. ඒක අපි කළ විශිෂ්ට වැඩක් කියලයි මම හිතන්නේ. ජයග්‍රහණය ලබන්න අපිට ඒ ආශිර්වාදයත් ඉවහල් වෙන්න ඇති. මගේ මේ ක්‍රියාව බොහෝ ක්‍රීඩකයන්ගේ මවුපියන් පවා අගය කළා. ඉතින් ඒක අල්ලසක් නොවෙයි. වැඩිහිටි සහෝදරයෙක් සැලසුම් කළ ආශ්චර්යමත් වන්දනා ගමනක්.
ඔබ තුළ ඇති සිවිල් ආධ්‍යාත්මය නේපාල සීතලත් එක්ක උඩ මතු වෙලා මේ දේවල් ක්‍රීඩකයන්ට ලබාදෙන්න ඇති නේද?
කොහොමත් සිවිල්, හමුදා කියලා ආධ්‍යාත්මයන් දෙකක් නෑ. අපි හමුදා සොල්දාදුවන් වුණා කියලා ආධ්‍යාත්මයක් නැති මිනිස්සු නෙවෙයි. අපි තුළත් ගැඹුරු මිනිසත්කම් තිබෙනවා. ඒ නිසා තමයි අපි රට වෙනුවෙන් ජීවිතය පවා පරිත්‍යාග කරන්න සැදී පැහැදී සිටින්නේ. එහෙම නැතිව නේපාල සීතලට මගේ යටි සිතේ තියෙන මනුස්සකම් උඩ මතු වුණා නොවෙයි. අපිට මනුස්සකම් ගැඹුරින් තියෙන නිසා තමයි ජීවිතය රට, ජාතිය වෙනුවෙන් දන් දෙන්න ඉදිරියට එන්න හැකිවෙලා තිබෙන්නේ.
ක්‍රීඩකයෝ තරගාවලියෙන් අනතුරුව ඔබව ඔසවාගෙන ගියා. ඒ තරමටම ඔවුන්ට ඔබව කළමනාකරුවෙක් වශයෙන් දැනිලා තිබෙනවා. ඒ ගැන මොකද හිතේනේ?
ඒ තමයි මගේ ජීවිතයේ සතුටුම දවස් වලින් එකක් වන්නේ. රට සතුරන්ගෙන් ආරක්ෂා කරගෙන අපි යුදමය ජයග්‍රහණයක් ලබාගැනීම ගැන සතුටු වුණා වගේම නේපාලයේදී මුළු දකුණු ආසියාවම පරාජය කළා. එදා මට මහා ආඩම්බරයක් ඇතිවුණා. මගේ ක්‍රීඩකයෝ නොවෙයි දිව්වේ, මමයි දිව්වේ වැනි හැඟීමකිනුයි මගේ හිත පිරිලා ගියේ. ඒක දැනුත් මා ළඟ තිබෙනවා. මම ඒ හැඟීමට ආදරෙයි.
විශ්‍රාමික මේජර් ජනරාල් පාලිත ප්‍රනාන්දු මහතා සහ ඔබ අතර සමීප ඇසුරක් තිබෙනවා වගේ?
එතුමා මගේ ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරියෙක්. ඒ ගෞරවය අප තුළ තිබෙනවා. මම ඔය තනතුර ලැබෙන කාලේ යුද හමුදා ක්‍රීඩා සමාජයේ සභාපතිවරයා. ඉතින් නිල බලයෙන්ම මම මලල ක්‍රීඩා සංගමයට ආවා. එතැනදී මට මේජර් ජනරාල් පාලිත ප්‍රනාන්දු මහතා ජාතික මලල ක්‍රීඩා සංචිතයේ වගකීම් ලබාදුන්නා. එය එතුමාගේ සතුටට හේතුවෙන ආකාරයට ඉටුකරන්න මට හැකිවී තිබෙනවා. ඒක තමයි අපි අතර තිබෙන ගැඹුරුම විශ්වාසය හා ගෞරවය බවට පත්වන්නේ.
නේපාලයේ ඔබට තිබුණු සම්බන්ධතාත් මෙතැනදී යම් ආකාරයකින් ප්‍රයෝජනයට ගැනුණා කියන එක අදටත් රහසක් නේද?
ඔබ කොහොමද එය දන්නෙ. මගෙත් එක්ක විදේශීය හමුදා පාඨමාලා හදාරපු නේපාල ජාතික හමුදා නිලධාරින් දෙදෙනෙක් එතැන හිටියා. ඔවුන් මට නේපාලයේ වැඩකටයුතුවලදී උපකාර කළා. ඒක ඇත්ත.
සාමාන්‍යයෙන් නේපාලය කියන්නෙම දුෂ්කරතා පිරුණු රාජ්‍යයක්. දුප්පත්කම හා අඩු පහසුකම්, දේශගුණ හා භූ විෂමතා බාධක මෙතැනදී ප්‍රමුඛව තිබෙනවා. මේ තත්ත්වයන් කළමනා-කරණය කරද්දී ගැටුම් එන්න ඇති?
ඔව්. අපිට ස්ථිරව ඉන්න හිටින්න හෝටලයක්වත් තිබුණේ නැති අවස්ථා තිබුණා. ක්‍රීඩකයෝ හෝටලයෙන් හෝටලය. තමුන්ගේ බෑග් අරගෙන ඇවිද්දා. මමත් හිටියේ ඔවුන් සමඟයි. එකපාරක් දමිළ ජාතික මලල ක්‍රීඩකයෙක් මම ගමන් මල්ල ඇදගෙන යනවා දැකලා ඒ ගමන් මල්ල ඔහු රැගෙන ගියා. ඒ වැඩේ මම එපා කිව්වත් ඔහු කළේ මා ගැන සහෝදරයෙක් විදිහට ඇතිවුණු ගෞරවය, ආදරය නිසයි. ඉතින් මම අදටත් මලල ක්‍රීඩාවට ආදරය කරන්නේ, ක්‍රීඩකයෝ ළඟ ඕනෑම අවශ්‍යතාවයකට ඉන්න කැමැත්ත පළකරන්නේ ඒ නිසයි.
කසුන් ඉරුගල්බණ්ඩාර
ඡායාරූප - ජගත් ඉරෝෂණ










