
බොහෝ දෙනා අවධානය යොමු කළේ ප්‍රවීණයන්ගේ තරගවලට මිස වත්මන් කණ්ඩායමේ තරග දෙස නොවන බව විශේෂයෙන් දැක ගැනීමට ලැබුණු කරුණකි.
සනත් ජයසූරිය, බ්‍රයන් ලාරා, ජෝන්ටි රෝඩ්ස් වැනි ක්‍රීඩකයන් වයස පනහ ඉක්මවා සිටි අතර ඔවුන්ගේ දස්කම්වලට වයස බාධාවක් වූ බවක් නොපෙනිණි.
ජයග්‍රහණ පිපාසාවෙන් කල්මරමින් සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් ලෝලීන් හට ඉඩෝරයට වට පොද වැස්සක් වූවේ නම් ඒ පසුගිය දා අවසන් වූ ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ දස්කම්වලින් ඔපවත් වූ රෝඩ් සේෆ්ටි වර්ල්ඩ් සීරිස් ක්‍රිකට් තරගාවලිය බැව් නොකියා බැරිය, මෙහි විශේෂත්වය ශ්‍රී ලංකා ප්‍රවීණයන් තරග වැදුණු බොහෝ දිනවල වත්මන් ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ කොදෙව් දුපත් සංචාරයේ තරගද පැවැත්වෙමින් තිබීමය. එසේ වුවද බොහෝ දෙනා අවධානය යොමු කළේ ප්‍රවීණයන්ගේ තරගවලට මිස වත්මන් කණ්ඩායමේ තරග දෙස නොවන බව විශේෂයෙන් දැක ගැනීමට ලැබුණු කරුණකි. අවසන් මහා තරගය ඉන්දියාව වෙතින් පරාජය වුවද ප්‍රවීණ ක්‍රීඩකයන් මෙහිදී දැක්වූ දස්කම් කැපී පෙනිණි, තිලකරත්න දිල්ශාන්, නුවන් කුලසේකර, උපුල් තරංග, ෆර්වේෂ් මහරුෆ් වැනි ක්‍රීඩකයන්ගේ දස්කම් තවමත් ශ්‍රී ලංකා පිල නියෝජනය කිරීමට වුවද සෑහෙන මට්ටමක තිබිණි.
යුවරාජ් සිං, යුසුෆ් පතන්, ඉර්ෆාන් පතන්, මුනාෆ් පතිල්,විරේන්ද්‍ර සෙවාග් මෙන්ම නායක සචින් තෙන්දුල්කාර්ද ශුරතාව ජයගත් ජයග්‍රාහී ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් මෙම තරගාවලියේදී කැපී පෙනිණි, අවසන් තරගයේදී ශ්‍රී ලංකා පිලේ ජයග්‍රහණයට හරස්වූවේ යුවරාජ් සිං හා යුසුෆ් පතන් දෙදෙනායයි පවසතොත් එය අතිශයෝක්තියක් නොවේ. අර්ධ ශතක වාර්තා කරමින් ඔවුන් දෙදෙනා දියත් කළ ප්‍රහාරාත්මක පිතිහරඹය නතර කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් හට නොහැකි විය. අවසානයේදී අවසන් මහා තරගයේ සුවිශේෂ එමෙන්ම වේගවත් ක්‍රීඩකයා ලෙස යුවරාජ් සිං තෝරා ගැනිණි. කොදෙව් පිලට එරෙහිව අවසන් පූර්ව තරගයේදීද ඔහු පිත්ත හැසිරවූවේ තම අතීත පිතිහරඹය නැවත මතකයට ගෙන එමෙනි. තරගාවලියේ වැඩිම හයේ පහරවල් සංඛ්‍යාවක් එල්ල කළ පිතිකරුවා ලෙසද ඔහු හයේ පහර 17 ක් එල්ල කර සිටි අතර, තරගයක වැඩිම හයේ පහර එල්ල කළ පිතිකරුවාද වූවේ තරග දෙකක දී හයේ පහර හයක් බැගින් එල්ල කරමිනි. දැනට වසර දොළහකට පමණ ඉහත ඔහු ස්ටුවර්ඩ් බ්‍රෝඩ් හට එරෙහිව එක පන්දු ඕවරයක හයේ පහර හයක් එල්ල කළේද මේ ආකාරයෙනි. අවසන් තරගයේ වීරයා ලෙස ගෞරව අත් කරගත් යුසුෆ් පතන්ද අතීතයේ මෙන් ප්‍රහාරාත්මක පිතිහරඹය තවමත් තමා වෙතින් ගිලිහී ගොස් නොමැති බව මැනවින් පෙන්නුම් කළේය, අවසන් තරගයේදී සනත් ජයසූරිය පන්දු 35 කින් ලකුණු 43 ක් ලබා ගත්තේ දැනට වසර ගණනකට ඉහත පන්දුවට පහරදුන් ආකාරයෙනි.තරගාවලිය පුරා පන්දුවෙන් මෙන්ම පිත්තෙන් එක ලෙස දස්කම් දැක්වූ ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායමේ නායක තිලකරත්න දිල්ශාන් තරගාවලියේ වීරයා බවට බවට පත්වූ අතර ඔහු තරග අටකදී ලකුණු 271 ක්ද, කඩුලු 12 ක්ද ලබාගෙන තිබුණේ වැඩිම කඩුලු මෙන්ම, වැඩිම ලකුණු ද ලැබූ පිතිකරුවා වශයෙනි. බංගලි දේශයට එරෙහිව නොදැවී ලකුණු 99 ක් වාර්තා කළ උපුල් තරංග තරගාවලියේ ඉනිමක වැඩිම ලකුණු ලැබූ පිතිකරුවා වීමේ ගෞරවය අත් කර ගත්තේය.එමෙන්ම පිතිකරුවන් අතරින් ලකුණු ලබා ගැනීමේ හොඳම සාමාන්‍ය වාර්තා කර තිබුණේද ඔහුය. එය 118.50 කි.
ඉනිමක හොඳම පන්දු යැවීමේ ගෞරවය අත්වූයේද ශ්‍රී ලංකාවටය. ඒ නුවන් කුලසේකර 25/05 ලෙස අවසන් පූර්ව තරගයේදී දකුණු අප්‍රිකාවට එරෙහිව පන්දු යවමිනි. එමෙන්ම දිල්ශාන් හා එංගලන්තය නියෝජනය කළ මොන්ටි පනේසර්ද, ඉන්දියාවේ මුනාෆ් පතෙල්ද තරගයක කඩුලු හතරක් ලබාගත් පන්දු යවන්නන් අතර වූහ. අර්ධ ශතක දෙකක් වාර්තා කළ පිතිකරුවන් අතර, තෙන්ඩුල්කාර්, විරේන්ද්‍ර ෂෙවාග්, යුවරාජ් සිං, ඉර්ෆාන් පතන්, දිල්ශාන්, උපුල් තරංග, මෝර්න් වැන් වයික් (දකුණු අප්‍රිකාව), ඩ්වන් ස්මිත්, නාර්සිං ඩේනරින් (කොදෙව්)යන ක්‍රීඩකයන් කැපී පෙනිණි. දකුණු අප්‍රිකාවේ ඇන්ඩ්රු පුටික් හා මෝර්න් වැන් වයික් එක්ව බංගලි දේශයට එරෙහිව එක් කළ මුල් විකට්ටුව වෙනුවෙන් වූ නොබිඳුණු ලකුණු 161 සම්බන්ධතාවයද මෙහිදී අමතක කළ නොහැක. තරගයක වැඩිම උඩ පන්දු රැක ගනිමින් කැපී පෙනුණේ ශ්‍රී ලංකාවේ සචිත්‍ර සේනානායකය. ඔහු පසුගිය වසරේ ඔස්ට්‍රේලියාවට එරෙහිව පැවති තරගයේදී උඩ පන්දු තුනක් රැක ගෙන තිබිණි.
සමස්තයක් වශයෙන් ගත් කල මෙම තරගාවලිය නියෝජනය කළ ක්‍රීඩකයන් බොහෝ දෙනකු වයස අවුරුදු තිස් පහ ඉක්මවා හතළිහට ආසන්නව සිටි අතර මේ අතරින් සචින් තෙන්ඩුල්කාර්, විරේන්ද්‍ර සෙවාග්, මෝර්න් වැන් වයික්, ඇන්ඩ්රු පුටික්, මකායා එන්ටිනි, චින්තක ජයසිංහ, දිල්ශාන්, කෙවින් පීටර්සන්, වැනි ක්‍රීඩකයන් වයස අවුරුදු හතළිහ ඉක්මවා සිටියහ. එමෙන්ම සනත් ජයසූරිය, බ්‍රයන් ලාරා, ජෝන්ටි රෝඩ්ස් වැනි ක්‍රීඩකයන් වයස පනහ ඉක්මවා සිටි අතර ඔවුන්ගේ දස්කම්වලට වයස බාධාවක් වූ බවක් නොපෙනිණි.
ඩිල්ෂාන්ගේ අභ්‍යන්තර රුධිර ගලනයේ ඇත්ත කතාව
''ඔහු කලව ආශ්‍රිත මාංස පේශි ඉරීමකට ලක්වුණා. එහෙම තිබියදීත් තමයි ක්‍රීඩා කළේ.'' ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායමේ කළමනාකරු ශ්‍යාම් ඉම්පෙට් පවසයි. මේ සඳහා ඉවහල්ව ඇත්තේ පළමු මට්ටමේ මාංස පේශි ආබාධයකට ලක්ව තිබියදී දිගින් දිගටම තරග වැදීම හේතුවෙන් ඇතිවූ තත්ත්වයක් බව ඔහු පවසා තිබිණි.
''ආරම්භයේදී පළමු මට්ටමේ මාංස පේශි ඉරීමක් වුණත් දෙවැනි තරගයෙන් පසුව එය දෙවැනි මට්ටමේ ආබාධයක් බවට පත්වුණා. තරගාවලියේ තෙවැනි තරගයෙන් අනතුරුව එය තෙවැනි මට්ටමේ පේශි ඉරීමක් වෙලයි තිබුණේ. ඒත් ඩිල්ෂාන් තරග වැදීම අතහැරියේ නෑ. වේදනා නාශක බොමින්, එන්නත් විද ගනිමින් ක්‍රීඩාවේ නිරත වුණා.'' ඔහු පැවසීය.
මේ අනුව ඩිල්ෂාන්ගේ මාංස පේශි ඉරීම අඟල් හතරක් තරම් විශාල බව කියැවෙන අතර, අභ්‍යන්තර රුධිර ගලනයක් සිදුවෙමින් ඇතැයිද පැවසුණේය. එය දරුණු වේදනාවක්. මේ නිසා ඔහු යළි ඔස්ට්‍රේලියාවට යෑමට පෙර එම්.ආර්.අයි. ස්කෑන් පරීක්ෂණයකට යොමුවුණා.'' කළමනාකරුවා ප්‍රකාශ කර තිබුණේය.
රංගනගේ එකට එක
රංගන හේරත් යනු මුත්තයියා මුරලිදරන්ගෙන් පසු ශ්‍රී ලංකාව බිහි කළ හොඳම දඟ පන්දු යවන්නා මෙන්ම ලෝකයේ හොඳම වමත් පා දඟ පන්දු යවන්නායි. ඔහුත් මෙවර සේෆ්ටි ක්‍රිකට් ලෝක කුසලානයට ක්‍රීඩා කළා. එහිදී අවසන් මහා තරගයේදී ඔහුගේ පන්දුවකට අලංකාර හයේ පහරක් එල්ල කරන්න විරේන්ද්‍ර සෙවාග් සමත්වෙනවා. එය ඩීප් මිඩ්විකට් කලාපය ඔස්සේයි ගමන් කරන්නේ. ප්‍රේක්ෂකාගාරය අන්දමන්ද වෙලා, සතුටින් උද්දාමයට පත්වෙලා. එසැණින් මොහොතක් කල්පනා කරමින් සිටි රංගන කඩුල්ල වටා පැමිණ තම පන්දු යැවීමේ රිද්මය යම් පමණකට වෙනස් කරමින් පන්දුවක් එවනවා.
ඒ පන්දුවටත් ඉදිරියට පැන හයේ පහරක් එල්ල කරන්න සිතාගෙන ඉන්න සෙවාග්ට සිදුවන්නේ පිත්ත කිහිල්ලේ රුවා ගනිමින් ප්‍රීති ඝෝෂා කරමින් සිටි ඉන්දීය ප්‍රේක්ෂකයන් තූෂ්ණිම්භූත කර ක්‍රීඩාගාරයට යන්නයි. එය එකට එක කිරීමක් ලෙසිනුයි විචාරකයන් පවසා ඇත්තේ.
ඩිල්ෂාන්ට තෑගි වරුසාවක්
'අපේ යුගය අනාගතය වෙත නිවැරැදිව සම්ප්‍රේෂණය කරන්න හැකි සීමිත ක්‍රීඩකයන් අතර ඔබ ප්‍රමුඛයෙක්. නුඹේ අනාගත ජීවිතයේ ඊළඟ අදියර වෙත සුබ පතනවා.' යැයි ජොන්ටි රෝඩ්ස් ඩිල්ෂා

න්ට තමන්ගේ ටී ෂර්ට් එකේ ලියා එය තෑග්ගක් වශයෙන් ලබාදුන්නා. ඒ අවසන් පූර්ව තරගයට පෙරයි.
ඊට පෙරද කොදෙව් ලෙජන්ඩ්ස් පිලේ නායක බ්‍රයන් ලාරා විසින් ඩිල්ෂාන්ට එම සමරුවම ප්‍රදානය කළා.
අන්කල් සනත්
ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම තමුන්ගේ කාමරයේ එක්රැස් වී එකිනෙකා තරග කළ ආකාරය අගයන්න සෑම තරගයකින් පසුවම අමතක කළේ නෑ, එහිදී සනත් ජයසූරියගේ පන්දු යැවීම අතිවිශිෂ්ට බව නායක ටී.එම්. ඩිල්ෂාන් කිව්වා. ඔහු එය ප්‍රකාශ කළේ 'අන්කල් සනත්ගේ පන්දුයැවීම විශිෂ්ටයි.' කියායි. එහි කිසිම වෙනසක් නොමැති බවත් එදා මෙන්මයි යැයි ද පවසද්දී, සනත්, අන්කල් වීම ගැන කනගාටුවෙන් තොරව තම හිතමිතුරු සහෝදර ක්‍රීඩකයන්ගේ ශුභාශිංසණ අතවනමින් පිළිගත්තා.
අනිල් විරසිංහ










