ක්‍රීඩා සමාජ වැරදි නෑ ක්‍රීඩකයෝ වැරැදියි තේරීම් කමිටුවත් වැරදියි | සිළුමිණ

ක්‍රීඩා සමාජ වැරදි නෑ ක්‍රීඩකයෝ වැරැදියි තේරීම් කමිටුවත් වැරදියි

DIRECT HIT

 

CHINTHAKA edirimanne

(දේශීය ක්‍රිකට් ප්‍රධානී)

පෙළ පළමු කාණ්ඩයේ ක්‍රීඩා සමාජ ප්‍රමාණය 10කට සීමා විය යුතුයි.

පසුගිය කාලේ අපේ ජාතික ක්‍රීඩකයන් කී දෙනෙක් දේශීය තරග ගහලා තියෙනවා ද බලන්න.

ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන්ගේ දස්කම් සහ ශාරීරික යෝග්‍යතාව වර්තමානයේ වැඩි කතා බහට ලක් වී තිබේ. කණ්ඩායමක් වශයෙන් අන්තර්ජාතිකව දැඩි පසුබෑමකට ලක්වෙද්දී මෙරට දේශීය ක්‍රීඩා සමාජ තරග බිමේ සැකැස්ම සම්බන්ධයෙන් ප්‍රශ්නාර්ථයක් මතුවෙයි. ජාතික කණ්ඩායමේ දස්කම් ඉහළ දැමීමට නම් ඊට ක්‍රීඩකයන් බිහි කෙරෙන දොරටුව ලෙස සැලකෙන දේශීය ක්‍රීඩා සමාජ ක්‍රිකට් ව්‍යුහයේ වෙනසක් සිදු විය යුතු බව ප්‍රසිද්ධ අදහසකි. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ දේශීය ක්‍රිකට් ප්‍රධානියා වන්නේ චින්තක එදිරිමාන්න මහතා ‘ක්‍රීඩා’ හා එක් වශයෙන් කටයුතු කරන පසුබිමක වීමය.

අපේ රටේ දේශීය ක්‍රිකට් ක්‍රීඩාව එහෙමත් නැතිනම් ‘ක්ලබ් ක්‍රිකට්’ දුවන්නේ ක්‍රිකට් ආයතනයට අවශ්‍ය විදිහට ද නැතිනම් ක්‍රීඩා සමාජවලට අවශ්‍ය විදිහට ද ?

ඒක දුවන්නේ ක්‍රිකට් ආයතනයටත්, ක්‍රීඩා සමාජවලටවත් ඕනෑ ඕනෑ විදියට නෙවෙයි. ඒකට වෙනම ක්‍රමවේදයක් තියෙනවා. ඒ අනුවයි ඒක දුවන්නේ. ජාතික කණ්ඩායමට ප්‍රවේශ වන මාර්ගය තමයි ඒක. අපි කරන්නේ ඒකට අවශ්‍ය සහයෝගය ලබා දීමයි. ඒ වගේම නිවැරැදිව යනවා ද කියලා අධීක්ෂණය කිරීමයි.

එහෙම නම් ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩා සමාජ වැඩියි කියලා හිතන්නේ නැත්තේ ඇයි ?

මම ක්‍රීඩා කරන කාලේ තිබුණේ ක්‍රීඩා සමාජ 8යි. ඒ කාලේ ක්‍රිකට් මෙච්චර ජනප්‍රියත් නෑ. 1996 ලෝක කුසලානය දිනා ගත්තාට පස්සේ අපේ රටේ ක්‍රිකට් හුඟාක් ජනප්‍රිය වුණා. ඊට සමගාමීව ක්‍රිකට් ක්‍රීඩා සමාජත් සංඛ්‍යාත්මකව වැඩි වුණා. පාසල් මට්ටමෙන් ක්‍රීඩාව ව්‍යාප්ත වෙනකොට ඒ තුළින් එන දරුවන්ට කොහේද ක්‍රිකට් ගහන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා ක්ලබ් වැඩිවුණා කියලා ප්‍රශ්නයක් නෑ. එවිට පාසල් මට්ටමේ හා අනික් ක්‍රීඩකයන්ට තිබෙන අවස්ථා ඉහළ යනවා.

ඒ වුණාට ක්‍රීඩා සමාජ වැඩි වුණාම ක්‍රීඩාවේ ගුණාත්මක බව අඩු වෙනවා නේද ?

ඒක හරි. ඇත්තටම ක්ලබ්ස් වැඩි-වෙන කොට ඩිවිෂන්වලට කඩලා උඩ ඩිවිෂන් එකේ ක්‍රීඩා සමාජ ප්‍රමාණය අඩු කරගැනීමයි විය යුත්තේ.

ඉතින් ඇයි එහෙම නොකරන්නේ ?

මෙහෙමයි මගේ පුද්ගලික මතය නම් පළමු පෙළ පළමු කාණ්ඩයේ ක්‍රීඩා සමාජ ප්‍රමාණය 10කට සීමා විය යුතු බවයි. ඒ දහයට යටිතල ව්‍යුහයක් තිබිය යුතුයි. ඒ කියන්නේ ක්‍රීඩාංගණ, පුහුණුකරුවන්, පුහුණු පහසුකම්, තණතීරු, ක්‍රීඩා නේවාසිකාගාර වගේ දේවල් ඉහළ තලයේ තිබිය යුතුයි. ඒක මගේ මතය.

මම අහන්නේ ක්‍රිකට් ආයතනයේ මතය ගැන?

ඒක මගේ ගෞද්ගලික මතය වුණාට බහුතරයත් ඒ මතයේ ඉන්නවා.

එහෙනම් ඇයි ඒක ක්‍රියාත්මක වෙන්නේ නැත්තේ ?

ඒක වෙනවා. මම මෙතැනට ආවට පස්සේ දැනට අවුරුදු 3කට කලින් ලංකාවේ දේශීය තරගාවලි සැලැස්ම ගැන සංශෝධනයක් ගෙනාවා. අපිට පළමුපෙළ ක්ල්බ්ස් 14ක් තියෙනවා. දෙවැනි පෙළ 12ක් තියෙනවා. පළමු පෙළ ගහනවා ක්ලබ්ස් 26ක්. ඉතින් අපි බැලුවා පළමු පෙළ හා දෙවැනි පෙළ කණ්ඩායම් 10ක් බවට පත්කරන්න.

ඉතින් ඒක කරන්න කල් ගන්නේ ඇයි ?

මේක එකපාරටම කරන්න බෑනේ. කවුරුත් කැමැති නෑ තමන් ඉන්න ස්ථානයෙන් පහළට යන්න. තරගාවලියක් ගහන කොට අන්තිමට වැටෙන කණ්ඩායම් දෙවැනි පෙළට වැටෙන විදිහට. එතැනදී තර්කයක් ආවා ඇයි දෙවැනි පෙළ ශූරයන්ට ඉහළ පෙළට යන්න අවස්ථාවක් දෙන්නේ නැත්තේ කියලා. අපි ඒකටත් පිළියමක් යෙදුවා. දෙවැනි පෙළ ශූරයන් හා පළමු පෙළ අවසන් කණ්ඩායම් 3ක් අතර වෙනම තරගාවලියක් පවත්වන්න.

ඒ විදියට දෙවැනි පෙළත් අවසන් කණ්ඩායම් කිහිපය තුන්වැනි පෙළ ඉදිරියෙන් ඉන්න කණ්ඩායම් එක්ක තරග කරන්න. එතකොට අවුරුදු 2ක් යනකොට අපිට පළමුපෙළ 10කුයි. දෙවැනි පෙළ 10කුයි හදාගන්න පුළුවන් වෙනවා. අවාසනාවකට කොවිඩ් ප්‍රශ්නය ආවා. මේ යෝජනාව දැන් ඉන්න උපදේශක කමිටුවට දාලා එගොල්ලන්ගේ මතය මොකක්ද කියලා බලන්න දැන් හදන්නේ.

ඒ කියන්නෙ දේශීය ක්‍රිකට් ගුණාත්මක බව ඉහළ මට්ටමක රඳවා ගන්න නම් ක්‍රීඩා සමාජ අඩු වෙන්න ඕන කියන එක ඔබ පිළිගන්නවා?

ඔව්. හැබැයි අවස්ථා අඩු කරන්න හොඳ නෑ. ඒ විදියට තරගකාරීත්වය පවත්වා ගන්න පුළුවන් කියලා හිතනවා.

ඔය කියන ගුණාත්මක බව තියෙන ක්‍රීඩා සමාජ අපේ රටේ තිබෙනවා ද ?

තියෙනවා. විශේෂයෙන් දීර්ඝ ඉතිහාසයක් ඇති ක්‍රීඩා සමාජවලට ඔය කියන ව්‍යුහය තිබෙනවා. අපි ඒවා අධීක්ෂණය කරනවා. යටිතල පහසුකම් දියුණු කරගන්න අවශ්‍ය දැනුම, උපකරණ ලබාදීමේ වැඩපිළිවෙළක් සිදු කරන්න අපිට වෙනම අංශයක් තිබෙනවා. ඒ විදියට කරලා ක්ලබ් එක රන් කරන එක ඒ අයගේ වගකීමක්. තනිකරම ක්‍රිකට් ආයතනය මත යැපෙන්න බලාපොරොත්තු වෙන්න හොඳ නෑ.

ඔය කියන විදිහට ජාතික කණ්ඩායමට දක්ෂ ක්‍රීඩකයන් බිහි වෙයිද ?

ඒක සාර්ථකව සිද්ධ වෙනවා කියලා කියන්න පුළුවනි. නැෂනල් ටීම් එකට පහළින් අපිට ‘ඒ’ ටීම් එක තියෙනවා. ඒ ටීම් එක තමයි ජාතික කණ්ඩායමේ ප්‍රධාන සැපයුම් මාර්ගය. ඊට පහළින් නැඟී එන තරුණ ක්‍රිඩකයන්ගේ සංචිතය, සංවර්ධනය වෙමින් පවතින සංචිතයක් තිබෙනවා. ඒ අවුරුදු 19න් පහළ පාසල් ක්‍රිකට් ගහලා එළියට එන දක්ෂ ක්‍රීඩකයන්ට අවස්ථාව ලබා දෙන ආකාරයේ ක්‍රමවේදයක්. එයාලා සංවර්ධනය වෙමින් පවතින සංචිතයට එකතු වෙන්න පුළුවන්. කොවිඩ් නිසා මේවා නැවතිලා තිබෙන්නේ.‍

හොඳ තණතීරු සකසන්නෝ අපිට ඉන්නවා ද ?

ප්‍රමුඛතම ක්‍රීඩා සමාජවලට එවැනි සුදුසුකම්ලත් තණතීරු සකසන්නෝ ඉන්නවා. සමහර ක්ලබ්ස්වල ඉන්න අය අවුරුදු 30-40 පරණ අය. සුදුසුකම් නැති වුණත් තමන්ගේ අත්දැකීම් මත ඒ කාර්යභාරය සිදු කරන අය ඉන්නවා. අපි අන්තර් සමාජ තරගාවලියක් ආරම්භ කිරීමට පෙර එයාලට උපදෙස් දෙනවා. ඉන් පස්සේ අපේ ජාතික තණතීරු සකසන්නෝ යොදවලා ඔවුන් අධීක්ෂණය කරනවා. පහුගිය තරගවාර දෙකේදි ඒක හරියටම ක්‍රියාත්මක වුණා. හොඳ තණතීරු හැදුණා. පහුගිය තරගවාරවලදී අපේ ක්‍රීඩකයන්ගේ දස්කම් බැලුවොත් ඒක අවබෝධ වේවි.

තෙදින, සිවුදින වගේ තරගවලදී පළමු දිනයේදීම ක්‍රීඩා සමාජවල අවශ්‍යතාව අනුවයි තණතීරු සකස් වෙන්නේ ?

ඒ ඉස්සර. ඒ කාලේ වේගපන්දු යවන්නන් කඩුලු ගත්තේ නෑ. දැන් එහෙම නෑ පහුගිය තරගවාරය ගත්තොත් වේගපන්දු යවන්නනුත් කඩුලු ගත්තා. ඊට පෙර හෝම් ඇඩ්වාන්ටේජ් එක වැඩිපුර අරගෙන ක්ල්බ්ස් තරග ජයගත්තා. හැබැයි ඒකෙන් අපේ ක්‍රිකට් ක්‍රීඩාවට කිසිම වටිනාකමක් ලැබුණේ නෑ. ඒ නිසා සැලැස්ම අපි සංශෝධනය කළා. ක්‍රීඩා සමාජයක අරමුණු ඉටු කරගන්න ක්‍රීඩාව බිලිදෙන්න ඕන නෑ.

අපේ ජාතික කණ්ඩායමට එක්වෙන ක්‍රීඩකයන්ගේ දස්කම් ගැන ගැටලු මතුවෙන්නේ නැද්ද ?

නෑ. ඒක අපේ ක්ලබ් ක්‍රිකට්වලටම චෝදනාව එල්ල කිරීම සුදුසු නෑ කියලයි මම හිතන්නේ. අපේ ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයන් කීයෙන් කී දෙනා ද ක්ලබ් ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා කරන්නෙ. ජාතික තේරීම් සඳහා දේශීය ක්ලබ් ක්‍රිකට් පදනම් විය යුතුයි. නැතිනම් දේශිය තරගාවලි ගහලා වැඩක් නැහැනේ. පසුගිය කාලේ අපේ ජාතික ක්‍රීඩකයන් කී දෙනෙක් දේශීය තරග ගහලා තියෙනවා ද බලන්න.

ඒක ඉතින් එයාලගේ වැරැද්දක් නෙවෙයිනේ. සංචිතය තෝරන අයගේ දුර්වලතාවක්නේ. ?

මෙහෙමයි. එකක් හොඳ ක්‍රීඩකයන් ගස්සන එක ක්‍රීඩා සමාජයට අයිති වැඩක්. ඒ අතර ජාතික කණ්ඩායමේ කළමනාකාරීත්වය ක්‍රීඩකයන්ට කියන්න ඕනා දේශීය ක්‍රිකට් ගහන්න කියලා. අපිට ක්ලබ් සීසන් එක අතරේ සංචාර තියෙන්න පුළුවනි. නමුත් දේශීය තරග සෙල්ලම් කරන්න එයාලා වැඩි ප්‍රමුඛතාව දෙන්න ඕනෑ. කොයිතරම් අන්තර්ජාතික තරග අත්දැකීම් තිබුණත් අසාර්ථක වෙන ක්‍රීඩකයන් ඉන්නවා. ඉතින් එයාලාව එතැනින් පහළට දමලා දේශීය තරග සෙල්ලම් කරලා එන්න කියලා යොමු කරවිය යුතුයි. ඒක තේරීම් කමිටුවේ වැඩක්.

ඒ වුණාට පහුගිය තරග වාරයේදී වැඩිම කඩුලු දවාගත් දුවිඳු තිලකරත්න තවම එළියේ ?

ජාතික තේරීම් කමිටුව දේශීය තරගාවලි දිහා බලනවා ද කියලා පොඩි සැකයකුත් තිබෙනවා. ක්‍රීඩකයන් සූදානමින් ඉන්නවා නම් එයාලාගේ දස්කම් දිහා බලන එක තේරීම් කමිටුවේ වගකීමක්.

දේශීය තරග සැලැස්මට අනුව ජාතික කණ්ඩායම ගොඩනඟද්දී එයාලාගේ ශාරීරික යෝග්‍යතාව ගැන අවධානයක් යොමු කරන්නේ නැද්ද ? ජාතික කණ්ඩායමේ බොහෝ දෙනෙකුගේ ශාරීරික යෝග්‍යතාව ඉතා අඩු මට්ටමකනෙ තිබෙන්නේ?

හැම ක්‍රීඩා සමාජයකම පුහුණු කාර්ය මණ්ඩලයක් ඉන්නවානේ. එයාලට වැටුප් ගෙවන්න අපි මූල්‍යධාර ලබා දෙනවා. තමන්ගේ පුහුණු කාර්ය මණ්-ඩලය හරියට හදා ගන්න එක ක්‍රීඩා සමාජයේ වගකීමක් නේ.

ඒ කියන්නේ මේ කාරණයේදි ක්‍රීඩා සමාජ අසමත් ?

නෑ. ඒකම නෙවෙයි හේතුව. මට හිතෙන්නේ ජාතික කණ්ඩායමට ආවට පස්සේ තමන්ගේ ශාරීරික යෝග්‍යතාව ඉහළ මට්ටමක රඳවා තබා ගැනීම අදාළ ක්‍රීඩකයා සතු වගකීමක්. ජාතික කණ්ඩායමේ අභ්‍යාසවේදියෙක් හිටියට එයාට සංචිතයේ හැම ක්‍රීඩකයකු දිහාම වෙන් වෙන් වශයෙන් අවධානය යොමු කිරීමේ දුෂ්කරතා තියෙනවා. ඉතින් පැහැදිලිවම ක්‍රීඩකයාගෙත් වගකීමක් තියෙනවා.

ෆවුස් මොහොමඩ්

ඡායාරූප - වාසිත පටබැඳිගේ

 

Comments