එදා අම්මා ගත්ත තීරණය තමයි මේ තරම් දුර අරගෙන ආවේ | සිළුමිණ

එදා අම්මා ගත්ත තීරණය තමයි මේ තරම් දුර අරගෙන ආවේ

 

 

SHELINDA jansen

මේ ගමනේ බාධක වැඩියි. හැබැයි කවුරු හරි මාව පාගන්න පාගන්න මම කොහොම හරි නැඟිටලා පෙන්වනවා.

‘මට පුංචි කාලයේ ඉඳලම සිංදු කියන්න පුළුවන්. තාත්තාගේ ආභාසයත් එකට බලපාන්න ඇති කියලා හිතනවා.’ වොයිස් ශ්‍රි ලංකාහි උමාරියාගේ කණ්ඩායම ගායිකාවක් ලෙස හැඩගන්වන ඈ ශෙලින්ඩා ජැන්සන්ය. ඒ ලාංකේය මලල ක්‍රීඩා කෙත පදක්කම්වලින් සරු කරන්නට වෙහෙසෙන ශෙලින්ඩාගේ හඬයි.

‘මහනුවර හිල්වුඩ් බාලිකා විද්‍යාලයේ ඉගෙන ගන්න කොට තුන වසරේදී මම නිවාසාන්තර තරගාවලියට දිව්වා. එහෙම දුවන කොට විශේෂ දැනුමක් තේරුමක් තිබුණේ නෑ.’

ශෙලින්ඩාගේ මේ හැකියාව කන්ද උඩරටින් ගෙන්දගම් පොළොව දක්වා ම විහිදුණේය.

‘2016 දී තමයි කොළඹ ගේට්වේ ජාත්‍යන්තර පාසලට ආවේ. ඒ අවුරුද්දේ ජාතික පාසල් කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියේ මම දුවන එක ගේට්වේ පාසලේ ලක්නා වරාවිට මිස් දැකලා තමයි ඇවිත් කතා කළේ. මට ශිෂ්‍යත්වයක් ලැබුණා.

මීටර් 100 – 200. ඒක තමයි දිගටම වගේ කරගෙන ආවේ මම හිල්වුඩ් ඉන්න කොටත් මොන ක්‍රීඩාවට ගියත් මට දිනන්න ඕනෑ.

ඔය අතර දුවපු තරගවලින් 2017 ජාතික කනිෂ්ඨ තරගාවලිය අමතක වෙන්නේ නෑ. ඒ තරගාවලියේ අවුරුදු 32ක් පැරැණි ටානියා වැන්හියර්ගේ මීටර් 200 වාර්තාව බිඳ දැම්මා. මම තත්. 24.92කටයි තරගය නිමා කළේ. තත්. 25.04 ක් තමයි පැරැණි වාර්තාව තිබු‍ණේ.

මම මුලින් ම පිහිනුම් ක්‍රීඩිකාවක්. තුන වසරේදී මලල ක්‍රීඩාවට ආවා. පිහිනුම් ක්‍රීඩාවෙන් මධ්‍යම පළාතේ ගොඩක් තරගවලට සහභාගි වුණා.

අම්මා - තාත්තා නෑදෑයෝ තමයි මට ගොඩක් වියදම් කළේ. මට ‍කාගෙවත් වැඩි උදවු තිබුණේ නෑ. මම මගේ මහන්සියෙන් සහ අම්මා - තාත්තාගේ උදවුවලින් ආපු ගමනක් තමයි මේ.

මේ ගමනේ බාධක වැඩියි. හැබැයි කවුරු හරි මාව පාගන්න පාගන්න මම කොහොම හරි නැඟිටලා පෙන්වනවා. ඒ මගේ හැටි.

මම කොළඹ ආපු වෙලාවෙත්, නුවරින් කෙල්ලෙක් ආවා, මෙයා දුවනවා බලමුකෝ, වගේ වචන මට හැම වෙලාවේම ඇහුණා. මම ඒවා ගණන් ගන්නේ නැතුව මගේ ගමන ගියා.’

ශෙලින්ඩාගේ මෙම ගමන් මඟෙහි හැරවුම් ලක්ෂ්‍යය වන්නේ සාග් කනිෂ්ඨ තරගාවලියය.

‘මගේ පළමු අන්තර්ජාතික තරගාවලියත් සාග් කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලිය. මේ තරගාවලියේ මගේ ඉසව්වලත් ළාබාලම ක්‍රීඩිකාව වුණේ මම. මට මගේ උපරිමයෙන් ලෝකඩ පදක්කම් දෙකක් දිනාගත්තා.

අමාෂා අක්කා තමයි රන් පදක්කම දිනුවේ. ඇය සාග් තරගාවලියේ රන් පදක්කම දිනාගෙන නව ජාතික වාර්තාවක් තිබ්බා.

ඒත් අපිට ජපානයේ ගිෆුවල තිබ්බ ආසියානු කනිෂ්ඨ තරගාවලියට යන්න නොලැබුණේ සල්ලි නෑ කියලයි. ඒක හරිම අවාසනාවන්ත සිද්ධියක්. ඒ තරගාවලියෙන් හතර දෙනයි යොවුන් ඔලිම්පික්වලට තෝරා ගත්තේ. කොහොම හරි නූලෙන් වගේ තමයි තරගාවලියට තේරුණේ.’

2017 යොවුන් ඔලිම්පික් උලෙළ ශෙලින්ඩාගේ ක්‍රීඩා දිවියේ සුවිශේෂි කඩඉමකි.

‘ඒකේ අදියර දෙකක් විදියට තමයි තරග තිබ්බේ. ඒ වගේ තරගාවලියකට ගිය පළමු වැනි වතාව. කාලගුණයත් ගොඩක් අමාරුයි. උෂ්ණත්වය සෙල්සියස් අංශක 10 කට තිබ්බේ. මීටර් 200 තත්පර 25 කට පළමුවැනි අදියරේදී දිව්වේ. කනිෂ්ඨයන් අතර සුසන්තිකා අක්කට සහ දර්ශා අක්කට පස්සේ හොඳම කාලයකට මට යන්න පුළුවන් වුණා.

ප්‍රධාන ඉසව්ව මීටර් 200. මම හුඟක් ආස මීටර් 100ට. මොන හේතුවකට හරි ඒක අනිත් පැත්තට හැරිලා මීටර් 200 ප්‍රධාන ඉසව්ව වුණා. මම මේ ඉසව්වට පොඩ්ඩක්වත් කැමැති නෑ.

ජාතික කනිෂ්ඨ තරගාවලියේ අවුරුදු 32 ක වාර්තාව කඩන්න කලින් දවසේ රෑ අපේ මිස්ට කතා කරලා මට මීටර් 200 දුවන්න බෑ කිව්වා. ඊට පස්සේ තමයි මිස් කිව්වේ නිකන් දුවලා බලන්න කියලා. එහෙම තමයි ඔය වාර්තාවට ගියේ.’

මිටර් 200 ඉසව්වට ශෙලින්ඩා අකැමැති වූයේ ශාරීරික අපහසු නිසාය.

‘ඒ ඉසව්ව දුර වැඩි හින්දා මම කැමැති නෑ. පොඩි කාලයේ ඉඳලා මීටර් 100, 200 සහ දුර පැනීම කළා. ඒ දවස්වල මීටර් 200 දුවනකොට කලන්තෙත් හැදෙනවා. ඒ නිසාම තමයි කැමැති වුණේ නැත්තේ. දුර පැනීම කොළඹට එනකොටම අතහැරියා.

අපේ අම්මා ඉස්කොලේ යන කාලයේ මලල ක්‍රීඩා කරලා තියෙනවා. අම්මා දුවලා තියෙන්නෙත් 100-200 ඉසව්. අම්මට යන්න බැරි වෙච්ච ගමන තමයි ඒ. තාත්තා කැමැතිත් පිහිනුම්වලට. පිහිනුම් අත්හැරියේ හුඟක් දුකින්.

මම ගොඩක් ආදරය කරන සර් කෙනෙක් තමයි ධම්මික සර්. එයා අදටත් මම ගැන හොයලා බලනවා. දැන් භද්‍රා මිස් සහ සුනිල් ගුණවර්ධන සර් යටතේ පුහුණුවීම් කරන්නේ. ක්‍රීඩාව සහ අධ්‍යාපනය දෙකම සමබරව කර ගෙන ගියා. අපි මොන ක්‍රීඩාව කළත් අන්තිමේට ඉතුරු වෙන්නේ අපි ඉගෙන ගන්න දේ විතරයි. ක්‍රීඩා අමාත්‍යාංශයට බෑ අපිව බලාගන්න. එහෙම නැති වුණොත් අපි දිනා ගත්ත පදක්කම් රටට පෙන්න පෙන්න තමයි ජීවත් වෙන්න වෙන්නේ. මම ඒ දේට කැමැති නෑ. මම හොඳට ඉගෙන ගෙන ව්‍යාපාර කළමනාකරණය වගේ පැත්තට යන්න හුඟක් කැමැතියි. රටට දිනා දීපු පදක්කම් ප්‍රදර්ශනය කරමින් ජීවත් වෙන්න මම කැමැති නෑ.

තාත්තා පූජකවරයෙක්. අම්මා ගෙදර ඉන්නේ. අයියලා දෙන්නෙක් ඉන්නවා. ලොකු අයියා බැංකුවක වැඩ කරනවා. පොඩි අයියා හේෂාන් රග්බි ක්‍රීඩා කරනවා. 2022 පොදුරාජ්‍ය මණ්ඩල, ආසියානු සහ ලෝක ශූරතාවලි ගැන බලාපොරොත්තු තියා ගෙන ඉන්නවා.’

බන්ධුල ජයමාන්න

Comments