අහිමිවීම යනු ඉපැදීමය කෝලි | Page 2 | සිළුමිණ

අහිමිවීම යනු ඉපැදීමය කෝලි

 

ක්‍රිකට් තරග සංචාරයක් වෙනුවෙන් කෝලි ප්‍රථම වරට ඉන්දීය කණ්ඩායමක් සමඟින් විදේශයකට ගියේ 2006 වසරේ ජූලි මාසයේදීය. එය ඉන්දීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායමේ එංගලන්ත සංචාරය වූයේය. එහිදී එංගලන්ත අවුරුදු 19න් පහළ කණ්ඩායම සමඟ යොවුන් ටෙස්ට් සහ එක්දින තරග මාලාවන්ට ඉන්දියානුවන් තරග කළහ. ඊට තරග 03 බැගින් පැවැත්වුණු මුළු තරග ගණන 06කි.

මංගල තරග වරම් ලබාගත වූයේ වසකටත් අඩු කාලයකි. හදිසි හෘදයාබාධයක් හේතුවෙන් කෝලිගේ පියා වන ප්‍රේම් ඒ වනවිට ඇඳට වී මසක පමණ කාලයක් ගතවී තිබිණි.

නිවැරැදිවම කාල වකවානු පවසන්නේ නම් ඒ 2006 වසරේ දෙසැම්බර් 12 වැනිදාය. එදින කෝලි රංජි කුසලාන පළමු පෙළ තරගාවලියේ සුපර් ලීග් තරගයකට ක්‍රීඩා කරමින් සිටියේය. එහිදී ප්‍රතිවාදීන් වූයේ කර්නාටක ප්‍රාන්ත කණ්ඩායමයි. එදින නිමාවන විට කෝලි නොදැවී ලකුණු 40 ක් රැස් කර තිබිණි. එය දිල්ලි කණ්ඩායම වෙනුවෙන් ඉතා තිරණාත්මක පිතිහරඹයක් වූයේය.

එදින රාත්‍රිය වන විට කෝලි පවුල දැඩි අර්බුදයකට පත්වනු ඇතැයි කිසිවකුත් සිතුවේ නැත. එසේ වුවත් දෛවය විසින් සිය සැලසුම ක්‍රියාත්මක කර තිබිණි. ඒ අනුව ප්‍රේම් කෝලිට සිය පවුල අතහැර යාමට සිදුවූයේ අවසානාවන්ත ලෙසය.

‘එදා රෑ තමයි මගේ ජීවිතයේ ලොකුම කඩා වැටීම සිදුවුණේ. ඕනෑම පවුලක ගෘහ මූලිකයාගේ අහිමිවීම දැඩිව බලපානවා.’ කෝලි ඒ මූසල දිනය සිහිපත් කළේය. ප්‍රේම්ට එදින රාත්‍රියේ තවත් හෘදයාබාධයක් ඇති වූයේය. ඊට එරෙහිව සටන් කිරීමට තරම් සවියක් ඔහුට තිබුණේ නැත. එහෙයින් ප්‍රේම් කෝලි පවුලේ සියලු දෙනා හැරපියා දෙනෙත් පියාගත්තේය. එවිට ඔහුගේ වයස යන්තමින් අවුරුදු 54 ක් වූවා පමණි.

‘මගේ තාත්තා නැතිවුණු දවස මට තවමත් මතකයි. ඒක තමයි මගේ ජීවිතයේ අමාරුම කාලය වුණේ. ඒ වුණත් තවත් දෙයක් මට මතක් වුණා. ඒ පසුදින උදෑසන මම ක්‍රීඩා කළ යුතු බවයි. මගේ තාත්තාට වුණත් ඕනෑ වුණේ ඒ දෙයමයි.’ කෝලි වැඩිදුරටත් පවසා තිබිණි.

එවකට දිල්ලි කණ්ඩායමේ පුහුණුකරුවා වූයේ වේතන් චවුහාන්ය. හෙතෙම හිටපු ඉන්දීය ටෙස්ට් ක්‍රීඩකයෙකි.

‘මම උදාසන දිල්ලි පුහුණුකරුට කථා කළා. මම ක්‍රීඩා කරන්න ඕනෑ කියල මට පැවසුවා. ක්‍රිකට් තරගයක් සම්පූර්ණ නොකිරීම පවක් ලෙසටයි මම සලකන්නේ. ඒ මොහොත තමයි පුද්ගලයෙක් විදිහට මාව වෙනස් කළේ. මේ ක්‍රීඩාවේ වැදගත්කම මගේ ජීවිතයේ ඉතා ඉහළ මට්ටමකයි තිබෙන්නෙ.’ එදා කෝලි ගේ අත්දැකීම ඕනෑම පුද්ගලයකුට පහසුවෙන් මුහුණදිය හැකි එකක් නොවේ. තම ජීවිතයේ සමීපතමයකුගේ නිසල සිරුර නිවසේ තිබියදී ක්‍රීඩා කිරීම සිතා ගැනීමටත් අසීරුය. නව යොවුන් විය ගෙවන ක්‍රීඩකයකුට නම් එය ඊටත් වඩා බැරෑරුම්ය.

එසේ වුවත් එමඟින් ක්‍රීඩකයා මෙතරම් ශක්තිමත් මානසික මට්ටමක සිටින්නේ ද යන්නත් පැහැදිලි කර ගත හැකිය. විරාට් කෝලි ක්‍රිඩකයකු ලෙස අද ලබා තිබෙන සාර්ථකත්වය ඔහුගේ ශක්තිමත් මානසික ස්වභාවය තේරුම් ගැනීමට කදිම නිදර්ශනයකි.

‘එදා ඔහු කළේ ශ්‍රේෂ්ඨ කැපකිරීමක්. ඔහුගේ ජීවිතය බලවත්ම කනගාටුදායක සිදුවීමට මුහුණපා තිබියදී අපේ කණ්ඩායම වෙනුවෙන් ඉතා තීරණාත්මක පිතිහරඹයක නිරත විමට ඔහුට පුළුවන් වුණා.’ දිල්ලි නායක මිතුන් මන්හාස් පසු කලෙක පැවසූයේය.

දිල්ලි පුහුණුකරු චේතන් චවුහාන් ද කෝලිගේ පිතිහරඹය ඉහළින් අගය කළේය. ‘එවැනි වාතාවරනයක් මැද ඔහු නිරත වූ පිතිහරඹය අතිවිශිෂ්ටයි. එමඟින් ඔහුගේ ආකල්පය සහ අධිෂ්ඨානය මැනවින් දක්නට ලැබුණා.

කෝලි ඉහත ඉනිමේදී ලකුණු 90 ක් රැස්කර ගත්තේය. ඒ පෙරදින හෙතම ලබා සිටි ලකුණු 40ට තවත් ලකුණු පනහක්ම එක් කරමිනි. සාමාන්‍යයෙන් ඕනෑම යොවුන් ක්‍රීඩකයකුට පළමු පෙළ ශතකයක් අහිමිවීම ශෝකයක් වුවත් මෙය කෝලිට නම් එසේ නොවීය. ඒ ඊටත් වඩා ගැඹුරු අහිමි වීමක වේදනාවක් ඔහුගේ සිත තුළ මුල්බැසගෙන තිබූ හෙයිනි.

ඉහත තරගය දෙස කෙටියෙන් හෝ අවධානය යොමු කිරීම කෝලිගේ ඉනිමට සාධාරණත්වයක් ‍ඉටු කිරීමකි. තරගය පැවැත්වූයේ දෙසැම්බර් මස 17 සිට 21 දක්වාය. තරගය පැවැත් වූයේ දිල්ලි පුරවරයේ ය. මුලින්ම පන්දුවට පහර දෙමින් කර්නාටක කණ්ඩායම ලකුණු 445 ක් රැස්කර ගත්තේය.

තරගයේ දෙවැනි දිනයේ එනම් දෙසැම්බර් 18 වැනිදා දිල්ලි කණ්ඩායමේ මුල් කඩුලු පහම බිඳ වැටුණේ ලකුණු 59 ක් වශයෙන් සටහන් වද්දීය. එසේ වුවත් දකුණත් යොවුන් පිතිකරුවන් යුගලයක් ලකුණු 152 ක් ගොඩ නඟන්නේ දිල්ලි පළමු ඉනිම ලකුණු 308 ක් දක්වා රැගෙන යෑමට දායක වෙමිනි. ඔවුහු දහඅට හැවිරිදි කෝලි සහ විසි හැවිරිදි ප්‍රතිව් වේෂ්ට්ය. කෝලි ලකුණු 90ක් රැස් කරද්දී කඩුලු රැකවලා වූ ප්‍රතීව් ලකුණු 156 කින් දායක විණි. ඔවුන්ගේ මේ සබඳතාව නිසාම තරගය ජය පරායකින් තොරව නිමාවට පත්වුණේ ය.

කෝලි සිය ඉනිම නිමා වූ විගසම තම නි‍ෙවසට පැමිණ පියාගේ ආදා-හන කටයුතුවලට සම්බන්ධ වූයේ ය.

කෝලි එදා ක්‍රියා කළ ආකාරය ගැන මව සරොජී අද මෙසේ පවසන්නීය. ‘එදා දවසෙන් පසුව විරාට් තරමක් වෙනස් වුණා. එක රැයකින් ඔහු පරිණත පුද්ගලයකු බවට පත් වුණා. ඔහු සෑම තරගයක්ම බරපතළ විදිහට ගත්තා. ක්‍රීඩා කරන්නට නොලැබීම ඔහුව දැඩි කෝපයට පත් කළා. පෙනුණු විදිහට ඔහු පියාගේ සිහිනය පසු පස හඹා ගියා. එය ඔහුගේ සිහිනය වුණේ එහෙමයි.

ප්‍රශාන්ත ඇල්පිටිය

 

Comments