අගනුවර ගිනි ලන පුරපති හොකී තරග වරුණ | Page 2 | සිළුමිණ

අගනුවර ගිනි ලන පුරපති හොකී තරග වරුණ

 

01 වැනිදා ඇරැඹේ

කොරෝනා වයිරසය කොළඹ රීඩ් මාවතේ පිහිටි ශ්‍රී ලංකාවේ ප්‍රථම කෘත්‍රිම තණ පලස අව්වට වේළවමින් වැස්සට තෙමෙන්නට ඉඩ හැර දමා වසරකට අධික කාලයක් ගෙවුණේය. ඒ එම වෛරස ව්‍යාප්තිය අවම කර ගැනීම සඳහා මුළු රටම අගුළු දමා තිබීම හේතුවෙනි. ඒ අතර කාලයේ දී කෘත්‍රිම තණ පලස විකෘති තත්ත්වයකට අනුවර්තනය වූ ආකාරයක්ද දිස් වූයේ ස්වාභාවික විපර්යාසයක ප්‍රතිඵලයක් නිසා විය යුතුය. කඩතොළු වී තිබූ සියුම් තැන් ක්‍රමයෙන් විසල් වීමක්ද පෙනෙන්නේ ඒ නිසාවෙනි. ඒ වෙනුවට විකල්ප සොයා යන අතරමඟ ශ්‍රී ලාංකේය හොකී කෙළි බිමට ජීවය එක්කරන්නට හොකී තරගාවලියක් ඇරඹෙන්නට නියමිතය. එය පුරපති අභියෝග කුසලාන ප්‍රදානය වෙනුවෙනි. තරගාවලිය සංවිධානය කෙරෙන්නේ කොළඹ මහනගර සභාවේ ක්‍රීඩා හා විනෝදාත්මක කටයුතු අංශය මඟිනි.

කොළඹ මහ නගර සභාව මඟන් දැවැන්ත හොකී ක්‍රීඩා තරගාවලියක් සංවිධානය කෙරෙන්නේ ඉතිහාසයේ ප්‍රථම වතාවට ය. ඒ අනුව යමින් තම නාගරිකයන්ට පමණක් සීමා නොකොට ජාතික මට්ටමේ ක්‍රීඩකයන් කැඳවමින් ඔවුන්ගේ දක්ෂතාවයන් හා හැකියාවන් ප්‍රදර්ශනය කිරීමට අවස්ථාවක් උදා කර දීමට කොළඹ මහ නගර සභාව කටයුතු කර තිබීම ප්‍රශංසනීයය .

පසුගිය කාලසීමාව තුළ නිද්‍රාශීලිව පසුවූ දේශීය හොකී කෙළිබිම අවදි කරන්නට සමත්ව සිටින කොළඹ මහනගර සභාව වෙතින් ප්‍රදානය කරන පුරපති අභියෝග කුසලාන දිනා ගැනීම සඳහා දිවයිනේ ප්‍රමුඛතම ක්‍රීඩා සමාජ දොළහකට මේ වන විටත් ආරාධනා කර තිබේ. එම ආරාධනාව පිළිගත් ක්‍රීඩා සමාජ අප්‍රේල් මස 01 දින සිට 04 දින දක්වා කොළඹ හතේ රීඩ් මාවතේ පිහිටි කෘත්‍රිම ක්‍රීඩාංගණයේදී එකිනෙකට එරෙහිව තරග වදින්නේ සහෝදරත්වයෙන් යුතුව වුවද දිගු කලකට පසුව ලැබුණු අවස්ථාවෙන් ප්‍රයෝජනය ගනිමින් තම දක්ෂතා ජාතික තලය තුළ ප්‍රදර්ශනය කිරීමට ඇති නොනිමි ආශාව නිසාවෙනි.

කොවිඩ් අර්බුදයෙන් අනතුරුව මෙරට ක්‍රියාත්මක කෙරෙන පළමු ජාතික මට්ටමේ තරගාවලිය ලෙස සැලකිය හැක්කේද පුරපති කුසලාන හොකී තරගාවලියයි. එබැවින් මෙහි ආරම්භයේ සිට අවසානය දක්වා සියලුම තරග අතිශය තියුණු මුහුණුවරක් ගනු ඇතැයි අනුමාන කළ හැකි ය.

මෑතක ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කරමින් ජාත්‍යන්තරයේ දස්කම් දක්වා ඇති සියලුම ක්‍රීඩකයින් මෙම තරගාවලියට අනාගත බලාපොරොත්තු පොදි බැඳගෙන සිටින යොවුන් ක්‍රීඩකයන් විශාල ප්‍රමාණයක් මෙයට සහභාගි වීම හේතුවෙන් එහි උණුසුම තීව්‍ර වනු ඇතැයි කිව යුතුය.

මෙම තරගාවලියට කැඳවා ඇති කණ්ඩායම් අතර යුද හමුදාව ප්‍රබල ස්ථානයක පසු වන්නේ ඔවුන් සතු දක්ෂ හා පළපුරුදු ක්‍රීඩකයන්ගේ එකතුව නිසාවෙනි. වත්මන් ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කරන ක්‍රීඩකයන් බහුතරයක් මෙවර යුද හමුදා කණ්ඩායමට නම් කර තිබීම හේතුවෙන් ඔවුන්ගේ කුසලාන සිහිනය සැබෑ කර ගැනීම සඳහා වාසියක් වී තිබේ. ඉසංක ජයසුන්දර, හරින්ද්‍ර ධර්මරත්න, මධුරංග විජේසිංහ, අනුරාධ සුරේෂ්, ධම්මික රණසිංහ, පුෂ්පකුමාර හේන්දෙණිය, තරිඳු හේන්දෙණිය, අසංක වෙලගෙදර, ශම්මික ගුණවර්ධන, එම්. ජී. සංජීව යන ජාත්‍යන්තර ක්‍රීඩකයන් යුද හමුදා ඉදිරි ගමනට ශක්තියක් වී තිබේ.

එමෙන්ම ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කර ඇති තුසිත් රත්නසිරි, තරංග ගුණවර්ධන, ලහිරු වීරසූරිය, කේ. එස්. එස්. පෙරේරා, කලණ මධුෂාන් ආනන්ද, ලක්ෂාන් නානායක්කාර, චමල්ක රුක්ෂාන්, ශෙරාන් නිමංක, ප්‍රමෝද්‍ය උදයශාන් ඇතුළු ‍ අත්දැකීම් සපිරි ක්‍රීඩකයන් රැසක් පිරිවරා ගනිමින් මෙවර තරගාවලියට ඉදිරිපත්ව සිටින ගුවන් හමුදා පිල වෙතින් පෙරළියක් අපේක්ෂා කිරීමේ වරදක් නොමැත.

සමබර දක්ෂතා සපිරි තරුණ ක්‍රීඩක එකතුවකින් මෙවර තරගාවලියට ඉදිරිපත්ව සිටින නාවික හමුදාව මෙන්ම පොලිස් ක්‍රීඩා සමාජය වෙතින් ද ඉහළ දක්ෂතා බලාපොරොත්තු විය හැකිය. නාවික හමුදා පිල වෙනුවෙන් ජාත්‍යන්තරව වරම් ලබා ඇති නලන්ත ද සිල්වා සහ සජිත් කොස්තා තරග බිමට පිවිසෙන අතර පොලිස් ක්‍රීඩා සමාජය වෙනුවෙන් සඳරුවන් ප්‍රිය ලංකා, තිලිණ පෙරේරා, සංගීත් අමරසිංහ යන ජාතික ක්‍රීඩකයෝ ක්‍රීඩා කරති.

ත්‍රිවිධ හමුදාවට හා පොලිසියට එරෙහිව තරග බිමට පිවිසෙන ක්‍රීඩා සමාජ අතරේ පෙරමුණේ පසුවෙමින් අගනුවර අභිමානය රැක ගැනීම සඳහා වෙර දරන්නේ සී.එච්. ඇන්ඩ් එෆ්.සී. පිල මෙන්ම බී. ආර්. සී යන කණ්ඩායම්ය. ආදි නාලන්දීය පිල සහ ආදී ඩී. එස්. සේනානායක පිල මෙන්ම ආදි රාජකීය පිල තම උපරිමය ප්‍රදර්ශනය කිරීමට සමත් වුවහොත් එය මෙවර තරගාවලියේ උණුසුමට ප්‍රබල හේතුවක් වනු නිසැකය. මෙවර ඉදිරිපත්ව සිටින සෙසු කණ්ඩායම් සඳහා ශ්‍රී ලංකාව වෙනුවෙන් වර්ණලාභී ක්‍රීඩකයන් වන දමිත් බණ්ඩාර, මිලින්ද සපුගස්ගොඩගේ, උපුල් ධනුෂ්ක ප්‍රනාන්දු , තිලිණ විමර්ශන පෙරේරා , මිලාන් ප්‍රසාද් ආරියවංශ, ශාන් ලෝචන, එන්.ඩී.බී. දිසානායක, අභීත ප්‍රනාන්දු, සාගර ධම්මික අබේරත්න, ප්‍රසන්න අබේරත්න, අනුර කරුණාරත්න, කීර්ති කුමාර, ප්‍රමේෂ් කාමර්, ඉන්දික විල්වලආරච්චි , ඉෂාර කුලතුංග ක්‍රීඩා කිරීම ද කැපී පෙනේ.

දේශීය හොකී "නිජබිම" අභිමානය රැක ගැනීම සඳහා මාතලේ මාස්ටරිස් ක්‍රීඩා සමාජය ඉදිරිපත්ව සිටින අතර මහනුවර දිස්ත්‍රික් හොකී සංගමය "මැදරට" අභිමානය ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් තරග බිමට පිවිස සිටී. සංවිධානාත්මක අනාගතයක් අරබයා කුලුඳුල් වරට ඉදිරිපත්ව සිටින කොළඹ නගර සභා පිල ද මෙවර තරගාවලියට දිස්නය එක් කරනු ඇත.

මෙහි මූලික වටයේ තරග අප්‍රේල් 01 සහ 02 යන දෙදින පැවැත්වෙන අතර අර්ධ අවසන් පූර්ව වටයේ තරග 03 වැනි දින ක්‍රියාත්මක කෙරේ. අවසන් පූර්ව තරග යුගල සහ තීරණාත්මක අවසාන මහා තරගය මෙන්ම සමාප්ත උත්සවය 04 වැනි දින පැවැත්වේ. මූලික වටයේ තරග කාණ්ඩ 04 ක් යටතේ ලීග් ක්‍රමයට ක්‍රියාත්මක කෙරෙන අතර අර්ධ අවසන් පූර්ව වටයේ සිට සියලු තරග පැවැත්වෙන්නේ පිළිමළුන් පිටුදැකීමේ ක්‍රමය යටතේය.

 

මූලික වටයේ තරග සැලසුම

 

" ඒ " කාණ්ඩය

1. ආදී ඩී.එස්.සේනානායක සමාජය

2. මාතලේ මාස්ටරිස් සමාජය

3. කොළඹ බී.ආර්.සී පිල

 

" බී " කාණ්ඩය

1. මහනුවර දිස්ත්‍රික් හොකී සංගමය

2. ගුවන් හමුදාව

3 යුද හමුදාව

 

" සී " කාණ්ඩය

1. ආදී රාජකීය සමාජය

2. ආදි නාලන්දීය සමාජය

3. නාවික හමුදාව

 

" ඩී " කාණ්ඩය

1. කොළඹ සී.එච් ඇන්ඩ් එෆ්. සී. පිල

2. කොළඹ මහ නගර සභා පිල

3. පොලිස් ක්‍රීඩා සමාජය

සපුමල් වීදිය බණ්ඩාර

 

 

Comments