‍ෙප්ලේගේ ගෝලය ඉදිරියේ නිල් අවතාරයක් වූ බෑන්ක්ස්... | සිළුමිණ

‍ෙප්ලේගේ ගෝලය ඉදිරියේ නිල් අවතාරයක් වූ බෑන්ක්ස්...

මෙක්සිකෝවේදී පැවැති 1970 ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ මූලික වටයේ තරගයකි‍. එහිදී තරග කළේ අවසන් වරට පැවැති ලෝක කුසලාන තරගාවලි ත්‍රිත්වයේ ශූරයෝ ය. ඒ බ්‍රසීලය සහ එංගලන්තයයි.

බ්‍රසීලය 1958 සහ 1962 ලෝක ශූරයෝ ය. එංගලන්තය ලෝක ශූරයෝ වූයේ 1966 වසරේදී ය. මෙම 1970 ලෝක කුසලාන තරගාවලියේ දී මේ දෙරට අතර පැවැති තරගය දෙසට බොහෝ දෙනාගේ අවධානය යොමු වීමට බලපෑ විශේෂ හේතුවක් විය. ඒ ඔවුන් ලෝක ශූරයෝ වීමයි.

තරගයේ ඉතා තීරණාත්මක අවස්ථාව උදා වූයේ ය. ඒ බ්‍රසීලයේ සුපිරි ක්‍රීඩක පේලේ (උපත 1940 ඔක්තෝබර් 23) හට ගෝලයක් රැස් කිරීමටයි. හෙතෙම සිය හිසින් ප්‍රබල පහරක් පාපන්දුවට එල්ල කළේ ය. පාපන්දුව එංගලන්ත ගෝල් කණුවේ දැලේ දකුණු කෙළවරට යොමු විය. එය නියත ගෝලයක් බවට බොහෝ දෙනා විශ්වාසය පළ කළහ. ඒ අතරට පේලේ මෙන් ම එංගලන්ත ක්‍රීඩකයෝ ද අයත්ය.

‘ගෝල් ගෝල්’ පේලේ ප්‍ර‍ීතියෙන් සිය ගෝලය සමරමින් කෑගැසුවේ ය. එහෙත් නිමේෂයකින් එංගලන්ත දැල රකින ක්‍රීඩක ගෝර්ඩන් බෑන්ක්ස් ඉතා විශිෂ්ට ආකාර‍යකින් පාපන්දුව දැල වෙතට යොමු වීම අවසන් මොහොතේදී වැළැක්වූයේ සෙසු සියලුම දෙනාම පුදුමයට පත් කරමින් ය. එය අදහාගත නොහැකි දස්කමකි. ඒ පේලේ විසින් පාපන්දුව දැලට යොමු කරන විට බෑන්ක්ස් සිටියේ දැලේ වම් කෙළවරට ආසන්නව වීම නිසා ය.

එම තරගය පසුව ගෝල 1 – 0 ක් ලෙස ජය ගත්තේ බ්‍රසීලයයි. එයින් නොනැවතුණු බ්‍රසීලය 1970 ලෝක ශූරයෝත් වූහ. එසේ වුවත් එදා මෙන් ම අදත් 70 ලෝක කුසලානයේ සුවිශේෂී සිදුවීම ලෙසට බොහෝ දෙනා සලකනු ලබන්නේ පේලේගේ නියත ගෝලය බෑන්ක්ස් විසින් වැළැක්වූ ආකාරයයි.

“ඔවුන්ට මාව 1966 ලෝක ශූරයෙක් විදිහට මතක නැහැ. එහෙත් 1970 ගෝලය වැළැක්වූ ආකාරය නම් ඔවුන්ට මතකයි.” බෑන්ක්ස් පසු කළෙක පැවසුවේය. එය සත්‍යයකි. කෙසේ වෙතත් එක් දෙයක් පැහැදිලි ය. එනම් පාපන්දු ක්‍රීඩා ඉතිහාසයේ විශිෂ්ටතම දැල් රකින්නෙකු ලෙසට බෑන්ක්ස් සැලකෙයි.‍ එමෙන් ම එංගලන්තයට ක්‍රීඩා කළ විශිෂ්ටතම දැල් රකින්නාත් ඔහු ය.

මෙසේ වාර්තාගත දැල් රකින්නකු වූ බෑන්ක්ස් පසුගියදා මෙලොවින් සමු ගත්තේ ය. හෙතෙම නිදි සුවය විදිමින් ම මිය ගොස් සිටියේ ය. ඒ වනවිට ඔහු 81 හැවිරිදි වියේ පසු විය.

“මගේ ජීවිතයේ මම ගෝල් දාහකට වඩා රැස් කළා‍. මිනිසුන්ට එය මතක නැහැ. ඒ වුණත් 1970 දී මම රැස් කර නොගත් ගෝලය ඔවුන්ට මතකයි.” බෑන්ක්ස් මිය ගිය පුවත දැනගත් විට පේලේ පැවසීය.

එමෙන් ම එදා තමන්ට එම ගෝලය රැස් කර ගැනීමට නොහැකි වීම ගැන අද සතුටු වන බව පේලේ වැඩිදුරටත් පැවසුවේ ය. “ඒ ගෝලය රැස් කර ගැනීමට නොහැකි වීම ගැන මට සතුටුයි. ඒ ක්‍රියාව තමයි අපේ මිතුදමේ ආරම්භය. එය මට සෑම විටම වටිනවා. මගේ හදවතේ විශාල දුකක් තිබෙනවා. අද මගේ ශෝකය ඔහුගේ පවුලට දන්වනවා. ඔහු තම පවුල ගැන ආඩම්බර වුණා. සාමදානයේ සැතපේවා මගේ මිතුරාණෙනි. ඔව් ඔබ අති විශිෂ්ට දැල් රකින්නෙක්. නමුත් ඔබ ඊටත් වඩා වටිනා කෙනෙක්. ඔබ යහපත් මිනිසෙක්.”

එමෙන් ම 1970 ලෝක කුසලාන තරගාවලියේදී තමන්ට රැස් කර ගැනීමට නොහැකිවූ ගෝලය ගැනත් පේලේ සිය අදහස් දැක්වූයේ ය. “ඔබ පාපන්දු ක්‍රීඩකයකු නම් හරියටම දන්නවා පාපන්දුවට කෙතරම් හොඳින් පහර දුන්නා ද කියලා. 1970 දී මටත් එහෙමයි. මම බලාපොරොත්තු ව‍ූ ආකාරයටම මම පාපන්දුවට පහර එල්ල කළා. එය ගෝලයක් ලෙසට සමරන්න මම සූදානම් වුණා. ඒ වුණත් බෑන්ක්ස් එක පාරටම මම ඉදිරියේ පෙනී සිටියේ හරියට නිල් අවතාරයක් ලෙසටයි.”

2008 වසරේදී බෑන්ක්ස්ගේ ප්‍රතිමාවක් ඔහු ක්‍රීඩා කළ එංගලන්තයේ ස්ටෝක් සිටි කණ්ඩායමට අයත් බ්‍රිටැනියා ක්‍රීඩාංගණයේ පිටත දී විවෘත කෙරිණි. එය සිදු කළේ ද පේලේ විසින්මයි.

බෑන්ක්ස්ගේ දිවියේ අවසන් කාලයේදී හෙතෙම යහපත් සෞඛ්‍ය මට්ටමකින් සිටියේ නැත. ඒ 2015 වසරේ සිට ඔහුට වකුගඩු පිළිකාවට ප්‍රතිකාර ගැනීමට සිදුවූ බැවිනි.

බෑන්ක්ස්ගේ දක්ෂතාව නිසාම ඔහු සම්බන්ධයෙන් අපූරු වදන් මාලාවකුත් එංගලන්තයේ ඇති විය. එනම් “එංගලන්තයේ බැංකු තරම් ආරක්ෂිතයි” යන්නය.

ශ්‍රීමත් බොබී චාර්ල්ටන් (උපත 1937 ඔක්තෝබර් 11) බෑන්ක්ස් සමඟ 1966 ලෝක ශූර කණ්ඩායමට ක්‍රීඩා කෙළේ ය. බෑන්ක්ස්ගේ මරණය ගැන ඔහු මෙසේ සිය අදහස් දැක්වූයේ ය.

“ගෝර්ඩන් අතිශය අසාමාන්‍ය දැල් රකින්නෙක්. ඔහු එංගලන්තයට ක්‍රීඩා කළ විශිෂ්ටතම දැල් රකින්නෙක් ලෙසට කිසිම සැකයක් නැහැ. ඔහු මගේ සගයෙක් ලෙසට එකම කණ්ඩායමට ක්‍රීඩා කිරීමට ලැබීම ගැන මට ආඩම්බරයි. අපි 1966 ශ්‍රේෂ්ඨ දවස එකට අත්වින්දා. 1970 බ්‍රසීලය සමඟ පැවැති තරගයට මමත් ක්‍රීඩා කළා. පේලේගේ ගෝලය ගෝර්ඩන් වැළැක්වූ ආකාරය පිටියේ සිටි‍ය මමත් දුටුවා.‍ හැබැයි අදටත් මට ඔහු එය කළේ කොහොමද යන්න හිතාගන්නත් බැහැ.”

එංගලන්තයේ තිබෙන ඇතැම් පාපන්දු කණ්ඩායම් සෙසු ලොව අතිශය ජනප්‍රියව තිබේ. එමෙන් ම දැවැන්ත කණ්ඩායම් ලෙසට සැලකෙයි. ඒ අතරට මැන්චෙස්ටර් යුනයිටඩ්, මැන්චෙස්ටර් සිටි, ලිවර්පුල්, චෙල්ෂි සහ ආර්සනල් අයත්ය. නමුත් බෑන්ක්ස් මෙවැනි කණ්ඩායම්වලට ක්‍රීඩා කළ ක්‍රීඩකයකු නොවීම විශේෂත්වයකි.

 

බෑන්ක්ස් ‍දිවියෙන්

 

බෑන්ක්ස් 1937 වස‍රේ දෙසැම්බර් 30 වැනිදා උපත ලැබීය. ඒ ෂෙෆිල්ඩ් හි ඇබේඩේල් නුවරදී ය. ඔහු මිය ගියේ 2019 පෙබරවාරි මස 12 වැනිදා ය. හෙතෙම අඩි 6 අඟල් 01 ක් උසැතිය.

ඔහුගේ පියා වානේ කම්කරුවෙකි. මවත් සුළු රැකියාවක් කළා ය. සොහොයුරන්ම සිවු දෙනෙක්ම සිටිය පවුලක බෑන්ක්ස් බඩපිස්සා වූයේ ය.

ඔහුගේ පියා පසුකලෙක සිය නිවසේම රේස් ඔට්ටු ව්‍යාපාරයක් ඇරඹුවේ ය‍. එමඟින් ඔවුනට සැලකිය යුතු ආදායමක් ලැබිණි. එහෙත් ඒ නිසාම ඉතා කණගාටුදායක අත්දැකීමක් ලැබීමටත් ඔවුන්ට සිදුවූහ. දිනක් ඔවුන්ගේ මුදල් මංකොල්ල කෑමට ලක් විය. එහිදී බෑන්ක්ස්ගේ ආබාධිත සොහොයුරාට තුවාල සිදුවිය. සති කිහිපයකට පසුව ඔහු මිය ගියේ ය.

සිය පාසල් ගමන බෑන්ක්ස් නතර කරන විට ඔහුගේ වයස අවුරුදු 15 කි. ඉන් අනතුරුව ඔහු සුළු රැකියාවල් කිහිපයක්ම කෙළේ ය. ඒ සමඟම පාපන්දු ක්‍රීඩාවෙත් නිරත විය. මිල්ස්පෝහ්, රොව්මාර්ෂ් වෙල්ෆෙයාර් සහ චෙස්ටර්ෆීල්ඩ් වැනි කණ්ඩායම්වලට ඔහු මුලින් ම ක්‍රීඩා කෙළේ ය. පසුව 1958 – 77 දක්වා වෘත්තීයමව ක්‍රීඩා කරනු ලැබීය. ඒ චෙස්ටර්ෆීල්ඩ්, ලෙස්ටර් සිටි, ස්ටෝක් සිටි (එංගලන්තය), ක්ලෙව්ලන්ඩ් ස්ටෝකර්ස්, ෆෝර්ට් ලෝඩර්ඩේල් ස්ට්‍රයිකර්ස් (ඇමෙරිකාව), හෙ‍ෙලනික් (දකුණු අප්‍රිකාව) සහ ශාන්ත පැට්රික් ඇත්ලෙටික් (අයර්ලන්තය) වැනි කණ්ඩායම්වලට යි.

1961 වස‍රේ දී එංගලන්ත වයස අවුරුදු 23 න් පහළ කණ්ඩායම වෙනුවෙන් ඔහු තරග දෙකකට ක්‍රීඩා කළේ ය. හෙතෙම 1963 – 72 දක්වා අන්තර්ජාතිකව ක්‍රීඩා කරනු ලැබීය. එහිදී තරග 73 කි.

1966 ලෝක ශූරතාවට අමතරව 1968 යුරෝපීය ශූරතාවලියේ තෙවැනි ස්ථානය හිමිකර ගත් එංගලන්ත කණ්ඩායමෙත් ඔහු සාමාජිකයෙකි. මීට අමතරව බ්‍රිතාන්‍ය ශූරතා 08 ක් ද හිමිකර ගත්තේ ය. මෙම වාර්ෂික ශූරතාවලිය 1883/84 සිට 1983/84 දක්වා පැවැත්වීය. ඊට සහභාගි වූයේ එක්සත් රාජධානියට අයත් රටවල් වන එංගලන්තය, ස්කොට්ලන්තය, වේල්සය සහ අයර්ලන්තයයි.

අන්තර් සමාජ මට්ටමින් බෑන්ක්ස් ප්‍රධාන ශුරතා දෙකක් හිමිකර ගත්තේ ය. ඒ පාපන්දු ලීග් කුසලානයයි. ඒ 1964 වසරේදී ලෙස්ටර් සිටි සහ 1972 දී ස්ටෝක් සිටි නියෝජනය කරමිනි.

සිය දැල් රැකීමේ දක්ෂතාව නිසා ම බෑන්ක්ස් සම්මාන රැසක්ම හිමිකර ගත්තේ ය. ඒ අතර ලෝක පාපන්දු සම්මේලන (ෆීෆා) වසරේ දැල් රකින්නා සම්මානම 06 කි. ඒ 1966 සිට 71 දක්වා පිට පිටම ය. එමෙන් ම 1966 ලෝක කුසලාන තරු කණ්ඩායමේ දැල් රකින්නාත් වූයේ ය.

මේ අතර අන්තර්ජාතික පාපන්දු ඉතිහාස සහ සංඛ්‍යා ලේඛන සම්මේලනය විසින් 20 වැනි සියවසේ විශිෂ්ටතම දැල් රකින්නන් අතර දෙවැනි තැනටත් බෑන්ක්ස්ව තෝරා ගත්තේ ය.

එහි මුල් ස්ථානය සෝවියට් දේශයේ ලෙව් යාෂින්ටය. ඔහු (උපත 1929 ඔක්තෝබර් 22 - විපත 1990 මාර්තු 20) 1956 ඔලිම්පික් රන් පදක්කම හිමිකර ගත් කණ්ඩායමේ සාමාජිකයෙකි. මීට අමතරව ඔහු යු‍රෝපීය ශූරතාවලියන්හිදී 1960 රන් සහ 1964 රිදී පදක්කම්ලාභියෙකි. තවද 1966 ලෝක කුසලාන තරගාවලියේදී සිවු වැනි ස්ථානයයි.

මේ අතර 2004 වස‍රේදී ලෝක පාපන්දු සම්මේලනයේ ශත සංවත්සරය වෙනුවෙන් එවකට ජීවත්ව සිටිය විශිෂ්ටතම පාපන්දු ක්‍රීඩකයන් 125 ක් තෝරා ගත්තේ ය. ඊටත් බෑන්ක්ස් අයත් වූයේ ය. එම තේරීම සිදු කළේ පේලේ විසිනි.

එමෙන් ම 2002 වස‍රේදී එංගලන්ත පාපන්දු ක්‍රීඩා ඉතිහාසයේ ශ්‍රේෂ්ඨතම ක්‍රීඩකයන් තෝරා ගත්තේ ය. එම මුල් කණ්ඩායමටත් බෑන්ක්ස් අයත් ව‍ූයේ ය.

බෑන්ක්ස්ට සිය බිරිය උර්සුලාව හමුවූයේ ජර්මනියේදී ය. ඒ 1955 වසරේදී ය. මේ යුවළට දූ දරුවන් තිදෙනෙකි. ඒ ජුලියා, වෙන්ඩි සහ රොබට් ය.

2001 වසරේදී ඔහු තම ලෝක කුසලාන ජයග්‍රාහී පදක්කම සුප්‍රකට ක්‍රිස්ටීස් ආයතනය මගින් වෙන්දේසි කළේ ය. ඒ පවුම් 124, 750 ක මුදලකට යි. එම මුදලින් තම දරුවන්ට නිවෙස් ලබා ගැනීමට උපකාර කළේ ය.

1972 වසරේදී බෑන්ක්ස් මෝටර් රථ අනතුරකට ලක්විය. එමඟින් දකුණු ඇසේ පෙනීම සම්පූර්ණයෙන් ම නැති විය. ඒ වනවිටත් ඔහු එංගලන්තයේ අංක 01 දැල් රකින්නා වූයේ ය. කෙසේ වෙතත් මෙම හදිසි අනතුර නිසා ඔහුගේ අන්තර්ජාතික තරග දිවියත් නිමාවට පත් වූයේ ය.

ක්‍රීඩාවට කළ සේවය වෙනුවෙන් බෑන්ක්ස්ට 2006 වස‍ෙර්දී ‍ගෞරව ආචාර්ය උපාධියක් පිරිනැමීය. ඒ එංගලන්තයේ කීලී විශ්වවිද්‍යාලය විසිනි. මීට අමතරව ඕ.බී.ඊ. (ද මෝස්ට් එක්සලන්ට් ඕඩර් ඔෆ් ද බ්‍රිටිෂ් එම්පයර්) ගරු නම්බුනාමයෙනුත් ඔහු පිදුම් ලැබීය.

1970 ලෝක කුසලානයේ දී පේලේගේ නියත ගෝලය ඉතා විශිෂ්ට අයුරින් රැක ගැනීම බෑන්ක්ස්ගේ හොඳම දක්ෂතාව ලෙසට බොහෝ දෙනා සලකති. එහෙත් බෑන්ක්ස්ට අනුව නම් එය වාසනාවන්ත අවස්ථාවකි.

ඔහු තම හොඳම දක්ෂතාවය ලෙසට දක්වන්නේ 1972 වසරේ ලීග් කුසලාන තරගාවලියේ අවසන් පූර්ව තරගයයි. එහිදී ස්ටෝක් සිටි කණ්ඩායම බෑන්ක්ස් නියෝජනය කළේ ය. ඔවුනගේ ප්‍රතිවාදීන් වූයේ වෙස්ට් හැම් යුනයිටඩ් කණ්ඩායමයි.

එහිදී තරගයේ අතිරේක කාලයේදී වෙස්ට් හැම් කණ්ඩායමේ ජෙෆ් හර්ස් දඬුවම් පහරක් ලැබිණි. එහෙත් එය සාර්ථකව රැක ගැනීම සිය හොඳම දක්ෂතාව ලෙසට බෑන්ක්ස් සලකයි. හර්ස්ට් (උපත 1941 දෙසැම්බර් 08) එංගලන්තය ලෝක ශූරයන් වූ 1966 අවසන් තරගයේදී ගෝල ත්‍රිත්වයක් රැස් කළ ක්‍රීඩකයා ය.

1966 ලෝක ශූර එංගලන්ත කණ්ඩායමේ සාමාජිකයන්ගෙන් මිය ගිය සිවුවැනියා බෑන්ක්ස්ය. එහි ප්‍රථමයා නායක බොබී මුවර් ය. ඔහු 51 හැවිරිදි වියේදී (උපත 1941 අප්‍රේල් 12 - විපත 1993 පෙබරවාරි 24) මිය ගියේ පිළිකාවට ගොදුරු වෙමිනි. එම කණ්ඩායමේ ළාබාලතමයා වූ ඇලන් බෝල් 61 හැවිරිදි වියේදී (උපත 1945 මැයි 12 - විපත 2007 අප්‍රේල් 25) මිය ගියේ ය. තවත් සාමාජිකයෙක් වූ ‍රේ විල්සන් (‍උපත 1934 දෙසැම්බර් 17 - විපත 2018 මැයි 15) මිය යන විට 83 හැවිරිදි වියේ පසු විය.‍

 

Comments