
විලියම් ජේ. මෝගන් 1895 දී ඇමරිකාවේදී හඳුන්වා දුන් වොලිබෝලය 1916 දී ශ්‍රී ලංකාවට ආගමනය විය. ඒ එවකට කොළඹ තරුණ ක්‍රිස්තියානි සංගමයේ ශාරීරික අධ්‍යාපන අධ්යක්ෂව සිටි වෝල්ටර් ජේ. කැමැක්ගේ මඟ පෙන්වීම යටතේය. 1951 සැප්තැම්බර් මස 4 වන දින ලංකා වොලිබෝල් සම්මේලනය පිහිටුවීමත් සමඟ ක්‍රීඩාවක් වශයෙන් නිල පිළිගැනීම වොලිබෝලයට හිමි විය. මෙම ලිපියේ මුල් කොටස පසුගිය සතියේ පළවිය....
ඉහතින් දැක්වූ ලංකා වොලිබෝල් ඉතිහාසයේ ආරම්භක දශකයේ නොමැකෙන සටහන් වලට අමතරව 1957 වර්ෂයේ දී ආරම්භ වූ ආරක්ෂක සේවා වොලිබෝල් තරග මාලාව, 1995 දී ලංකාව ජාත්‍යන්තර වොලිබෝල් සම්මේලන සාමාජිකත්වය ලබා ගැනීම, 1995 වර්ෂයේදී කැල්ටෙක්ස් සමාගමේ අනුග්‍රහයෙන් පැවැත්වූ “ලාංකේය ක්‍රීඩා තරු” තේරීමේ තරගයේදී ලංකාවේ දක්ෂතම වොලිබෝල් ක්‍රීඩකයා වශයෙන් ඩබ්.එල්. සිරිවර්ධන අභිෂේක ලැබීම 1950 - 60 දශකයේ වාර්තා පොතට එකතු වන විශේෂිතම සිදුවීම් වශයෙන් වොලිබෝල් ඉතිහාසයේ සටහන්ව ඇත.
එසේම ශ්‍රී ලංකා වොලිබෝල් වංශකතාවේ නොමැකෙන සටහන් තැබූ ලාංකේය වොලිබෝල් ක්‍රීඩාවේ එක් යුග පුරුෂයකු වූ ඩග්ලස් අලහකෝන් පිළිබඳවද මෙහිදී විශේෂයෙන් සටහන් කළ යුතුය. ජාතික වොලිබෝල් විනිශ්චයකරුවෙකු වශයෙන්ද (1959 - 1970) ලංකා ජාතික පිරිමි කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු වශයෙන්ද (1956 - 1959 සහ 1970) වොලිබෝල් ක්‍රීඩාව හා සම්බන්ධ වූ ඩග්ලස් අලහකෝන් 1961 - 1972 දක්වා ලංකා වොලිබෝල් සම්මේලනයේ ප්‍රධාන ලේකම් වශයෙන් ද කටයුතු කරන ලදි. 1967 වර්ෂයේදී නැගෙනහිර ජර්මනියේ ලයිප්සිග් විශ්වවිද්‍යාලයේ වොලිබෝල් ක්‍රීඩාව පිළිබඳ විශේෂ උපාධිය හැදෑරූ ප්‍රථම ලාංකිකයා වශයෙන්ද ඩග්ලස් අලහකෝන් ඉතිහාසයට එක් වෙයි. 1959 වර්ෂයේදී ඉන්දියාවේ නවදිල්ලි නුවර පැවැති ලෝක ශූරතා ආසියානු කලාපීය තරග මාලාවේදී ඉන්දියාව හා බල්ගේරියාව අතර තරගය විනිශ්චය කිරීමේ භාග්‍යය ලැබූ අලහකෝන් මේ දක්වා ලෝක ශූරතා වොලිබෝල් තරගයක් විනිශ්චය කළ ප්‍රථම සහ එකම ශ්‍රී ලාංකේය විනිශ්චයකරුවා ලෙස ද වොලිබෝල් ඉතිහාසයේ නොමැකෙන වාර්තාවක් තබා ඇත. එසේම වොලිබෝල් ක්‍රීඩාවේ නීතිරීති ස්වෝත්සාහයෙන් ඉගෙන ගෙන වොලිබෝල් ක්‍රීඩාව නීතිමය රාමුවක් තුළ පෙරට රැගෙන යාමට දායක වූ නෝබට් පෙරේරා, එස්. රාජදොරෙයි, විමල් පීරිස්, එම්. සිවරත්නම්, විල්සන් පරණගම, යූ. වෙත්තසිංහ සහ ඩී.සී. අලහේන්ද්‍ර යන විනිශ්චයකරුවන් මෙන්ම ශ්‍රී ලංකාවේ ප්‍රථම ජාතික පුහුණුකරු වූ පසු කලෙක ලංකා සංචාරක මණ්ඩලයේ සභාපති ධුරය හෙබවූ එච්.පී. සිරිවර්ධන, පී.කේ. කරුණාරත්න, ඩබ්.ඒ.ඊ. ඩයස් වැනි වොලිබෝල් පුහුණුකරුවන් ද ප්‍රථම ජාතික වොලිබෝල් තේරීම් කමිටුවේ සභාපති නෙල්සන් කරුණාරත්නයන් ද මුල් දශකයේ වොලිබෝල් ක්‍රීඩාවට සක්‍රීයව දායකත්වය ලබා දුන් නිලධාරීන් වශයෙන් මෙහිදී සිහිපත් කළ යුතුය.
1952 දී කොළඹ ක්‍රමය ආරම්භ කිරීම නිමිත්තෙන් පැවැත්වූ ජාතික අන්තර් සමාජීය වොලිබෝල් තරග මාලාවෙදි එවකට ලංකා ආණ්ඩුකාරයාව සිටි සෝල්බරි සාමි වෙතින් ගම්පහ සෙන්ට්‍රල් කණ්ඩායමේ ටී.ඩී.එල්. චාල්ස් ලංකාවේ දක්ෂතම වොලිබෝල් ක්‍රීඩකයා වශයෙන් රන් පදක්කමක් සම්මානය ලෙස ලබා ගැනීමද ලාංකේය වොලිබෝල් ක්‍රීඩාවේ විශිෂ්ටතම කඩඉමක් වේ.
එසේම අදටත් ක්‍රීඩා ලෝලීන්ගේ මතකයේ රැඳී සිටින ග්‍රේස් ගජසිංහ, සීතා සහ සුනේත්‍රා කුලතුංග සොයුරියන් ෆිලිෂීයා සහ පුෂ්පා සිරිවර්ධන සොයුරියන්, ලතා ලියනගේ, කමලා නාගොඩ විතාන සහ අසෝකා විජේතුංග වැනි ක්‍රීඩිකාවන් මෙන්ම ටී.ඩී.එල්. චාල්ස්, ඩබ්.එල්. සිරිවර්ධන, කැමිලස් ඇන්තනි, ලැනි ජයකොඩි, එස්. කදිරගාමන්ලිංගම්, එම්. සීවරත්නම්, බතෝ දෙමටගොඩ, යූ.එල්. කරුණාරත්න, එල්.ඒ.ඩී. ප්‍රේමරත්න, එල්.ඩී.ඒ. ගුණවර්ධන වැනි ක්‍රීඩකයන් එදා වොලිබෝල් පිටියේදී දැක්වූ දස්කම් යළි යළිත් ආවර්ජනය කරමින් ලාංකීය වොලිබෝල් ක්‍රීඩා වංශකතාවේ ආරම්භක දශකයේ සොඳුරු මතකයන් වර්තමාන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට මතක් කර දිය යුත්තේ වොලිබෝල් ක්‍රීඩා ලෝලීන් බලාපොරොත්තු වන ජයග්‍රහණයේ පෙර නිමිති පිළිබඳ සුබවාදී අරමුණක් සඳහා ලාංකේය වොලිබෝල් ක්‍රීඩාව ගමන් කරවීමේ අරමුණෙනි.
50 - 60 දශකයේ ලාංකීය වොලිබෝල් ක්‍රීඩකයන්ගේ දස්කම් පිළිබඳව 1953 සමස්ත ලංකා පාසල් වොලිබෝල් ශූරතාව දිනා ගත් හංවැල්ල ජෝන් බොස්කෝ විදුහල් කණ්ඩායමේ ක්‍රීඩකයකු වූ පසු කලෙක ශ්‍රී ලංකාවේ ප්‍රවීණ ගත් කතුවරයෙකු - ලේඛකයෙකු වූ ඔරුවල බන්දු 1989 නොවැම්බර් මස 20 වැනි දින දිවයින පුවත්පතට ලියූ ලිපියේ කොටසකින් මෙම ලිපිය අවසන් කිරීම සිදුසු යැයි සිතේ. “හංවැල්ලේ බතෝ, කෝට්ටේ සිරිවර්ධන, ගම්පහ චාල්ස්, බෝමිරියේ සූරියප්පෙරුම, ත්‍රී’මලේ විජේසූරිය, මීරිගම විමලදාස, යාපනයේ මූර්ති, හඳපාන්ගොඩ එදිරිසිංහ, හෝමාගම සපරමාදු, බොස්කොවේ ජෝ රූපසිංහ සහ ප්‍රේමරත්න වැනි සුප්‍රකට ක්‍රීඩකයන්ගේ ක්‍රීඩා විලාසයන් නැරඹීමට එදා දහස් ගණනින් අගනුවරට ඇදී ආහ.”
ලාංකේය වොලිබෝල් පිටියේ ස්වර්ණමය යුගයක් වූ 1950 - 60 දශකය පිළිබඳ වොලිබෝල් ක්‍රීඩා ලෝලීන්ගේ මතකය අලුත් කිරීමට ඔරුවල බන්දුගේ ඉහත සටහනම ප්‍රමාණවත් යැයි සිතේ.
(තව කොටසක් ලබන සතියේ...)










